Print this Article


ගල් විහාරයේ සම්බුදු පෙළහර

ගල් විහාරයේ සම්බුදු පෙළහර

ශ්‍රී ලංකාවේ රාජ නාමාවලියේ විශිෂ්ටත්වයට පත් පළමුවන පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) පොදුජන සන්තෘෂ්ටිය ආගමේ ස්ථාවරත්වය ප්‍රභූ ආරක්‍ෂාව , පිළිසරණක් අවශ්‍ය වූ අසරණයන්ට පිහිටවීම එතුමාගේ සිව් වැදෑරුම් ප්‍රතිපත්තිය විය.

මෙම බහුවිධ කාර්යයන්ට සමගාමී ලෙස භෞතික පක්‍ෂයෙන් අධ්‍යාත්මික සුවය බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවාලන විරළ - විශිෂ්ට නිර්මාණයක් වශයෙන් පොළොන්නරුවේ ඉදිකළ උත්තරාරාමය නොහොත් ගල් විහාරය නිසැකවම හඳුන්වා දිය හැකිව තිබේ.

1907 වර්ෂයේදී එවකට පුරා විද්‍යා කොමසාරිස් ව සිටි එච්.සී. ජී. බෙල් මහතා තම වාර්ෂික වාර්තාවේ මෙලෙස සඳහන් කරයි.

පර්වතයෙහි නෙලන ලද මෙම පූජ්‍යස්ථානය හෙවත් පර්වතාරාමය ලක්දිව දක්නට ලැබෙන ඉතා උත්කෘෂ්ට වූ ද සිත් ඇද බැඳ ගන්නා වූ ද විහාරයක් වන අතර ඒ හා සම කළ හැකි වෙනත් විහාරයක් සමහර විටක ඉන්දීය මහද්වීපය පුරා වුවද හමු නොවනු ඇත.

තවදුරටත් එතුමා පවසන්නේ පසුබිමෙහි ඇති ශාන්ත නිසසල වන රොද මධ්‍යයෙහි නැවුම් බවින් හා තේජාන්විත බවකින් නැඟී සිටින ගලෙහි ජීවමාන ප්‍රමාණයෙන් නෙළා ඇති සදාතනික නින්දෙහි වැතිරී සිටින විලසින් හෝ සමාධිගත භාවනාවෙහි යෙදී සිටින විලසින් හෝ නිර්මිත බුදුපිළිම පෙළ දකින කාගෙත් නෙත් සිත් ඵෙශ්චර්යයෙන් යුතුව අවධිකරණු නිසැකය. ගල් විහාරයේ ඇති සරළ ප්‍රශාන්ත ප්‍රකාශන ගුණය පසුගිය සියවසක් මුළුල්ලේ පොරොවෙන් හා වෑයෙන් හානියට පත් නොවූ සුන්දර වන පෙතෙහි මැදි වී නිරුපද්‍රිතව අද දිනත් දැක බලා ගැනීමේ වාසනාව එහි යන්නවුන්ට තවමත් ලැබී ඇත.” යනුවෙනි .

යාර 56 ක් දිගකින් සමන්විත වූ ක්‍රමයෙන් බෑවුම් වන ගල් පර්වතයක ප්‍රතිමා හතරක් නිර්මාණය කිරීම උදෙසා පර්වතයට අඩි 15 ක් 17 ක් පමණ ගැඹුරට කපා තිබෙයි.

පිටතින් ගඩොල් බැමි බැඳ පර්වත ගුහා තවත් වර්ධනය කර තිබී ඇත. නටබුන් වූ ගඩොල් පාදම අදද දැක ගැනීමට ලැබේ.

මුහුණලා සිටගත් විට වම්පස කෙළවරෙහි වීරාසන ඉරියව්වෙන් සහ සමාධි මුද්‍රාවෙන් වැඩවසන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උස අඩි 15 ක් පමණ වෙයි.

ඉතා ගැඹුරු වූත් සූක්‍ෂම වූත් ධ්‍යානයට සමවන් විලාශය සමාධි මුද්‍රාව පරම ගාම්භීර වූ ප්‍රඥා මහිමය ප්‍රකට කරයි.” මේ අනුව සමාධි මුද්‍රාවෙන් පොදු වශයෙන් සංකේතවත් කරන්නේ බුද්ධත්වය බව”යැයි ආචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියෝ ප්‍රකාශ කරති. මෙම පිළිමයේ මුහුණේ ස්වරූපයෙන් බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික සුපොහොසත් භාවයට වඩා උත්තුංග වූත් උදාර වූත් ස්වභාවයක් නිරූපිත බව බොහෝ වියතුන්ගේ මතයයි.

