Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 33 නො ලියවුණු පොතේ පිටු පන් දහසකි

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 33

නො ලියවුණු පොතේ පිටු පන් දහසකි

චන්දවිමල මහා නා හිමියන්ගේ පශ්චිම යුගය සුවිශේෂී වූ සන්සිද්ධීන් දාමය නිසා විශේෂත්වයට පත් විය. උන්වහන්සේගේ දිවි මඟ දෙස ආපසු හැරී බැලුවහොත් එය සියක් වසක ඉතා සාර්ථක ජීවන ගමන් මඟක් එළි පෙහෙළි කළ ආලෝක ප්‍රභවයක් සේය.

සියලු පින් දහම් කරමින් කුසල් වඩමින් යථාර්ථය දකිනා සැබෑ බෞද්ධයන් අපේක්‍ෂා කරන්නේ මේ සංසාර චක්‍රයේ බ්‍රමණය නවතා අවසානයේ නිර්වාණාවබෝධය ලබා ගැනීමේ පරම පවිත්‍ර චේතනාව සාර්ථක වනවා දැකීමය.

බණට දහමට වඩින භික්‍ෂූන් වහන්සේ ධර්ම දේශනාව අවසානයේ මෙන්ම පිනක් දහමක් සඳහා වෙහෙර විහාරයකට යනෙන සද්ධාවන්තයෝ අවසානයේ මෙසේ ප්‍රාර්ථනා කරති. ‘චතුරාර්ය සත්‍යාවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා.’

එසේනම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත යුතු වෙයි.

එය ධර්ම දේශනය අවසානයේ හෝ මලක් පහනක් පුදා කෙරෙන ප්‍රාර්ථනය තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව අපි හොඳින් දනිමු. අතොරක් නොමැති සසර කතරේ දුකම කරපින්නාගෙන අතිශය දුෂ්කර මගෙක අපි සැමට ගමන් කරන්නට සිදුව ඇත්තේ ඒ නිසා ය.

රේරුකානේ මාහිමිපාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පොත ලියුවේ නිසි අවබෝධයකිනි.

එය ඒ විෂය පිළිබඳව ලියැවුණු උසස් කෘතියක් බව ප්‍රමාණික වියතුන්ගේ ද අදහසයි.

උන්වහන්සේ චතුරාර්ය සත්‍යය පොත ලියා ඵලකරන්නේ 1947 වසරේදීය. ඒ වන විට රේරුකානේ මහා නා හිමියන්ගේ වයස අවුරුදු 50ක් පමණ වෙයි.

1992 – 07 – 05 වැනි දින උදේ මහා නා හිමියෝ ධම්මානන්ද හිමියන් සමඟ පවසන්නේ මෙසේ ය.

“ධම්මානන්ද ඊයේ රාත්‍රියේ මට දුක්‍ඛ සත්‍යය ගැන අවබෝධ වෙච්ච කාරණා පොතක් වශයෙන් ලීවොත් එක පිටු පන් දහසක් විතර වේවි. එහෙම ලිව්වොත් මං කලින් ලියා තිබෙන ‘චතුරාර්ය සත්‍ය’ කියන පොත මොකක්ද කියල ඔය ඇත්තන්ට හිතෙන්න පුළුවන්”

මෙම වදන් පෙළ වඩාත් හොඳීන් විමසුවහොත් මෙය එසේ මෙසේ නොවන අසාමාන්‍ය ප්‍රකාශයක් බව හැඟීයනු නියතය. එය පවසන දිනය වන විට මහා නා හිමිපාණන් වහන්සේගේ වයස අවුරුදු 94 ක් පමණ වන ඉතා වියපත් වියේ පසු වූහ.

උන්වහන්සේ වයස අවුරුදු 50 දී තේරුම් ගත් සත්‍ය හතර තවත් වසර 45 ක් ගත වූ තැනදී දැනෙන්නේ වඩාත් පුළුල් ආකාරයට බව ඉහත ප්‍රකාශයෙන් සනාථ වෙයි. එය මහත් ඥානාවබෝධයකින් ප්‍රඥා ලෝකය විහිදුවාලූ සුවිශේෂ අවස්ථාවක් වූවා විය හැකි ය. මේ වකවානුව වන විට මහා නාහිමියන් එය අවබෝධකර ගත්තේ වඩ වඩාත් පොත් පත් පරිශීලනය කිරීමෙන් ලබාගත් න්‍යායික දැනුම වර්ධනය කර ගැනීමකින් නොවුණා විය හැකිය.

