Print this Article


ප්‍රාර්ථනය සහ අරමුණ විය යුත්තේ කුමක් ද?

ප්‍රාර්ථනය සහ අරමුණ විය යුත්තේ කුමක් ද?

මෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

දේව දූත සූත්‍රයේ සඳහන් කරුණු කාරණා රැගෙන පන්සල්වල අපාය නිර්මාණය කරනු ලැබුවේත් ජාති,ජරා, ව්‍යාධි ,මරණ යන සංකල්ප මතය. ජාති,ජරා, මරණ, ව්‍යාධි යන සංකල්පය සමාජය තුළට කා වද්දපු තරමට මිනිසුන් යහපත් වෙනවා. නොමැරෙන මිනිසකු ලෙස ජීවත්වීමෙන් සමාජයේ ප්‍රශ්න රැසකට මුහුණ පාන්නට සිදුවන අතර මැරෙන මිනිසකු ලෙස ජීවත්වීමෙන් මනස සන්සුන් වන නිසාම සමාජීය අර්බුද අඩුවෙලා සමාජයද සන්සුන් වෙයි.

අපාය නිර්මාණය කර තිබෙන්නේත් දේවදූත සූත්‍රය ආශ්‍රයෙනි. අපායේ සිටින යම රජතුමා මනුෂ්‍ය ලෝකයේ සිට අපායට යන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරනු ලබයි.

එහිදී යම රජතුමා ප්‍රශ්න කරනු ලබනුයේ , ඔබ මනුෂ්‍ය ලෝකයේ සිටියදී පළවෙනි දේව දූතයා දැක්කෙ නැද්ද? අනේ නෑ දේවයන් වහන්ස, එහෙම කෙනකු දැක්කෙ නැහැ. ඔබ උපදින කෙනකු දැකල නැද්ද? එය දැක්කා නම් ඒ පළවන දේවදූතයායි. ඔබත් උපදින මිනිසකු බව එවිට කල්පනා නොකළ බවත් ප්‍රකාශ කරන අතරම, ඉපදීම,දේවදූතයකු ලෙස සඳහන් කරනු ලබයි. කෙනකු උපදින විට තමනුත් නැවත නැවත උපදින බවත් එම දේවදූතයාගෙන් සිතිය යුතු බව ප්‍රකාශ කරනු ලබයි.

ඔබ දෙවන දේව දූතයා දැක්කේ නැද්ද? අනේ නැහැ දේවයන් වහන්ස, මිනිස්සු වයසට ගිහින් ඉන්නවා දැක්කෙ නැද්ද? වයසට යන මිනිසකු දකින විට එම දේව දූතයා ප්‍රකාශ කරන්නේ ඔබත් වයසට යන බවයි. ඔබ ඒ පිළිබඳව හිතන්න ඕනේ. ඔබ ඒ ගැන හිතුවෙත් නැහැ.

ඔබ දැක්කෙ නැද්ද? ලෙඩ වුණ පුද්ගලයන්ව ඒ තුන්වන දේවදූතයායි. ඔබ නිරෝගී යැයි සිතමින් මාන්නයකින් හිටිය අනෙක් මිනිසුන් ලෙඩ වුණ අවස්ථාවලදී. රෝගියා යනු දේවදූතයෙක් ලෙස දැක්කා. රෝගියා දකින විට තමනුත් ලෙඩ වන බව සිතිය යුතුයි.

