Print this Article


ස්‍යාමෝපසම්පදාව පිහිටුවීම හා තදනුබද්ධ ශාසනික සම්ප්‍රදාය

අනුබුදු මිහිඳු මාහිමියන් මෙරටට බුදු දහම හඳුන්වාදීමත් සමඟ මේ රටේ ඇති වූ ලාංකීය භික්‍ෂු වංශයේ මූලස්ථානය බවට පත්වූයේ අනුරපුර මහාවිහාරයයි. රාජධානි අනුක්‍රමයෙන් වෙනස් වීමත් සමඟ මෙකී මහාවිහාරීය භික්‍ෂු මූලස්ථානය ද ක්‍රමයෙන් ඒ ඒ ස්ථාන වලට සංක්‍රමණය වූ බවත් මෙකී මහාවිහාර භික්‍ෂු වශයෙන් අසම්භින්නව පවතින වර්තමාන භික්‍ෂු මූලස්ථාන දෙක අස්ගිරි මල්වතු උභය විහාරය බවත් තහවුරු වූ සත්‍යයකි. ශාසන ධාරිත්වයෙන් ඓතිහාසිකත්වයෙන් මෙන්ම රාජකීයත්වයෙන් ද අනූන වූ මෙම විහාරගත භික්‍ෂු වංශය උභය වාසයක් බවට පත්වූයේ සියම් උපසම්පදාව පිහිටුවීමෙන් අනතුරුවයි.

බුදුපියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ උපසම්පදා ක්‍රම අටකි. එනම් එහි භික්‍ඛු මහණ උපසම්පදාව, සරණාගමන උපසම්පදාව, ඕවාද පටිග්ගහන උපසම්පදාව,පඤ්භව්‍යාකරණ උපසම්පදාව, ගරුධම්ම පටිග්ගහන උපසම්පදාව, දූතෙන උපසම්පදාව,අට්ඨවාචක, උපසම්පදාව ඤත්ථිවතුත්තකම්ම උපසම්පදාව යනුවෙනි. ඉන් පළමු උපසම්පදා ක්‍රම හතරම බුදුරදුන් වෙතින්ම ලැබිය යුතු අතර අෂ්ට ගරුධර්ම ආදී අනෙක් උපසම්පදා ක්‍රම තුන භික්‍ෂුණීන් උදෙසා පණවන ලදී. එය ථේරවාද සම්පදායට අනුව මේ වන විට ලොවින් අතුරුදහන් වී ඇත. අටවැනිව බුදුරදුන් විසින් සංඝ සම්මුතියෙන් සිදුකළ හැකි ඤත්තිචතුත්ථකම්ම උපසම්පදාව අනුදැන වදාළ අතර ථේරවාදි බෞද්ධ භික්‍ෂූන් වහන්සේ අද දක්වා සිදු කරනුයේ එකී උපසම්පදාවයි.

එයද වරින්වර ලොව ඇතැම් රටවල විවිධ දේශපාලනික, සාමාජීය හේතු නිසා අතුරුදහන් වූ අතර ඒ සෑම අවස්ථාවන් වලදී සෙසු රටවලින් නැවත ධර්මවිනයානුකූලව එකී උපසම්පදාව රැකගෙන විත් ථේරවාදී ශාසන සම්ප්‍රදාය චිරස්ථායී කළ බව ඉතිහාසයේ සඳහන්ව පවතී. එවැනි අවස්ථා කීපයක් ලෙස පොළොන්නරු පරාක්‍රමබාහු රජු සමයේ සියම් දේශයට මෙරටින් උපසම්පදාව රැගෙන ගිය බවත් එම උපසම්පදාව ලද භික්‍ෂූන් සීහළ සංඝ නමින් හැඳින්වූ බවත් සඳහන් වේ. තව ද කෝට්ටේ යුගයේද මෙරටින් උපසම්පදාව ගෙන ගිය බවත් මහනුවර දෙවන විමලධර්මසූරිය රජු කල රක්ඛංඝ දේශයෙන් භික්‍ෂූන් වැඩමවා ගැටඹේ තොටේ උපසම්පදාවක් සිදුකළ බවත් ශාසන ඉතිහාසයන් තුළ සඳහන්ව ඇත.

