Print this Article


ලොවට ශාන්තිය උදා වූ අසිරිමත් දිනය

බුදුරජාණන් වහන්සේ දවසක් උක්කට්ඨා නගරයටත් සෙතව්‍ය නගරයටත් අතර වූ දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. “ද්‍රෝණ” නම් බමුණෙක් ද ඒ දවස එම දීර්ඝ මාර්ගයට පිළිපන්නේය. ද්‍රෝණ බමුණා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපාදයන්හි දහසක් අර ඇති නිම්වළලු සහිත නාභිය සහිත සෑම අයුරකින්ම පිරුණා වූ චක්‍ර ලක්‍ෂණයන් දුටුවේය. දැක ඒකාන්තයෙන්ම ආශ්චර්යයි. ඒකාන්තයෙන්ම පුදුමයි. මෙය ඒකාන්තයෙන්ම මිනිසෙකුගේ පා නොවන්නේ යැයි සිතීය. බමුණා පා පිය සටහන් අනුව යන්නේ එක්තරා ගසක් මුල ප්‍රසාද එළවන සුළු වූ රන්වන් සිරුරින් බබළන්නා වූ අතිශය පි‍්‍රයජනක වූ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා දැක මෙසේ විමසීය.

බමුණා :- ඔබ දෙවියෙක්ද?
බුදුරජ:- බමුණ මා දෙවියෙක් නොවෙමි
බමුණා :- ඔබ ගාන්ධර්වයෙක්ද?
බුදුරජ:- බමුණ මම ගාන්ධර්වයෙක් නොවෙමි
බමුණා :- ඔබ යක්ෂයෙක්ද?
බුදුරජ:- බමුණ මම යක්ෂයෙක් නොවෙමි
බමුණා :- ඔබ මනුෂ්‍යයෙක්ද?
බුදුරජ :- බමුණ මම මනුෂ්‍යයෙක් නොවෙමි

දෙවියන්, ගාන්ධර්වයන්, යක්‍ෂයන්, මිනිසුන් කෙරෙහි පවත්නා කාමාදී සියලු ආශ්‍රවයන් සහමුලින්ම ප්‍රහීණ කළ බැවින් දෙවියෙක් හෝ ගාන්ධර්වයෙක් හෝ යක්ෂයෙක් හෝ මනුෂ්‍යයෙක් හෝ නොවන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ ඔහුට වදාළ සේක.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ද්‍රෝණ සූත්‍රයෙහි තවදුරටත් මෙසේ ඇතුළත් වේ. එනම් “බමුණ, මානෙල් මලක් හෝ සුදු නෙළුම් මලක් හෝ නෙළුම් මලක් හෝ ජලයෙහි හටගෙන ජලයෙහි වැඩී ජලයෙන් ඉස්මතු වී ජලය හා නොගෑවී, නොගැටී තිබෙන්නාසේ බමුණ, මමත් ලෝකයෙහි උපන්නේ ලෝකයෙහි වැඩෙන්නේ ලෝකයා හා නොගැටී නොගෑවී ලෝකයෙන් ඉස්මතු වී වාසය කරමි. එනිසා බමුණා මා ‘බුද්ධ” යැයි දැන ගන්න (බුද්ධොති මං බ්‍රාහ්මණධාරෙහි)

තථාගතයන් වහන්සේ තමන් හඳුනා ඇත්තේ ‘බුද්ධ’යන පාලි වචනයෙන් බවට මෙය එක් නිදසුනක් පමණයි. බුද්ධ දේශනාවේ විවිධ සූත්‍රයන්හි මෙසේ හඳුන්වා දුන් ආකාරයට බොහෝ පාඨ උපුටා දැක්විය හැකිය. චුල්ලනිද්දේස පාලියේ පාරාසනානුගීති නිද්දේසයේ ‘බුද්ධ යන නම මෑණියන්, පියාණන්, සහෝදරයකු සහෝදරියක , යහළුවන් ,නෑයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙවියන් විසින් නොකරන ලදී. භාග්‍යයවත් බුදුවරයන්ට මේ බුද්ධ යන නමක් වේ නම් අර්හත්ඵලය අන්තයෙහි උපන් ඒ නාමය බෝමැඩ දී සර්වඥතාඥානය ලැබීමත් සමඟ අර්හත් ඵලය ප්‍රතික්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥාප්තියකි.’ යනුවෙන් විවරණය කරයි.

