Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 38 සීලව මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 38

සීලව මහරහතන් වහන්සේ

සඳුන්,තුවරලා, මානෙල්, දෑ සමන් ආදී මල් තිබෙනවා. ඒ මල්වලින් මිහිරි සුවඳ වෑහෙනවා. නමුත් සියලු සුවඳ අතරේ අනුත්තර වෙන්නේ ගුණවතුන්ගේ සිල් සුවඳයි. සඳුන්, තුවරලා ආදී මල්වල තිබෙන්නේ පොඩි සුවඳක්. සිල්වතුන්ගේ ගුණ සුවඳ කියන්නේ උතුම් එකක්. ඒ සුවඳ දෙවියන්ටත් දැනෙනවා’ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඒ උතුම් සිල්වත් ජීවිතය මේ අයුරින් වර්ණනා කොට වදාළා.

මේ ලෝකයේ සීලයෙන් අග්‍ර වූයේ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කොට ශ්‍රේෂ්ඨ වූ සීලවන්ත ජීවිත උතුම් රහතන් වහන්සේලා විසින් උපදවා ගත් සේක. ඒ උත්තම රහතුන් අතර වැඩ සිටි ‘සීලව‘ නම් උතුම් රහතන් වහන්සේගේ අපූරු ජීවිත කථාව ගැනයි අද අප සිත පහදවා ගන්නේ.

මේ මහා භද්‍ර කල්පයේ සතරවන මහාසෘෂි වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ සතුන් කෙරෙහි පතල කරුණා ඇතිව ලොව පහළ වී වදාළ සේක. එකල මගධේෂ්වර සේනිය බිම්බිසාර රජු මගධ මහා රාජධානියේ පාලකයා වුණා. සසරේ කළ පින් ඇති පුණ්‍යවන්ත කුමාරයෙක් බිම්බිසාර රජුගේ එක් මෙහෙසියකගේ කුසේ පිළිසිඳ ගත්තා. ඒ කුමාරයාගේ නම වුණේ ‘සීලව‘. ඒ වගේම බිම්බිසාර රජතුමාට තවත් පුත් කුමාරයෙක් සිටියා. ඔහු ‘අජාසත්ත’ කුමාරයා යි. මේ සහෝදර කුමාරවරු දෙදෙනා රජ සැප විඳිමින් සුවසේ හැදී වැඩුණා.

නමුත් තරුණ වියට එළඹුණු අජාසත්ත කුමාරයා පාපී මිතුරන්ගේ ඇසුරට වැටුණා. ඒ පවිටුන්ගේ ඇසුරින් අජාසත්තගේ සිත දුෂ්ඨ වුණා. අනාගත රජකම සීලව කුමරුට ලැබේවි යන බියෙන් ඔහුව ඝාතනය කිරීමට අජාසත්ත කුමාරයා නොයෙකුත් උපායන් යෙදුවා. නමුත් සසරේ කළ පින් බලයෙන් ඒ උපක්‍රම සියල්ල අසාර්ථක වුණා. අවසානයේ අජාසත්ත ඉතාමත් දරුණු දමනය නොවූ ඇතෙකු ගෙන්වා ඒ මහා හස්තියාගේ පිට මතට නගින්න යැයි සීලව කුමාරයාට පැවසුවා. මේ කිසිත් නොදත් සීලව කුමාරයා හස්තියා පිටට ගොඩ වුණා. දරුණු සිත් ඇති අජාසත්ත කුමරු ඒ මහා හස්තියාව කුලප්පු කෙරෙව්වා. දැන් ඒ හස්තියා ඉතාම වේගයෙන් දුවනවා. මහා ගස් පෙරලනවා. තාප්ප කඩනවා. නමුත් පින් බලය නිසාම සීලව කුමාරයා හස්තියාගේ පිට මතම සිටියා. බිම වැටුණේ නැහැ.

කරුණාවෙන් සිසිල් වී ගිය සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල දිවැසින් දුටුවා. සීලව කුමාරයා මේ ජීවිතයේම නිවන් අවබෝධයට තරම් මහා පින්වන්තයෙකු බව දුටු භාග්‍යවතුන් වහන්සේ මහා මොග්ගල්ලාන මහ රහතන්වහන්සේව අමතා වදාළා ‘පින්වත් මොග්ගල්ලාන, අර සීලව කුමරුට අනතුරක් වීමට මත්තෙන් රැගෙන එන්න’ කියා. මහ සෘර්ධිමත් වූ මුගලන් මහරහතන් වහන්සේ හස්තිරාජායාත් සමඟින්ම සීලව කුමරු භාග්‍යවතුන් වහන්සේ සමීපයට රැගෙන ආවා. මහා කාරුණික බුදු සමිඳාණන් දුටු පමණින් ම කිපුණු සිත් ඇති හස්තියා දමනය වුණා. සීලව කුමාරයා ඇතු පිටින් බැස භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. ඒ මොහොත් සීලව කුමරු අරමුණු කරමින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසා වදාළා. ඒ ධර්මයෙන් හටගත්තා වූ ශ්‍රද්ධාවෙන් සීලව කුමරු ගිහි ජීවිතය අතහැර බුදු සසුනේ උතුම් වූ පැවිදි උපසම්පදාව ලබා ගත්තා.

