Print this Article


නිවන් දැකීම සඳහා අවශ්‍ය වන්නේ ආමිෂ පූජාව ද? ප්‍රතිපත්ති පූජාව ද?

නිවන් දැකීම සඳහා අවශ්‍ය වන්නේ ආමිෂ පූජාව ද? ප්‍රතිපත්ති පූජාව ද?

බුදුදහම අගය කරන්නේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවයි.විවිධ විලාසිතාවලට අනුව මල්,පහන්, සුවඳ දුම් ආදිය පූජා කිරීම, මිහිරි ගායනාසහිත බෝධිපූජාපැවැත්වීම, චෛත්‍යවලට හෝ බෝධින් වහන්සේලාට දහස් ගණනින් සිවුරු හෝ අටපිරිකර පූජා කිරීම වැනි පින්කම් කෙරෙහි මෙකල ලාංකික බෞද්ධයන් වැඩිදෙනෙකුගේ සැලකිල්ල යොමු වී තිබේ.

මෙවැනි සද්ක්‍රියා බුදුදහමේ මූලික අපේක්ෂාවට අනුව ආමිෂ පූජා ගණයට ඇතුළත් වෙයි.ආධ්‍යාත්මික සංවර්ධනයේ මාවත ලෙස ගැනෙන සීල සමාධි පඤ්ඤා යන ශික්ෂණ මාර්ගය ඔස්සේ ගමන් කිරීම, ප්‍රතිපත්ති පූජාව නම් වෙයි. පුනරාවර්තනය වන අනේකවිධ දුක් දහරාවෙන් මිදී,නිවන් දැකීම, සම්බන්ධයෙන් සිතන විට මේ දෙකින් වැදගත් වන්නේ කවර පූජාවද?

බුදුදහමේ පරමනිෂ්ටාව ලෙස සැලකෙන්නේ සසරින් මිදී නිවන් දැකීමයි. නිවන පරම සුවයයි යන බුදුවදනින් ප්‍රකාශ වන්නේ එයයි. සැප කැමැත්තන්ගේ අධිෂ්ඨානපරවශ අපේක්ෂාව විය යුත්තේ සදාතනික සුවය මිස තාවකාලික ආස්වාදයක් ලබා දෙන කම් සැප නොවන බව ද බුදුදහම අවධාරණය කරයි.

නිවන යනු වවිධ අර්ථකථනවලට මැදිවූ සංකල්පයකි. රාග,ද්වේශ, මෝහ යන මූලික කෙලෙස් තුන මුළුමණින් ම දුරු කිරීම නිවන යැයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ලද විවරණ අතරින් ඉතා සරල හා සංක්ෂිප්ත අර්ථකථනයයි. වෙනත් වචන වලින් කියතොත් අනේක ප්‍රකාර දුක් පීඩා වලින් පිරි සසර ගමන නිමවන්නේ නිවන් දැකීමෙනි. සදාතනිකව පවතින එකම සුවය එයයි. අපේ කෙටි සාකච්ඡාවට මෙම විවරණය ප්‍රමාණවත්ය. නිවන් සාක්ෂාත් කරණය සඳහා මාර්ගය වශයෙන් පටිසෝතගාමී හෙවත් කාමභූ®මිවාසින්ගේ සාමාන්‍ය පැවතුම් පිළිවෙළ නොතකා කටයුතු කිරීමේ සහ නෛෂ්ක්‍රම්‍යවාදී හෙවත් ලෝකයෙන් හා භාවොත්පත්තියෙන් බැහැර වීමේ පිළිවෙතක් අනුගමනය කළ යුතුය. මෙවැනි පිළිවෙත් කාමාවචර භවයක උපත ලැබු ජීවින්ට රුචිකර නොවේ. ඔවුන් ගේ අරමුණ පස්කම් සැප ඇසුරෙන් හැකිතාක් තම ඉඳුරන් පිනවීම බැවිනි. එහෙයින් එවැනි ප්‍රතිපදා කෙනෙකුගේ අවංක ගරුත්වයට ලක්වන්නේ කලාතුරකිනි. එක් අතකින් සලකන විට ඒවා ජන්ම උරුමයෙන් හිමිවන, එමෙන් ම ජීවිතය කෙළෙසුන් සහ අපවිත්‍ර කරන චෛතසික ධර්මතාවලට පටහැනිවෙයි. එහෙයින් ඒවා අහිත කර යැයි සැලකෙයි. අනිත් අතට සසරින් එතෙරවීමේ ප්‍රතිපදාවලින් ලැබෙන්නේ ක්ෂණික ප්‍රතිඵල නොවේ. සාමාන්‍ය ජීවියෙකුට භවයෙන් එතෙරවීම පිණිස ගත කළ යුතු කාලය කොපමණවේදැයි අනුමානයෙන් වත් සිතා ගැනීම, පහසු නොවේ. ගෞතම බුදුපියාණන් වහන්සේ බුදුබවට පත්වනවිට භවෝත්පත්ති පණ්සිය පණහකට ආසන්න සංඛ්‍යාවක් ගත කර ඇති බව ජාතකපොත අනුසාරයෙන් අනුමාන කළහැකිය. ඒ කෙතරම්දිගු කාලයක් ද? ඒත් ඒ සම්පූර්ණ කාලසීමාව නොවෙතැයි බෞද්ධ සාහිත්‍යයෙහි ඇතුළත් සමහර තොරතුරු ඇසුරෙන් තහවුරු වෙයි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ බුද්ධත්වය සම්බන්ධයෙන් ද දීපංකර බුදුන් වහන්සේ ඇතුළු තථාගතයන් වහන්සේලා විසිහතරනමකගෙන් නියත විවරණ ලැබූ බව අතිශයින් ප්‍රකට කරුණකි. එයින් ප්‍රකාශ වන්නේ කුමක්ද? බුදුකෙනෙකුන් ලොව පහළ වන්නේ කල්පයකටවත් නොඅඩු කාලයකිනි යනු ද ප්‍රසිද්ධ කරුණකි. ඒ අනුසාරයෙන් සිතනවිට පැහැදිලිවන්නේ සිද්ධාර්ථ ගෞතමයන් බුදුවීමඅරමුණු කොටගෙන අවම ප්‍රමාණයෙන් කල්පවිසිපහක්වත් ගත කර ඇති බවයි. මෙහි නිදසුනට ගැනුනේ බුදුබවපතා පෙරුම්පුරන බෝසත්වරයකු සසර ගත කළ යුතු කාලයේ ප්‍රමාණයයි. ඒ හැර පසේබුදුබව සහ රහත්බව යනුවෙන් නිවන් දැකීමේ තවත් මාර්ග දෙකක් ඇත. පරතෝඝෝෂයෙන් හෙවත් බුදුකෙනෙකුගේ දේශනා මගින් සත්‍යාවබෝධය සිදුවනහෙයින් රහත් බව පතන කෙනෙකුට මේ සා විශාල කාලයක් ගත කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි තර්ක කළ හැකිය. එහෙත් වන්නේ ඒකාලසීමාව ද සුළුපටුයැයි සිතිය නොහැක. සීමාව රඳාපවත්නේ අද පුහුණු පුද්ගලයාගේ චර්යාව හා උත්සාහය මත බව නම් ප්‍රවේශම් සහිත ව සඳහන් කළහැකිය. දින හතක් තුළදි නිවන සාක්ෂාත් කර ගත හැකියැයි සතිපට්ඨාන සූත්‍රය දක්වන්නේ ඒ බවයි. ප්‍රතිපත්ති පිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය අනන්ත කාලයක් පුරා බල පැවැත්වෙන නමුත් කාමාවචර සිතකට ඒ බව වැටහෙන්නේ ඉතාමත් ම කලාතුරකිනි.

