Print this Article


පරම සත්‍යය වන අනිත්‍යාවබෝධය

පරම සත්‍යය වන අනිත්‍යාවබෝධය

මෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

කොපමණ කලක් ආහාරයෙහි පිළිකුල් බව ඇති කර ගැනුමට තමන් බවුන් වඩා තිබුණත් තවදුරටත් තම සිත පවතින්නේ මුලින් ආහාරයෙහි පිළිකුල් බවක් ඇති කර ගැනීම සඳහා බවුන් වැඩීමට පෙර සිටි සිතිවිලි ස්වභාවයේම බව, ආහාරයෙහි පිළිකුල් බව ඇති කර නුවණින් පසක් කර ගත් යෝගාවචරයා තම සිරුර යැපෙන පමණට ගන්නා ආහාර මදයට,රූපය වැඩි දියුණු කර ගැනුමට ශරීර වර්ණය පිණිස, ශරීරය සැරසීම නොව සිරුර පවත්වා ගෙන යමින් උතුම් බඹසර රැකීම අරමුණ කර ගෙනම ආහාරය භුක්ති විඳින බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එවැනි අය දිව පිනවීමේ අරමුණෙන් තෝරතෝරා රස බලමින් ආහාර ගැනීමක් සිදු නොකරනවා වාගේම රස තෘෂ්ණාවෙහි ගැලීමක් ඇත්තේ ම නැහැ.

සබ්බලොකෙ අනභිරතසඤ්ඤා

කෙටියෙන්ම කියනවා නම් සබ්බලොකෙ අනභිරතසඤ්ඤා යනුවෙන් අදහස් කරන්නේ යෝගාවචරයා නිවන අරමුණ කොට නිවන පිහිට කොට බවුන් වඩන විට ලෝකය හෙවත් තම පඤ්චස්කන්ධය ගැන ඇලීමක් කර නොගෙන උපේක්ෂා සහගතව පිළිකුල් සිතිවිල්ලෙන් වාසය කරනවා යන මේ අදහස යි. එමෙන්ම එසේ සිත දියුණු කරගත් යම් අයෙක් වේ නම් ඔහු ලෝකයේ යම්තාක් සිත පිනවන සියලුම සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වස්තුන් පිළිබඳව වුවද ඇලීමක් ඇති කර ගන්නේ නැහැ.මෙම තත්ත්වයට සිත දියුණු කර ගැනීමට නම් සියලු ලොව නො ඇලීමේ නිමිත්තක් අරමුණක් වශයෙන් ගෙන මැනැවින් ඒ කෙරෙහි සිත යොමු කර බවුන් වැඩිය යුතුය. යම් දීර්ඝ කාලයක් හෝ මෙම අරමුණ උදෙසා මහත් වෑයමක් දරන යෝගාවචරයා යම් අවස්ථාවක මෙම පඤ්චස්කන්ධය පිනවීමට හෝ මෙම සම්මුති ලෝකයෙහි වුවද ඇලීමක්,ආශාවක් ආදී සිතිවිල්ලක් පහළ කර ගනී නම් ඔහුගේ සිතෙහි දියුණුවක් ඇති වී නැහැ. ඔහු සිත තවදුරටත් පැවති තැනම පවතිනවා යන්න තේරුම් ගත යුතුවෙනවා . ඔහුගේ සිතෙහි ආත්ම දෘෂ්ටිය බල පවත්වනවා. මේ නිසා මම ය මාගේය යන හැඟීම පවතිනවා. මානය නම් වූ කෙලෙස් පහළ වෙනවා. මානය හා ආත්මදෘෂ්ටි දෙකෙන් තවදුරටත් සිත පිරී පවතිනවා. පි‍්‍රය රූප දකින විට කාම සිතිවිලි ඇති වෙනවා වාගේම අපිට අපි‍්‍රය අමනාප රූප දකින විට වෛරය, ප්‍රතිඝය යන සිතිවිලි බහුල වෙනවා. එහෙත් අවසානයේ යෝගාවචරයා තේරුම් ගත යුතු වන්නේ තම සිත මුලින් පැවති තැනම පවතින බවත් සිතේ දියුණුවක් නොමැති බවත්ය .