හතරවන දේවදූතයා දැක්කාද? යනුවෙන් ප්‍රකාශ කරනු ලැබුවේ මරණයටයි. මරණය යන දේවදූතයා ප්‍රකාශ කරන්නේ තමනුත් මැරෙන බවයි. අනෙකකු මැරෙන විට ඔබ අනිවාර්යෙන්ම ජීවත්වනවා කියා හිතුවා. මරණය යන දේව දූතයා ප්‍රකාශ කරණුයේ ඔබත් මැරෙනවා කියලා හිතිය යුතු බවයි. පස්වන දේවදූතයා ලෙස සඳහන් කරනු ලැබුවේ මිනිසුන් වැරැදි කළ විට දඬුවම් දෙන බවයි. ඒ තවත් දේව දූතයෙක්. වැරැද්දක් කළ විට දඬුවමක් ලැබෙන බව ඔබ සිතුවේ නැද්ද? ඔබ ඒ පිළිබඳව සිතුවෙත් නැහැ. ජාති,ජරා, මරණ, ව්‍යාධි, කර්ම විපාක යන කාරණා පහ දේව දූතයන් පහක් ලෙස පෙන්නුම් කරනු ලැබුවා. ඔබ දේව දූතයන් පහ පිළිබඳව කිසිදු ගණන් ගැනීමකින් තොරව වැරැදි කර පැමිණි බව යම රජු එහිදී ප්‍රකාශ කර ඇත. එනිසා ම මේ වැරැද්ද ඔබේ තාත්ත,අම්ම සහෝදරයන්, සහෝදරියන් කළේ නැහැ. ඔබමයි මෙහි වරද කරල තියෙන්නේ. දේවදූතයන් ලෙස පැමිණ පණිවිඩ පිළිපදින්නේ නැතිව ඔබමය මෙම සියලු වැරැදිකරනු ලැබුවේ. ඒ නිසාම ඔබම එය බිඳිය යුතු බවට ප්‍රකාශ කරමින් යම රජු ඔහු අපායට දමන ලද බව සඳහන් වනු ඇත. මෙම අපාය නිර්මාණය කරනු ලැබුවේත් මෙම මරණ සංකල්පය පෙන්වීම සඳහායි. ‘මරණය’ මහා දුකක් බව කලා ශිල්ප තුළින් පවා පිළිබිඹු කර ඇත. අනුරාධපුරයේ තිබෙන ලස්සනම කලා නිර්මාණය සඳකඩපහණයි. අනුරාධපුරයේ සඳකඩපහණ කෙළවරට රවුමේ වැළක් වැනි ගිනිදැල්ලක් පෙන්වයි. එහිදී අප තණ්හාවෙන් වෙලී ඇති බව පෙන්නුම් කරනු ලබන අතරම තණ්හාව ගින්නක් ලෙසද ප්‍රකාශ වෙයි. මේ ලෝකයේ පවතින ජාති,ජරා, ව්‍යාධි, මරණය යන දුක්ඛයට හේතුව තණ්හාවයි.

ඇතා, අලියා, සිංහයා, ගොනා යන සතුන් හතර දෙනා මගින් ජාති, ජරා, ව්‍යාධි, මරණ පිළිබිඹු කරනු ලබයි. එය සංසාර දුක්ඛයයි. ඊළඟට දිස්වන හංස පේළියෙන් වතුරෙන් දියර වෙන්කර ගන්නාසේ ජාති,ජරා, ව්‍යාධි, මරණ යන සංසාර දුකින් නිදහස්වෙලා යන ශාන්ත ගමන් මාර්ගයයි. නෙළුම් මලින් බුද්ධත්වය නමැති උත්තරීතර තත්වයට පත්වීම සංකේතවත් කරනු ලබයි.

පඩි පේළි හතර ලෙස දක්වන්නේ සූත්‍ර පිටකයේ සඳහන් ධ්‍යාන හතරයි. කළුගල් පුවරුවෙන් මහා කරුණාව හා මහා ප්‍රඥාව පිළිබිඹු කරයි. මේ තුළ වැඩ සිටින්නේ එවැනි උතුමකු බවට මෙම කලා නිර්මාණයෙන් ප්‍රකාශ කරනු ලබයි.

ජාති,ජරා, මරණ, ව්‍යාධි යන සංකල්පය සමාජය තුළ තහවුරු කළ තරමටම මිනිසුන්ද සන්සුන් වෙනවා. ‘අපි මැරෙන්නේ නෑ’ යන සංගීත තුළින් අජර අමර ආකාරයත් පෙන්නුම් කරමින් තරුණ පිරිස පෙන්නුම් කරනුයේ ඔබලා නොමැරෙන පිරිසක් ලෙසයි. ලෞකික ජීවිතයේදි නිතරම උත්සාහ ගනු ලබන්නේ මැරෙන බව නිතරම අමතක කිරීමටයි. මරණය අමතක වෙන්න වෙන්න මිනිසුන් දරුණු වෙයි. මරණය හා සංකල්පය ජාති,ජරා, ව්‍යාධි, මරණ යන සංකලපයත් සමග හැකිතාක් දුරට සමාජයට තහවුරු කළ යුතු බව බුදුදහම පෙන්වා දෙයි. මරණයකදී මරණානුස්සතිය වැඩිය යුතුයි. ‘මරණය’ යන සංකල්පය හා බැඳුණු ජාති,ජරා මරණ, ව්‍යාධි යන සංකල්පය සමඟ බුදු දහම මුල සිටම කලා ශිල්ප මාර්ගයෙන්ද චිත්‍ර මාර්ගයන් සූත්‍ර දේශනා මාර්ගයෙන් ‘මරණය’ සමාජය තුළ තහවුරු කිරීමට උත්සාහ කර ඇත. සමාජයේ විවිධත්වය, විෂමත්වය මත මෙම සංකල්පය පහදා දීම සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිත කළ යුතු වෙයි. ජාතියක් නැති, ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැත නිවනට ළඟාවීම සඳහා කටයුතු කිරීම වෙසක් සතියේ සියලු දෙනාගේම ප්‍රාර්ථනය හා අරමුණ විය යුතුයි.

සටහන හේමමාලා රන්දුනු