Print this Article


දිය බින්දුවලිනුත් කළයක් පිරවිය හැකි ය

කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි

බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ මහපින්කම් ලැයිස්තුවක් සඳහන් වෙන බව අපි දනිමු. කඨින පූජාව, අටපිරිකර පූජාව ආදී කොට ඇති මෙම ලැයිස්තුවේ මහපින්කම් දහයක් ඇත. මේවා සැබැවින් ම මහානිශංස දායක පින්කම්ය. ඒ පිළිබඳ සැකයක් නැත. ඒ නිසා ම අද සමාජයේ වැඩි අවධානය යොමු වී ඇත්තේ මෙකී මහ පින්කම් කිරීමටය.

බොහෝ බෞද්ධයන් මහත් උනන්දුවකින් මහ පින්කම්වල යෙදී සිටිනු අපි දකිමු. එහෙත් මහපින්කම්වලට උනන්දුවක් දක්වන අය තුළින් පුංචි පින්කම් ගිලිහී ගොස් ඇතුවාසේය. පුංචි නිසාදෝ අවධානයට ලක් නොවන මෙබඳු පින්කම්වලට මෙලොවදී ම ආනිශංස ලබාදීමට පමණක් නොව පුදුමාකාර ලෙස පෞරුෂය ගොඩනැගීමේ හැකියාවක් ඇත. මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ පුංචි පින්කම්වලට කෙනෙකුගේ ජීවිතයේ සැබෑ මෙන් ම බරපතළ වෙනසක් කළ හැකි බව පෙන්වා දීමටය.

මහා ගල්පර්වතයක් සෑදී ඇත්තේ ගල්කුඩු රාශියක් එකතුවීමෙනි. ගංගාවක් සෑදී ඇත්තේ දිය බින්දු රාශියක් එකතුවීමෙනි. ලොව ඇති සෑම දෙයක් ම නිර්මාණය වන්නේ ඒ ආකාරයටයි. මහ පින්කමක් ද සකස්වන්නේ පුංචි පින්කම් රාශියක එකතුවෙනි. පිනක් යනු පරාර්ථකාමී එක් සිතිවිල්ලකි. එබඳු සිතිවිලි රාශියක් එකතු කර ගත හැකි පින්කම මහ පින්කමකි. උදාහරණයක් ලෙස කඨින පින්කම දෙස බලන්න. කඨිනපූජාව යනු සිවුරක් පූජාකිරීම ම නොවෙයි. වස් විසීම සඳහා භික්ෂූන් වහන්සේට ආරාධනා කළ තැන් පටන් වස්විසූ භික්ෂූන් වහන්සේට උපස්ථාන කිරීම, විහාරස්ථානයේ වතාවත් කිරීම, පින්කමට අවශ්‍ය බඩුබාහිරාදිය එකින් එක සම්පාදනය කර ගැනීම, හිතවතුන්ට ආරාධනා කිරීම, කඨින වස්ත්‍රය මිලදී ගැනීම, කැපීම, මැසීම, පඬු පෙවීම ආදියේ පටන් හැම දෙයක් ම වෙන් වෙන් වූ පුංචි පින්කම්ය. මේ සෑම ක්‍රියාවක් ම පින්සිතිවිලි උපද්දවයි. මෙබඳු සිතිවිලි සමුදායක් ඒකරාශී වූ විට කඨින පූජාව මහ පින්කමක් බවට පත් වෙයි. එසේ නොකොට කොතරම් වටිනා සිවුරක් වුවත් මිලදී ගෙන පූජා කළ පමණින් මහ පින්කමක් බවට පත් නොවේ.

