Print this Article


මිය ගිය ඤාතීන්ට පින් දෙන්නේ කෙසේද?

මිය ගිය ඤාතීන්ට පින් දෙන්නේ කෙසේද?

කෙනෙකුගෙන් පින් අනුමෝදන් වීමේ චේතනාවෙන් ඔහු අසලට එන්නේ ඔහුගේ සංසාරගත නැදෑයන් පමණි. නෑදෑයන් නොවන වෙනත් කිසිදු කෙනෙක් පින් අනුමෝදන් වීමේ අදහසින් නිවසට පැමිණෙන්නේ නැත. එනිසාම තමන් පින්කම කළේ නිවැරැදිව නම් මිය පරලොව ගිය ඥාතීන්ට එහිදීම පින් අනුමෝදන් කිරීම සිදුකළ යුතු දෙයකි. එම ක්‍රියාවෙන් යහපතක් මිස අවැඩක් ධර්මයට එකඟව සිදු නොවන බව පැහැදිළි කළ යුතුය.

මෙහි පළමු කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

හත් දවසේ ධර්ම දේශනාව සඳහා ධර්ම ශ්‍රවණය කිරීමට මළගිය ප්‍රාණකාරයා ද ඒ ස්ථානයට පැමිණෙන බව බෞද්ධ අදහසයි. එනිසාම වෙනත් ධර්ම දේශනාවලට වඩා වැඩි සැළකිල්ලකින් ධර්ම ශ්‍රවණය කරන්නෝද ඒ සඳහා පේවී කටයුතු කරති. තිදොර සංවර කර ගනිති. මතක දානය සඳහාද මිය ගිය ප්‍රාණකාරයාද සහභාගිත්වය සහ විශ්වාසය නිසා ඉතාමත් සැළකිල්ලෙන් ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමට නිවැසියෝ ද අසල්වාසීහු ද යුහුසුළු වෙති. එයද ඉතාම අර්ථාන්විත ක්‍රියාවකි.

මතක බණ පවත්වන දින රාත්‍රියේ මතක තටුව තැබීම ඇතැම් ප්‍රදේශවල අභිරුවියෙන් කරන ක්‍රියාදාමයකි. මතක තටුව යනු කුමක්ද? මතක තටුව යනුවෙන් අදහස් කරනු ලබන්නේ මිය ගිය ප්‍රාණකාරයාට ඔහු ජීවත්ව සිටියදී ගත් ආහාරපාන වේලක් එලෙසින්ම පූජා කිරීමයි. එය සිදුකරන්නේ ධර්ම දේශනාව පැවැත්වෙන නිවසෙහි වෙනම ස්ථානයක තටුවක් හැටියට පිළියෙල කොට එයට මිය ගිය ප්‍රාණකාරයා අනුභව කිරීමට කැමැති සියලුම දේවල් සහිතව රාත්‍රි ආහාර වේලක් තැබීමය. මේ සිරිත ඇතැම් ප්‍රදේශවල තවමත් පවතී. ඇතැම් ප්‍රදේශවල එබඳු සිරිතක් නැත. මතක තටුව මළගිය ප්‍රාණකාරයා වෙනුවෙන් තැබිය යුතුම ද යන ප්‍රශ්නයට පිළිතුර සොයාගත යුත්තේ ඒ ඒ පුද්ගලයාට අනුගත සම්ප්‍රදාය ඔස්සේ විමසා බැලීමෙනි. මතක තටුවේ ආහාර බුදින්නට මළගිය ප්‍රාණකාරයා පැමිණෙනවාද? යන ප්‍රශ්නයට පිළිතුරු සපයාගත යුත්තේ බුද්ධියද, සම්ප්‍රදාය ද අනුව කල්පනා කිරීමෙනි.

හත් දවසේ පින්කමේදී විශේෂයෙන්ම මිය පරලොව ගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමේදී ද මිය ගිය ලේ නෑදෑයාගේ හෝ අනෙක් නෑදෑයන්ගේ නම් ගොත් කියවා පින්පෙත් අනුමෝදන් කිරීම වඩාත් නිවැරැදි ක්‍රමයයි. නම් ගොත් මතකයේ නැති අවස්ථාවකදී තමන්ගේ ඥාතීකම හෝ නෑකමේ ස්වභාවය සිහිපත් කොට පින්පෙත් අනුමෝදන් කිරීම වඩාත් නිවැරැදියි. අපි සංසාරයේ ඔක්කෝම නැදෑයන්නේ දැයි කියමින් එසේ නම් ගොත් සිහිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි අදහස් පළකරන කෙනෙකුද අප සමාජයේ සිටිය හැකිය. එබඳු බොහෝ අය එසේ කරන තර්කයට පමණක් සීමාවන ඒවාවේ.

නිවැරැදි පිළිවෙත නොදන්නේ බොහෝ විට තමාගේ දුර්වලතාවය වසා ගැනීම පිණිස තර්කවාද ඉදිරිපත් කරන අවස්ථා වර්තමාන සමාජයේ වුණද සුලභව දැකිය හැකිය.

මිය පරලොව ගිය ඥාති වර්ගයා වෙනුවෙන් පින් පෙත් අනුමෝදන් කිරීමේ බුද්ධ දේශනාව නිසා බෞද්ධ අනුගාමික යන්ටද ඒ දේශනාවන් ශ්‍රී ලංකාවට අරගෙන ආවේ මිහිඳු මහ රහතන් වහන්සේ නිසාත්, එවකට පැවැති සංස්කෘතික සම්ප්‍රදායකට අනුගතව ශ්‍රී ලාංකේය ජන සම්පදායකට ද ලැබුණ උතුම් දායාදයකි. එම සංකල්පයෙහි අර්ථය වඩාත් හොදින් දැන හදුනාගෙන සිදුකිරීම තුළින් මෙලොව ජීවත්වන්නන්ගේ අර්ථ සුභසිද්ධිය සකස්කර ගැනීමට පහසුවෙයි. කෙනෙකුගෙන් පින් අනුමෝදන් වීමේ චේතනාවෙන් ඔහු අසලට එන්නේ ඔහුගේ සංසාරගත නැදෑයන් පමණි. නෑදෑයන් නොවන වෙනත් කිසිදු කෙනෙක් පින් අනුමෝදන් වීමේ අදහසින් නිවසට පැමිණෙන්නේ නැත. එනිසාම තමන් පින්කම කළේ නිවැරැදිව නම් මිය පරලොව ගිය ඥාතීන්ට එහිදීම පින් අනුමෝදන් කිරීම සිදුකළ යුතු දෙයකි. එම ක්‍රියාවෙන් යහපතක් මිස අවැඩක් ධර්මයට එකඟව සිදු නොවන බව පැහැදිළි කළ යුතුය.