Print this Article


ප්‍රාර්ථනය සහ අරමුණ විය යුත්තේ කුමක්ද?

ප්‍රාර්ථනය සහ අරමුණ විය යුත්තේ කුමක්ද?

ලෝක ස්වභාවයන් අතර තිබෙන්නා වූ ඉතාමත්ම සුවිශේෂම කාරණාවක් ලෙස මරණය දැක්විය හැකියි. ජාති, ජරා, මරණ වලින් නිදහස් වීීම පිළිබඳව බුදුදහමේ උගන්වන අතර, එයිනුත් මරණයට විශේෂ ස්ථානයක් හිමිවේ. මරණය නිතරම මෙනෙහි කරමින් මරණාසුස්සති භාවනාව නිතර නිතර වැඩිය යුතුය. ලෝක ස්වභාවය අමතක කර ජීවත්වීමේ ක්‍රමයක් බුදුදහමේ නොතිබෙන අතර ලෝකයේ සැබෑ ස්වභාවය පිළිබඳව දැනගෙන හොඳ සිහිකල්පනාවෙන් යුතුව ජීවත්වීම ඉගැන්වේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන හතරෙන් කිසිවෙකුටවත් නිදහස් විය නොහැකිය . එනිසාම මෙම තත්වය නිතරම අමතක නොකර නිතර නිතර සිහිපත් කළ යුතුයි. මරණානුස්සතිය වැඩීම තුළින් ඒ සඳහා මුහුණ දීමේ හැකියාව ලැබෙයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, යන සතර පිළිබඳව පළවන ධර්ම දේශනාවේදීම බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. චතුරාර්ය සත්‍යය තුළද ‘දුක්ඛ’ යනුවෙන් අදහස් කරනු ලැබුවේත් ජාති,ජරා, ව්‍යාධි, මරණ පිළිබඳවයි. බුදුපියාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේදී දේශනා කරනු ලැබුවේත් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක ඇතිවීම සඳහා බලපාන හේතුවයි. ඒ අනුව

අවිජ්ජා පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාමරූපං
නාමරූප පච්චයා සළායතනං
සළාතන පච්චයා පස්ස
පස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා, මරණ,ශෝක, පරිදේව දුක්ඛ දෝමනස්ස

ජාති,ජරා,මරණ, ව්‍යාධි සඳහා බලපාන ප්‍රධාන හේතුව තණ්හාව ලෙස බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මරණය ඇතුළු සියලුම දුක්ඛයට හේතුව තණ්හාවයි. තණ්හාව නැතිකිරීමෙන් දුකෙන් නිදහස් විය හැකි අතරම තණ්හාව නැති කිරීම සඳහා ඇති එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාවයි.

“මරණ” කියන සංකල්පය බුදු දහමේ කේන්ද්‍රිය ඉගැන්වීමකි. මෙම තත්වය මිනිසකුට බැලීමට නොහැකි වීම මෙහි පවතින ප්‍රධාන ගැටලුවයි. තවත් පුද්ගලයකු මරණයට පත්වීම දැකිය හැකි වුවද ,මෙය තේරුම් ගැනීම අපහසුය. සෑම පුද්ගලයකුගේම බලාපොරොත්තුව වැඩි කාලයක් ජීවත්වීමයි. ඒ නිසාම මිනිසකුගේ ප්‍රධාන බලාපොරොත්තු හතරක් දක්නට ලැබෙයි. සුඛ කාම - සැප විඳින්න කැමතියි

දුක්ඛ පටික්කූල – දුක් විදින්න අකැමැතියි
ජීවිතභානෝ – ජීවත්වෙන්න කැමැතියි
අමරිතු භානෝ – මැරෙන්න අකැමැතියි
මෙම කාරණා සතර මත ජීවිතය ගමන් කරනු ලබයි

