Print this Article


උගත්කම ජීවිතයට ආලෝකයකි

උගත්කම ජීවිතයට ආලෝකයකි

පුද්ගලයකුගේ ජීවිතයට වැදගත් වන කරුණු අතර බහුශ්‍රැත බව, ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම, විනයගරුක වීම හා හික්මීමෙහි වැදගත් බව මංගල සූත්‍රයෙහි දැක්වේ. බහුශ්‍රැත භාවය යනු බොහෝ දේවල් අසා දැනගැනීමෙන් ලබන උගත්කම යන තේරුම දෙන වචනයකි. යම්කෙනකු උගතකු බවට පත්වන්නේ වැඩිහිටියන් ඇසුරෙන් යහපත් ගුණදහම් හුරුවීම, පොතපත හැදෑරීමෙන් ලබන දැනුම හා සමාජය තුළින් ලබන අත්දැකීම් හේතුවෙනි. පුද්ගලයකුගේ දියුණුවට උගත්කම පමණක් සෑහෙන්නේ නැත. ජීවන වෘත්තිය සඳහා වැදගත් වන ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් ද අවශ්‍ය වෙයි.

ප්‍රඥාව හැඳින්වීමට බුදුදහමෙහි උපමා රාශියක් ඇත. බුදුරදුන් දහම් දෙසුවේ ප්‍රඥාවන්තයන් සඳහාය. ප්‍රඥාව මිනිසාට රත්නයකි. පබා සුත්‍රයට අනුව ප්‍රඥාව මනුෂ්‍යයාගේ දීප්තිමත් රශ්මියකි. ප්‍රඥාව මනුෂ්‍යයාට ආලෝකයක් බව ආලෝක සුත්‍රයේ දැක්වෙයි. ඕහාස සූත්‍රයේ දැක්වෙන පරිදි ප්‍රඥාව මනුෂ්‍ය ජීවිතය බබළවන්නකි. අපදාන සෝභිනී පඤ්ඤා යන්නෙහි තේරුම පුද්ගලයකුගේ හැසිරීම මගින් ඔහුගේ ප්‍රඥාවන්ත භාවය ඉස්මතු කරන බවයි. හික්මීමෙන් තොරව ප්‍රඥාව පමණක් දියුණු කිරීමෙන් සිදුවන්නේ ආත්මාර්ථකාමී, කපටි මිනිසකු බිහිවීමයි. වර්තමානයේ විද්‍යාත්මක දැනුම කෙරෙහි පමණක් නැඹුරු වූ බොහෝ දෙනා සදාචාරය හා හික්මීම ගැන උනන්දු වන්නේ නැත. සමාජ යහපත උදෙසා පෙළෙඹෙන්නට නම්, කෙනකු තුළ විනයානුකූල හිකමීමක් තිබිය යුතුය. එය ලැබෙන්නේ ආගම මගිනි. දහම් පාසල් අධ්‍යාපනයට ද මුල්තැන දිය යුතු යැයි නිතර අවධාරණය කරන්නේ එබැවිනි. තම දරුවන් දහම් පාසලකට යැවීමට ඇතැම් දෙමව්පියෝ උනන්දු නොවෙති. එවැනි දරුවන්ට කායික හා මානසික හික්මීම නොමැතිකම නිසා ජීවිත ප්‍රශ්න හමුවේ ඔවුහු වැරැදි තිරණයන්ට එළඹෙති.

දරුවන්ට ප්‍රඥාලෝකය ලබාදීම දෙමව්පියන්ගේ වගකීමකි. දරුවකුගේ මුල්ම ගුරුවරුන් (පුබ්බාචරිය) ලෙසද මේ ලෝකය පෙන්වා දෙන පිරිස (ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ) වශයෙන් ද දෙමව්පියෝ හැඳින්වෙති. දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් පහක් සිගාලෝවාද සූත්‍රයේ දැක්වේ. දරුවන් නරක වැඩවලින් මුදවා ගැනීම, යහපත් දේවල් කියාදීම හා ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම ඒ අතර වෙයි. මුවින් හඬ නැගෙන ලෙස ආහාර පාන වැළදීමෙන් වැළකීම, ආහාර ගන්නා විට ඇඟිලි හා භාජන ලෙව කෑමෙන් වැළකීම, අන් අය කෑම බීම ගන්නා විට කෑදර සිතින් ඒ දෙස නොබැලීම, ආහාර මුවෙහි දමාගෙන කථා නොකිරීම වැනි උපදෙස් පැවිදි දරුවන්ගේ ජීවිත ක්‍රමානුකූ®ලව හැඩ ගැස්වීම සඳහා සේඛියා විනයෙහි දක්වා ඇත. ඒ යහපත් ගති සිරිත් බුදුදහමෙන් ලාංකික සමාජයට ද ලැබී ඇත.