බුදුරජාණන් වහන්සේට සමකළ හැකි කිසිවෙක් මේ තුන් ලොවෙහිම නැත. එනිසා ‘අසම’ යනුවෙන් උන්වහන්සේ හැඳින්වේ. එහෙත් එවැනිම සම්මා සම්බුදුවරයෙකුට සමාන කළ හැකියි. එනිසා ‘අසමසම’ යනුවෙන් හැඳින්වේ.

බුදුරජාණන් වහන්සේ උපන්නේත්, සියලු කෙලෙසුන් නසා බුද්ධත්වයට පත් වූයේත්, පිරිනිවන් පෑවේත් වෙසක් පුර පසලොස්වක දිනයි. එනිසා සකල ලෝවැසි බෞද්ධ ජනයෝ මේ අසිරිමත් තෙමඟුල ඉතා භක්තියෙන් සමරති.

ක්‍රි.පූ.6 වැනි ශත වර්ෂයේ උතුරු දඹදිව (ඉන්දියාව) මධ්‍ය දේශයේ ශාක්‍ය නම් ජනපදයක් විය. එහි අගනුවර වූයේ කපිලවස්තු පුරයයි. සුද්ධෝදන නම් රජ කෙනෙක් එහි විසීය. එතුමාගේ අගබිසව මහාමායා දේවිය වූවාය. ඒ දෙපළගේ පුත් රුවන වශයෙන් අප මහා බෝසතාණෝ මෙලොව බිහිවූහ. උන්වහන්සේගේ නම සිද්ධාර්ථයි. එය පාලි භාෂාවේ වචනයකි. සංස්කෘත භාෂාවෙන් සිද්ධාර්ථ යනුවෙන්ද සිංහල භාෂාවෙන් සිදුහත් යනුවෙන්ද හැඳින්වේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමි ධර්මයන් පුරමින් සසරෙහි සැරිසැරූ උන්වහන්සේ බුද්ධත්වයට පෙර ආත්ම භාවයෙහි තුසිත දිව්‍ය ලෝකයේ උපන්හ. ඉන් චුතව මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඒ වෙලාවේ මහාමායාදේවිය සිහිනයක් දුටුවාය. කාලය කෙමෙන් කෙමෙන් ගත වන්නේ දරුගැබට දසමස් සම්පූර්ණවීමට ආසන්න වූ විට ඇයට තම මව්පියන් දැකීම සඳහා දෙව්දහ නුවරට යාමට සිත් විය. ඒ බව සුදොවුන් රජුට දැන් වූ විට කිඹුල්වත් නුවර සිට දෙව්දහ නුවර දක්වා ඉතා අලංකාර ලෙස සරසා රන්සිවිගෙයක දේවිය හිඳුවා උසස් කුල කාන්තාවන් හා ඇමැතිවරුන් පිරිවර මහ පෙරහරකින් පිටත්කොට හැරීය. අතරමගදී රමණීය ලුම්බිණි සල්උයනට ලඟා විය. සුපිපි මලින් බර සල් අත්තක් අල්වා ගෙන සිටින දේවියට ප්‍රසව වේදනාව දැනිණ. එහිදී අප බෝසතාණෝ මෙලොව ජනිත වූහ. එදා වෙසක් පුර පසළොස්වක දිනයකි. මහබෝසත් කුමරු මවු කුසින් බිහිවූ විගස බ්‍රහ්මයෝ සතර දෙනෙක් පැමිණ රන්දැලින් පිළිගත්හ. ඉක්බිති දේවියගේ අතට පත් කුමරු පොළොවෙහි පා තබත්ම නෙළුම් මල් පිපුණි. සත් පියවරක් තබා ‘මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි.මේ මාගේ අවසාන උපතයි. මින් මතු ඉපදීමක් නැත’ යනුවෙන් සිංහ නාද කළේය.

