Print this Article


වාග් සුචරිතයෙන් ජීවිතයට ආලෝකය

වාග් සුචරිතයෙන් ජීවිතයට ආලෝකය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
එකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණ පරලොකස්ස – නත්ථි පාපං අකාරියං

ඇත්ත කීම නම් වූ එක ම ධර්මය ඉක්ම වූ නැතහොත් බොරු කියන්නා වූ පරලොව ගැන තැකීමක් නැත්තා වූ පුද්ගලයාට නො කළ හැකි පවක් නැත.

පින්වත්නි,

ධම්ම පදයෙහි ලෝකවග්ගයෙහි සඳහන් ඉහත ගාථාවෙන් බොරු කීමෙහි බරපතළකම අවධාරණය කර ඇත. මිනිසා ත්‍රිවිධ ද්වාරය පදනම් කරගෙන ක්‍රියා කරයි. ඒවා කර්ම ජනනය කරයි. කර්ම පුනර්භවයන් ඇති කොට නැවත කර්ම රැස් කිරීමෙන් සසර දිග්ගසනු ඇත. මේ නිසා ඥානවන්ත පුද්ගලයා තිදොර සංවර කරගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. එම ත්‍රිවිධ ද්වාරය සංවර කරගන්නා ම සසරෙන් මිදෙනා බව ධම්මපදයෙහිම ප්‍රකාශිතය.

වාග් දුෂ්චරිතය ප්‍රධාන කරුණු හතරක් පදනම කරගෙන පවතී. බොරුකීම, කේලාම්කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම යනුයි. මින් වඩාත් භයානක පාපයන් ලෙස අතීතයේ සිටම පිළි අරගෙන තිබුණේ බොරු කීමයි. සිදුවූ දෙය සිදුවූ ආකාරයටත් සිදු නොවූ දෙය නොසිදු වූ ආකාරයටත් සත්‍ය ප්‍රකාශ කිරීම සමාජ පිළිගත් ක්‍රමයයි. බොරුවක් කීම, බොරුකීමේ කැමැත්ත ,බොරුව කීම, රැවටීමට පත්වීම යන අංග මුල් කරගෙන එම අකුසලය සිදු වෙයි.බොරුකීමෙන් අපේක්‍ෂා කරන්නේ දෙවැන්න රැවටවීමය. මුළාකරවීමය.

බොරු කීම ඉතා තද බල පාපයකි. බොරු කිව හැකි කෙනාට නොකළ හැකි පාපයක් නොමැති බව ප්‍රචලිත කරුණකි. ඕනෑම වරදක් සිදු කර තමා එය නොකළේ යැයි ප්‍රකාශ කළ හැකිය. එනිසා සියලු පාපයන්ගෙන් බොරුකීම ඉතාමත් භයානක අකුසල ක්‍රියාවක් ලෙස පිළිගැණිනි. බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කළ පසු තමන් වහන්සේ අතින් කිසි අවස්ථාවක බොරුකීම සිදු නොවුනු බව දේශනා කොට ඇත. ඉන් හැඟෙන්නේ බොරු කීම එතරම්ම භයානක වූවක් බවයි. තමා බොරුකීවේ නම් කිසිදිනක චතුරාර්ය සත්‍ය ධර්මය වැනි වූ ධර්මයක් දේශනා කිරීමට නොහැකිවන බව සඳහන් කර ඇත.

වසල සූත්‍ර දේශනාවේදි බුදුරජාණන් වහන්සේ අග්ගිත භාරද්වාජ බමුණාට දේශනා කර ඇත්තේ වසලයා යනු පහත්, අධම ගුණ හීන පුද්ගලයාටය. එම සූත්‍රයේදී පෙන්වා දෙන්නේ යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයින් බොරුවෙන් වංචා කරන්නේ නම් ඔහුද වසලයෙක් වන බවයි. තමන් උත්තරී මනුෂ්‍ය ධර්ම නොලබා සිටීයදී අන් අයට බොරුවට එලෙස ඇඟවීමද වසල කරුණක් ලෙස පෙන්වා දේ.

