Print this Article


වසර 2321 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 261ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

වසර 2321 ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත්

වසර 261ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

සම්මාසම්බුදුරජාණන් වහන්සේ අනාගතයේ ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටවන බව දැනගෙන බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පුන් පොහෝ දින ද, පස්වෙනි වස බක් පොහෝ දිනයෙහි ද අටවෙනි වස වෙසක් පොහෝ දිනයෙහි ද ශ්‍රී ලංකාද්වීපයට වැඩමවීමෙන් සිරිලක් දිව අති පාරිශුද්ධත්වයට පත් වූයේයැයි දීපවංශ, මහාවංශ,, ජිනකාලමාලි ආදි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන්වේ.

බුදුරදුන් පිරිනිවී වසර 218කට පසු ධර්මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වූයේ නිග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත්ව මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ කාය සියැසින් දැක අසීමිත බුද්ධාලම්භන පී‍්‍රතියට පත් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කටයුතු සැලැස්වීය.

ධර්මාශෝක මහරජතුමන්ගේ පුතණුවන් වූ මිහිඳු මහරහතන් වහන්සේ බු.ව. 237 දී ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත් කොට, රාජකීය අරිට්ඨ කුමාරයන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කරමින් භික්‍ෂු ශාසනය පිහිටවූ අතර, සංඝමිත්තා තෙරණිය ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා අනුලාදේවිය ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කරමින් භික්‍ෂුණී ශාසනයත් පිහිටුවීමෙන් අනතුරුව භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් යුත් ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය බැබළවීය. ටික දිනක් ගතවන මොහොතේ මහානාග කුමාරයාට රාජ්‍ය පිළිබඳ ඇති වූ ආරවුල් තත්ත්වය නිසා මහවැලි ගඟෙන් එගොඩව රෝහණයට යන්නට සිදු විය. භික්‍ෂූන් වහන්සේ සහිත ස්වකීය පිරිස රැගත් මහානාග කුමාරයා මහවැලි ගඟෙන් එගොඩ වීමත් සමඟම එතුමාගේ නමින්ම නාගාරාමය හෙවත් වර්තමාන සෝමවතී විහාරය ආරම්භ කළ අයුරු ද එකී ස්ථානයේහි පිහිටුවා ඇති අභිලේඛනයන්ගෙන් මැනවින් පැහැදිලි වේ. ඉන් අනතුරුව යටාලතිස්ස ප්‍රදේශය ආදීකොට ඇති ප්‍රදේශයන් මුල්කොට වෙහෙර විහාර ඉදිකරමින් ලක්දිව රෝහණ ප්‍රදේශයේ ද සම්බුද්ධ ශාසනය වැඩිදියුණු කිරීමට හැකි විය.

මේ අයුරින් උතුරු ප්‍රදේශයෙත්, රෝහණයේත් සියලු ලක්දිව සම්බුද්ධ ශාසනය වැඩිදියුණු වන මොහොතේ සේන ගුත්තික අස් වෙළඳුන්ගේ හා එළාරයන් ගේ රාජ්‍ය පාලනය නිසා සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් උතුරු ප්‍රදේශයේ අන්ත පරිහානියට පත්විය. එදා මිහිඳු මාහිමියන් වහන්සේ සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාමසීමාව සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙකම ලබා දී ඉන් අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨකුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි ඇති කළ සම්බුද්ධ ශාසනය අනුරාධපුර, පොළොන්නරු ආදි යුගයන් හි දියුණුවට හා පරිහානියට පත් වූ ආකාරය ඓතිහාසික තොරතුරුවලින් මැනවින් පැහැදිලි වේ.

