Print this Article


දහම් මඟ වැඩෙන්නට නම්....

දහම් මඟ වැඩෙන්නට නම්....

දේශන වශයෙන් ද ලේඛන වශයෙන් ද ලක්දිව ගිහි පැවිදි බෞද්ධයෝ බොහෝකොට ධර්මය ගැන කථා කරති. දම් දෙසති. සවන් දෙති. දහම් පොත් පත්‍රිකා ලියති. කියවති. ඒ සියල්ල අයත් වනුයේ කරුණු කාරණා දැන ගැනීමටය. එය අත්‍යවශ්‍ය දෙයකි. එනමුත් එපමණකින් පුද්ගලයාගේ සවිඤ්ඤාණකත්වයේ සැලකිය යුතු ධර්මානුකූල වෙනසක් සිදු නොවේ.

එහෙයින් කිවයුත්තක් කෙටියෙන් සටහන් කිරීමට මේ ලිපිය මිඩංගු කරන බව සැලකිය යුතුය. දහම් මග අට අටැඟි මගයි. එයට පිවිසීමත් එහි ඉදිරිගමනත් සිදුවිය යුත්තකි. කල්ප ගණනක් තිස්සේ සසර ම සැකසුනේ එය නො ඇරඹුණ නිසා මය. ඉන් පෙනෙන්නේ තණ්හාවේ අඩුවක් වී නැති බවය. ධර්මය තුළින් ද සකස් කරගන්නේ මමත්වය වුවහොත් භවගාමී වීම ම විනා සිදුවන වෙනසක් නැත. මතු සංසාරය යහපත් කරගැනීම පිළිබඳ අරමුණක් ගැන නිතර කියනු කන වැකේ. ලියනු ඇස ගැටේ. ලොව ඇතිතාක් දේ සැපත උදෙසා අභිනන්දනය කිරීම හෙවත් කැමති වීම ඇති තැන සැකසෙන්නේ භවය මය. එය අනාගතය හා බැඳුණ සිහිනයයි. ඉන්ද්‍රියානුසාරි අත්දැකීම් පිළිබඳ අතීත මතක සටහන් මේ මොහොතේ මතුවෙමින් සිත්වල ඔහේ පෙරළි කරයි.අතීත අත්දැකීම් පිළිබඳ අපේක්‍ෂාවත් අනාගත අභිනන්දනයත් (කැමැති වීමත්) ඇති තැන නිවන් මගක් ඇරඹෙන්නේ නැත.

අතීතයත් අනාගතයත් අතර දෝලනය වන සිතක මේ මොහොත පිළිබඳ විනිවිද දැක්මක් විය නො හැකිය. අතීතයේ සිටි ‘මම’ කෙනෙක් හා අනාගතයේ විය යුතු යයි සිතන ‘මම’ කෙනෙක් ගැන සිතන්නේ මේ මොහොතේය. මේ මොහොත විනවිද නො දුටුව හොත් සැකසෙන්නේ සක්කාය දිට්ඨිය මය. එසේ සිටිමින් නිවනක් ද පතති. ඒ අනුව නිවන් දකින්නේ ‘මම’ යයි සිතති. ‘මම යහපත් වෙමි. මම සිල්වත් වෙමි.මම සෝවාන් වෙමි. සකෘදාගාමී වෙමි. අනාගාමි වෙමි. රහත් වෙමි. නිවන් දකිමි. “ යන සිතිවිල්ල පෙරට ගන්නාතාක් ආර්යගුණ පිබිදීමක් සිදු නො වනු ඇත. ආර්යගුණ පිබිදෙන්නේ මමත්වයේ මායාත්මක බව නුවණින් දකින්නේ නම් පමණි. මමත්වය පෙරටුවට ගත්විට සැකසෙන්නේ ජාති, ජරා, ව්‍යාධි මරණ, සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන භවගාමි දුකට වැඩි යමක් නොවේ.

