Print this Article


පර්යාප්ති ශාසනය

ශාක්‍ය මුනීන්ද්‍ර තථාගත සම්මා සම්බුදුරදුන් ගේ පහළවීමෙන් පසුව ඇති වූ දහම සම්බුදු දහම නමින් හඳුන්වනු ලැබේ. එම දහම් මගට අනුව පැවැත්ම සම්බුදු සසුන යනුවෙන් නම් කරනු සිරිත වේ. එහි ත්‍රිවිධ වූ අංගයක් ඇත. ඒවා පිළිවෙලින් මෙසේය. 1.පරියත්ති ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ යනුවෙනි. බොහෝ විට මේවා හඳුන්වනු ලබන්නේ පර්යාප්ති ශාසනය , ‘ප්‍රතිපත්ති ශාසනය හා ප්‍රතිවේධ ශාසනය’ යනුවෙනි. මෙම ත්‍රිවිධ වූ ම ශාසනයන්ගෙන් තොරව සම්බුදු සසුන පැවැත්මක් නැත. එසේම එක් අංගයක් ම අනෙක් අංග දෙකට උපකාරවත් ද වේ. මේ නිසාම ත්‍රිවිධ වූ ශාසනය ම එකසේ දීප්තිමත්ව බබළන කල්හි “තථාගත සම්බුදු සසුන “ තුන්ලොව පුරා බැබළීමට පත්වෙයි. මෙම ලිපියෙන් අපේක්‍ෂා කරනුයේ එම පරියත්ති ශාසනය පිළිබඳව කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කිරීමට පමණෙකි.

පර්යාප්ති ශාසනය

මෙය ත්‍රිවිධ වේ. “සූත්‍ර විනය හා අභිධර්ම” යනුවෙනි. මේ අනුව සූත්‍ර පිටකාගත ග්‍රන්ථ හඳුන්වන්නේ මෙසේය. සූත්‍රපිටකය 1. දීඝ නිකාය 2. මජ්ක්‍ධිම නිකාය 3. සංයුත්ත නිකාය 4. අංගුත්තර නිකාය හා 5. ඛුද්දක නිකාය යනුවෙනි (නිකාය යන පොදු නාම පදයෙන් එක් රැස්වීම , එකතු කිරීම සංග්‍රහ කිරීම, එකතුව ආදි අරුත් නිරූපණය වේ)

සූත්‍ර නිකාය

නිකාය ග්‍රන්ථ පන්සාලිස් වසක් පමණ වූ ශාක්‍ය මහා මුනීද්‍රයන් වහන්සේ ජීවත්ව සිටි කාලය තුළ ඒ ඒ තැන්හි දී වදාරණ ලද දීර්ඝතම සූත්‍ර දේශනා තිස් හතර (34) දීඝ නිකාය වශයෙන් හඳුන්වනු ලැබේ. මේවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනකට වෙන්කොට ඇත. 1.සීලක්ඛන්ධ වග්ගය 2. මහා වග්ගය හා 3. පාඨිය වග්ගය ද යනුවෙනි. ප්‍රථම ධර්ම සංගායනාවේදි මෙම වර්ග කිරීම් සිදුකොට ඇත. එදින මේ සඳහා සහභාගි වූ සියලු දෙනා වහන්සේලා ම මෙම තුන් පිටකය ම වන පොත් කොට ගෙන සිටියහයි අපේ ධර්ම සාහිත්‍යයෙහි සඳහන් වේ. සෙසු පිටක ග්‍රන්ථවල නොමැති සමහර ධර්ම සාහිත්‍යයෙහි සඳහන් වේ. සෙසු පිටක ග්‍රන්ථ වල නොමැති සමහර ධර්ම කරුණු දීඝ නිකායෙහි ඇතුළත්ව ඇත. මහා සතිපට්ඨාන සූත්‍රය දීඝ නිකායෙහි සවිස්තරාත්මකව දැක්වීම සුවිශේෂ ලක්‍ෂණයකි. සමථ භාවනා වඩමින් අභිඤ්ඤාලාභී වන භික්‍ෂූන් වහන්සේලා විසින් උපදවා ගනු ලබන සුවිශේෂ ඥාන සූත්‍රවල සඳහන්ව ඇත. ‘මනෝම ඉද්ධි” යනුවෙන්ද පසුකාලීනව හැඳින්වෙන මනෝකාය නිර්මාණය පිළිබඳ විස්තර කථා ද හමුවන්නේද මෙහිදීය. මහා පරිනිර්වාණ සූත්‍රයද මහා සිහනාද සූත්‍රයද මෙහි ඇති විශේෂ දේශනා දෙකකි. ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසු මෙම පිටකාගත ග්‍රන්ථ කට පාඩමෙන් සුරක්‍ෂිතව රැකගෙන යාමට පවරාදෙනු ලබන්නේ අග්‍ර උපස්ථායක ආනන්ද මහ රහතුන් වහන්සේට හා උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසටය.

