Print this Article


පරම සත්‍යය වන අනිත්‍යාවබෝධය

අපි පැහැදිලිව දන්නවා අප බලාපොරොත්තු වන යම් දෙයක් ඒ ආකාරයෙන් ම හැමදා පවතින්නේ නැත්නම් එය දුකක් වන බව. ‘යදනිච්චං තං දුක්ඛං ‘යන්න බුදුරජාණන් වනහන්සේගේ පැහැදිලි දේශනාවයි. යමක් අනිත්‍ය නම් එය දුකක්මයි. ඉතින් බුදුවරුන් ලෝකයේ පහළ වන්නේ මේ දුක කුමක්ද යන්න පැහැදිලි කර දී එහි ඇති වීම, ඇති වීමට හේතුව , නැති කිරීම, නැති කිරීමේ මාර්ගය යන ආර්ය සත්‍යය හතර පැහැදිලි කරදීමෙන් ඒ පිළිබඳ ලබන අවබෝධඥානයෙන් හෙවත් ප්‍රඥාවෙන් ලෝකයේ අප වැනි එබඳු දුක් විඳින සත්වයන් එම දුකෙන් මුදවාලීමටයි.

වර්ෂයකට වතාවක් යෙදෙන වෙසක්පුර පසළොස්වක දිනය තරම් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට තවත් වැදගත් දිනයක් නම් නැත. එය බෞද්ධ ජනතාව සිහිපත් කරන්නේ අන් කිසිවක් නිසා නොව බෞද්ධයා විසින් ප්‍රාර්ථනා කරනු ලබන පරම නිෂ්ටාව වන අවබෝධය හෙවත් නිර්වාණය සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ කර ගත් දිනය වශයෙන් මෙදින සිහිපත් වන නිසාය. මෙම පරම සත්‍යය අවබෝධ කර ගැනීමට අප මහා බෝසතාණන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් (අසංඛ්‍ය හෙවත් ගිණිය නොහැකි) තුළ ඊට අවශ්‍ය පිළිවෙත් හෙවත් අභ්‍යාස හෙවත් පාරමිතා ධර්මයන් පිරුවා.

මෙහි ප්‍රතිඵලය වශයෙන් උන්වහන්සේට හැකියාවක් ලැබුණා වෙසක් පුර පසළොස්වක දිනක ලෝක සත්‍යය කිසිදු අඩුවක් නැතිව සර්ව සම්පූර්ණව අවබෝධ කර ගැනීමට. මෙම ලෝක සත්‍යය කියා අදහස් කරන්නේ අන් කිසිවක් නොව ලෝකයේ පරම සත්‍යය වූ අනිත්‍ය ධර්මයයි. නිශ්චිතව තමන් වහන්සේ විසින්ම අවබෝධ කර ගැනීම සම්මා සම්බුද්ධත්වය යි. අනිත්‍ය පිළිබඳව අපිත් කථා කරනවා. විවිධ සාකච්ඡා කරනවා. එහෙම අපි අනිත්‍ය ගැන සිහිපත් කරන්නේ, කථා කරන්නේ උඩින් පල්ලෙන් බැලූ බැල්මටයි. අපේ ජීවිතවලට ආසන්න ඤාතිවරයෙකුගේ, තම මවගේ, පියාගේ වැනි මරණයක් හදිසි විපතක් කරදරයක් වෙනුවෙන් අප දුක් විඳින විට පමණයි. ඒ දුක දැනෙන තරමටයි. අපට සිදු වන කරදරය විපත් අපේ ජීවිතවලට ආසන්න වන තරමට එහි අනිත්‍ය ගැන අපට උඩින් පල්ලෙන් යාන්තමට හිතුණත් එය දියුණු සිතිවිල්ලක් බවට පත් කර ගැනීමට සිතිවිල්ලක් අප එතැන් සිටවත් ඇති කර ගන්නවාද? ඒ කාරණයත් අප යම් මොහොතක් සිතිය යුතු වෙනවා. ඒ විපත, කරදරය අපෙන් දුරස්ථ වී කාලයත් එක්ක අකාමකා වී යන තරමට ඒ අනිත්‍ය සිතිවිල්ල අපෙන් ඈත් වෙනවා. ඒ වුවත් අපි පැහැදිලිව දන්නවා අප බලාපොරොත්තු වන යම් දෙයක් ඒ ආකාරයෙන් ම හැමදා පවතින්නේ නැත්නම් එය දුකක් වන බව. ‘යදනිච්චං තං දුක්ඛං ‘ යන්න බුදුරජාණන් වනහන්සේගේ පැහැදිලි දේශනාවයි. යමක් අනිත්‍ය නම් එය දුකක්මයි. ඉතින් බුදුවරුන් ලෝකයේ පහළ වන්නේ මේ දුක කුමක්ද යන්න පැහැදිලි කර දී එහි ඇති වීම, ඇති වීමට හේතුව , නැති කිරීම, නැති කිරීමේ මාර්ගය යන ආර්ය සත්‍යය හතර පැහැදිලි කරදීමෙන් ඒ පිළිබඳ ලබන අවබෝධඥානයෙන් හෙවත් ප්‍රඥාවෙන් ලෝකයේ අප වැනි එබඳු දුක් විඳින සත්වයන් එම දුකෙන් මුදවාලීමටයි.

