Print this Article


ධර්ම සන්නිවේදනයේ පරමාදර්ශය බුදුරජාණන් වහන්සේ ය

කරුණාවේ හා ප්‍රඥාවේ ජීවමාන මූර්තිය වූ අප බුදු රජාණන් වහන්සේ බඳු කථිකයෙකු, සන්නිවේදකයෙකු භාරතීය ඉතිහාසය තුළ තවත් පහළ වූයේ දැයි සැබවින් ම සැක සහිත ය. උන්වහන්සේ බඳු බණ කීමේ හපනෙකු ආගම් කතුවරුන් අතර තවත් දැකගත නොහැකි යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

බුදු රජාණන් වහන්සේ යම් ගමකට, නියම්ගමකට වඩනා පුවත කල් ඇතිව අසන සමකාලීන බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රීය, ශ්‍රමණ හා ගෘහපති පඬිවරු මහත්සේ කළ බල වූහ. සිය මහා නුවණින් අනුන්ගේ මතවාද බිඳිමින් හැසිරෙන, සියුම් වූ (තර්ක) බුද්ධියෙන් යුතු වාලවේධී දුනුවායන් සේ අනුන් හා වාද විවාද කරන සුළු ඒ පණ්ඩිතයෝ බුදු රදුන් වඩනා බව අසා කල්වේලා ඇතිව ම උභතෝකෝටික ප්‍රශ්න හදාගත්හ. “අප විසින් බුදුන්ගෙන් මේ ප්‍රශ්න ඇසූ කල්හි මෙසේ පිළිතුරු දුන්නහොත් මෙසේත් විචාරමු. එසේ කිවහොත් මෙසේ වදාරෝපණය කරමු”යි කතිකා ද කරගත්හ. බුදුරජාණන් වහන්සේ තමන් හමුවට මහත් වූ වාදාරෝපණ සිතින් ආ ඒ පඩිවරුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තියුණු කරවති. සතුටු කරවති. බුදු රදුන්ගෙන් ප්‍රශ්න නොවිචාරන්නෝ ය. කෙසේ නම් උන්වහන්සේට වාදාරෝපණය කරන්නේදැයි සිතන ඔවුහු බුදුරදුන්ගේ ම ශ්‍රාවකයෝ වෙති. මෙසේ තමන් පරදවාලන අදහසින් සන්නද්ධව වාදයට පැමිණියවුන් පවා තුටු පහටු කර කරුණු දක්වන්නට බුදුරදුන්ගේ සන්නිවේදන රටාවට හැකියාව තිබුණේ ය. තමන් හමුවට එන්න වුන් සුහද ව පිළිගෙන සුදුසු අස්නෙක හිඳින්නැයි ද ඇරයුම් කොට ධර්ම දේශනා වට පළමු ව ඔවුන් හා සතුටු සාමීචියෙහි යෙදීම ද, වඩාත් සමීප ව සුවදුක් විමසා කථාබස් කිරීම ද බුදු රදුන්ගේ සිරිත වූයේ ය. සූත්‍රාන්තයන්හි, එනම් බුදුරදුන්ගේ ධර්ම සන්නිවේදන වාර්තාවන්හි නිබඳවම හමුවන, සතුටුවිය යුතු සිහිකටයුතු කථා නිමවා යන්න මීට නිදසුන් වේ. එසේ පැමිණි සමහරුන් බුදුරදුන්ගේ සුවදුක් විමසූ හැටි, රාත්‍රිය සුවසේ සැතපුනු සේක් දැයි ඇසූ සැටි පෙළ දහම වාර්තා කරයි.

ධර්ම සන්නිවේදනයේ දී මැනවින් කරුණු තේරුම් කර දීම, විධිමත් ව පැහැදිලි කරදීම බුදුරදුන්ගේ විශේෂ ලක්ෂණයක් වූයේ ය. අඟුරට “චම්පා” නුවරට වැඩම කොට එහි ගග්ගරා නම් පොකුණු තෙර වැඩ සිටි බුදු රදුන් දැක්මට යනු රිසි වූ එක් සිය විසිවයස් ගිය උගත් ධනවත් බමුණෙකු ඔහුගේ පිරිස විසින් වළකාලනු ලබන කල්හි ඔහු විසින් කරවන ලද දීර්ඝ ප්‍රකාශයෙන් බුදු රදුන් තමන් වෙත ඒම නුසුදුසු බවත් උන්වහන්සේ වෙතයෑම ම සුදුසු බවත් පුන පුනා පැවසූ සැටි පෙළ දහම පෙන්වා දෙයි. ඒ සෝණ දණ්ඩ නම් බමුණු තෙමේ නොයෙක් නයින් කරුණු කියන්නේ මෙසේ ද කියයි. “මහණ ගොයුම්හු වූ කලී යහපත් කළණ තෙපුල් ඇත්තෝ ය. තෙලතොලු නොවූ, කී අරුත හඟවනු සමත් සිලිටිබසින් සමන්විත යෝ ය. මේ කරුණින් මේ භවත්ගෞතමයෝ අප හමුවට එන්නට නොනිස්සහ. අපි මැ උන්වහන්සේ හමුවට යාම සුදුසු යැයි එදා පැවසුවේ සෝණ දණ්ඩ නම් බමුණා ය.