බුදුපිළිමයේ සිරස පසුබිම රශ්මී ධාරාවක් දක්වා ඇති අතර පිළිමය පිටුපස අලංකාර මකර තොරණ විශේෂිත සංකේතවත් නිර්මාණශීලි ශිල්පීය ඥානයක් ප්‍රකට කරවයි. මකර මුව සහිත ගරාදී තුන බැගින් සිරුර දෙපස වෙයි. මකර මුව තුළ මිනිස් සිරුරු කැටයම් කර තිබෙයි. පිළිම වහන්සේගේ හිසට උඩින් අඩකවයක හැඩයට නෙළුම් මල් කැටයමින් යුතු තොරණකි. එහි දෙපස ස්තූප සහිත විමාන 4 කි. විමාන තුළ කුඩා බුදු පිළිම 4 ක් තිබේ.

මෙය මහායාන මතයක් අනුව නිර්මාණය කරන ලද්දක් බව පරණ විතානයන්ගේ මතයයි.

ඉතා සියුම් ඇසකින් බලන කලාකාමියකුට හැඟෙන්නේ බුදුන් වහන්සේගේ මහා කරුණා ගුණයට වඩා මහා පෞරුෂයක් මෙමගින් පිළිබිඹු වන බවයි. ළයේ ස්වරූපය මුවෙහි මතු කෙරෙන සියුම් ලක්‍ෂණ එයට හොඳ උදාහරණයකිි. මකර රූ මිනිසුන් ගිලගෙන සිටීම, ආසනයේ උත්කුට්ටිකයෙන් සිටිනා සිංහරූ වුණි. සංකේතවත් මගින් නිර්මාණ ශිල්පියාගේ අධ්‍යාත්මය හා එකහෙලා එකඟ වීමට තවමත් නොහැකි වුණද මෙම සංකේත මගින් වීරත්වය උදාරත්වය, ශ්‍රේෂ්ඨත්වය, ගාම්භීරත්වය වැනි උත්තුංග ගුණ ඉස්මතු කර පෙන්වීමට ශිල්පියා මෙම සංකේතාත්මක යෙදුම් භාවිතා කළා වීමට බැරිකමක් නැත.

මෙම පිළිම පෙළෙහි නිර්මාණාත්මක අපූර්වත්වය කිසිවිටෙකවත් ලඝු කළ නොහැක. විද්‍යාධන ගුහාව වශයෙන් බහුතරය හඳුන්වන වඩාත් ගැඹුරට ඇති කුටීරය තුළ වන කුඩා බුද්ධ ප්‍රතිමාවෙහි උස අඩි 4 අඟල් 7 ක් පමණ වෙයි. ව්‍රජාසනය මත වැඩ හිඳිනා පිළිම වහන්සේ පිටුපස දක්නට ලැබෙන්නේ ද්වාරපාලරූප සිංහරූප සහ බ්‍රහ්ම රූපයෙන්ම අලංකෘත මකර තොරණකි. මෙයින් පෙන්නුම් කරන්නේ මාතෘ දෙවියන් ධර්මය දේශනා කරන අවස්ථාව බව ඇතැමකුගේ මතය වේ. තරුණ දෙවිවරුන් අතර මහල දේව රුවකි. මෙය ශක්‍රයා ලෙස හඳුනාගත හැකි බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා පවසයි. ඒ අනුව මෙම ලෙන ඉන්ද්‍රසාල ගුහාව වශයෙන් ඔහු හඳුන්වයි. ශක්‍රයාට ඉන්ද්‍රසාල ගුහාවේදී බුදුන් වහන්සේ හමුවීම මෙම නිර්මාණයෙන් පිළිබිඹුවන බව මහාචාර්යවරයාගේ අදහස වේ.

