Print this Article


තායිලන්තයේ බුද්ධාගම සහ භික්‍ෂු සමාජය

භික්‍ෂූන් අතරින් යාවජීව භික්‍ෂූන් වන සිවුරෙහි වසර 10ක් හෝ එයට වැඩි කාලයක් ගත කරන ආගම සිය ජීවිතයෙන් එක් අංගයක් සේ සලකනු ලබන භික්‍ෂුන්ගේ සංඛ්‍යාව 35,000කට මඳක් අධිකය. උන්වහන්සේලා අතරින් වැඩි දෙනෙක් විහාරාධිපති වැනි පරිපාලන ධූරයන්ට හෝ පාලි භාෂාව, ධර්ම විනය, භාවනා සහ වෙනත් බෞද්ධ විෂයයන් පිළිබඳ ගුරුවරු ලෙස ද කටයුතු කරති.

තායිලන්තයෙහි වැඩිදෙනෙකු අදහන ආගම බෞද්ධාගම වන අතර බොහෝ තායි වැසියන් තායි ජාතිකයෙකු වීම සමකරනුයේ බෞද්ධයන් වීමය. අතිවිශාල රාජ්‍ය පාලන තන්ත්‍රයට අමතරව බෞද්ධ භික්‍ෂුන්ගේ සංඛ්‍යාව තායි ආයතන අතුරින් විශාලම එකකි. එහෙත් රට තුළ සේවකයන් පිළිබඳ දක්වන ආකල්පය නිරන්තරයෙන්ම විවිධාකාරව ප්‍රතිවිරුද්ධ වුවද භික්‍ෂූන් කෙරෙහි දක්වන ආකල්පය නිරතුරුවම නිශ්චිත හා විශ්වාසදායක වූවකි. පාලනය කිරීමේ නියෝග දීමෙන් යුක්ත නිලධාරි පැලැන්තියක් දක්නට ඇති අතර එයින්ම තායි බෞද්ධයන් කොටස්කරුවන් කරන ජීවන මාර්ගයත් භික්‍ෂූන් විසින් නියෝජනය කෙරේ. එම නිසා තායි ආයතනයන් අතුරින් අද්විතීය ස්ථානයක් බෞද්ධාගමට හිමිවන අතර තායි ජාතියෙහි ද එහි සම්ප්‍රදායන් පිළිවෙත් හා අනන්‍යතාවයන් නිශ්චිත ලෙස චිරස්ථායි කෙරේ.

1996 හි සංඛ්‍යාලේඛනයන්ට අනුව තායි ජනගහනයෙන් 95.92% ක ප්‍රතිශතයක් බෞද්ධයන් වශයෙන් ප්‍රකාශිත කර ඇති අතර මෙම බෞද්ධ ජනතාව මුළු රට තුළම භික්‍ෂූහු 2,13,175 ක් සමඟ සාමණේරවරයන් 1,14,742 හා සිල්මාතාවන් 10,529 ක් සහිත වූ විහාරස්ථාන හා ආරාම 25,702 කට සිය සහයෝගීතාවය දක්වති. මේ අනුව එක් දිස්ත්‍රික්කයක් (තැතාබුත්) තුළ පන්සල් (වට්) 5ක් වත් සාමාන්‍යයක් පවතින අතර එපරිදිම බෞද්ධ වැඩිහිටි පුරුෂයන් 38කට එක් භික්‍ෂුවක් සිටී. උපසපත් භික්‍ෂූන් හා සාමණේරවරුන් සියලු දෙනාම ගත්විට භික්‍ෂූන් වහන්සේලා 3,28,000ක් දක්නට ලැබෙන අතර ඒ අනුව සෑම තැනදීම කහසිවුරු දක්නට නොලැබෙන තැනක් නැතැයි කිවහොත් නිවැරැදිය. ගම්බද ප්‍රදේශයන් හි දින ගණන් සංචාරය කරන විටදී කිසිදු රාජ්‍ය නියෝජිතයෙක් දක්නට නොලැබුණා වුව ද බෞද්ධයාගේ ජීවමාන ස්වරූපය විදහා දක්වන භික්‍ෂුවක් හෝ සිල්මාතාවක් කිසිදු දිනකදී දක්නට නොලැබෙන්නේ නම් එය පුදුමයට කරුණකි.