උන්වහන්සේ වයස අවු. 94ක් පමණ වන විට දෑසම නොපෙනෙන තත්ත්වයක සිටීම එයට හේතුවයි. ඒ කාලය මහා නා හිමියන් ගත කළේ භාවනානුයෝගීවමය. එසේ නම් ඒ වකවානුව වන විට උන්වහන්සේ එවන් ප්‍රකාශය කළේ ප්‍රඥාවබෝධයෙන් බව අපට සිතිය හැකිය. ඒ නිසාම මේ ධර්මයේ පද නමසේ වූ මේ සත්‍ය හතර මහා නා හිමිපාණන් වහන්සේ තම අධ්‍යාත්මය පෝෂණය කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මනා සේ පසක් කර ගත්තේ ද?

වයස අවුරුදු 50 දී පමණ එනම් එයට වසර 44 කට පමණ පෙර මහා නා හිමියන් ලියූ ‘චතුරාර්ය සත්‍ය’ පොත පිටු 176 කට පමණ සීමාවෙයි.

ලේඛන කාර්යයේ නියැළෙන්නට නොහැකි අවු. 94 වැනි වියේ දී උන්වහන්සේට දැනෙන දුක්ඛ සත්‍ය පිළිබඳව පිටු 5000ක් පමණ වන පොතක් ලියන්නට හැකි බව පැවසීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ මේ වන විට අවබෝධ කර ගත් සත්‍යයේ ස්වාභාවය කොතරම් නම් පුළුල් පරාසයක විහිදී පැතිරී ගිය බවක් නොවන්නේ ද? බුදු දහමේ පදනම ගොඩනැඟී ඇත්තේ මෙම සත්‍ය 4 මතය.

චතුරාර්ය සත්‍ය නම් වූ ධර්ම පුස්තකයෙන්ම ඒ පිළිබඳව අදහස ගෙන හැර දැක්විය හැකි වෙයි.

“චතු සච්චං පකා සෙත්වා
පතිට්ඨ පෙත්වා සංසාරා යො බහුජ්ජනෝ
තං ලෝක නාථං සුගතං ධම්මඤ්ච තෙන දෙසිතං
සංඝඤ්ච ඔරසං තස්ස අභිවන්දාමි සාදරං “

“සකලඥෙය පරාගත වූ මහා කාරුණික වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධරාජාණන් වහන්සේ චතුරය සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් වූ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉතා දුකසේ දානාදී සමතිස් පෙරුම්දම් පුරා පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රතිවේධ කොට පස් මරුන් පරදා සර්වඥත්වයට පැමිණ වදාළේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නො කළ නිසාම ඉතා දීර්ඝ කාලයක් පටන් නැවත නැවතත් ජාති, ජරා, ව්‍යාධි, මරණ ශෝක පරිදේවාදී දුක්ඛයන්ට හා නරක තය්‍ය¡ක් ප්‍රේත, අසුරකාය යන සතර අපායෙහි වූ ඝෝර කටුක භයංකර දුක්ඛයන්ටත් අසුවෙමින් කිසි පිහිටක් නොමැතිව සංසාරයෙහි ඔබ මොබ පාවෙමින් සිටින සත්ත්ව සමූහයාට ඉන් මිදී අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත උත්තම භූමියට පැමිණෙනු සඳහා චතුරාර්ය සත්‍යය ධර්මය ප්‍රකාශ කරනු පිණිසය.”

මෙහි අදහස ලගුකොට පවසන්නේ නම් බුදු කෙනෙකුන් ලොවට ජනිත වන්නේ දුකෙන් පීඩා විඳින දනන් ඉන් මුදා නිවන් මඟ පෙන්වාදීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර දෙනු පිණිසය. එසේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට නො හැකි බවත් බුදුකෙනෙකුන් උපදින්නේ ඒ පරම සත්‍යය ලෝකයාට පහදා දීමට බවත් ය.

ඒ නයින් බලන කල මේ යුගයේ පහළ වූ විශිෂ්ට මහා සංඝ පීතෘ වහන්සේ නමක් ලෙස කීර්තියට පත් වූ රේරුකානේ චන්ද විමල මහා නා හිමියන් 1992 ජූලි මාසයේ 7 වැනි දින රාත්‍රිය සමවත් සුවයෙන් ගත කර 8 වැනි දිනට හිරු පහන් වන විට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වූ සත්‍ය හතර ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගත්තේ ද?