භික්ෂූන් වහන්සේලා තම නිවසට වැඩම කරවා සාංඝික දානයක් පූජා කිරීම ද මහ පින්කමකි. පෞද්ගලිකව නොව පොදුවේ භික්ෂූ සංඝයාට පූජා කිරීමෙන් දානයක් සාංඝික වේ. එසේ පූජා කිරීමේදී සමස්ත සංඝ සමාජය ම අරමුණු කොට ගන්නා බැවින් සියලු භික්ෂූන් වහන්සේගෙන් ලෝකයට සිදු වන සේවාවට තමන් දායක වීම නිසා පින් කන්දක් ම උපදවා ගන්නට පුළුවන. එහෙත් සාංඝික දානයක් යනු භික්ෂූන් වහන්සේගේ පාත්‍රයට හෝ පිඟානට දානය බෙදීම පමණක් නොවේ. මේ සඳහා කොතරම් දේ කළ යුතුද යන්න ඔබට අමුතුවෙන් කිව යුතු නැත. භික්ෂූන් වහන්සේට ආරාධනා කර දින ගණනක් සිතාමතා වෙහෙසී ආහාරපාන සූදානම් කර, ගේ දොර පිරිසුදු කර, ආසන පනවා, පා දොවා, වැඩම කර වඩා හිඳුවා, තමනුත් සිතින් කයින් පිරිසුදු වී, වැඳපුදා දන් බෙදා කරන මේ පින්කම තුළ පින් සිතිවිලි උපද්දවන ක්‍රියාකාරකම් කොතරම් තිබෙනවාදැයි බලන්න. මේ ආකාරයට මහපින්කමක් සකස්වන්නේ මෙබඳු වූ කුඩා පින්කම් රාශියක එකතුවෙනි.

ඔබ ජීවිතයේ කොතරම් වාර ගණනක් බණ අසන්නට ගොස් ඇද්ද? බණ අසන්නට යන බොහෝ දෙනෙක් ධර්මශාලාවට ගොස් බිත්තියකට හේත්තු වී වාඩි වී සවන් යොමු කරමින් සිට ආපසු එති. පන්සලට ඇතුළු වන විට හැම කෙනෙක් ම පාවහන් ගළවති. එසේ කරන්නේ චාරිත්‍රයට. නැත්නම් පාවහන් ගළවා ඇතුළුවන්න කියා දැන්වීමක් ඇති බැවිනි. එසේත් නැත්නම් පාවහන් නොගැළවුව හොත් දොස් අසන්නට සිදුවේය කියා බියෙනි. මේ එක හේතුවක් නිසා හෝ පාවහන් ගළවන්නාට පිනක් සිදු නොවේ. මට අපහසු වුවත් තුනුරුවන්ට ගෞරව කිරීම පිණිස මම පාවහන් ගළවමි කියා සිතමින් පාවහන් ගළවන්නාට පමණක් පිනක් උපදවා ගත හැකි බව වටහා ගන්න. මේ ක්‍රියාව කළ යුත්තේ සතියෙන් හෙවත් සිහියෙනි. බණ අසන්නට යන බොහෝ අය බොහෝ පුංචි එහෙත් වටිනා පින්කම් අතපසු කර දමති. බණ අසන්නට යෑම සඳහා ඇඟපත සෝදන විට මා මේ ඇඟපත සෝදන්නේ බණ අසන්නට යාමටය කියා සිතීමෙන් තමන්ගේ ඇඟ සෝදා ගන්නා විට ද පිනක් උපදවා ගනී. වර්ණවත් ඇඳුමක් වෙනුවට සුදු වස්ත්‍රයක් ඇඟ ලා ගන්නා විට මා මෙබඳු ඇඳුමක් අදින්නේ තුනුරුවන්ට ගෞරව පිණිස යයි සිතීමෙන් ඇඳුම් ඇඳීමෙන් ද පිනක් උපදවා ගනී. පන්සලට ගමන් කරන විට ද මා මේ යන්නේ බණ අසන්නට යයි සිතමින් ගමන් කිරීම නිසා පිනක් ලබයි.

පන්සලේ ආගමික කටයුතු සිදු කරන විට සාධුකාර දීම සිරිතකි. නිතරම පාහේ පින්වතුනි, සාධු කියන්න යයි ස්වාමීන් වහන්සේලා විසින් කියනු අසන්නට ලැබෙයි. එසේ නොකීවොත් සාධුකාර දෙන්නේ නැත. සාධුකාර දුන්නත් හඬක් නැත. ඒ නිසා හඬ නඟා සාධු කියන්න යයි නැවත කිවයුතුව ඇත. සාධුකාර දීමෙන් සිදුවන්නේ තුනුරුවන්ට ගෞරව කිරීමකි. බණ අසන්නට යන කෙනාට සාධුකාර දීමෙන් අතිරේක පිනක් උපදවා ගත හැකිය. එසේ කීමෙන් ලැබෙන පින තමන් ම උපදවා ගත යුත්තකි. ස්වාමීන් වහන්සේ කියන නිසා සාධුකාර දීම අනුන්ගේ වුවමනාවට සිදුවන්නකි. බොහෝ අයගේ සාධුකාරයේ තැන්පත් බවක් ශ්‍රද්ධාවන්ත බවක් නැත. ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළා සේ අනුන්ගේ වුවමනාවට පිටවන ශබ්දයේ වටිනාකමක් හෝ පිනක් නැති බව තේරුම් ගන්න.