යහමග යැවීමේ අරමුණින් දරුවන්ට ශාරිරික දඩුවම් දීම බටහිර රටවල නීතිය අනුව වරදකි. වයස දහසයෙන් පසු දෙමව්පියන්ගෙන් වෙන්ව ජීවත් වන්නට ළමයින්ට අවසර තිබේ. මේ නිසා අයාලේ යන, හිතුවක්කාර දරු පිරිසක් බටහිර ලෝකයේ බිහි වී සිටිති. පෙරදිග රටවල මව්පිය දූ දරු බැඳීම ඉතා දැඩිවූවකි. වැඩිමහල් දරුවන් පවා ජීවත්වන්නේ මව්පියන් යටතේ ඔවුන්ගේ උපදෙස් අනුවයි. විවාහ ගිවිසගැනීම සිදුවන්නේ බොහෝ විට දෙමව්පියන්ගේ කැමැත්තටයි. නමුත් අපේ සමාජයේ මව්පියන් හා දරුවන් අතර මෙතෙක් කල් පැවැති ආදරය, කරුණාව, මෛත්‍රිය පදනම් කරගත් ආධ්‍යාත්මික බන්ධනය දිනෙන් දින සිඳීයාම අවාසනාවන්ත තත්ත්වයකි. පවුල තුළ ම සිදුවන ළමා අපචාර, දරුවන් අත්හැර දැමීම, ජීවිත වැනසීම වැනි සිදුවීම් මගින් ලොවට දෙන පණිවුඩය නම් ශ්‍රී ලංකාව තවදුරටත් බෞද්ධ සාරධර්ම පදනම් කරගත් රටක් නොවන බවයි. අපේ මුතුන්මිත්තන් අපට රැක දුන් බෞද්ධ උරුමය දිනෙන දින අහිමිවීම වැළැක්වීම බෞද්ධයන්ගේ වගකීමකි.

දරුවන් යහපත් ජීවිතයකට හුරුකරවන විට මුරණ්ඩු ගතිගුණ ඇති අයට ඇතැම් විට කිසියම් දඬුවමක් කිරීම ඇතැම් දෙමව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද සිරිතකි. එය කිසිසේත් අකාරුණිකව සිදුකරන දෙයක් නොවේ. ළමුන්ට දඬුවම් කිරීම ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය අනුව තහනම් දෙයකි. ගුරුවරයකු දරුවකුගේ වරදකට දඬුවම් කළොත් ඔහුට කුරිරු වධහිංසා කළැයි පොලිසියට පැමිණිලි කරන දෙමව්පියෝ සමාජයේ වෙති. වාචිකව කරුණු කියා දී දරුවන් යහමගට යොමුකිරීම අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් නිර්දේශිත ක්‍රමයයි. එලෙස දරුවකු හික්මවීමට නොහැකි නම්, එය ඔහුගේ වරදක් නොව, ගුරුවරයාගේ නොහැකියාවකි. එම පිළිවෙත නිසා පාසල් දරුවන්ගේ වැරැදිවලට දඬුවම් කිරිමෙන් අමාරුවේ වැටුන ගුරුවරුන් ගැනද, ඒ හේතුවෙන් ජීවිතය නැතිකර ගත් දරුවන් ගැනද අසන්නට ලැබේ. දරුවකුගේ වරදක් දුටුවත්, ගුරුවරු නිහඬව සිටිති. කුඩා සාමණේර හිමිවරුන් පවා හික්මවීමට දඬුවම් ක්‍රම තිබේ. නමුත් ඒවා අකාරුණික දරුණූ ඒවා නොවේ. ගුරුවර, දෙමව්පිය ආදීන් රළු වචනයෙන් කථා කළත් දරුවන්ට නපුරක් කිරීමේ චේතනාවක් ඔවුන්ගේ සිත්වල නොමැති බැවින් දරුවන් ඒ ගැන අමනාපයක් ඇතිකර නොගත යුතු බව සාරත්ථ දීපනි සංයුත්ත නිකායට්ඨ කථාවේ සඳහන් වෙයි.