මහා නා හිමියන්ගේ ශත වර්ෂාධික ජීවන පුවත කියැවීමේදී ඉහත ප්‍රකාශයට වඩාත් අවධාරණයෙන් සිත් යොමු කිරීම විශේෂිත වෙයි. ඒ අනුව මහා නා හිමියන් වහන්සේ මේ දුක්ඛ සංසාර සාගරය තරණය කරමින් සදාතනික සුව ඇති විමුක්තියේ ක්‍ෂේම භූමිය වෙතට සපැමිණියා දැයි සිතා බැලීම බුද්ධිමත් ඔබට බාර කරමි.

උන්වහන්සේ මෙම ප්‍රකාශය කරන්නේ වසර 94 ක් තිස්සේ ජාති ජරා මරණ, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් පිරුණු භව මගේ එක් සන්ධිස්ථානයකදී, එ ව්‍යාධීන් සමනය කිරීම සඳහා අධ්‍යාත්මය කළ සටනෙන් ලද ජයග්‍රාහී උද්දාමයකින් වූවා විය හැකිය. එහෙත් එය පැවසීමට ශබ්ද විකාශන පාවිච්චි කළේ නැත. මේ මහා සංග්‍රාමයේ ජයග්‍රහණය පිළිබඳව පුවත්පත් සඳහා ප්‍රකාශ නිකුත් කිරීමකින් ලෝකයට දැන්වීමට ද නොවෙයි. එය ප්‍රකාශ කරන්නේ තමාට වසර ගණනාවක් සිට ඇප උපස්ථාන කරමින් උන්වහන්සේ සමීපයේ වැඩ සිටි ධම්මානන්ද හිමියන්ට පමණක් දැන ගැනීම උදෙසා ය. පන්සලේ ඝන්ඨාරය නාද කරහෝ අඩු තරමේ ගමටවත් පවසන්නට හෝ පන්සලේ වැඩ සිටින අනෙකුත් ගෝල බාල භික්‍ෂූන් වහන්සේලාටවත් මේ බව දැනුම් දෙන්නට යැයි උන්වහන්සේ කිසි විටෙකවත් විදාන දුන්නේ ද නැත.

ධම්මානන්ද හිමියන් දින වකවානු සහිතව ඒ බව සටහන් කර නොතිබුණේ නම් එය අදත් කිසිවකුත් නොදන්නා රහසක් වශයෙන් පවතිනු ඇත. ජීවිතයේ යම් ඵලයක් ලද්දේ නම් එවන් උත්තමයන් එය වින්දනය කරන්නේ හුදෙකලා සුවයෙනි. ලොවට ඇසෙන්නට අඬහැර පාන්නේ නැත. අඬබෙර ගසන්නේ ද නැත.

නමුත් රේරුකානේ මහා නා හිමියන් ධම්මානන්ද හිමියන් සමඟ කළ ප්‍රකාශයන්හි විශේෂත්වය නිසාම ඒවා වසර මාස දින සහිතව සටහන් කර තැබීමට ධම්මානන්ද හිමියෝ උත්සුක වූහ. අධ්‍යාත්මීය පාරිශුද්ධ තාවයට පත් විශිෂ්ට පුද්ගලයන් තමා ලද අධ්‍යාත්මික ජයග්‍රහණයන් ලෝකයට හඬ ගා පවසන්නට පෙළඹෙන්නේ නැත. එම සිදුවීම් දිනපොත් වල සටහන් කර තැබීම ඔවුන්ට අවශ්‍ය නොවේ.

නමුත් වෙනත් බුද්ධිමත් කෙනෙකුට තවත් කෙනෙකුගේ සුවිශේෂී තා දකින්නට හැකිවන්නේ නම් මෙන්ම එවන් සුවිශේෂී සිදුවීම් දින වකවානු සහිතව සටහන් තැබීමට යුහුසුළු වෙන්නේ නම් මෙවන් නොමියන මිනිසුන්ගේ වටිනාකම මතු පරපුරටත් කියැවීමේ භාග්‍ය උදාවනු ඇත.

එවන් විශිෂ්ටයන්ගේ ජීවිත පොත පෙරළා බලමින් උද්දාමයට පත්වනවා වෙනුවට අප කළ යුත්තේ ඒ පරමාදර්ශී ජීවිත තුළින් වහනය වන සුවඳින් අංශු මාත්‍රයක් හෝ අපගේ ජීවිත තුළට ද සකසා ගනිමින් අපගේ දිවි මඟ ද ධර්මානුකූල ප්‍රතිපදා මත යහපත් ලෙස සාර්ථකත්වය වෙත රැගෙන යාමට උත්සාහ දැරීමය.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 32 “පොතක් වශයෙන් ලිව්වොත් පිටු පන්දාහක් විතර වෙයි”