මහනුවර රාජධානිය ආරම්භ වූයේ පළමුවන විමලධර්මසූරිය රජතුමාගෙනි. එතැන්සිට මෙම රාජධානියේ අවසානය දක්වාම පෘතුගීසි ලන්දේසි හා ඉංගී‍්‍රසි යන විජාතික ආක්‍රමණිකයින්ට නිතර මුහුණ දීමට සිදුවීම නිසා මහනුවර රාජධානි සමය තුළ ප්‍රබල දේශපාලන ආර්ථික සමාජමය ස්ථාවරයක් ඇති නොවීය. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය බවට පත්වූයේ සම්බුද්ධ ශාසනය අතිශයින් පරිහාණියට පත්වීමයි.මේ වන විට කන්ද උඩරට යම් ශාසනික ස්ථාවරයක් ගොඩනැගී තිබුනේ අස්ගිරි මහාවිහාර මුල්කොටගෙන වුවත් එහිද සැලකිය යුතු ශාසනික මෙහෙවරක් සිදුකිරීමට තරම් සමාජ වටපිටාවක් නොතිබුණි.

හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජසමය සිරිවර්ධන නම් සේනාධිකාරි විසින් සෙංකඩගල නුවර ඉදිකොට උතුරු දෙසින් ඇරඹී නව ආරාමයට යාපහුවේ අච්ඡ පබ්බත සෙනසුනේ භික්‍ෂූන් වැඩමවීමෙන් අස්ගිරි නමින් ප්‍රකට වී ඇති මෙම භික්‍ෂු වාසය ගම්පොළ යුගය වන විට දීප්තිමත්ව තිබූ බව පෙනේ. ගම්පොළ රජකළ වික්‍රමබාහු වැනි රජවරු මෙම අස්ගිරි මූලස්ථානයේ විසූ මහතෙරවරුන් උදෙසා ‘ගනදෙටු නායක ‘ආදී තනතුරු පිරිනැමූ බවත් සියම් උපසම්පදාව දක්වාම මෙම මූලස්ථාන තුළින් විශාල ශාසනික මෙහෙවරක් ඉටුවූ බවත් පිළිගත හැකි සත්‍යයකි.

පළමුවන විමලධර්මසූරිය රජතුමා මහනුවර රාජධානිය ආරම්භ කොට දළදා වහන්සේ මහනුවරට වැඩමවා ශාසනික ප්‍රබෝධයක් ඇතිකිරීමට උත්සාහ කළද පැවති දේශපාලන අස්ථාවර භාවය නිසා එය එතරම් සාර්ථකත්වයට පත්නොවීය. දෙවන විමලධර්මසූරිය රජ දවස වන විට උපසම්පදාව මෙරටින් ගිලිහී ගොස් තිබූ නිසා රක්ඛංඝ දේශයෙන් උපසම්පදාව ගෙනවුත් ගැටඹේ තොටේ උපසම්පදා විනය කර්මයක් සිදු කළද වැඩිකල් නොගොස්ම යළිත් මෙරටින් උපසම්පදාව අතුරුදහන් වන තත්වයට වැඩ සැලසුණි. මෙකල විසූ රාජ්‍ය ප්‍රධානින්ටද තම දේශපාලන ස්ථාවරය ආරක්‍ෂා කරගැනීම සඳහා කැපවෙනු විනා විශාල ශාසනික මෙහෙවරක් ඉටුකිරීම කෙරෙහි අවධානය යොමුකිරීමට අවකාශ නොලැබුණි.

සිංහල රාජවංශයේ අන්තිමයා වු නරේන්ද්‍රසිංහ රජතුමාගේ අදූරදර්ශී රාජ්‍ය ප්‍රතිපත්තියද මෙකල උඩරට රාජධානියේ අන්තපරිහාණියකට මෙන්ම සිංහල රාජ්‍ය වංශය දකුණු ඉන්දියානු වඩුග රජුන් අතට පත්වීමට ද ඉවහල් විය. විනෝදකාමි රජෙකු වු මොහු තම පෞද්ගලික සැප විහරණය පිළිබඳ සිතුවා විනා රට තුළ දේශපාලන,ආගමික ස්ථාවරයක් ඇතිකිරීම කෙරෙහි අවධානය යොමු නොකළේය.