අනිච්චසඤ්ඤා

අනිච්චසඤ්ඤා යන්නෙන් විස්තර වන්නේ නිත්‍ය වන්නේ නැහැ යන හැඳිනීමයි. හෙවත් දැන හදුනා ගැනීමයි. එනම් රූප, වේදනා, සඤ්ඤා , සංඛාර හා විඤ්ඤාණ යන මෙම නාම රූප ධර්ම ඇති නැති වී යන, උපතක් හෙවත් හට ගැනීමක් ඇති කරන මරණය හෙවත් විපතක් ඇති කරන මේ ස්වභාවය පිළිබඳ සිත දියුණු කර ගැනීමයි. මේ ආකාරයෙන් සිත දියුණුවට පත් වූ බාහිර සමාජයෙන් තමන් කරා එන කීර්ති ප්‍රශංසා පිළිබඳ තමාගේ සිතෙහි හැකිලීමක් විපිළිසර බවක් එවැන්නෙහි තාවකාලික බවක් දැක උපේක්ෂා සහගත වීමක් සිදු වන්නේ නම් ඔහු එම සිතිවිල්ල මැනවින් ප්‍රගුණ කර ඇත්තෙක් වෙනවා. එහෙත් එසේ සිත යොදවා බවුන් වඩන යෝගාවචරයාගේ සිත එවැනි කීර්ති ප්‍රශංසා, ලාභ ප්‍රයෝජන ලැබෙන විට ඒ පිළිබඳ ඇලීමක්, ගැනීමක් සිදු වන බව තමන්ට වැටහේ නම් ඒ කරුණින්ම තම සිත අනිත්‍ය පිළිබඳ භාවිත බහුලීකෘත බවක් දක්වා ප්‍රගුණ කර නැති බව තමන්ම තේරුම් ගත යුතු වෙනවා. සිත තවදුරටත් තිබුණු තැනමයි.

අනිච්චෙ දුක්ඛසඤ්ඤා

අනිච්චෙ දුක්ඛසඤ්ඤා යනු යදනිච්චං තං දුක්ඛං යන බුදු වදනට අනුව අප සතු යමක නිත්‍ය ස්වභාවයක් පැවැත්මක් නැති නම් එය දුක පිණිසම හේතු වෙනවා. එය ස්වභාවයයි. මේ දුක පිළිබඳ යම් යෝගාවචරයෙක් සිත යොමු කර ලොව හැම දෙයක්ම දුක පිණිස පවතිනවා යනුවෙන් නැවතත් ඒ මත දුක ඇති කරගෙන එයින් සිතේ අලස බවක්, කුසීත බවක්, උදාසීන බවක් ඇති කරගෙන විසිරුණු සිත් ඇතිව වාසය කරයි නම් ඔහුගේ සිතේ කිසිදු දියුණුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ තත්ත්වය පැහැදිලි කිරීමට උපමාවක් දක්වා තිබෙනවා. එවැනි භික්ෂුව හෝ පුද්ගලයා අමෝරා ගත් කඩුවක් වැනි තියුණු ආයුධයක් අතැතිව තමා ඉදිරියට එන අයෙකු දැකීමෙන් භයින් ත්‍රස්ත වීමක් බඳු යයි යන්නයි. එහෙත් මෙම තත්ත්වයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන යෝගාවචර භික්ෂුව අනිත්‍යයෙහි දුක්ඛ භාවය පිළිබඳ කුසීත බවක් හෝ අලස බවක් හෝ සිත විසිරුණු කළකිරුණු බවක් නිරතුරුවම ඇති කර නොගෙනම ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවෙහි යෙදෙමින් ක්‍රියා කරයි, එය උපමාවක් ලෙස පෙන්වන්නේ මුලින් කී උපමාව ම ගත් විට එවැනි අලස , කුසීත බව වැනි සිතිවිලි හට ගත් විට ඊට ප්‍රතිරුද්ධව ක්‍රියා කිරීමයි. එනම් එම භයානක ආයුධ අතැතිව ඉදිරියට එන පුද්ගලයා දුටුවිට ඔහුට මුහුණ දීමයි. එසේ මුහුණ දී ඔහු පළවා හැරීමයි. එනම් එවැනි සිතිවිලි හට ගැනීමට ප්‍රතිවිරුද්ධව සිතේ ඇති වූ එම දුක නැති කොට සදාකාලික සුවය වන නිවන කෙරෙහි වඩ වඩාත් යොමු වීම මෙයින් අදහස් කෙරෙනවා.