මජ්ඣිම නිකාය

මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර එකසිය පනස් දෙකක (152) එකතුවකින් මෙම පිටකය සමන්විත වේ. එහි ද කොටස් තුනකි. 1. මූල පණ්ණාසකය 2.මජ්ක්‍ධිම පණ්ණාසකය හා 3. උපරි පණ්ණාසකය ද යනුවෙනි. පළමු පණ්ණාසකය දෙකෙහි සූත්‍ර 100 කි. තෙවන්නෙහි සූත්‍ර 52 කි. සිද්ධාර්ථ ශාක්‍ය මහා මුනින්ද්‍රයාණන් වහන්සේ බෝසත් අවධියෙහි (දුෂ්කර ක්‍රියා පුරණ සමයෙහි) තමන් ගතකළ ජීවිත පැවැත්ම පිළිබඳ බොහෝ විස්තර දැක්වෙන්නේ මෙම පිටකයට අයත් සූත්‍ර වල දීය. ගෞතම සම්බුදු දහම පිළිබඳ විවිධ කරුණු අන්තර් ගත මෙම පිටක ග්‍රන්ථ සකස් වූයේද ප්‍රථම ධර්ම සංගායනාවේහිදීය. ඒ සියල්ල වන පොත් කොට ගනිමින් සුරක්‍ෂිත කර ගැනුමට භාර වූයේ සාරිපුත්ත මහරහතුන් වහන්සේගේ සිසු පිරිස වු භික්‍ෂූන් වහන්සේලාටය.

සංයුක්ත නිකාය

ඉහත දැක්වූ සූත්‍ර දේශනා හැරුණු විට සාමාන්‍ය දේශනා එක්රැස් කරමින් සංයුක්ත නිකාය ගොනු කොට ඇත. මෙහි සංයුක්ත 12 කි. වර්ග 108 කි. සූත්‍ර 5972 කි. මෙම ධර්ම කොටස් කට පාඩමෙන් රැගෙන යාමට ප්‍රථම ධර්ම සංගායනාවෙහි දී භාරකොට ඇත්තේ මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේට හා සිසු පිරිසටය.

අංගුත්තර නිකාය

අංගීරස ම හා මුනින්ද්‍රයන් වහන්සේ ඇතැම් තැනකදී සමහර ධර්ම කරුණු ගොනුකරමින් සංඛ්‍යා වශයෙන් ද වදාළ බව සඳහන් වේ. එබඳු සූත්‍ර දේශනාවන්හි එකතුව අංගුත්තර නිකාය නමින් වර්තාමනයේ හඳුන්වනු ලැබේ.

අංක එකක් පමණක් වූ කරුණු ආදි වශයෙන් මේවා ගොනු කොට ඇත.මෙම අංගුත්තර නිකායෙහි නිපාත 11 කි. වර්ග 184 කි, සූත්‍ර දේශනා සියල්ල ම 7791 කි. ප්‍රථම ධර්ම සංගයනාවෙන් පසු මෙම සූත්‍ර දේශනා කට පාඩමෙන් වනපොත් ආරක්‍ෂා කිරීමේ වගකීම පවරා දෙන ලද්දේ අනුරුද්ධ මහ රහතුන් වහන්සේට හා එම සිසු පරපුරටය.