ඒ නිසා මනස විසින් මෙහෙයැවෙන කය හා වචනය සීලයෙන් සංවර වන්නට තරම් ප්‍රඥාවක් දහම් දැනුම තුළින් ඇති කරගත යුතුය. මනස සමාධිමත් වීමට පදනම සැකසෙන්නේ එවිටය. සමාධි ගුණය මනසත් කයත් අතර වෙනස අවබෝධ කරගැනීමට අවශ්‍ය ප්‍රත්‍යයකි . කය ද මම නොවේ. මනසද මම නොවේ. කයෙන් මනස නිදහස් වීම අත්දකින්නේ සමාධියෙනි. එහි දී ‘කය ම මම වෙමි’ යන මිථ්‍යාව අතුරුදන් වේ. මනස යනු ද නෛසර්ගික යථාර්ථයක් නොව හේතුඵල සැකැස්මක් බව පෙනෙන විට එයද ‘මම’ වශයෙන් නො ගත හැකි බව දැකිය හැකියි. මෙයයි, අවශ්‍ය සම්මාදිට්ඨිය ඇති සැටියට අනුව ම දකින විට එයයි, යථාභූතඤාණදස්සනය.

මේ යථාභූතඤාණදස්සනය තර්කානුකූල චින්තනය විසින් සකසන මතයක් නොවේ. මමත්වය මැවෙන්නේ රූපධර්ම, වින්දන, හැඳීනීම්, චේතනා , දැනීම් යන ක්‍රියාකාරිත්ව පහ ඇති තැන බව තමාගේ ම ඉන්ද්‍රිය අත්දැකීම් ක්‍රියාවලිය ඔස්සේ අවබෝධ වන්නකි. නුවනින් දකින්නකි. කාමය වෙනුවට නෛශ්ක්‍රම්‍යයත් ව්‍යාපාදය වෙනුවට මෛත්‍රියයත් විහිංසාව වෙනුවට කරුණාවත් පුබුදින්නේ මේ ප්‍රඥාව ඇති තැනය. “ මම කාමයෙන් තොර වෙමු. මම මෛත්‍රියෙන් යුතුවෙමි. මම කරුණාවෙන් යුතු වෙමි “ යන කථාවක් එතැන නැත. මමත්වයේ සංකල්පීය බව අවබෝධ කරගත් පමණට එහි හේතු ඵල සබඳතාව දකින තරමට මමත්වය ලිහිල් වී යන විට නිවැරදි සංකල්පනය පුබුදින්නකි. මෙය අනාත්මීය පිබිදීමක් බව දැකිය යුතුය. එහිදී පුබුදින්නේ නිවැරදි වචනයයි. නිවැරදි ක්‍රියාවයි. නිවැරදි ආජීවයයි. ‘ මම සිල්වත් වෙමි’යි සිතාගත්තාට සිල්වත් වන්නේ නැත. නූතන සමාජය සීලයෙහි අසමත් වී ඇත්තේ ඒ නිසාය.

මේ සකස් වීම කුශලයේ වැඩීමටත් ප්‍රහාණයටත් අවශ්‍යය. ඒ සම්මාවායාමයේ පිබිදීමයි. වායාමය යනු මමත්වයේ මැදිහත් වීමෙන් සිදුකරන බලකිරීමක් නොවේ. අතීතයේ බලපෑමෙන් මිදුන අනාගත කැමැතිවීම් නැති තැන ඇති සැටිය මේ මොහොතේ දකින විට, ඒ නිවැරදි දැක්ම නිසා ම ලෞකිකත්වය පිළිබඳ උනන්දුවීම හෝ ඉන් පලායාම හෝ වැළකී යමින් ඇති වන්නේ ප්‍රඥාසම්පන්න කලකිරීමකි. (නිබ්බින්දති) අකුශලය අතහැරී යන්නේ ඒ ආකාරයටයි. එහි දී පුබුදින්නේ කුශලයයි. මේවා මමත්වයෙන් යුතුව සිතා ඇතිකරගත හැකි දේ නොවේ.හේතු ඵල වශයෙන් පිබිදෙන දේ ය. ඒ අනුව සම්මාවායාම යනු සතිමත් බවින් යුතුව ප්‍රඥාව යෙදීමය. පුද්ගලයාට කරන්නට ඇත්තේ ද එපමණයි. ලෞකිකත්වයේ යථා ස්වභාවය දකින විට ඒ පිළිබඳ උකටලී බවත් (නිබ්බිදා ) ඒ නිසාම වෙන් වීමත් ( විරාග) එනිසාම මිදීමත් (විමුත්ති) උදාවනු ඇත. එයද අනාත්මය පිබිදීමක මය. මමත්වය මැදිහත් කිරීමක් එහි නැත.