පරාභව සූත්‍ර දේශනාවේදි ශ්‍රමණ බ්‍රාහ්මණයින් අසත්‍යයෙන් රැවට්ටීම පිරිහෙන කරුණක් ලෙස අවධාරණය කර ඇත. ධම්මපදයෙහි දී බොරුකීම දිනිය හැක්කේ සත්‍ය ප්‍රකාශ කිරීමෙන් බව පෙන්වා දෙයි. දිවි තොරවී යතත් බොරුකීම නොකිරීම සත්‍ය පාරමිතාවෙන් පෙන්වා දෙයි. සුතසෝම ජාතකයෙන් තමන්ට වූ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටුකළේ සත්‍යවාදි බව ඉහළින්ම අගය කළ බැවිනි. සත්‍ය පාරමිතාව පාරමි, උපපාරමී පරමත්ථ පාරමි යනුවෙන් ත්‍රිවිධ දක්වා ඇත. දිවි හිමියෙන් දිවිගියත් බොරු නොකීම හා සත්‍ය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගය පවා සිදු කර ඇති අවස්ථා බෝසත් සිරිතෙන් පැහැදිලි වේ.

කපටි කමෙන් අනුන් රැවටීමට උත්සාහ කිරීම, බොරු මවා පෑම් දැකිය හැකිය. සමහර රටවල විවිධ කළකෝළාහල , ගැටුම් ව්‍යසන සිදුවනු පෙනේ. පොරොන්දු කඩ කිරීම නිසා නීතියේ පිළිසරණ පතන්නවුන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් ඇසේ. අවම වශයෙන් පඤ්චශීලයෙන් යමෙක් රක්‍ෂා කරන්නේ නම් බොරුවක් නොකියනු ඇත. බොරුකීමට හුරු වූ අයට උපමා කිරීමේදි චේතිය රජුගෙන හැර දක්වනුයේ උපහාසයත් සමගය.

උත්තරී මනුස්ස ධම්ම විග්ගහ පාරාජිකාව භික්‍ෂූන්ට (උපසම්පදා) පනවා ඇත්තේ බොරු කීමෙහි හා ඇඟවීමෙහි ඇති භයානක බව පැහැදිලි කිරීමටයි. එය භික්‍ෂූත්වය නැතිව යන ක්‍රියාවකි.

බොරුකාරයන් සමාජය පිළිකෙව් කරයි. අවාහ, විවාහ කටයුතු වලදි බොරුකාරයින් අයින් කරනු පෙනේ.වගකීම් වලින් බැහැර කරනු ලබයි.

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලොව ආරම්භයේ සිටම මෙම පාපධර්ම පැවතුනි. අධම්මචර්යාවන් වූ බොරුකීම විෂම ක්‍රියාවක් බව එහි හඳුන්වයි. ලොව දඬුවම ඇතිවන්නේත් බොරුවෙහි ප්‍රතිඵලයක් ලෙසය. සමස්ත වැරැදි ක්‍රියා නිසා වැරැදි කරන්න වුන්ට දඬුවම් දීම සඳහා රජෙකු පත් කරගත් බවත් ඔහු මහා සම්මත නමින් හැඳින්වූන බවත් සඳහන් වෙයි. සිඟාලෝවාද සූත්‍රයෙහි සතර කර්ම ක්ලේශ දක්වන තැනදී ද මුසාවාදය පෙන්වා දී ඇත.

මේ නිසා මිනිස්කම නැති කරන, අපායගාමි දොරටු විවර කරන, විපාක වශයෙන් කට ගඳගස්වන ,ශරීර පැහැය, දුර්වර්ණ වන පහත් ජාතිවල උපත ලබාදෙන සසර පැවැත්ම දිග් කරන මුසාවාදයෙන් වැළකීමෙන් බොහෝ දෙනාගේ කාන්ත බවට හේතුවන විශ්වාසය ගොඩනැෙ¼ගන ,වගකීම් තනතුරු නිරායාශයෙන් පිදෙන, භවය කෙටි වන මුඛයෙන් සුවඳ විහිදුවන පුරුෂාර්ථ ධර්මයක් වන සත්‍ය වචනයම අප පුරුදු කිරීමට උත්සාහවත් වෙමු.