බුදු රදුන් විසින් සන්නිවේදනය කළ ඒ ධර්මය මුලින් යහපත් වූයේ ය. මැදින් යහපත් වූයේ ය. අගින් යහපත් වූයේ ය. ඇතැම් විට අපට හමුවන සන්නිවේදකයන් මුලින් යහපත් වූ කරුණු දක්වන නමුදු මැදින් එසේ නොවේ. විටෙක ඔවුන්ගේ දෙසුම මැද යහපත් වන්නේ ය. මුලත් අගත් එසේ නොවන්නේ මිනිස්සු විවිධ අදහස් ඇත්තෝ ය. සිතුම් පැතුම් ද ගතිගුණ ද විවිධ ය. ඔවුහු අනේකවිධ පාපී සිතුවිල්ලෙන් කිලිටිව සිටිති. සට කපට වෙති. කුහක ද වෙති. එබඳු ලෝකයේ භාග්‍යවතුන් වහන්සේ සැමගේ හිත අහිත දැන (සතිපට්ඨානාදී වූ) සැමට උචිත වන දහමක් දෙසීම නම් අසිරිමත් කරුණකැයි බුදුරදුන් හමු වූ ඇතරුපුත් බොදුණුවෙකු විසින් පැවසූ සැටි පෙළ දහම වාර්තා කරයි. එසේ විවිධත්වයෙන් යුත් සමාජයට සම වූ දහමක් සන්නිවේදනය කිරීමේ හැකියාව ද බුදුරදුන්ගේ පරමාදර්ශයක්මැ වේ.

සැබෑ සන්නිවේදකයා මාර්ගෝපදේශකයෙකි. නියමුවෙකු නොවේ. බුදුරජාණන් වහන්සේ ද නොයෙක් විට පෙන්වා දුන්නේ තමන් වහන්සේ මාර්ගෝපදේශකයෙකු බව ය. “ඔබ විසින් කළ යුත්ත කළ යුතු ය. තථාගතවරු මගපෙන්වන්නෝ ය. උන්වහන්සේ විසින් මග පෙන්වන ලද්දේ ධර්ම සන්නිවේදනය තුළිනි. ඒ මග යාම ශ්‍රාවක ප්‍රජාවට අයත් ය. තමන් වහන්සේ භික්‍ෂූන්ගේ වුව ද නායකයා විය යුතු නැති බව බුදු හිමියෝ නොවළහා වදාළහ. භික්‍ෂූන් මා උදෙසා නොවිසිය යුතු ය. මවිසින් ඔවුනට නියමුවා වීම නම් සිදුවිය යුත්තෙක් නොවේ. යනු බුද්ධ වචනයයි. බුද්ධ දේශනාව වූ කලී ඒහි පස්සික ය. එව බලවයි දැක්විය හැක්කේ ය. එහි දේව රහසක් නැත. ගුරු මුෂ්ටි නැත. එසේ විවෘත වූ දහමක් සන්නිවේදනය කරණු ලැබීම නිසා ම, යථාර්ථවාදී ව ජීවිතය හා ලෝකය පහදා දුන් බැවින් ම බුදුරජාණන් වහන්සේගේ සන්නිවේදනය පරමාදර්ශී වේ. “මහණෙනි, මා විසින් විවෘත කොට දහම් දෙසන ලදී’ බුදු දහම බබළනුයේ විවෘත ව බැවින් ම ය. එහි සඟවාගත් කිසිවක් නැත යනු බුද්ධ වචන යයි.

යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ යසකුල පුත්‍රයා යෝග්‍ය වූ සිත් ඇත්තෙකැයි ද මොලොක් සිත් ඇත්තෙකැයි ද නොවිසිරුණු සිත් ඇත්තෙකැයි ද, නොහැකිළුණු සිත් ඇත්තෙකැයි ද නිසැකසිත් ඇත්තෙකැයි ද දත් සේක් ද එකල්හි තමා මැ උසස් බවට පත් (චතුරාර්ය සත්‍ය) ධර්ම දේශනාව කළහ. මෙසේ ශ්‍රාවකයන්ගේ සිත් කාමච්ඡන්දා දී නීවරණයන්ගෙන් මුදවා ඔවුන් සමාධිගත කොට ගැඹුරු ධර්ම දේශනා කරන ලදී.

මෙසේ බුදු රදුන් විසින් නොයෙක් ආකාර වූ විවරණ සහිත ව (අනෙක පරියායෙන්) වදාළ දහම ඇසූ ශ්‍රාවකයෝ ද උන්වහන්සේට නිබඳව ම ප්‍රශංසා කළහ. තමන් දහම් දෙසුයේ අසන්නන් ශ්‍රාවකයන් බවට පත් කර ගැනීමේ අපේක්ෂාව ඇති ව නොවන බව ද හුදෙක් විවිධ වැරදි වැටහීම් හා රැවටීම්ද දුරු කරවා සත්‍ය පහදාදීමේ අරමුණින් ම බව ද බුදුරජාණන් වහන්සේ නොයෙක් වර වදාළහ. බුදු රදුන්ගේ නිදොස් වූ ද කනට මිහිරි වූ ද හෘදයාංගම වූ ද පෙම් වඩන්නා වූ ද, වදන්වලින් සැරසුනු උපමා කථා, ගාථා වෘතාන්තාදියෙන් ද හැඩවුණු දම් දෙසුම් ශ්‍රවණය කළ බොහෝ දෙනෙකු විසින් අවසන තම සතුට ද ප්‍රකාශ කරන ලද්දේ ය. ඇතැම්හු දහම් අසා එසේ සතුටටත්, ප්‍රසාදයටත් පත්වැ මෙසේ පැවසූහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මන වඩන්නා වූ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතා යහපත් ය. යම් සේ යටිකුරු උඩුකුරු කොට දක්වන්නේ ද, වැසී තිබූ දෙයක් විවර කොට පෙන්වන්නේ ද, අඳුරෙහි පහනක් දල්වා ඇස් ඇත්තවුන්ට රූප දක්වනුයේ ද, මං මුලාවූවෙකුට මග කියන්නේ ද, එලෙසින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් පරියායෙන් දහම් දෙසන ලද්දේ යැයි ද පැවසූහ.