එදා අනුරාධපුර මහා විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. ශීලයෙහි උපරිම ශීලයැයි කියන ලද අධිශීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම් වේ. පැවිද්දට උපසම්පදාව අයත්වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය අයත්වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත. බුදුරජාණන් වහන්සේගේ උපසම්පදාව බුද්ධත්වය සමගම බෝධිමූලයේ සිදු වූයේයැයි මිලින්ද ප්‍රශ්නයේ දැක්වේ. මෙහි උපසම්පදා ශීලය වශයෙන් සැලකෙන ශීලය නම් චතුපාරිශුද්ධි ශීලයයි. නවදහස් එකසිය අසූකෙළ පන්ලක්‍ෂ තිස් හයක් ශික්‍ෂායෙන් යුක්ත ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය පළමුවැනි වෙයි. ඉන්ද්‍රීය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්‍රත්‍යසන්නිශි‍්‍රත ශීලය යන ශීල හතර අධි ශීල වෙයි. පංච ශීලය, අටසීලය, ආජීව අට්ඨමක ශීලය සාමණේර ශීලය යන හැමටම වඩා මේ චතුර්විධ ශීලය අධිශීලයයි. මෙම අධි ශීලය ලැබීම උපසම්පදා ශීලයයි. දම්සක් පැවතුම් සූත්‍රය අසා පළමුවරට සෝවාන් වූ කොණ්ඩඤ්ඤ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබීමට කැමැති බව කියා සිටියි. එවිට බුදුරජාණන් වහන්සේ “මහණ මෙහි එව මනා කොට දුක්කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව“ යන්නයි. එම වාක්‍යය අවසාන වත්ම හෙතෙම ඍධිමය පාත්‍ර සිවුරු දරා පැවිද්ද හා උපසම්පදාව ලබයි. බුදුරදුන් බුදු වූ මුල් කාලයෙහි බොහෝ දෙන මහණකම හා උපසම්පදාව ලබා ඇත්තේ මේ ආකාරයෙනි. එතැන්පටන් උපසම්පදා වන ක්‍රම 8 ක් දක්නට ලැබේ.

1. ඒහි භික්‍ඛු උපසම්පදා, මෙහි බුදුරදුන් මහණ මෙහි එව බඹසර හැසිරෙව යි ශ්‍රී‍්‍රහස්්ථය දිගු කළ පමණකි සිදු කළ උපසම්පදාව,

2. සරණා ගමන උපසම්පදා, තෙරුවන් සරණ යෑමෙන් සිදු වෙතැයි අනුදැන වදාළ උපසම්පදාව, මෙය උපසම්පදාව බුද්ධ කාලයේදීම ප්‍රතික්ෂේප කරණ ලදී.,

3. ඕවාද පටිග්ගහණ උපසම්පදාව, අවවාද පිළිගැනීමෙන් සිදුවෙතැයි අනුදැන වදාළ උපසම්පදාව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගේ උපසම්පදාව මෙම ක්‍රමයෙන් සිදු විය.

4. පඤ්හව්‍යාකරණ උපසම්පදාව, ඒක, නාමකිං, ආදි වශයෙන් ප්‍රශ්න කළවිට ඒවාට දුන් පිළිතුරුවලින් අනුදැන වදාළ උපසම්පදාවයි. මෙයින් හත් හැවිරිදි සෝපාක සාමණේරයන් වහන්සේගේ උපසම්පදාව සිදු විය.,

5. ගරුධම්ම පටිග්ගහන උපසම්පදා ගරුධර්ම අටක් පිළිගැනීමෙන් අනු දැන වදාළ උපසම්පදාවයි. එය ප්‍රජාපතී ගෝතමී මෙහෙණිය කෙරෙහි පමණක් බලපැවැත්විය. සෙසු කුමාරිකාවෝ ගරුධර්ම අට පිළිගෙන භික්‍ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ.

6. දූතේන උපසම්පදාව, දූතයෙකු යවා කරණ උපසම්පදාවයි. මෙය අඩ්ඪකේෂී මෙහෙණ සඳහා පමණක් වදාරණ ලදී.

7. අට්ඨවාචික උපසම්පදාව, උභතෝ සංඝා කෙරෙන් මෙහෙණනට අනුදැන වදාළ උපසම්පදාවයි.

8. ඤාත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි, රාධ බ්‍රහ්මණයා උපසම්පදා කිරීමට අනුදැන වදාළේ මෙම උපසම්පදාවයි. එතැන් සිට සරණාගමන ආදි උපසම්පදා, ප්‍රතික්ෂේප කොට ඤාත්තිචතුත්ථ කම්ම උපසම්පදාව නියම කිරීමෙන් පසු අද දක්වාම පවත්නේ එම ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි.

සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොටම මහාවිහාරයත් සමඟම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසාමය. එතැන් පටන් මහා විහාරය මෙන්ම ථූපාරාමයත් සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරමින් වැඩිදියුණු කිරීමට පටන් ගති.

විදේශ ආක්‍රමණ හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත් සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසාම ලක්දිව සියලුම ජාතික ආගමික සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්තපරිහානියට පත්වී උපසම්පදා විනය කර්මය ප්‍රමාණවත් භික්‍ෂුන් පස්නමක් වත් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවක මහළුවිජයබා රජතුමා රක්ඛංග දේශයෙන් භික්‍ෂුන් ගෙන්වා උපසම්පදා විනය කර්මය සිදු කරවා ශාසනය වැඩිදියුණු කරණ ලදී. මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රයම සමගි කරවා කතිකාවතක් ද ඇති කොට දහස් ගණන් සාමණේරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය.

දඹදෙණිය, කුරුණෑගල, යාපහුව, ගම්පොල, කෝට්ටේ ආදි රාජ්‍ය යුගවලදීද සම්බුද්ධ ශාසනය වැඩිදියුණු තත්ත්වයට හා රාජ්‍ය අනුග්‍රහය නොලැබීමෙන් පරිහානි තත්වයට පත්වූයේ නමුත් සීතාවක රාජ්‍ය යුගයේදී පළමුවැනි රාජසිංහ රජතුමා විසින් සම්බුද්ධ ශාසනයත් ධර්ම ග්‍රන්ථත් විනාශයට පත්කිරීම නිසා සම්බුද්ධ ශාසනය හා ශබ්ද ශාස්ත්‍ර අන්තපරිහානියට පත්විය. එකල සෙංකඩගල විසූ වීරවික්‍රම රජතුමා බු.ව. 2085 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1542 දී රජගෙට දකුණු දෙසින් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රධාතුන් වහන්සේ නිදන්කොට දාගැබැක් බැඳ දෙමහල් පෝයගෙයකින් යුත් පෝයමළු විහාරය ඇතුළු නානා දිසාවන් හි විහාර 86 ක් කරවූ අතර, ධර්මකීර්ති හිමියන් ප්‍රධාන කොටගෙන 355 ක් සාමණේරයන් උපසම්පදා කරවා නොයෙක් පිංකම් සිදු කළ ආකාරය මහා වංශයේ 92 පරිච්ඡේදයෙහි මැනවින් පැහැදිලි වේ.

රාජ්‍ය වර්ෂ 1592 දී 1 වන විමලධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගල යට සුරක්‍ෂිතව තිබූ වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා දෙමහල් ප්‍රාසාදයක් කරවා එහි තැන්පත් කොට පුද පූජා පැවැත්වූ අතර, රක්ඛංග දේශයෙන් භික්‍ෂූන් ගෙන්වා ගැටඹේතොට උපසම්පදා කරවා පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් තුන් මහල් දළදා මැඳුරක් ද සෑද වීය. සෙනරත් රජු කල පරංගීන් පැමිණ දළදා මාළිගාව ද විනාශ කළ අතර, මැදමහනුවර ආදී නොයෙක් ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්‍ෂිත කරගනිමින් නැවතත් 2 වන විමලධර්සූරිය රජතුමා දළදා මාළිගාව තුන් මහල්සේ සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා රක්‍ඛංග දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැටඹේතොට දී 33 නමක් උපසම්පදා කරවා පෝයමළු විහාරයෙහි වාසයට සැලැස් වූහ. ඔහුගේ පුත් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතෙමේ ආගමික ශාසනික කටයුතු දියුණු කරනුයේ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය දියුණු කරලමින් සාරාර්ථසංග්‍රහය, මහාබෝධි වංශය, භෛසජ්‍ය මංජුසාව ද සකස් කිරීමට මහෝපකාරී විය. අනතුරුව විජය රාජසිංහ රජතෙමේ ශාසනික කටයුතු දියුණු කරලමින් සරණංකර සාමණේරයන් වහන්සේට ආරාධනා කොට සතර බණවර සන්නය ද ලියවමින් ධර්මශාස්ත්‍රීය කටයුතු දියුණු කිරීමට උපකාරී වූ අතර, සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා වීමට නම් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ සිටිය යුතු යැයි සරණංකර හිමියන්ගේ ද උපදෙස් අනුව උපසම්පදාව ගෙනඒම සඳහා විදේශයකට දූතයන් යැවීය. නැව මුහුදේ දී විනාශවීමත් සමගම පිරිස ද විනාශයට පත්විය. දොරණෑගම මුහම්දිරම් රාළ නිලමේ පමණක් ඉතිරිවිය.