ඛුද්දක නිකාය

ඉහත දැක්වූ සුවිශේෂ දහම් කොටස් අත් හැරුණු විට සෙසු සියලුම බුද්ධ දේශනා වශයෙන් පිළිගනු ලබන ධර්ම කරුණු එක් රැස් කරමින් සකස් කළ ග්‍රන්ථ 15 ක් ඛුද්දක නිකාය නමින් වරතමානයේ හැඳින්වේ. ඒවා මෙසේය. 1.ඛුද්දක පාඨ 2. ධම්ම පද 3. උදාන 4. ඉති වුත්තක 5. සුත්ත නිපාත 5. විමාන වත්ථු 7. පෙත වත්ථු 8.ථෙර ගාථා 9. ථෙරී ගාථා 10. ජාතක 11. නිද්දේශ 12. පටිසම්භිදා මග්ග 13. අපදාන 14. බුද්ධ වස හා 15. චරියා පිටක යනුවෙනි.

විනය පිටකය

මෙම විනය පිටකයට අයත් ග්‍රන්ථයන් ද පහකි. ඒවා මෙසේය. 1. පාරාජිකා පාලි 2. පාචිත්තිය පාලි 3. චුල්ලවග්ග පාලි 4. මහාවග්ගපාලි හා 5. පරිවාර පාලි ද යනුවෙනි. ඇතැම් ධර්ම සාහිත්‍ය ග්‍රන්ථයන්හි මේ ධර්ම ග්‍රන්ථ හැඳින්වීමට “ආණා දේශනා “ යන නාම පදය ද යොදා ඇත. අණ කිරීම, ශාස්තෘන් වහන්සේගේ නියෝගය පිළිපැදිය යුතු නීතිය හා හැම දෙනා විසින් අවිවාදයෙන් පිළිගත යුතු කරුණ යන අරුත් දව මෙම නාම පදයන්ගෙන් නිරූපණය වේ. මෙම විනය පිටකය සෙසු දහම් ග්‍රන්ථයනට වඩා සුවිශේෂ ලක්‍ෂණයන්ගෙන් සමන්විත වේ.

අභිධර්ම පිටකය

ථෙරවාද නිකායන්ගේ පිළිගැණුම අනුව අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ 7 කි .ඒවා මෙසේය. 1. ධම්ම 1. සංගණී ප්‍රකරණය 2.විභංග ප්‍රකරණය 3.ධාතු කථා ප්‍රකරණය 4.පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය 5.කථාවත්ථු ප්‍රකරණය 6.යමක ප්‍රකරණය 7.පට්ඨාන ප්‍රකරණයද යනුවෙනි. සෙසු පිටක දෙකට වඩා මෙහි විශේෂ ලක්‍ෂණ කිහිපයක්ම පෙනේ. ඒවායින් සමහරක් මෙසේය.

මෙම ග්‍රන්ථයන් හඳුන්වනු ලබන්නේ ප්‍රකරණ යන සුවිශේෂ නාමයෙනි. සකස් කළ විශේෂයෙන් පිළියෙල කරන ලද නිපදවන ලද ආදි අරුත් ප්‍රකරණ යන විශේෂ නාම පදයෙන් අදහස් වෙයි. මෙම අභිධර්ම ග්‍රන්ථ වලට හැර සෙසු පිටක ග්‍රන්ථ වලට මෙම ප්‍රකරණය යන නාමය යොදනු නොලැබේ. භාෂා විලාසද ප්‍රකෘත ස්වරූපයට වඩා සංස්කෘත ස්වරූපයට බර වූවකි. ථෙරවාද භික්‍ෂූන් වහන්සේ විසින්ම මෙම පිටක ග්‍රන්ථ ක්‍රමයෙන් වර්ධනයට පත්වූ බව පිළිගනු ලබති.

මීට ඇතුලත් වන කථාවත්ථුප්ප්‍රකරණය සකස් කරනු ලැබ ඇත්තේ ධර්මාශෝක මහරජ දවස සිදු කළ සේ අවිවාදයෙන් පිළිගනු ලබන තෙවන ධර්ම සංගායනාවෙන් පසු එහි මූලිකත්වය දැරු මොග්ගලී පුත්තතිස්ස නම් රහතුන් වහන්සේ විසිනි. මේ වන විට බෞද්ධ භික්‍ෂූන් වහන්සේ අතර නිකාය වශයෙන් කොටස් දහ අටක් පැවති බවද අවිවාදයෙන් පිළිගෙන ඇත.