Print this Article


බුදු රජාණන් වහන්සේ ලොව උපදින සත්ත්වයන් අතර අසහාය එකම පුද්ගලයාණෝ වෙති

 

“එකපුග්ගලො භික්ඛවේ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලොකානුක ම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මා සම්බුද්ධො. අයං ඛො භික්ඛවෙ එක පුග්ගලො ලොකො උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලොකිනුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං

සැවැත්නුවර ජේතවනාරාමයෙහි දී බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා මේ එක්පුග්ගලයා පිළිබඳ වූ මෙම සූත්‍රය දේශනා කළහ. මහණෙනි, කියා භික්‍ෂූන් ඇමතූ බුදු රජාණන් වහන්සේ වදාරනව මේ ලෝකෙ බොහෝ දෙනාට හිතපිණිස, බොහෝ දෙනාට සැප පිණිස’ ලෝකයාටම අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස’ හිත පිණිස, සැප පිණිස, ලෝකයෙහි එකම පුද්ගලයෙක් උපදියි. කවුරුද ඒ එකම පුද්ගලයා? තථාගත අර්හත් සම්මා සම්බුදුන් වහන්සේ වෙති. මහණෙනි, මේ එකම පුද්ගලයා ලොව උපන්නේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිසයි. ලෝකයාටම අනුකම්පා පිණිසයි. සියලු දෙවි මිනිසුන්ට වැඩ පිණිසයි. හිත පිණිසයි. සුව පිණිසයි.

මහණෙනි, මෙ බඳු එකම පුද්ගලයාගේ පහළවීම ලෝකයෙහි අතිශය දුර්ලභ සිද්ධියකි. මොහු ආශ්චර්ය පුද්ගලයෙකි. මේ එකම පුද්ගලයාගේ කලුරිය කිරීමත් බොහෝ දෙනා තවන්නකි (දුකටපත් කරන්නකි). මහණෙනි, මේ එකම පුද්ගලයා අද්විතීයයි (මෙ වැනි තවත් පුද්ගලයෙක් නූපදී). අසහායයි(මොහු හා සමාන තවත් කිසිවෙකු නැත) අප්‍රතිමයි. මොහු හා සමාන කෙනකුට සමයි. අසමානයි අසමානයාට සමයි. මොහු අසමව, අසම සමව, දෙපාද සත්ත්වයන්ට අග්‍රව උපන්නෙකි.

මහණෙනි, මේ එකම පුද්ගලයාගේ පහළවීම මහා ප්‍රඥාව නමැති ඇසක් පහළ වීමයි. මහා ප්‍රඥාව නමැති ආලෝකයක් පහළවීමයි. මහා බැබළීමක පහළවීමයි. භාවනාවේදී සිහිකටයුතු බුද්ධ, ධම්ම, සංඝ, සීල, චාග, දේවතා යන අනුස්මෘති ධර්මයන්ගේ පහළ වීමයි. අර්ථ, ධර්ම, නිරුත්ති, පටි භාන යන සිවු පිළිසිඹියාවන්ගේ පහළවීමයි. අටළොස් ධාතූන්ගේ අවබෝධයයි. නානා ධාතු ප්‍රතිවේධයයි. අෂ්ට විද්‍යාවන්, විද්‍යා විමුක්ති ඵළ ප්‍රත්‍යක්ෂ කිරීමයි. සෝවාන් ආදී එළි ප්‍රත්‍යක්ෂ කිරීමයි.

බුදු රජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය බුදු රජාණන් වහන්සේ තමාගේම මේ වචනවලින් වදාළ පරිදි (අංගුත්තර නිකායේ සඳහන් වන විස්තරය අනුව) උන්වහන්සේ අසහාය, අප්පටිම, උත්තමයකු බව අපට වටහා ගත හැකියි. එහෙත් මේ කීයේ උන්වහන්සේගේ අපමණ ගුණවලින් ඉතාම ස්වල්පයකි.