මේ වන විට පිරිහි තිබූ ශාසනික පසුබිම තේරුම්ගත් වැලිවිට සරණංකර හෙරණපාණෝ සම්බුද්ධ ශාසනයේ සහ භාෂා ශාස්ත්‍රයන්හි උන්නතිය උදෙසා මහත් පරිශ්‍රමයක් දරමින් සිටියහ. පැවති ශාසනික සම්ප්‍රදාය පිළිබඳ උන්වහන්සේ තුළ එතරම් ප්‍රසාදයක් නොවීය.මේ නිසා පිළිවෙත් ගරුක සාමණේරවරුන් ඒකරාශි කරගෙන තමන් වහන්සේ මහත් පරිශ්‍රමයකින් සිංහල, පාලි, සංස්කෘත ආදි භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කර අන්‍යයන්ද එහිලා ප්‍රගුණ කරමින් ඇරඹී මේ ව්‍යාපාරය මල්ඵල ගැන්වීමට නම් උපසම්පදාව යළි පිහිටුවිය යුතුය යන තිර අධිෂ්ඨානයෙන් කටයුතු කළහ. එහිලා නරේන්ද්‍රසිංහ රජුට ඇවිටිලි කළද ඉන් පලක් නොවූ තැන ඔහුගේ අගමෙහෙසිය මධුරාපුර රාජවංශික බිසවක් වූයෙන් තම ඇවෑමෙන් රජකම අගමෙහෙසියගේ සොහොයුරාට පවරාදීමේ අටියෙන් මෙරටට ගෙන්වාසිටි කන්දසාමි කුමරුට ශිල්ප ඉගැන්වීමේ කාර්ය මුන්වහන්සේ භාරගත්හ. නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් ශ්‍රී‍්‍ර විජය රාජසිංහ නමින් රජ වූ මෙම රජතුමාගේ සහායෙන් උපසම්පදාව නැවත මෙරටට ගෙන්වා ගැනීමේ අටියෙන් දූත කණ්ඩායම් දෙකක් සියමට හා බුරුමයට පිටත්කර හැරිය ද එයද අසාර්ථක විය. එයින් නොනැවතුන මුන් වහන්සේ සිය මනදොළ සපුරා ගැනීම සඳහා නොනවතින උත්සාහයක යෙදුනාහ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය උදාව (ක්‍රි.ව. 1747 – 1782 දක්වා) මහනුවර දක්වා දීප්තිමත්ම කාලය ලෙස සැලකිය හැකිය. තම අභිප්‍රාය පිළිබඳ මෙතුමාට සැලකළ සරණංකර හෙරණපාණෝ රජතුමා එයට එකඟ කරගැනීමට සමත්වූහ. අස්ගිරි විහාරයේ සහ පොහොය මළුවේ එවකට සිටි මහතෙරුන්ගෙන්ද උපදෙස් ලද රජතුමා “මා දවස බුදු සසුන බබුළුවන්නෙමි” යන උදාරතර අධිෂ්ඨානයෙන් යුතුව දෙවනවරට සියමට දූතපිරිසක් යැවීමට කටයුතු කළේය. පළමු ගමනේදි දිවි බේරාගත් විල්බාගෙදර රාළගේ මූලිකත්වයෙන් 1750 අගෝස්තු මස ගමන් ආරම්භ කළ මේ දූත පිරිසට රජතුමා විසින් සියම් රජුට පිරිනමන ලද පඬුරු පාක්කුඩම් ද අස්ගිරි විහාරවැසි ගෙලහැවත්තේ ධම්මදස්සි හිමියන් පාලියෙන් රචනා කරන ලද සන්දේශය ද රැගෙන ත්‍රිකුණාමල වරායෙන් ගමන ආරම්භ කළහ. ඕලන්ද නැවකින් සියම් රට අයොද්‍යා පුරයට ගොස් සියම් රජු හමු වී මෙපුවත සැලකොට සියම් ජාතික උපාලි තෙරුන් සමග මහතෙරවරුන් 8 නමක් ද සාමණේර 07 නමක්ද සමඟ දූත පිරිස ත්‍රිකුණාමල වරායට පැමිණියහ.

මෙපුවත දැනගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මහත් ප්‍රසාදයට පත්ව ඇහැලේපොළ මහාධිකාරම සහිත දූත පිරිසක් එහි යවා මොවුන් පිළිගෙන ගොඩපොළ විහාරයට කැඳවාගෙන ආහ. ඒ වන විටත් අස්ගිරි විහාරයේත් පොහොයමළු නායක තෙරවරුන් සහ සරණංකර හෙරණපාණෝ එහි ගොස් සිටියහ. මෙම දූත පිරිස හරසරින් පිළිගෙන මහනුවරට වැඩමවාගෙන එන අතරතුර රජතුමා ද මහවැලි ගංගාවට ගොස් මුන්වහන්සේලා පිළිගෙන රජතුමාගේ රජවාසල සමීප මල්වත්තේ කරන ලද තම ආරාමයට වැඩම කරවන ලදී.