බෝසත්වරයෙකු බුදුවන අන්තිම ආත්මභාවයේ ඒ උතුමාගේ මැණියන්ට වෙනත් දරුවෙකු පිළිසිඳ නොගැනීම ධර්මතාවෙකි. ඒනිසා සිදුහත් බෝසතාණන් ඉපිද සත් දිනකින් මෑණියන් කලුරිය කොට තුසිත දෙව්ලොව උපන්නීය. මාතෘ දිව්‍ය රාජ නමින් හැඳින්වෙන්නේ එතුමියයි. ඉන්පසු කුමරුගේ කිරි මව් වූයේ මහාමායා බිසවුන්ගේ නැගෙණිය වූ මහා ප්‍රජාපතී ගෝතමියයි. ළමා කාලයේ දීම සිදුහත් කුමරු සියලු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගියේ සංසාරික පුරුද්ද නිසාය.හෙතෙම භද්‍ර යෞවන කාලයේ දීම එනම් වයස 16 දී සුප්‍රබුද්ධ රජුගේ දියණිය වූ භද්දකච්චායනා හෙවත් යශෝධරා කුමරිය සමඟ විවාහ විය. අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන සිද්ධාර්ථ කුමාරායා උයන් කෙළියට යාමේ දී සතර පෙර නිමිති දැක සසර කළ කිරී වයස 29 දී ගිහි ගෙයින් නික්මුණි. මහා අභිනිෂ්ක්‍රමණය යනුවෙන් හැඳින්වෙන්නේ මේ නික්මීමයි.

එතැන් පටන් උන්වහන්සේ විවිධ ගුරුවරු කරා සත්‍යය සොයා ගියහ. එහෙත් තමන් සොයන නියම සත්‍යය ඔවුන් සතු නොවන බව අවබෝධ කොට තම ශරීරයට දැඩි සේ දුක් දීමෙන්ම සත්‍යාවබෝධ කළ හැකියි. තීරණය කොට සාවුරුද්දක්ම දුෂ්කර ක්‍රියා කළහ. පසුව අන්තගාමී ඒ ප්‍රතිපත්තියෙන් ඵලක් නොවන නිසා මැදුම් පිළිවෙත අනුගමනය කරන්නට පටන් ගත්හ. උරුවේලාවට වැඩිය දින සිට උන්වහන්සේට සියලු උපස්ථාන කළ පස්වග තවුසෝ මැදුම් පිළිවෙත අනුගමනය කිරීම ගැන නොසතුටව උන්වහන්සේ හැර දමා ගියහ. නොපසුබස්නා වීර්ය ඇති බෝසතාණෝ ආනාපානසති භාවනාව වඩන්නට පටන් ගත්හ.රාත්‍රී නින්දට වන් සිදුහත් තවුසාණෝ අලුයම් කාලයේ සිහින පහක් දුටුවෝය.

උදෑසන අවදි වී අජපල් නුගරුක මුලට සැපත් වූහ. එහිදී සුජාතා විසින් පූජා කරන ලද කිරිපිඬු ගෙන නේරංජනා ගංතෙරට ගොස් පිඬු සතළිස් නවයක් කොට වළඳා ‘අද ම මම බුදුවන්නේ නම් මේ රන් තලිය උඩුගං බලා යේවායි’ අධිෂ්ඨාන කොට ගඟට දැමූහ. ඒ පැතුම් ඉටුවිය. අනතුරුව වනයට පිවිස දිවා කාලය ගත කොට ඉන් නික්ම ඇසතු රුක වෙත එළඹ ‘ මාගේ මේ ශරීරයෙහි සම් නහර අට මස් ලේ වියළී ගියත් සම්‍යක් සම්බෝධිය ලබා මිස මෙයින් නොනැඟිටිමියි ‘ අදිටන් කොට පෙරදිග බලා ඇසතු රුක මුල වැඩ සිටියහ. තවදුරටත් බවුන් වඩන්නේ පුබ්බේනිවාසානුස්සති ඤාණය (පෙර විසූ කද පිළිවෙළ දැන ගැනීමේ නුවණ) සත්ත්වයාගේ මරණය හා උපත දැන ගැනීමේ (චුතූපපාත ) ඤාණයත් කෙලෙස් නසන ආසවක්ඛය ඤාණයත් පිළිවෙලින් රාත්‍රියේ පෙරයම් මැදියම් පැසුලුයම් කාලයෙහි ලැබූහ. චතුරාර්ය සත්‍ය අවබෝධ කොට වෙසක් පුර පසළොස්වක් පොහෝ දින අසිරිමත් බුද්ධත්වයට අප මහා බෝසතාණෝ පත්වූහ. ලොව්තුරා බුද්ධත්වයට පත්වන විට ගෞතම බුදුරජාණන් වහන්සේට වයස තිස්පස් වසරකි. මේ ස්ථානය මෙකල බිහාරයේ ගයා නගරය අසල නේරංජනා නදී තීරයෙහි පිහිටා ඇත.