බුදුකෙනෙක් වෙන කිසිවක් නොකර නොකියා කල්පයක් පුරාම බුදුවරයන් වහන්සේ නමකගේ ගුණ කීවත් කල්පය අවසන් වනු විනා බුදුගුණ අවසන් නොවන බව කියයි. එසේ නම් එතරම් ගුණ ඇති බුදුවරයන් වහන්සේ නමකගේ ලොව පහළ වීම කෙතරම් දුර්ලභද කියා සිතා ගත හැකියි. එතරම් ගුණ කදම්බයක් එකම පුද්ගලයකු තුළ ඇතිවීමට ඒ පුද්ගලයා මොන තරම් කාලයක් අප්‍රමාණ කැප වීමෙන් යුතුව ගුණ ධර්ම (දානාදී පාරමිතාවන්) පුරා පුහුණු කරමින් සම්පූර්ණ කළ යුතු ද යන්න නිකමට හිතා බලන්න.

තවද බුදු ගුණ වචන නවයකට සංක්‍ෂිප්ත කොට බුදු හාමුදුරුවන් විසින්ම දේශනා කරන ලද නව අරහාදී ගුණ සඳහන් “ඉති පි සො භගවා” යනාදී ගාථාවෙන් කියැවෙන ගුණ ගැණත් සලකා බැලීම සුදුසු යි. බුදු රජාණන් වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසීමාදී ගුණයන්ගෙන් යුක්ත හෙයින් අරහං ගුණයෙන් යුක්තය හ. උන්වහන්සේ දතයුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව තමන් විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයහ. උන්වහන්සේ පෙර විසූ කඳ පිළිවෙල ආදී අෂ්ට විද්‍යා හා ශීලාදී පසළොස් චරණ ගුණයන්ගෙන් යුක්ත බැවින් විජ්ජා චරණ සම්පන්නයහ. උන්වහන්සේ ආර්යමාර්ගය නමැති සුන්දර ගමන් ගිය බැවින් එනම් නිර්වාණය කරා ගිය බැවින් හා ශ්‍රාවකයන්ට මෙලොව පරලොව යහපත පිණිස උපකාර වන සත්‍ය වූ අර්ථවත් වචනම දෙසන හෙයින් සුගත නම් ගුණයෙන් යුක්තයහ. උන්වහන්සේ පඤ්චොපාදානස්කන්ධ ලෝකය දුක්ඛ, සමුදය, නිරොධ, මග්ග වශයෙන් විශිෂ්ට ප්‍රඥාවෙන් අවබෝධ කළ හෙයින් ලෝකවිදූ යන ගුණයෙන් යුක්තයහ. උන්වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥාන දර්ශනයන, සියලු ගුණයන්ගෙන් දෙවි බඹුන් මරුන් හා මහණ බමුණ න් මනුෂ්‍යයන් සහිත ලෝකයෙහි තමන් වහන්සේට වඩා උසස් කෙනෙකු නැතැයි වදාළෙන් උන්වහන්සේ අනුත්තර යන ගුණයෙන් යුක්තයහ.

නමෙ ආචරියෝ අත්ථි සදිසො මෙ න විජ්ජති
සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටි පුග්ගලො