දුක්ඛෙ අනත්තසඤ්ඤා

දුකඛෙ අනත්තසඤ්ඤා යනුවෙන් පෙන්වා දෙන්නේ දුක පිළිබඳ අනාත්ම සඤ්ඤාව ඇති කර ගැනීමයි. අනිත්‍යයෙහි ඇති වූ දුක පිළිබඳව ආත්ම දෘෂ්ටි වශයෙන් නො ගැනීම මෙයින් අදහස් වෙනවා. එනම් පඤ්චස්කන්ධය හෙවත් ලෝකය පිළිබඳ අනිත්‍යය නිසා හටගත් දුක පිළිබඳ ආත්ම වශයෙන් නොගැනීමයි. මේ නිමිත්ත පිළිබඳ බවුන් වඩන යෝගාවචරයා එම දුක ආත්ම වශයෙන් ගෙන ඇස්, කන්, නාසා, දිව හා ශරීරය යන පඤ්චේන්ද්‍රියන්ට හසු වන රූපාදී අරමුණු පිළිබඳ අනිත්‍ය නිසා ඇතිවන දුක්ඛ ආත්ම වශයෙන් නොගනී.මෙසේ චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට ගොදුරුවන රූපාදී අරමුණ පිළිබඳ අනිත්‍ය නිසා ඇති ඇති වූ සිතිවිලි මමය, මාගේය වශයෙන් සිත නව වැදෑරුම් මානයෙන් (සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන) හෝ මත් නොවී ඒ දුකට අරමුණු වූ රූපාදී අරමුණ ආත්ම වශයෙන් නොව නාම රූප වශයෙන් කොටස් කර බැලූ විට එහි පැවැත්මක් හෙවත් ආත්මයක් නැති බව වටහා ගනියි.මේ දියුණු සිතිවිලි ඇති නො වූයේ නම් යෝගාවචරයා කොපමණ කලක් බවුන් වැඩුවේ වුණත් බවුන් වැඩීමට පෙර හා පසු ඔහුගේ සිතෙහි දියුණුවක් ලබා නැති බව වටහා ගත යුතුව පවතිනවා. එය තේරුම් ගත යුතු වන්නේ ඔහු විසින්ම විනා වෙනත් අයෙකු විසින් නොවේ. මෙය වෙනත් දර්ශනයක් දක්නට නොමැති ඉගැන්වීමයි. ඒ කුමක්ද? තවත් අයෙකුට පුද්ගලයෙකුගේ සදාකාලික විමුක්තිය හෝ මානසික දියුණුව පිළිබඳ සත්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහතිකයක් දිය නොහැකිය. එය දත යුත්තේ තමාගේ සිත දෙස බැලීමෙන් තමා විසින්මයි.

මෙහි සඳහන් මෙම හත් ආකාර ඇති සංඥාවන් (හැඳිනීම්) නුවණින් මෙනෙහි කර මැනවින් පුරුදු පුහුණු කළ දියුණු සිතක් ඇතිවීම අතිශයින් ප්‍රතිඵලදායක වන අතර අවසාන වශයෙන් නිර්වාණ ධර්මයෙන් සැනසීම ළඟා කර ගත හැකි මාර්ගය ද සඵල කර ගන්නේය.