මිනිසකු සැම මොහොතකම මරණය අමතක කිරීමට කැමතියි. සමාජයේ විවිධ තරාතිරම්වල විවිධ වයස් මට්ටම් අනුව ජීවත්වන්නවුන්ට මරණය පිළිබඳව හැඟීමක් දැනෙන්නේ වයසට යාම හෙවත් අවුරුදු හැට හැත්තෑව ලංවන අවධියේදීයි. තණ්හාව අපට නොපෙනෙන දෙයක් නිසාම, එහි ඇති භයානක කුරිරු ස්වභාවය පෙන්වීම සඳහා චිත්‍ර ශිල්පීන් චිත්‍ර අඳීනු ලැබුවා. මරණය පිළිබඳව මාරයෙක් ලෙස රූපයෙන් චිත්‍රනය කරනු ලැබුවා. දත් දිග මහා භයානක රූපයක් ලෙස අඳීනු ලැබුවා. පන්සලට ගිය විට අම්මාට වුවත් පුංචි දරුවකුට එම චිත්‍ර පෙන්වීමෙන් මාරයා පිළිබඳ සංකල්පයක් ගොඩනගා ගැනීමට තේරුම් කර දිය හැකියි.මරණය යන සංකල්පය මාරයෙක් හැටියට නිරූපණය කිරීම එක අවස්ථාවකි. කෝසල සංයුත්තයේ කොසොල් රජතුමා බුදුපියාණන් වහන්සේ සමඟ කරන ලද සංවාදයකදී එක් අවස්ථාවක මෙම තොරතුරු සඳහන්ව ඇත. බුදුහාමුදුරුවනේ,මේ මගේ මාලිගාව දෙස බලන්න. මෙවැනි මාලිගාවක් තියෙන්නේ වෙන කාටද? වෙන කාටවත් නැහැ. මගේ දෙවියන් වහන්සේ වුවත්, රූපවත්ත, කුලවත්, ගුණවන්ත දේවියක්. වෙන කාටවත්ම එවැනි දේවීන් වහන්සේ කෙනෙක් නැහැ.

මගේ හමුදාව වුවත්, ලෝකයේ ඕනෑම ස්ථානයකට ගොස් සටන් කළ හැකි ශක්තියක් තිබෙනවා. මගේ රටවැසියන් මට ආදරය දක්වන තරම් වෙන කාටවත් එවැනි ආදරයක් ගෞරවයක් නැහැ. මගේ භාණ්ඩාගාරයේ වුවත් සල්ලි, රන්,රිදී , මිළ මුදල්, මුතුමැණික්වලින් පිරිලා තියෙන්නේ. වෙන කාටවත් එහෙම නැහැ.

බුදුහාමුදුරුවනේ,

මට වෙන මොනවාද වුවමනා වෙන්නේ යනුවෙන් බුදුපියාණන් වහන්සේගෙන් විචාරා ඇත. අප වුවත් රැකියාවක් කරමින් ගෙයක් දොරක්, හදාගෙන විවාහයක් කර දරුමල්ලන් ලැබූ ආරථිකය දියුණු කරගත් විට සිතනු ලබන්නේ එවැනි ආකාරයටමය. මෙම රජතුමාත් එලෙසම සිතයි. නමුත් බුදුපියාණන් වහන්සේ රජතුමාගේ ප්‍රශ්න සඳහා රජුගෙන්ම පිළිතුරු ලබාගත්තේය. ඔබතුමා ඔය සියලුම සම්පත් පිරිවරාගෙන සිංහාසනයේ වාඩිවෙලා සිටින විට මිනිස්සු හතර දෙනකු දිශා හතර පැත්තෙන් පැමිණ විශාල කළු ගල්පර්වත හතරක් ගම් නියම් ගම් සියල්ල විනාශ කරගෙන මේ පැත්තට එනවා කියා ප්‍රකාශ කළහොත්, ඔය මාළිගාවෙන් එම වේලාවට වැඩක් තිබෙනවාද? එයින් කිසිදු වැඩක් නැති බවට රජු ප්‍රකාශ කරනු ලැබූ පසුව දේවියගෙනුත්, හමුදාවගෙනුත්, මිළ මුදල් වස්තු සම්භාරයෙනුත් උපදේශක මණ්ඩලයෙනුත්, කිසිදු ප්‍රයෝජනයක් නැති බව රජතුමා ප්‍රකාශ කරනු ලබයි. බුදුපියාණන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි, මරණ යන කාරණා කළුගල් හතරට උපමා කරනු ලැබීය. මෙවැනි අවස්ථාවට පිහිට පැමිණෙන්නේ කළ හොඳක් මිස වෙන කිසිවක් පිහිට නොවන බව රජතුමාගේ පිළිතුරු විය. මෙම සංකල්ප පිළිබඳ බෞද්ධ අදහසද එයම වෙයි. ජාති, ජරා, ව්‍යාධී, මරණ හැම විටම අප පසුපස නිතරම හබාගෙන එයි. මෙම තත්ත්වයේ ඇති භයානක බව අප සමාජයට බොහෝ සෙයින් ප්‍රබල ලෙස කාවද්දවා ඇත.

ඉතිරි කොටස මැයි 21 වන දා පත්‍රයේ පළවේ

සටහන - හේමමාලා රන්දුනු