එදා සැවැත් නුවර දී භික්‍ෂූන් වහන්සේලා පිරිසක් අමතා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ආකාරයෙන් ‘පැහැදිලිව අප විසින් හදුනා ගත යුතු කරුණු හතක් ලෝකයේ පවතිනවා. ඒ හත මනාව මෙනෙහි කර පුරුදු පුහුණු කොට සිත දියුණු කර ගත්තොත් මේ ලෝකයේ සියලුම දුක් කරදර අවසන් කර සදාකාලික සැනසීම උදාකර ගත හැකි වන බව උන්වහන්සේ මෙහිදී දේශනා කරනවා. එම කරුණු හෙවත් හඳුනා ගැනීම් හත මෙසේ සඳහන් කරනවා. අසුභසඤ්ඤා , මරණසඤ්ඤා, ආහරෙ පටික්කුලසඤ්ඤා, සබ්බලෝකෙ, අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා ,අනිච්චේ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා යන කරුණුයි. මේ කරුණු හත යම් පමණකට හෝ කුමක්දැයි අප විසින් පැහැදිලි කර ගත යුතු වෙනවා.

අසුභසඤ්ඤා

මෙම අසුභසඤ්ඤා (අසුභසඤ්ඤා පිළිබඳ විස්තර කරුණු බොහෝ දහම්පොතපත තුළින් පින්වත් ඔබ දන්නවා ඇත) මෙම ශරීරය නිර්මාණය වී ඇති ආකාරය හා එහි හිසකෙස්, ලොම් , නිය, දත් සම් ආදී දෙතිස් කුණප කොට්ඨාසයන් පිළිබඳ සුබ වශයෙන් නොගැනීම මෙයින් මූලික වශයෙන් අදහස් කරනවා. අර මා මුලින් සඳහන් කළ විදිහට මේ සිතිවිල්ල අරමුණු කර නුවණින් මෙනෙහි කර පුරුදු පුහුණු කෙරුවොත් එය සැනසීමට හේතු වන්නේ කෙසේද? එය හරියට ම අප නුවණින් ම අවබෝධ කර ගෙන තිබේද? යන්න කවුරුවත් අපට සහතික දිය යුතු නැහැ. එහෙම සහතිකයක් දෙන්නත් බැහැ. එසේ නම් එය කෙබඳු ද? යන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම පෙන්වා දෙනවා . මේ ලෝකය,මෙම පඤ්චස්කන්ධය සුබවාදීම නොගෙන අසුබ ලෙස දකින එම සිතිවිල්ල පුරුදු පුහුණු කළ යෝගාවචරයා හෝ සැදැහැවතා නිදසුනක් වශයෙන් මෙවුන්දම් සෙවීම් හෙවත් ස්ත්‍රී සම්භෝගය කෙරෙහි ඇලීමක්, ඒ පිළිබඳ උනන්දුවක් ඇති කර ගන්නේ නැහැ. පි‍්‍රය මනාප තරුණ ස්ත්‍රී රූපයක් දුටු විට එබඳු සිතිවිල්ලක් ඇති කර නො ගන්නා එම භික්ෂුව හෝ යෝගාවචරයා ඒ රුව පිළිබඳ මෙවුන්දම් සෙවීම පිළිබඳ හැගීමක් ඇති කර නොගෙන ඒ ගැන උපේක්ෂා සහගතව පිළිකුල් බවක්, අසුබ සිතිවිල්ලක් ඇති කර ගැනීමට සමත් වෙනවා. එය උපමාවකින් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකින් කුකුළු පිහාටුවක් නැත්නම් නහරවැලක් ගින්නකට හසු කළ විට එය හැකිතාක් වකුටු වෙලා නැවත දිග නොහැරෙන තත්ත්වයෙන් පවතින ආකාරයෙන් ම එය සිදුවෙනවා. මෙසේ ම අසුබයෙහි සිත දියුණු කර ගත් යෝගාවචරයා මෙවැනි කාමභෝගි අරමුණු සිතට ආවත් ඊට ඉඩනොදී සිත එවැන්නෙන් වළක්වා ගෙන පිළිකුල් බවෙහි සිත පිහිටුවා ගනී. යම් ආකාරයකින් එම යෝගාවචර භික්ෂුව තරුණ පි‍්‍රයමනාප ස්ත්‍රී රූපයක් දුටු විට එවැනි මෙවුන්දම් සෙවීමේ කිසියම් සිතිවිල්ලක් ඇති කර ගන්නේ නම් එයින් පැහැදිලිව තම හෘදය සාක්ෂිය එම භික්ෂුවට පෙන්වා දෙන්නේ තමා බවුන් වැඩීමට අරමුණු කරගත් අසුභාරම්මණය මැනවින් වැඩි දියුණු නොකරන ලද්දේය යන මේ පණිවුඩයයි. මාගේ සිත අසුබයට යොමු කර ගැනීමට පෙර තිබුණ තත්ත්වයෙන් ම යි දැනුත් පවතින්නේ . මගේ සිත අසුබ භාවනාවෙන් පුරුදු පුහුණු නොකරන ලද බව මා විසින් තේරුම් ගත යුතු බව මෙහිදී පෙන්වා දෙනවා. එනම් තම සිත අසුබ භාවනාවට පැහැදිලිව යොමු වී නැති බව ඔහු තේරුම් ගත යුතුයි යන්නයි.