හැම කෙනෙකුට ම නිතර පන්සලට යන්නට ඉඩක් නැත. ඉඩක් ලද විටක පන්සලට යන්නා විසින් අතිරේක පින්උපදවා ගැනීමට ඤාණවන්ත හා උත්සාහවන්ත විය යුතුය. එහිදී පින් රැස්කර ගත හැකි පුංචි පින්කම් බොහෝ ඇත. මල් ආසනයක පරමල් අස්කිරීම, ආසනය තෙත රෙදි කඩකින් පිරිසුදු කිරීම, මළුව ඇමදීම, ධර්මශාලාවේ නම් බඩු බාහිරාදිය පිළිවෙළකට තැබීම, ධර්මාසනය සකස් කිරීම, සෙසු අයට වාඩිවීමට පැදුරු එලා දීම, පාවඩ එලීම, ධර්මදේශකයන් වහන්සේගේ පාදෝනා පැන් තැබීම ඇතුළු කොට පුංචි පින්කම් රාශියක් කරගත හැකිය. මීට ද අමතරව ගිලන්පස ටිකක් සකස්කර ගෙන ගොස් බුද්ධ පූජාවටත් තබා භික්‍ෂූන් වහන්සේලාටත් පූජා කර ගත හැකිය. මේවා ධර්මශ්‍රවණයට යන්නා විසින් රැස් කර ගන්නා අතිරේක පින් ය. මේ සෑම දෙයක්ම සිතා මතා කරන විට පින් රැස්වෙයි. මේ කිසිවකටත් මුදල් වියදම් වන්නේ නැත. එහෙත් ඇතැමෙක් සිතන්නේ පින්කම් යනු මුදල් වියදම් කර කළ යුතු වැඩ කියාය. බින්දුව බින්දුව ජලය වැටීමෙන් කළයක් පිරෙන්නාසේ මේ පුංචි පින්කම්වලින් ද පෝෂණය වන්නේ තමන්ගේ සිතය.

පින්කමක් යනු දන්දීමකැයි සිතා ගෙන සිටින පිරිසක් අප සමාජයේ සිටිති. දන්දීමක් යනු ආහාර හෝ මුදලට ගත් දෙයක් දීමකැයි සිතන පිරිසක් ද සිටිති. එහෙත් පින්කමක් යනු අනුන්ට ගෞරවයක් පහසුවෙන් සලසනු පිණිස කැප කිරීමකි. තමන්ගේ ශ්‍රමය, ධනය, කාලය, දැනුම යන මේ කුමක් කැප කළත් එය දානයකි. දුන් දෙය ලැබේ යයි ඉගැන්වීමක් ඇත. ඔබට අවශ්‍ය වන්නේ ආහාරපාන පමණක් ම නොවන බව ඔබ හොඳින් ම දනී. සමහර විට ඔබට යහමින් මුදල් ඇතත් ඔබ වෙනුවෙන් කාලය, ශ්‍රමය, දැනුම කැප කරන්නට කෙනෙක් ඉදිරිපත් නොවීමෙන් එහි අඩුව දැනටමත් ඔබ අත්විඳිනවා විය හැකිය. පෙර දන් දුන් අයට අද යහමින් ධනසම්පත් ලැබී ඇත. ඔබ දන් නොදුන් නිසාදෝ අද ඔබ දුප්පත් වී ඇත. එසේ වූ ඔබ කියනු ඇත්තේ දන් දෙන්න අපට සල්ලි නැත කියා විය හැකිය. එසේ කියමින් සිටින ඔබට මේ භවයේදී ද පිනක් කර ගත නොහැකි වනු ඇත. ඔබ ඤාණවන්ත හා වීර්යවන්ත වුවහොත් මුදල් වියදම් නොකර ම ඉහතින් කී පින් රැස්කර ගන්නට ඔබ සමත් වනු ඇත.