දරුවා යම් දෙයක් ගැන හිතා මතා හරිහැටි වටහා ගන්නේ වයස අවුරුදු දහසයේ සිටය. මෙය ඇතැමුන් සම්බන්ධයෙන් වෙනස් විය හැක. නව යොවුන් වියට එළිඹි දරුවා හොඳින් හදාවඩා ගැනීමට සුදුසුම ක්‍රමය ඔහුට සුහදව සමීප වීමයි. ඔහුගේ මිතුරන් මෙන් කටයුතු කිරීමයි. ඔහුගේ ප්‍රශ්න විවෘතව සුහදව කථාකරන සුන්දර පරිසරයක් නිවසෙහි තිබිය යුතුය. එවිට හොඳ නරක ඔහුට ආදරයෙන් කියාදීමට මව්පියන්ට පුළුවන. මත්වතුර බී සිහිසුන්ව රෑ බෝ වී නිවසට පැමිණ බිරිඳට හා දරුවන්ට හිරිහැර කරන, දරුවන් ඉදිරියේ නිරුවතින් වැතිර සිටිනා තාත්තලාගෙන් නම් එවැනි දෙයක් බලාපොරෙත්තු විය නොහැකිය. ඔවුන්ගේ අවවාද උපදෙස් පිළිපදින්නට දරුවෝ කැමැති නොවෙති. බියෙන් තැති ගැන්මෙන් මුළුගැන්වෙන එබඳු දරුවන්ගේ ජීවිත ඉතා අඳුරුය. එවැනි දරුවෝ සෙසු ළමුන් සමග ගැවසීම් දී මෙන්ම ඔවුන් වැඩිහිටියන් වූ දවසට ද්වේෂයෙන් හා වෛරයෙන් සැහැසි ලෙස සමාජයේ හැසිරෙති දරුවකුගේ හැඩගැසීමට කර්මය පමණක් නොව මව්පියන්ගේ ආරය හා පරිසරයද බලපායි. පාපී පුද්ගලයන්ගේ දරුවන් හැදෙන්නෙ වැඩෙන්නෙ ඔවුන්ගේ ආරය හා හැසිරීම අනුවයි.

ගුණදහම් දියුණුව හා සිප්සතර දැනුම සඳහා දරුවකුගේ මනස ඉතා නිරවුල් හා එකඟතාවයකින් තිබීම අවශ්‍යම දෙයකි. ඉගෙනීමේ දී දරුවන්ට තිබෙන ගැටලු ගැන විමසුවොත් බොහෝ විට ලැබෙන පිළිතුරු නම්, එක් අරමුණක සිත තබාගැනීමේ නොහැකිව, උගන්වන දේවල් හරිහැටි නොවැටහීම මතකයේ නොරැදීම සහ විභාගයේදි අවශ්‍ය කරුණු සිහිපත් නොවීම යන්නයි. බුදුරදුන් වදාළ උපදෙස් අනුව නම්, මෙම ගැටලු නිරාකරණය කරගත හැක්කේ මනස ශක්තිමත් කරගැනීමෙනි. චිත්ත දමනයෙනි. එය දැඩි වුවමනාවකින් කළ යුතු දෙයකි.

එය දරුවන්ට කළ නොහැකි අමාරු දෙයකැයි කෙනකුට සිතෙන්නට පුළුවන. නමුත් දැනටත් ඒ සදහා මඟපෙන්වීම පාසල් තුළ පවතියි. පන්සිල් සමාදන් වී තෙරුවන් වැඳ මඳ වේලාවක් භාවනා කිරීම බෞද්ධ පාසල්වල දිනපතා සිදුකරන දෙයකි. එය සාම්ප්‍රදායික නොව ඵලදායි වැඩ පිළිවෙළක් විය යුතුය. ජීවිතයට ප්‍රායෝගික වන ලෙස බුද්ධාගම විෂය ඉගැන්වීම ද වැදගත්ය.