වර්ෂ 1753 ඇසළ මස පුන්පොහෝ දින පළමු උපසම්පදා විනය කර්මය පොහොයමළු විහාරයේදී ස්‍යාමදේශීය උපාලි මහතෙරුන් ප්‍රමුඛ දසවර්ගික සංඝයා ඉදිරියේ දී සිදුකරන ලදී. එදින පළමුවෙන් සියම් සාමණේර නමක් උපසම්පදා කළ අතර දෙවනුව, පොහොයමළුවේ ගනනායක කොබ්බෑකඩුවේ හෙරණපාණන් ද තෙවනුව අස්ගිරි විහාරයේ ගනනායක නාවින්නේ ධම්මදස්සි හෙරණපාණන්ද සිව්වැනිව සරණංකර හෙරණපාණන්ද වශයෙන්ද මෙම උපසම්පදා විනය කර්මය සිදුකළහ. කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ සරණංකර හෙරණපාණන්ගේත් දීර්ඝකාලීන අභිප්‍රාය වූ මෙම උපසම්පදා විනය කර්මය යළි පිහිටුවීම මෙරට ශාසන ඉතිහාසයේ ඉතා සුවිශේෂි ස්ථානයක් බවට පත්විය. එයින් නොනැවතුන රජතුමා මෙහිලා මහත් උත්සාහයෙන් කටයුතු කළ සරණංකර මාහිමියන්ට තුන්ලක සඟරජ පදවිය පිරිනමා ඊට නිසි වටාපතද පිළිගැන්වූහ. මෙකී ශාසනික කාර්යය පිළිබඳ තොරතුරු ඓතිහාසික වශයෙන් විමසා බලන විට මන්දාරම්පුර පුවත ග්‍රන්ථයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි.

තබමින සුරත පැවසු මෙලෙස අදරි න
හිමිදුන ඔබ සතුය තුන්ලක බුදුසසු න
සමගින දෙවෙහෙරද ලක්දිව සියලු තැ න
කුළුණින සඟරාජ තනතුර කරනු මැ න

ඉහත පද්‍ය ඒ සඳහා සාක්‍ෂ්‍ය සපයනු ලබයි. මහනුවර යුගයේ පත්කළ ශාසනික පදවි පිළිබඳ වැදගත් සාක්‍ෂියක් ද මෙකී ඓතිහාසික ග්‍රන්ථයෙහි දී හමුවේ. අස්ගිරි විහාර පාරශ්වයේ උරුලෑවත්තේ ධම්මසිද්ධි මහානායක හිමියන් උප සංඝරාජ තනතුරට ද පොහොයමළු විහාර පාර්ශ්වය (එතැන් පටන් මල්වතු විහාර පාර්ශ්වය) සඳහා තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්‍ඛිත මහානායක හිමියන් උප සඟරජ තනතුරට ද පත්කර ඊට නිසි වටාපත් උන්වහන්සේලාට පුදනු ලැබීය. අනතුරුව තුන් ලක පිහිටි ඉපැරණි සිද්ධස්ථාන 2400 ක් බැගින් 4800 ක් වූ මහියංගණ , කැලණිය,ශ්‍රී මහා බෝධිය ,ශ්‍රී පාදය ආදී සිද්ධස්ථාන විහාර පාර්ශ්ව දෙකට සමසමව බෙදාදුන් බව මන්දාරම්පුර පුවතේ සඳහන් වේ.

සතර සද සමත් තෙවලා මුනි වද න
පවර යතිඳු තිබ්බටුවාවේ සොබ න
සොඳුරු වටාපත පුදකර ගරු ලෙසි න
අදරකර පැවසු නරනිඳු මෙම වද න

දෙදහස් සිව්සියක් තුන්ලක මහවෙහෙ ර
සමගින පවර උපසඟරාජ තනතු ර
මහනායක ධුරයද මල්වතු වෙහෙ ර
පිළිගෙන රකිනු මැන බුදුසසුන ලක්පු ර

අදරින් මුනිවදන රකිනා ගුණ මහ ත
සොබමන් උරුලෑවත්තේ යතිඳුට සම ත
සියතින් පවර පුදකරමින් වටාප ත
මෙලෙසින් පැවසු නරනිඳු හිමි අදරයු ත