ඒ එසේනමුත් ප්‍රතිපත්ති පූජාවෙන් බැහැර ව නිවන සාක්ෂාත්කරණය අසම්භාව්‍ය සිද්ධියකි. ඉහත සඳහන් කළ නිර්වචනයෙන් ප්‍රකාශ වන පරිදි කෙලෙස් තරණය සම්පූර්ණ නොකර දුක් කෙළවර වන්නේ නොවේ. සසරින් මිදීමක් හෝ නිවන පසක්කර, ගැනීමක් සිදුවන්නේ නොවේ.ආමිෂ පූජාවෙන් පින්සිදුවන නමුත් ඒවායින් කෙලෙස් ගෙවීමක් හෝ චතුරාර්ය සත්‍යය සාක්ෂාත්කරණයක් ද සිදුනොවේ. එහෙයින් ප්‍රතිපත්තිපූජාවට තැන ලබාදිය යුතුය. සිල්පිරි මහාභාවනාව නොකඩවා කොට පුරුදුපුහුණු කළයුතුය.

වර්තමානයේ ලාංකික බෞද්ධයන් තුළින් මේ අදහස ගිලිහී ගොස් ඇත්තේ කාලාන්තරයක් තිස්සේ සිදුවන සාමජ විපරිණාමයක ප්‍රතිඵල වශයෙනි. ආගමධර්මය සමාජ ආර්ථික සංවර්ධනයට බාධාවකි. යන අදහස එයින් ප්‍රබල වී ඇත. සරලතාව වෙනුවට බහුභාණ්ඩිකතාව ආදේශවීම නොකළයුතු වෙළඳාම අතිශය ලාභදායි ව්‍යාපාර බවට පත්වීම, සදාචාර සීමාවන් ඉක්මවා ඉඳුරන් පිනවීමට ලැබෙන ඉඩකඩ පුළුල් වීම, විද්‍යාව හා තාක්ෂණය සීමාරහිත ව දියුණූවීම හේතු කොටගෙන ජීවිතයේ දුක්බර අඩුවීම ආදි සිද්ධි රැසක් බෞද්ධ ජන ජීවිතයේ හරපද්ධතිය බිඳ වැටීමට හේතු වී තිබේ.මේ කවරක් වුවද කාමලෝකයේ රසාස්වාදයට යොමු කිරීමට ආධාර වන නමුත් සසරින් මිදීමට ආධාර නොවේ.