ඉතාමත් හොඳින් ධර්ම විනය හැදැරූ සීලව ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගෙන පිරිසෙන් වෙන්ව හුදෙකලාවේ ම වනයේ වැඩ වාසය කළා. එකට කෙළිසෙල්ලම් කරමින් සිටි සහෝදරයා පවා කාමය නම් වූ මහා සැඬ සුළියෙන් කැලැඹී ගිය සිතින් තමන්ව ඝාතනය කිරීමට පැමිණුනා. මේ කාමයන් කියන්නේ දුක් සහිත දෙයක්. සහෝදරයා පවා විශ්වාස කළ නොහැකි වූ මේ සසර අතිශයින්ම භයානක වූ දෙයක්. කාමයට වසග වී දුක් විඳින සසර ගමනක පිවිතුරු නිර්මල ජීවිතයක් උපදවා ගැනීමට මඟ කියාදෙන මේ ශ්‍රී සද්ධර්මය නම් ආශ්චර්යවත් එකක්. ඉතින් ඒ සීලව ස්වාමින්වහන්සේ උතුම් නිවන් මඟ වීර්යෙන් දියුණු කළා. සීල, සමාධි, ප්‍රඥා ප්‍රගුණ කළා. නොබෝ දිනකින්ම උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

අරහත්වයට පත් වූ සීලව මහරහතන් වහන්සේ කොසොල් ජනපදයේ වාසය කරන බව දැන අජාසත්ත උන්වහන්සේව ඝාතනය කිරීමට රාජපුරුෂයන්ව යොමු කළා. ඒ පැමිණි රාජපුරුෂයෝ සීලව රහතන් වහන්සේගේ නිවී ගිය ජීවිතයට පැහැදී දහම් අසා පැවිදිි වුණා. ඒ පැවිදි වූ භික්ෂූන් පිරිස අමතා උන්වහන්සේ සිල්වත් ජීවිතයේ වටිනාකම පහදාදෙමින් මේ ගාථාවන් ප්‍රකාශ කොට වදාළා.

සීල මේ‍ෙඨිව සික්ඛේථ – අස්ම්ං ලෝකේ සුසික්ඛිතං
සීලං හි සබ්බ සම්පත්තිං - උපනාමේති සේවිතං

මේ බුදු සසුනේ පුහුණු කරන්නට ඕනෑ සීලයම යි. මේ ජීවිතයේදී හොඳින් රැකගත්තොත් සියලු සම්පත් ලැබෙනවා.

සීලං රක්ඛේථ මේධාවී – පත්ථයානෝ තයෝ සුඛේ
පසංසං විත්තිලාභඤ්ච - පෙච්ච සග්ගේ ච මෝදනං

නුවණ තියෙන කෙනා සිල් රකින්නට ඕනෑ. සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රසංශාව, ධන ලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටුවීම.

සීලවා හි බහුමිත්තේ - සඤ්ඤා මේනාධිගච්ඡති
දුස්සීලෝ පන මිත්තේහි – ධංසතේ පාපමාචරං

සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා ඔහුට ගොඩාක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුස්සීල පුද්ගලයා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා.

අවණ්ණඤ් ච අකිත්තිඤ් ච – දුස්සීලෝ ලභතේ නරෝ
වණ්ණ කිත්තිං පසංසඤ්ච - සදා ලභති සීලවා

දුස්සීල පුද්ගලයා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් පුද්ගලයා නිතරම ගුණ කථාවත්, ප්‍රශංසාවත් ලබනවා.

ආදී සීලං පතිට්ඨා ච - කල්‍යාණානඤ් ච මාතුකං
පමුචං සබ්බධම්මානං - තස්මා සීලං විසෝධයේ

මුලින්ම පිහිට වෙන්නේ සීලය යි. සීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්මා කෙනෙක් වගේ් දෙයක්. සියලු ගුණධර්මවල ප්‍රමුඛයා සීලය යි. එනිසා සීලය පිරිසුදුව තබාගන්නට ඕන.

වේලා ච සංවරෝ සීලං - චිත්තස්ස අභිභාසනං
තිත්ථං ච සබ්බබුද්ධානං - තස්මා සීලං විසෝධයේ

සිත මහමුහුද නම් සීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබාදෙන සීලය හැම බුදුවරුන්ගේම පුන්‍ය තීර්ථය යි. ඒ නිසා සීලය පිරිසුදුව තිබෙන්නට ඕන.