දෙවන වතාවටත් දූත පිරිසක් යැවූ නමුත් ශ්‍රී විජයරාජසිංහ රජතුමාගේ අභාවය සිදුවූ හෙයින් විල්බාගෙදර රාල ඇතුළු එම දූත පිරිස ආපසු පැමිණිය හ. අනතුරුව රජකමටපත් කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගෙන් ආගම ධර්මය අසා මැනවින් දැන උගෙන සම්බුද්ධ ශාසනය චිරකාලයක් පවත්නේ උපසම්පදා භික්‍ෂුන්වහන්සේ නිසාම බව දැනගෙන සරණංකර හිමියන්ගේ උපදෙස් අනුව ලංකාවෙන් ගෙනගිය උපසම්පදාව සියම් දේශයේ සුරක්‍ෂිතව තිබෙන හෙයින් සියම් දේශයට දූත පිරිසක් යැවීමට තීරණය කරන ලදී.

සියම් රටේ රතනපඤ්ඤ හිමියන් විසින් ලියන ලද ජිනකාලමාලි නම් වංශ කථාවේ සඳහන් වන අයුරින් ඒ වන විට ලක්දිවින් රැගෙන ගිය උපසම්පදාවත් බෝධීන් වහන්සේත් බුද්ධ ප්‍රතිමාවහන්සේත් ත්‍රිපිටකයෙන් සමන්විත සම්බුද්ධ ශාසනය එකී සියම් රටේ තිබීම නිසා අපමණ සතුටින් උපාලි හිමියන් ඇතුළු 25 නමක් භික්‍ෂූන් වහන්සේ රාජ්‍ය වර්ෂ 1753 දී මහනුවරට වැඩමවා කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ මල්වත්ත විහාරයක් බවට පත් කොට එකී මල්වත්තෙහි තිබූ රාජස්ථාන ශාලාව පෝයසීමාව බවට පත් කොට ශ්‍රී ලංකාද්වීපයෙහි පළමු වරට ස්‍යාමෝපසම්පදාව එකී මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝෂථාගාරයේ දී පිහිටුවන ලදී. එතැන් පටන් වර්තමාන සම්බුද්ධ ශාසනය මල්වතු අස්ගිරි විහාරයන් මුල්කොට ලක්දිව නොයෙක් දිසාවන් හි පැතිර යමින් වෙහෙර විහාර, සියගණන් ඉදිකෙරෙමින් දහස් සංඛ්‍යාත භික්‍ෂූන් වහන්සේ ඇති කරලමින් වර්තමාන සම්බුද්ධ ශාසනය පිහිටවූ ආකාරය මැනවින් පැහැදිලි වේ. එදා කොබ්බෑකඩුවේ හිමියන් වැලිවිට හිමියන් තිබ්බටුවාවේ හිමි ආදීන්ගෙන් ආරම්භ වූ වර්තමාන උපසම්පදාව හෙවත් සම්බුද්ධ ශාසනය අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එන අතර, 261 වන වරටත් මහා විහාර උපසම්පදාව මෙම 2014 මැයි මස 14 වැනි දින මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව හා කර්මාචාර්යය භික්‍ෂූන් වහන්සේ සහිත මල්වතු මහා විහාරයීය භික්‍ෂූන් වහන්සේගේ සහසම්බන්ධත්වය ඇතිව වාහල නාග නාමයෙන් ආරම්භ කොට ජූනි 12 වන දිනට යෙදෙන පොසොන් පොහොය දක්වා දෛනිකව පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.