දෙදහස් සිව්සියක් මහවෙහෙර සමගි න
අස්ගිරි වෙහෙර මහනායක කම සොබ න
උපසඟරජ තනතුර ගරු පිළිරැගෙ න
තුන්ලක බුදු සසුන් නියතින් රකිනු මැ න

මන්දාරම් පුවතෙහි එන ඉහත සඳහන් කාව්‍ය තුළින් උභය මහාවිහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ශාසනික තනතුරුවල ඓතිහාසික වැදගත්කමක් මෙරට ඓතිහාසික සිද්ධස්ථානයන්හි නෛතික උරුමයත් පිළිබඳ මනාව පැහැදිලි වේ. මෙකී ප්‍රාදේශීය විහාරස්ථාන වල භික්‍ෂු සංඝයා සිය මූලස්ථාන වෙත පැමිණෙන කල්හි අවශ්‍ය නවාතැන් සහ ප්‍රත්‍ය පහසුකම් වෙනුවෙන් නගර සිව්කොන, සුදුහුම්පළ,අම්පිටිය, නිත්තවෙල, ගංගාරාමය යන විහාරස්ථාන ඉදිකොට රජතුමා විසින් ඊට ගම්වර පිදු බව ද සඳහන් වේ. ඉන් සුදුහුම්පළ සහ නිත්තවෙල විහාරස්ථාන දෙක අස්ගිරි මහාවිහාරයට ද අම්පිටිය සහ ගංගාරාම යන විහාරස්ථාන දෙක මල්වතු මහාවිහාරයට ද පුදනු ලැබීය. තවද මෙතුමා උභය මහාවිහාරයට අනුනායක හිමිවරු දෙනම බැගින් ද කාරක සභිකයන් වහන්සේලාද පත්කොට ශාසන චිරස්ථායි බව ඇතිකළේය.

එසේම වාර්ෂිකව උපසම්පදා මංගල්‍ය පවත්වාගෙන යන ලෙසට රාජ නියෝග කොට තැබීය. වෙසක් පුරපසළොස්වක් පොහෝ දින එකී උපසම්පදා විනය කර්මය ආරම්භ කොට පොසොන් පුරපසළොස්වක් පොහොය දක්වා පවත්වන ලෙසටද නියම කළ මෙතුමා වෙසක් පොසොන් පොහොය අතර පොහොය පහට විහාර දෙකේ සාමණේරවරු පස්දෙනා බැගින් දසදෙනෙකු තෝරා රජවාසල වෙනුවෙන් උපසම්පදා කිරීමටත් රජතුමා විසින්ම මෙම උපසම්පදාපෝක්‍ෂක නාගයින්ට ශ්‍රී දළදා මාළිගයේ දී ඔටුනු පළඳවා පෙරහරින් උභය විහාරයට පිටත් කොට රාජවාසල වෙනුවෙන් උපසම්පදා කිරීමටත් නියම කොට ඇත. එනිසා මෙම රජවාසල වෙනුවෙන් උපසම්පදාව ලබන නාගයින් වාහල නාග යනුවෙන් හඳුන්වන අතර අද දක්වාම මේ චාරිත්‍රය සිදුකරනු ලැබේ. රජතුමා වෙනුවෙන් එම නාගයින්ට ඔටුනු පැළඳවීම අද සිදුකරනුයේ දියවඩන නිළමේතුමා විසිනි. අනුරාධපුර මහාවිහාරයෙන් ආරම්භ වූ මෙම මහා විහාරගත භික්‍ෂූ වංශය මහනුවර රාජධානිය දක්වාම අඛණ්ඩව පැවතගෙන අවුත් ස්‍යාමෝපසම්පදාවෙන් පසු උභය වාසයක් ලෙස මෙසේ විකාශනය වී ගිය අතර මෙයින් අඩසියවසකට පමණ පසු බුරුමයේ අමරපුර දේශයෙන් උපසම්පදාව රැගෙනවිත් අමරපුර නිකාය සහ රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ලබා මෙරට රාමඤ්ඤ නිකායත් ආරම්භ වූ අතර මේ නිසාම ඉහත කී මහාවිහාර වංසාගත අස්ගිරි මල්වතු උභයවාසී මෙම භික්‍ෂු පරපුර සියම් මහානිකාය යනුවෙන්ද හඳුන්වන්නට විය.