මෙතරම් විශාල සංඛ්‍යාවක් භික්‍ෂූන් හා සාමණේරවරුන් සිටින්නේ මන්ද? තාරුණ්‍යයෙහි සිට විවාහවන්නා වූ කාලය අතරතුරදී පිළිවෙතක් වශයෙන් වස්සාන කාලය තුළදී සාමාන්‍යයෙන් එක් ඍතුවක් හෙවත් මාස තුනක කාලයක් සඳහා බෞද්ධ භික්‍ෂුවක් ලෙස පැවිදිවී මහණදම් පිරීම සියලු දෙනාම දන්නා සංස්කෘතික පරමාදර්ශයකි. එක් එක් වර්ෂයක් තුළදී තාවකාලික පැවිදි බව ලැබ එය අවසන් කර පිටවී යන භික්‍ෂුන්ගේ සංඛ්‍යාව නිල නොවූ දත්ත අනුව දළ වශයෙන් 25,000ක් පමණ වෙයි. තාවකාලික පැවිද්ද ලබන අය අතරින් 35,000 ක් පමණ වයස 21 ට වැඩි පිරිසක් වන අතර ඒ අනුව මෙම සම්ප්‍රදාය අනුගමනය කරනු ලබන්නේ ජනගහනයෙන් පස්දෙනෙකු අතරින් එක් අයෙක් පමණක් බවට නිගමනය කළ හැකිය. මෙම පුද්ගලයන් වයසින් අවුරුදු 20 ට වැඩි හෝ අඩු වුව ද (මෙයින් විශාල සංඛ්‍යාවක් සමන්විත වන්නේ තාවකාලික පැවිදි භාවය ලැබීම සඳහා විශේෂ නිවාඩු ලබාදී ඇති සොල්දාදුවන් හා නිලධාරීන්ගෙනි) මෙහි භික්‍ෂූන්ට අදාළ බෞද්ධ වත්පිළිවෙත් හා ශික්‍ෂණය අනුගමනය කරමින් පන්සල් තුළ කල්ගෙවන මාස 3 හෝ එයට අඩු කාලපරිච්ඡේදය තුළදී බුදුදහමෙහි මූලික ඉගැන්වීම් වලට අදාළ කරුණු මැනවින් අධ්‍යයනය කරති. ඔවුහු තාවකාලික ලෙස එහි කල් ගෙවන්නන් සේ හඳුන්වනු ලබන අතර සාමාන්‍යයෙන් පන්සල් තුළ දිගුකාලීන ලෙස මහණදම් පුරන භික්‍ෂූන් හා ඔවුන් මිශ්‍ර නොවෙති.

භික්‍ෂූන් අතරින් යාවජීව භික්‍ෂූන් වන සිවුරෙහි වසර 10ක් හෝ එයට වැඩි කාලයක් ගත කරන ආගම සිය ජීවිතයෙන් එක් අංගයක් සේ සලකනු ලබන භික්‍ෂුන්ගේ සංඛ්‍යාව 35,000කට මදක් අධිකය. උන්වහන්සේලා අතරින් වැඩි දෙනෙක් විහාරාධිපති වැනි පරිපාලන ධූරයන්ට හෝ පාලි භාෂාව, ධර්ම විනය, භාවනා සහ වෙනත් බෞද්ධ විෂයයන් පිළිබඳ ගුරුවරු ලෙස ද කටයුතු කරති. දිගුකාලීනව පැවිදි ජීවිතය ගත කරන තෙරවරුන්ගෙන් තුනෙන් එකක් පමණ උපදේශකවරුන් ලෙස කටයුතු කරමින් නව භික්‍ෂූන් පැවිදි කරවීමේ කාර්යයෙහි නිරත වනු ඇත.

තාවකාලික හා ජ්‍යෙෂ්ඨ භික්‍ෂූන්ට අමතරව 2,25,000ක් පමණ වූ භික්‍ෂූන් හා සාමණේරවරුන් පිළිබඳව සඳහන් කළ යුතු පැහැදිලි ලක්‍ෂණයක් නම් ඔවුන් අතරින් වැඩිදෙනෙක් ග්‍රාමීය ජනගහනයේ අඩු ආදායම් ලබන පවුල්වලින් සසුනට ඇතුළත්වූවන් බවය. පැවිදිවීම වැඩිපුර අධ්‍යාපනය ලබාගැනීමට පහසු අවස්ථාවක් වන අතර මෙසේ පැවිදිභාවය සාම්ප්‍රදානුකූලව හා සැදැහැයෙන් යුතුව ලැබීමෙන් ශාසනයට පුතෙකු ලබාදීමේ පුණ්‍ය කර්මයෙන් සිය දෙමව්පියන් වෙත විශාල කුසල් සම්භාරයක් අත්වන බැව් ඔවුහු විශ්වාස කරති. පැවිදිභාවය හේතු කොට ගෙන ලැබෙන පහසුකම් උපයෝගී කරගනිමින් සිය අධ්‍යාපනය අවසන් කළ භික්‍ෂූන් අතරින් බොහෝ දෙනා උපැවිදිවී ගිහියන් ලෙස කටයුතු කරති. අධ්‍යාපනය ලැබූ භික්‍ෂූන් සැලකිය යුතු ප්‍රමාණයක් තවදුරටත් සසුනෙහි රැදී සිටිති.