සංසාර දුකින් නිදහස්වීමට පමණක් නොව මෙලොව ජීවිතය සාර්ථක කර ගන්නට ද වීර්යවන්ත විය යුතුය. අලසකම ඔබට බොහෝ පින්කම් මගහැරී යාමට හේතුවකි. මෙලොවට පමණක් ඉවහල් වන එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාමට අවශ්‍ය කරන ගෙදරදොරේ වැඩවලට වෙහෙසී වැඩ කරන ඔබ සංසාර ජීවිතය සැපවත් කර ගන්නට හේතු වන පින්කම් කිරීමේදී අලස වෙයි. පසඟ පිහිටුවා වැඳීම වෙනුවට යන්තම් කොන්ද නමා වඳී. සාධුකාර දිය යුතු තැනදී නිහඬව සිටී. වැටුණු තැන ඉඳගෙන සිටින ඔබ ස්වාමීන් වහන්සේ නමක් වඩින විට සිටගන්නට දොහොත් මුදුනේ තබා වඳින්නට අලස වෙයි. එසේ කරන ඔබ වැඩි වෙහෙසක් නැතිව උපයා ගත හැකි බොහෝ සුළු පින් අහිමි කර ගනී.

පුංචි පින්කම්වල තවත් වටිනා පැත්තක් ඇත. අපට අවශ්‍ය ම කරන මනා පෞරුෂයක් ගොඩනඟා ගත හැක්කේ පුංචි පින්කම්වලින් බව ඔබ සිතන්නේ නැත. පෞරුෂය මනිනු ලබන්නේ හැසිරීම කතා බහ දෙස බලා සිටීමෙනි. හැසිරීම හොඳ පුද්ගලයා මනා පෞරුෂයක් ඇත්තෙකි. ඔහු ඉඳගන්නට, සිටගෙන සිටින්නට, නිදාගන්නට, ආහාර ගන්නට, වඳින්නට, කතාකරන්නට ආදී වශයෙන් හැසිරෙන්නට දනී. ඔහුගේ විධිමත් හැසිරීම දෙස බලා සිටින අය මනා පෞරුෂයක් ඇත්තෙකැයි නිගමනය කරති. ආචාර සමාචාර කරන ආකාරය අපගේ පෝෂණය ප්‍රකට වන අවස්ථාවකි. කායික අපහසුතාවන් නැති ඇතැම් කෙනෙක් යන්තම් කොන්ද නමා ස්වාමීන් වහන්සේලාට වඳින ආකාරය දෙස බලා සිටින කෙනෙක් වඳින්නවත් දන්නෙ නැති කෙනෙක් යයි කියනු ඇසෙයි. දානයක් පුජා කරන තැනක ඊට දායක නොවී ඔබ පසෙකට වී බලා සිටියහොත් කම්මැලි කෙනෙක්, ආඩම්බර කෙනෙක් දන් බෙදන්න නොදන්න කෙනෙක් කියා ඔබගේ වටිනාකම් අවතක්සේරු කරනු ඇත. එය ඔබගේ පෞරුෂයට හානියක් වනවා මෙන් ම ඔබට පහසුවෙන් රැස්කර ගත හැකි පිනක් අහිමි කර ගැනීමක් වනු ඇත. අවසාන වශයෙන් පුංචි පින්කම්වල අගය පැහැදිලි කිරීමට බුදුන් වහන්සේ වදාළ

මාප්පමඤ්ඤෙථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දු නිපාතෙන
උදකුම්හොපි පුරති
පූරති ධීරො පුඤ්ඤස්ස
ථොක ථොකම්පි ආචිනං

පුංචි පින්කම්වල ආනිශංස නොලැබෙන්නේ යයි අවතක්සේරු නොකරන්න. ජලය බින්දුව බින්දුව වැටීමෙන් ද කළය පිරෙයි. ඤාණවන්තයා ටිකෙන් ටික රැස්කර ගැනීමෙන් පිනෙන් පිරුණු කෙනෙක් බවට පත්වෙයි. යනු මෙම බුද්ධ දේශිත ගාථාවේ තේරුමයි.