ඉන් පසුව දකින්නට ලැබෙන හිටි පිළිම වහන්සේ මීටර් 7.1 ක් පමණ උස ළය මත දෑත් තබාගෙන සිටින අභංග ඉරියව්වෙන් නෙලූ අපූර්වතම මෙන්ම විශිෂ්ට අංග ලක්‍ෂණ මතුකරනා නිර්මාණයක් බව බහුතර වියතුන්ගේ මතය වෙයි. ඇතමකු පවසන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය අවස්ථාවේදී ශෝකයෙන් වැළපෙන අග්‍රශ්‍රාවක ආනන්ද හිමියන්ගේ ප්‍රතිරූපය මෙයින් දර්ශනය වන බවයි. නමුත් ඒ මතය මේ වන විට නිශ්ප්‍රභා වන තත්තවයකට පත්ව තිබේ. සියපතක් මත වැඩ සිටිනා පිළිම වහන්සේගේ ශීර්ෂ ලක්‍ෂණ මෙන්ම කම්පා නොවන සුළු මන්දාස්මිත මුව මතින් වහනය වන්නේ සම්බුදු උත්තම ගුණ මහිමයක බලය බව බොහෝ වියත්හු තර්ක ගෙන හැර දක්වති. මහාචාර්ය සෙනරත් පරණ විතානයන් පවසන්නේ මෙම දුර්ලභ ඉරියව්වෙන් පරදුක්ඛ දුක්‍ඛිත ස්වරූපය පෙන්නුම් කරන බවයි. ලෝක සත්වයාගේ දුක්ඛ දෝම නස්සයන් දෙස පතල මහා කරුණාවෙන් බලන අටලෝ දහමෙන් කම්පා නොවන නොසැලෙන මන්දහාස මුව කමල ඉතා සියුම් ලෙස රළු කලු ගලක කැටයම් කළ ඒ විශිෂ්ට ශිල්පියාගේ අධ්‍යාත්මයේ සුපොහොසත් භාවමය ප්‍රකාශන ශක්තියේ විශ්මය මෙම අපූර්වතම පිළිම වහන්සේ නිරූපනය කරනා සෙයකි.

නිද්‍රාගත යෝධයකු සේ ස්වභාව ධර්මය විකසිත කරනා පර්වත මධ්‍යයේ අවසන් කෙළවරෙහි සැතපෙන පිළිම වහන්සේ නෙලා තිබෙයි. දිගින් අඩි 48 අඟල් 4 ක් පමණ දිගැති මෙම පිළිමය බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සංකේතවත් කර පෙන්වන බව බහුතර විචාරකයන් පවසන අතර ඇතමෙකු පවසන්නේ බුදුන් වහන්සේ සැතපී සිටින ඉරියව්වෙන් මෙය නිර්මාණය කර ඇති බවකි.

අඩක් පියවුනු දෙනෙතේ ස්වභාවය කඩා හැලෙන ස්වරූපයේ කන් පෙති චීවරයේ රැළි ස්වභාවය සිවුරේ කොනක් ආසනයේ ස්පර්ශවීම වම් අත තබාගෙන ඇති ඉරියව්ව සහ වම් පාදය දකුණු පාදයට වඩා මදක් පසුපසට වන්නට පිහිටුවා තැබීම වැනි ලකුණු මතින් පරිනිර්වාණය සංකේතවත් වන බව බහුතර මතය වෙයි. එහෙත් පසුපසට ගෙන ඇත්තේ ස්වභාවයෙන් ඇතිවන වේදනාව සමනය කිරීම උදෙසා බව ඇතැමෙක් පවසතිි.

බුදුන් වහන්සේ හිස තබාගෙන ඇති ගල් කොට්ටය පුළුන් කොට්ටයක් බවට පත්කිරීමට නිර්මාණ ශිල්පියා සමත්ව ඇත්තේ එය එබී යන ලෙස නිමවා ඇති නිසාය. කොට්ටයේ මධ්‍ය ලක්‍ෂයේ නෙලා ඇති රුව සිංහයකු මුව ද මාරයාගේ මුව දැයි විමසිය යුතුව තිබේ. දිව එළියට දිගුකර සිටීමෙන් මේ දකින්නේ මාර දිව්‍ය පුත්‍රයා විය හැකිය.

මේ අධ්‍යාත්මික ප්‍රකාශනයන් හා හෘදයාංගවන වට සිතට දැනෙනා සුවය සැනසීම මෙලොවදීම නිවන් දැක්කා වැනි හැඟීමකි.