යම්කිසි කාලයක් පැවිදි බව ලබාතිබීම ගිහි සමාජය තුළ කිසියම් ගරුත්වයක් හා පිළිගැනීමක් ඇතිවීමට හේතු වෙයි. සාමාන්‍ය කාලසීමාවට වඩා වැඩි කාලයක් පැවිදි බව ලැබූ අය පාලි සූත්‍ර හා ආගමික වත්පිළිවෙත් පිළිබඳ මනා අවබෝධයක් ලැබූ අයයි. උපැවිදි වූවාට පසුව විහාරස්ථානයන්හි දායක සභාවල මෙන්ම පොදු සමිති සමාගම්වල ගෞරවනීය තනතුරු වලට පත්වීමට ඔවුන්ට හැකිවනු ඇත. ගම්බද තරුණයන්ගේ ආකර්ෂණය සඟ සසුන වෙත යොමු වීමට ප්‍රධාන හේතුවක් නම් අවම අධ්‍යාපනික සුදුසුකම් වන වසර 4ක් ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය ලබාගැනීමේ අවශ්‍යතාවය පැවිදිවීම හේතුකොට මගහැරීමට හැකිවන නිසාය. පවත්නා තායි රජයේ අධ්‍යාපන ක්‍රමය ඉතා දුර බැහැර ප්‍රදේශයන් ඇතුළුව මුළු රටතුළම ව්‍යාප්තවී ඇති නමුදු නීත්‍යානුකූල අවශ්‍යතාව මත වසර 6ක ඉගෙනීම සම්පූර්ණ කිරීම පාසල් යන සියලුම සිසුන් වෙත ලබාදීමට මෙම පාසල් මෑතක් වනතුරු අපොහොසත් වී ඇත. එයට අමතරව විධිමත් අධ්‍යාපනයක් සිය දරුවන් හට ලබාදීම දුප්පත් දෙමාපියන් හට අතිශයින්ම වියදම් සහිත එකකි. සිය පුතුන් අතරින් එක් අයෙකුවත් “වට්” හෙවත් විහාර වෙත යැවීමෙන් ඔවුහු අභිමානයෙන් යුතුව කිසියම් පුණ්‍ය කර්මයක් කිරීමේ මඟට පිවිසෙති. තම පුතා හොඳින් පෝෂණය වන බවද ඔහුගේ දිවිමඟ සරුකර ගැනීම සඳහා අද්විතීය අවස්ථාවක් උදාවන බවද ඔවුහු ප්‍රත්‍යක්‍ෂව දැන සිටිති.

භික්‍ෂු අධ්‍යාපනයේ කොටසක් වනුයේ ගාථා කීම, ධර්ම දේශනා කිරීම හා ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමය. අලුතින් පැවිදිභාවය ලබන්නන් තමන් වෙත පුද පූජා පවත්වන ගිහියන් හට කුසල් අත්වන අයුරින් භික්‍ෂූන් ලෙස කටයුතු කිරීමට ඉගෙන ගනිති. මෙයින් අදහස් වන්නේ ප්‍රසිද්ධියේ ඔවුන් හැසිරිය යුත්තේ විනය නීතිවලට අනුකූල වන පරිදි බවද ප්ණ්‍යෝත්සවයන්ට සහභාගිවීමට ඉගෙන ගත යුතුබව හා ගිහියන්ගේ අපේක්‍ෂාවන්ට අනුරූප වන පරිදි ඔවුන් හැසිරිය යුතු බවය.