මමත්වය මැදිහත් කළවිට මතුවන්නේ එක්කෝ කාමය පිළිබඳ ඇල්මයි. එක්කෝ පවතින්නට තිබෙන කැමැත්තය. එක්කෝ ඇති සැටියට විරුද්ධව යමින් තමන්ට ඕනෑ. හැටියට තත්ත්වයන් වෙනස් කරගැනීමට තිබෙන කැමැත්තය. මේ සැකසුනේ දුක්ඛසමුදයාර්ය සත්‍යයයි. දුක්ඛ සමුදයට අවශ්‍ය සියල්ල නිදහසේ සැකසීමට අවකාශ විවෘතව තබාගෙන කොතරම් බණ කිව්වත් කොතරම් බණ ඇසුවත් සිදුවන සතුටුදායක වෙනසක් නැත.

කාය විවේකය චිත්තවිවේකය නො හඳුනන තැන උපධිවිවේකය පිබිදෙන්නේ නැත. සසර වඩන ආහාර සම්පාදනය එපරිදිම සිදුවන බැවිනි. කබලිංකාර ආහාරය පිරිසිඳ නො දක්නා තැන වැඩෙන්නේ පඤ්චකාම ගුණයය. එබැවින් කායානුපස්සනාවක් නැත. එහි දී වැඩෙන්නේ අශුභයෙහි ශුභසංඥාවයි. ඵස්සාහාරය පිරිසිඳ නො දක්නා තැන වැඩෙන්නේ වින්දනයයි. එබැවින් වේදනානුපස්සනාවක් නැත. එහිදි වැඩෙන්නේ දුකෙහි සුඛසංඥාවයි. විඤ්ඤාහාරය පිරිසිඳ නො දක්නා කල්හි වැඩෙන්නේ නාමරූපයි. එබැවින් චිත්තානුපස්සනාවක් නැත. එහිදී වැඩෙන්නේ අනිත්‍යයෙහි නිත්‍ය සංඥාවයි. මනෝසඤ්චෙතනාහාරය පිරිසිඳු නො දක්නා කල්හි වැඩෙන්නේ තණ්හාවයි. එබැවින් ධම්මානුපස්සනාවක් නැත. එහිදී වැඩෙන්නේ අනාත්මයෙහි ආත්මසංඥාවයි.