මෙසේ බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර අසල (දැන් සාරනාථ) ඉසිපතනයේ මිගදායේ දී පස්වග තවුසන් අරභයා ප්‍රථම ධර්ම දේශනාව එනම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. එතැන් පටන් අවුරුදු හතළිස් පස් වසරක් දෙවිමිනිසුන්ට දහම් දෙසූ සේක. බුදුරජාණන් වහන්සේට සමකළ හැකි කිසිවෙක් නම් මේ තුන් ලොවෙහිම නැත. සමාන කළ හැක්කේ තවත් එවැනිම සම්බුදුවරයෙකුටයි. ඒ නිසා තථාගතයන් වහන්සේ ‘අසමසම’ යනුවෙන් හැඳින්වේ. උන්වහන්සේ දෙව්මිනිසුන් අතර ආශ්චර්යවත් පුද්ගලයෙකි. බුදුහාමුදුරුවෝ දහම් දෙසුවේ එකල ව්‍යවහාර කළ කාටත් තේරෙන භාෂාවෙනි. මුල මැද අග කළණ දහම් දෙසූ සේක. කනට සුව එළවන සුලු හෘදයං ගමනීය වදනින් අමතූ සේක. තමා වෙත පැමිණෙන අයට නම කියා ඇමතූ සේක. චුන්දකර්ම පුත්‍රයාගේ ආහාර වැළඳීමෙන් පසු බුදුහාමුදුරුවෝ රෝගී වූහ. ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවන් අමතා ආනන්ද වතුර පිපාසයි. ඉක්මනට පැන් ටිකක් ගෙන දෙන්න. තවද ‘ආනන්දය මම දැන් ජරාවට වැඩි වයසට මහලු බවට වයස්ගත බවට පත්වීමි. මාගේ වයස අසූවකි. දිරූ රියක් රෝද බැඳීම ආදී ප්‍රතිසංස්කරණයෙන් අල්ලා සිටින්නාක් මෙන් මාගේ කයද අර්හත් බලයෙන් බඳනා ලදුව සිටියි. වරක් බුදුරජාණන් වහන්සේ වදාරති. මේ උන්වහන්සේ කථා කළ භාෂාවය.

විශාලා මහනුවර කූ®ටාගාර ශාලාවට සියලු භික්ෂූන් වහන්සේලා රැස් කරවා ‘මහණෙනි සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි. එළඹ සිටි සිහි ඇතිව ගුණ දහම් වඩන්න. මෙයින් තුන් මාසයක් ආවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන්පාන සේකයි “ වදාළහ. තුන් මසක් ඇවෑමෙන් වෙසක් පුර පසළොස්වක් පොහෝ දින කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ සල් ගස් දෙකක් අතර පිරිනිවන් මඤ්චකයේ වැඩ වසන සේක.

මම දැන් මහල්ලෙක්මි,මට ජීවත්වීමටද ඇත්තේ ස්වල්ප වේලාවකි. මම නුඹලා අතහැරදමා යන්නෙමි. මා විසින් නුඹලාට කළ යුතු උපකාර පිහිට කරණ ලද්දේ යැයි වදාරත්ම පෘථග්ජන භික්ෂූන් වහන්සේලා ඇතුළු අපමණ දෙවි මිනිසුන් හඬා වැළපෙති. ඒ සැම දෙනා අමතා “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදේථ මහණෙණි සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුවෙති. අප්‍රමාදව එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න. යැයි ශ්‍රී මුඛයෙන් වදාරා පිරිනිවන් පෑ සේක.