භික්‍ෂූන් විසින් අපේක්‍ෂිත අධ්‍යාපන ක්‍රමයේ අනිකුත් කොටස සමන්විත වන්නේ විධිමත් ආගමික අධ්‍යාපන පාඨමාලාවක් සමඟම රජයේ පාසල්වල උගන්වනු ලබන අනිකුත් නිශ්චිත විෂය මාලාවන් හැදෑරීමය. රජය විසින් කාලීනව පවත්වනු ලබන විභාග සඳහා සාමණේරවරුන් මෙන්ම යාවජීව භික්‍ෂූන්ද පෙනී සිටිති. පළාත් තුළ වූ අගනුවරෙහි පිහිටි ප්‍රධාන විහාරස්ථාන වෙත ගොස් තුන්වැනි හා අවසන් (නක්නම්) පෙළ තෙක් ද උසස් පාසල්වල අවසන් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට හැකිවනු ඇත. පළාත් තුළ ගුරු පුහුණු සහතික සඳහා ද අධ්‍යාපනය ලබාගැනීමට ඔවුන්ට ඉඩකඩ සලස්වා ඇත. ආගමික හා අනෙකුත් අංශයන් හි වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීමට ඔවුන් අපේක්‍ෂා කරන්නේ නම් ථේරවාද ත්‍රිපිටකය ඇතුළත් පාලි භාෂාව ඔවුන් විසින් හැදෑරිය යුතු අතර ඒ සමගම 4 වැනි හා 5 වැනි වසර වලද උසස් පාඨශාලා විෂයය මාලාවද හැදෑරිය යුතුය. මෙම අංශ දෙකෙහි ඔවුන් සාර්ථක ප්‍රතිඵල ලබා ඇත්නම් බැංකොක් හි පිහිටි බෞද්ධ විශ්වවිද්‍යාල දෙකින් එකක් වෙත උසස් අධ්‍යාපනය සඳහා ඔවුන් යොමු කරනු ඇත. එසේම ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධි ලබාගැනීම සඳහා වැඩි වශයෙන්ම ඉන්දියාව වැනි විදේශ රටවලට පවා පහසුකම් සැලසේ. අතීතයෙහි සිදුකළාක් මෙන් තායි බෞද්ධාගමෙහි සුවිශේෂී කාර්යය වනුයේ වරප්‍රසාද නොලත් පුද්ගලයන් පෙළගස්වමින් ඔවුන් හට අධ්‍යාපන මාර්ගයක් සලසා දීමය.

තායි පාසල් අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් යොමුව ඇත්තේ සාම්ප්‍රදායික දැනුම එක්රැස් කිරීම සඳහාය. පැවිදිභාවය ඇතුළත අධ්‍යාපනය තුළින් අවශ්‍යයෙන්ම ආගමික පෞරුෂත්වයක් බිහිකිරීම හෝ බෞද්ධ දර්ශනය තුළට ගැඹුරින් එබිකම් කර බැලීමත් සිදුනොවේ. බෞද්ධ පෞරුෂත්වය සංවර්ධනය කිරීම සිදුවනුයේ බුද්ධිමත් ජ්‍යෙෂ්ඨයන් විසින් යම් යම් පුද්ගලයන් හා එක්ව ඔවුන්ගේ පෞරුෂත්වය වඩවන කරුණු වලට අනුකූලව ලබාදෙන මාර්ගෝපදේශකත්වය මතය ඕනෑම ගම්බද පන්සලක් තුළ බෞද්ධාගම ගැඹුරින් අවබෝධ කරගත් කවර තරාතිරමක හෝ “ප්‍රා” කෙනෙකු මුණගැසිය හැකිය. එහෙත් විධිමත් ආගමික හා අධ්‍යාපනික කටයුතුවල වැඩි වශයෙන් නිරත වන භික්‍ෂූන් අතර එවැන්නන් නිරන්තරයෙන්ම හමු නොවනු ඇත. ආගමික සංවර්ධනය හා විෂයානුබද්ධ දැනුම අතර සබඳතාවය දුර්වල බව පෙනේ. එම නිසා උසස් අධ්‍යාපනය ලැබූ තරුණ භික්‍ෂූන් බොහෝ දෙනා එහි සංවර්ධනය උදෙසා පැහැදිලි දායකත්වයක් ලබාදීමට පෙර උපැවිදිවීම පුදුමයට කරුණක් නොවේ. පන්සල් තුළටම නැඹුරුවීමට වඩා එයින් බැහැරව අර්ථවත් ජීවිතයක් ගත කිරීමට ඔවුන් උත්සුක වේ.

ඉතිරි කොටස මැයි 21වන දා පත්‍රයේ පළවේ