මරණසඤ්ඤා

මරණසඤ්ඤාව හෙවත් මරණය පිළිබඳව මෙනෙහි කිරීම මෙයින් අදහස් කෙරෙනවා. මෙම මරණානුස්සතිය වැඩීම සදාකාලික සැනසීම පිණිස හේතු වන බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දීමට සිතා වදාරා ඇත්තේ. (මේ පිළිබඳ බොහෝ විස්තර දහම් පොතපත තුළින් කියවා ගත හැකිය) මරණය සාධාරණ ධර්මතාවක් බව හෙවත් ලෝකයේ කිසිවෙකුට මරණය ඉක්මවීමට නොහැකි බවයි මෙයින් සරළම අදහස් වන්නේ. මෙම මරණානුස්සතිය වඩන යෝගාවචරයා එය මැනවින් ප්‍රගුණ කොට දියුණු කරන ලද සිතකින් යුක්ත වන ආකාරය පැහැදිලි කිරීමට බුදුරජාණන් වහන්සේ යොදා ගෙන ඇත්තේ බුදුරජාණන් වහන්සේ මුලින් පෙන්වා දුන් උපමාව මයි. ඒ අනුව ජීවිතයේ ඇලීම ගැලීම පිළිබඳ ඔහුගේ සිත පිළිකුල් සහගත වෙනවා. මධ්‍යස්ථ වෙනවා. ජීවිතය පිළිබඳ ඇද බැඳ ගත් සිතින් දුරු වෙනවා. යම් ආකාරයකින් මෙම මරණානුස්සතිය දීර්ඝ කාලයක් වැඩූ යෝගාවචරයා යම් අවස්ථාවක ජීවත්වීම පිළිබඳ ආශාවක්, දැඩි ගැනීමක් ඇතිව ක්‍රියා කරයි නම් ඔහු ඒ කාරණයෙන් ම තමා විසින් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු වෙන කරුණ වන්නේ තමන් මේ මරණසඤ්ඤාව අරමුණක් ලෙස ගෙන මැනවින් වැඩි දියුණු කර ගත් සිතින් යුක්ත නොවී ඇති බවත් මරණසඤ්ඤාව පිළිබඳ භාවනාව වැඩීමට පෙර පැවැති ආකාරයෙන් ම තම සිතේ දියුණුවක් ඇති නොවී සිත ජීවත්වීම පිළිබඳ ඇද බැඳගෙන පවතිනවා යන්න තේරුම් ගත යුතු වෙනවා.

ආහාරෙ පටික්කූලසඤ්ඤා

ආහාරෙ පටික්කුලසඤ්ඤා යන මෙයින් අදහස් කරන්නේ රස තෘෂ්ණාව ඇති කරන ආහාරයෙහි ඇති කර ගන්නා මධ්‍යස්ථ එසේත් නැති නම් ඒ පිටුපස සිත දුවන ආකාරයෙන් වළක්වා ගැනීමයි. මෙහිදීද බුදුරජාණන් වහන්සේ ගින්නට හසු කරන නහරවැලක් හෝ කුකුළු පිහාටුවක් ක්ෂණයකින් රත් වී හැකිළෙන්නා සේ ආහාරය පිළිබඳ පිළිකුල් සිතක් ඇති කර ගැනීමට බවුන් වඩන යෝගියා එසේ බවුන් වඩා යම් අවස්ථාවක රසවත් යයි තමන්ට හැඟෙන ආහාරයක් දුටු පමණින් එහි ලොල්බවක් ,ගිජුබවක්, ඇලීමක් ඇති කර ගන්නා සිතක් පහළ වූ සැණින් තමා විසින් අවබෝධ කටයුතු වෙනවා.

ඉතිරි කොටස මැයි 21 වන දා පත්‍රයේ පළවේ