සීලං බලං අප්පට්මං - සීලං අවුධමුත්තමං
සීලං ආභරණං සෙට්ඨං - සීලං කවච ම බ්තූ®තං

සීලය කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අද්භූත ඇඳුමක්.

සීලං සේතු මහේසක්ඛෝ - සීලං ගන්ධෝ අනුත්තරෝ
සීලං විලේපනං සෙට්ඨං - යේන වාති දිසෝදිසං

සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක් ඇති උතුම් සුවඳක්. දස දිසාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ සීලයට යි.

සීලං සම්බලවේවග්ගං - සීලං පාපෙථය්‍යමුත්තමං
සීලං සෙට්ඨෝ අතිවාහෝ - යේන යාති දිසෝදිසං

සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනක හොඳ වියදමක්. දස දිසාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්.

ඉධේව නින්දං ලභති - පෙච්චාපායේ ච දුම්මනෝ
සබ්බත්ථ දුම්මනෝ බාලෝ - සීලේසු අසමාහිතෝ

ජීවිතය නපුරු කර ගත්තොත් මේ ජීවිතයේදීම නින්දා ලැබෙනවා. පරලොවදීත් අපායේ ඉපදිලා දුක් විඳින්නට සිදුවෙනවා. සීලයක් නැති, එකඟ වූ සිතක් නැති අඤාණ තැනැත්තා හැම තනකදීම දුකට ගොදුරු වෙනවා.

ඉධේව ඛිත්තිං ලභති - පෙච්ච සග්ගේ ච සුම්මනෝ
සබ්බත්ථ සුමනෝ ධීරෝ - සීලේසු සුසමාහිතෝ

ජීවිතය යහපත් කරගත්තොත් මේ ජීවිතයේදී ම කීර්තිය ලැබෙනවා. පරලොව දී සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. සිල් රැකලා සිත එකග කරගෙන නුවණ ලබාගත් පුද්ගලයා හැම තැනකදීම සතුටු වෙනවා.

සීලමේ ව ඉධ අග්ගං - පඤ්ඤවා පන උත්තමෝ
මනුස්සේසු ච දේවේසු - සීල පඤ්ඤානතෝ ජයං

මේ ශාසනයේ සීලය අග්‍ර දෙයක්. නමුත් උතුම්ම දෙය ප්‍රඥාව යි. මිනිසුන් අතරත් දෙවියන් අතරත් සීලයත් ප්‍රඥාවත් යන දෙකෙන් ජය ලබන්නට පුළුවන්.

සිල්වත්භාවයේ ප්‍රතිමූර්තියක් බඳු උදාර රහතුන්ගේ මේ සොඳුරු දහම් අර්ථ කෙතරම් විශ්මිත ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ (සීලං යාව ජරා සාධු) වයසට යනතාක්ම සිල් රැකීම යහපත් බවයි. ඒ අවවාදයේ පිහිටි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසම දිවි දෙවැනි කොට සිල් පද ආරක්ෂා කළා. පහාරාද අසුරේන්ද්‍රයා සමඟ ඇති වූ සාකච්ඡාවකදී ශ්‍රාවකයාගේ සීලය ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. ‘පින්වත් පහාරාද, සයුර වෙරළ ඉක්මවා නො යන්නේ යම්සේ ද, මාගේ ශ්‍රාවකයෝ ද ජීවිතය නිසාවත් සිල්පද ඉක්මවා නො යයි. ඔය කරුණ දකින්නා වූ ශ්‍රාවකයා බුදු සසුනට ආදරය කරයි’.

අපත් ඒ සීලයෙන් අග්‍ර වූ බුදුරජුන් ගැනත්, සිල්වත් බව ගැන පෙන්වා දෙන ශ්‍රී සද්ධර්මය ගැනත්, සිල්වත් ජීවිතය ගත කරන ශ්‍රාවක සඟරුවන ගැනත්, සිත පහදවා ගනිමු. අප ලද දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ සිල්වත් වී සොඳුරු ජීවිතයක් උපදවා ගැනීමට මහන්සි වෙමු.

පසුගිය සතියේ පළ වූ සුභද්‍ර මහරහතන් වහන්සේ ලිපියෙහි ‘විසිනව‘ වැනි වෙනුවට විසිවන ද, ‘ඒකූනතිංසෝ’ වෙනුවට ඒකූනනිංසෝ ලෙසද පළවී ඇත්තේ මුද්‍රණ දෝෂයකිනි.

නයනා නිල්මිණි


ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අවසාන අරහත් භික්ෂුව සුභද්‍ර මහ රහතන් වහන්සේ