යනුවෙන් තමන් වහන්සේ උපක ආජීවකයාට හඳුන්වා දුන් මේ ගාථාවෙන් ද කියන්නේ තමන් අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට කිසිම උපදෙසක් ගන්න මට ගුරුවරයකු සිටියෙ නැත. මා හා සමාන පුද්ගලයකු ද ලොව නැත. දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි මට ප්‍රතිපක්‍ෂ පුද්ගලයකු ද නැතැයි වදාළේ ලොව අන් සියල්ලන්ටම වඩා තමන් අනුත්තර ගුණයෙන් යුක්ත නිසයි. උන්වහන්සේ අම්බට්ඨ, පොක්ඛරසාති, ආලවක , සුචිරෝම, සක්‍රදේව, බකබ්‍රහ්ම, ආදී දෙවි මිනිස්, යක්ෂ රාක්ෂ නාගාදී මිසදිටුවන් ගේ මෙන්ම දරුණු පුද්ගලයන්ගේ මාන ය, සැඩ ඵරුෂ කම ආදිය බිඳ දමා ඔවුනට ලොවුතුරු ගුණ පවා වටහා දීමෙන් ඔවුන් දමනය කළහ. එහෙයින් බුදු රජාණන් වහන්සේ පුරුෂ දම්ම සාරථී ගුණයෙන් යුක්තයහ. උන්වහන්සේ දිට්ඨ ධම්මික(මෙලොවින් සිදුවන අර්ථය) සම්පරායික (පරලොවින් සිදුවන අර්ථය) පරමත්ථ නිර්වාණාවබීධයෙන් වන අර්ථය) යන ත්‍රිවිධාර්ථයන් සිදුවන සේ ධර්මය දේශනා කිරීමෙන් දෙවි මිනිසුන්ට ශාස්තෘ(නිසි මඟ පෙන්වන්නා) වන සන්ථායෙන් යුක්ත වන සේක. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් විසින්ම අවබෝධ කළ බැවින් හා අන්‍යයන්ටත් ඒ ධර්ම අවබෝධ කරවූ බැවින්ද දතයුතු සියල්ල දත් බැවින් හා සියල්ල දක්නා බැවින් එම සර්වඥතාඥානය බෝධි මැඩදීම ප්‍රත්‍යක්ෂ වූ බැවින් ද බුද්ධ යන ගුණයෙන් යුක්ත වූහ. උන්වහන්සේ ලොව සියලු ම දෙවි මිනිසුන් විසින් ගරු කළ යුත්තකු වශයෙනුත් සියලුම සත්ත්වයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ උතුමකු වූ බැවිනුත් භගවා යන ගුණයෙන් යුක්ත වූහ. “භගවා ති” එතං නාමං බුද්ධානං භගවන්තානං බෝධි මූලෙ... සබ්බඤ්ඤුත ඤාණස්ස පටිලාභා සචිජිකතා පඤ්ඤත්ති යදිදං භගවා” යනුවෙන් සැරියුත් මහ රහතන් වහන්සේ කී පරිදි’ මෙ නාමය භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට බෝ මැඩදී සර්වඥතාඥානය අවබෝධ කළ නිසා ම පැනවූවක්(ලැබුනකි) භාග්‍යං අස්ස අත්ථති භගවා” යන විග්‍රහයට අනුව භාග්‍යවා යි සිටිය යුතු පදය භගවා යි කියා ව්‍යවහාර වන බවයි. ඒ කීයේ එයින් අදහස් කරන්නේ භාග්‍යය හෙවත් වාසනාව යන්නයි. ඒ අනුව මෙයින් කියවෙන්නේ (භාග්‍යය) කුශල් යන අර්ථයයි. එනම් දාන ශීලාදි පුණ්‍ය ක්‍රියායි. මාර්ග කුශලය ලෝකෝත්තර සුව ලබා දෙයි. සෙසු කුශල් ලෞකික සැප ලබා දෙයි. ලෞකික ලෝකෝත්තර දෙ සැප ලබා දීමේ ශක්තිය, (භාග්‍යය) ගුණය, බුදුරජාණන් වහන්සේ තුළ තිබෙන නිසා භාග්‍ය හෙවත් භගවා යන ගුණයෙන් උන්වහන්සේ යුක්තයහ. සතසහශී‍්‍ර සංඛ්‍යාත කෙලෙස් බිඳ හළ නිසාද භගවා යයි කියති.

බුදු රජාණන් වහන්සේ රාගය බිඳ දැමූ හෙයින් ද ද්වේශය බිඳ දැමූ හෙයින් ද මෝහය බිඳ දැමූ හෙයින් ද ආශ්‍රව නැති හෙයින් ද සියලු පව් දුරුකළ හෙයින් ද උන්වහන්සේට භගවා යයි කියති.

ඉතිරි කොටස මැයි 21 වන දා පත්‍රයේ පළවේ