මේ ශුභ සංඥාවත් සුඛසංඥාවත් නිත්‍යසංඥාවත් ආත්මසංඥාවත් සඤ්ඤාවිපල්ලාසයට චිත්තවිපල්ලාසයට දිට්ඨිවිපල්ලාසයට කරුණූ වෙයි. ප්‍රතිඵලය මාර සංයෝගයයි. සම්මාදිට්ඨි සමාදානයට මේ විපල්ලාසයන් අවබෝධ කරගත යුතුයි. ඒවායින් මිදිය යුතුයි. ඒවා අවබෝධ කරගැනීම ම ඉන් මිදීමට ඇති මගයි. පුද්ගලයා ශුභසංඥාව වඩන්නේ කය පිළිබඳවයි. ඒ නිසා කයෙහි අශුභය ඇති සැටියෙන් ම අවබෝධ කටයුතුයි. සුඛ සංඥාව වඩන්නේ ඉන්ද්‍රියානුසාරි භස්සායතනයන්ගෙන් ලබන වින්දයන් පිළිබඳවයි. ඒවා ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස ප්‍රතිඵලය කර ඇති දේ බව දකිමින් දුඞඛසංඥාව වැඩිය යුතුය. පුද්ගලයා නිත්‍යසේ හඟින්නේ වින්දන සංඥා චේතනා ස්පර්ශ මනසිකාර යන නාම ධර්ම ඔස්සේ අරමුණු කරගන්නා සළායතනික රූපය. ඒවා දැනීම් ක්‍රියාවලිය හෙවත් විඤ්ඤාණය විසින් මවන දේය. අනිත්‍ය වශයෙන් දැකිය යුත්තේ ඒවාය. ඒ අනිත්‍ය ලක්‍ෂණ ධර්ම ස්ව කැමැත්තට අනුව පැවැත්විය නො හැකි බැවින් අනාත්මයි. එහෙත් ඒ බව නො දකින සත්වයෝ සිය සමස්ත අත්දැකීම් ක්‍රියාවලිය පිළිබඳව ම ආත්ම සංඥාවෙන් යුතු වෙති. එය ඇති සැටියට පටහැනි අපේක්‍ෂාවක් වෙයි. ප්‍රතිඵලය වන්නේ අපේක්‍ෂා භංගත්වයයි. වැඩෙන්නේ කාම භව විභව වශයෙන් දැක්විය හැකි තණ්හාවයි. තණ්හා නිරෝධයට නම් අනාත්ම සංඥාව වැඩිය යුතුයි. මේ කාය සඳහා සතියත් ප්‍රඥාවත් යෙදිය යුතුයි. සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම, සම්මාසති යන මාර්ගාංග හතේ සම්බන්ධතාව මේ අනුව හඳුනාගත හැකියි. මේ අංග හත සමාධියට උපනිඞශ්‍රය වන බව මඞනිඞ මහාචත්තාරීසක සූත්‍රයෙහි පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

මෙතෙක් සංක්‍ෂිප්තව සාකච්ඡා කළ කරුණු පිළිබඳ අවබෝධය හෙවත් ප්‍රඥාව මුසුකර ගනිමින් සමාධියට යොමු වීමේදී වැඩෙන්නේ සම්මා සමාධියයි. ප්‍රඥාව යොදා නො ගත්තහුය සමාධිය නැත. සමාධියෙන් තොර වූවහුට ප්‍රඥාව නැත. යමකු තුළ ධ්‍යානයන් ප්‍රඥාවත් ඇත්ද ඔහු ඒකාන්තයෙන් නිවන ළඟය.

මේ කථා කළේ නිවන් මග ප්‍රායෝගික ව වැඩෙන ආකාරයයි. මමත්වය මතුකර ගැනීමෙන් තොරව හේතු ඵල වශයෙන් මාර්ගාංග පිබිදෙන අයුරින් ප්‍රඥාවෙන් හා සතියෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. එය නො වන්නේ නම් ඔහේ කියා කියා අස අසා සිටිය හැකිය. දහමේ නාමයෙන් අද බොහෝ විට කෙරෙන්නේ සළායතනික අරමුණු සැකසීමකි. නිවන් අවබෝධය යනු සළායතනික රූපාරම්මණ වල ප්‍රතිඵලයක් නොවේ. වින්දනයේ සඤ්ඤාවේ චේතනාවේ ස්පර්ශයේ මනසිකාරයේ ප්‍රතිඵලයක් නොවේ. ඒ සියල්ලේ නිරෝධයකි. යම් තැනෙක පඨවි ආපෝ තේජෝ වායෝ යන භූතරූප ප්‍රතිෂ්ඨාවක් නො ලබයිද ද(න ගාධති) එතැන නාමත් රූපත් නිරුද්ධ වේ. ඒ අනුව මාර්ග ප්‍රඥාව වඩන පුද්ගලයකු තුළ යම් මොහොතක රූපත් වින්දනත් සංඥාත් චේතනාත් ස්පර්ශත් මනසිකාරයත් නිරුද්ධ වේ ද මගඵල නුවණ උදාවන්නේ ඒ මොහොතේය. එය ‘මම’ කෙනකුගේ ජයග්‍රහණයක් නොවේ. අනාත්ම වූ පිබිදීමකි.