Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 32

“පොතක් වශයෙන් ලිව්වොත් පිටු පන්දාහක් විතර වෙයි”

රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් සුවිශේ්ෂී චරිතයක් බවට පෙන්වන්නේ උන්වහන්සේ ඉගෙනීම කළේ සද්ධර්මය මනා සේ අවබෝධ කරගනිමින් ආධ්‍යාත්මය සුපොහොසත් කර ගැනීමේ උදාර පරමාර්ථය පෙරදැරි කර ගත් නිසා ය.

මෙවන් විශේෂිත ප්‍රකාශ තුළින් හැගී යන්නේ එම ඉලක්කයන් ජය ගත් මහා චරිත තුළ ඇති විශිෂ්ට ගුණයන් ය. මේ ජීවිත ගමන ජය ගැනීමට නම් අප කාට කාටත් ඉගෙනීමට බොහෝ දේ ඇතැයි සිතේ.

අපගේ සම්මෝහය නොහොත් නො දැනුවත්කම ජය ගැනීම සඳහා ඉගෙන ගන්නේ නම් එය අධ්‍යාපනය වේවා, ජීවිතය වේවා සියලු ගැටලු සහගත කඩ ඉම් පසුකර ජයග්‍රහණය වෙත යාම ඉතාමත්ම පහසු කාර්යයක් වනු නිසැක ය. නිශ්ඵල නොවන ඵලදායි සාර්ථක ජීවිතයක් ගත කිරීමට එය මහත් පහසුවක් වනු නියත ය. ඉගෙනීම ඉතා සංකීර්ණ විෂය පථයකට අයත් ය. එහෙත් මහා නා හිමියන් මෙම විෂය පථය වචන දෙක තුනකට කැටි කොට ඉතා සරලව ඉදිරිපත් කර තිබේ.

එසේ නම් ඉගෙනීමෙන් අප බලා පොරොත්තු විය යුත්තේ කුමක් ද?

අප ඉගෙන ගත යුතු වන්නේ තම නො දැනුවත්කම දුරු කරගැනීම උදෙසා ය.

ජීවිතයේ අප අත්විඳින ඉතා සංකීර්ණ තත්ත්වයන් සමනය කිරීමට මේ අනුව ඉතා සරල උත්තර සොයා ගත හැකි ය. අනවශ්‍ය ඉලක්ක හඹා නොයමින් ආධ්‍යාත්මය - පොහොසත් මිනිසකුට බාහිර ව ලැබෙන සම්මාන, කීර්තිය අවශ්‍ය නොවේ. ඒවා අනායාසයෙන් ඔහු වෙත එළඹෙනු ඇත. එය සනාථ කිරීමට උදාහරණ සැපයෙන්නේ නම්, රේරුකානේ චන්දවිමල මහ නා හිමිපාණන්ගේ චරිතය එයටම ප්‍රබල සාක්‍ෂියක් වශයෙන් ඉදිරිපත් කළ හැකි ය. රේරුකානේ මහා නා හිමියන් ගේ ඇවැතුම් පැවැතුම් පිළිබඳ විමසිලිමත් වන විට ධම්මානන්ද හිමියන් පවසන මෙවන් ප්‍රකාශ ද විශේෂිත යැයි සිතෙ යි.

“බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ නමකගේ ගුණ හොඳින් දේශනා කර තියෙනවා. ඒ ගුණ නායක හාමුදුරුවන් තුළ පිරී ඉතිරී තියෙන බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මා දන්නවා.”

වසර සියයක් තරම් ආයු කාලයක හැඩ ගස්වා ගත් දීර්ඝ භික්‍ෂු ජීවිතයේ දී කිසිදු පළුද්දක් නොවූ මහා නායක හිමියන් තුළ පෝෂණය වූ භික්‍ෂු ගුණ පිළිබඳව පැවසීමේ දී ‘පිරී ඉතිරී’ යන යෙදුම් තුළින් හැඟී යන්නේ භික්‍ෂූන් වහන්සේ කෙනකු තුළ වූ ගුණ කදම්භය අංශු මාත්‍රයකුදු නො අඩුව උපරිම ආකාරයෙන් මහා නා හිමියන් තුළ විද්‍යාමාන වූ බවකි.

තව දුරටත් ධම්මානන්ද හිමියන්ගේ ප්‍රකාශයකට සිත් යොමු කරමු.

“නායක හාමුදුරුවන්ගේ පත පොත කියවීම නිසා ඒ පිළිබඳ තරමක දැනුමක් මට ලැබී තිබුණා. ඒ අනුව නායක හාමුදුරුවන් පිළිබඳ විශේෂ පරීක්‍ෂණයකුත් මං කළා. ‘අභිධර්මයේ මූලික කරුණු’ ‘අභිධර්ම මාර්ගය’ වැනි පොතක් කියවන විට මට වැටහුණා, නායක හාමුදුරුවන් හොඳ බුද්ධිමතෙකු කියල. එකින් එක පොත් කියවා ගෙන යෑමේ දී මට පැහැදිලිව වැටහුණා උන් වහන්සේ අනුන්ට බණ ලියනවා, කියනවා විතරක් නොවෙයි තමන් ළඟත් ධර්මය තියාගෙන ඉන්න කෙනෙක් කියල. ‘විදර්ශනා භාවනාව‘, ‘වත්තාලීසාකාර මහා විපස්සනා භාවනාව‘ වගේ පොත් කියවන විට මට වැටහුණා, නායක හාමුදුරුවන්ගේ ධර්ම ඤාණය මෙන්ම භාවනාව ද දියුණු වී ඇති බව. කලින් උන් වහන්සේගේ පොත පත කියවීමෙන් මා ලබා ගෙන සිටිය නිගමන නිවැරදි බව වඩා හොඳින් මට පැහැදිලි වුණා.”

චන්දවිමල මහා නා හිමියන් තම ධර්ම පුස්තක මගින් ඉදිරිපත් කළේ පිවිතුරු බුද්ධ ධර්මයම ය. ධර්මය තම රුචිකත්වයට අවශ්‍ය විදියට වෙනස්කම් මෙන්ම එකතු කිරීම් සමඟ විකෘති කිරීමට කිසි විටෙකත් උන් වහන්සේ නොපෙළඹුණ හ.

සංකීර්ණ වුවද පරම සත්‍ය මත පදනම් වූ ඒ උතුම් බුද්ධ දේ්ශනාවන් නිරවුල්ව සරලව පාඨකයා වෙතට රැගෙන ඒමට මහා නාහිමියෝ නිබඳවම උත්සාහ කළහ. එය සිතූ පැතූ ලෙස සාර්ථක වූ නිසාම විශාල සැදැහැති බෞද්ධ පාඨකයන් මෙම පොත් පෙළ පරිශීලනය කිරීමට පෙලඹුණ බව නොරහසකි.

උන්වහන්සේ ඒ ධර්ම කරුණු ලියුවා පමණක් නොව ඒවා ඒ ලෙසින්ම පිළිපැදීම නිසාම මහා නා හිමියන් ලියූ දෙයක කිසිදු අඩු ලුහුඬුකමක් නොවුණු බව පෙනෙයි. තමා ඉතා නිවැරදිව නිරවුල්ව තේරුම් ගත් ධර්මය ප්‍රත්‍යක්‍ෂ කර ගත් නිසාම උන්වහන්සේගේ ආධ්‍යාත්මය සුපොහොසත් වූ බව නිවැරදි ය. ප්‍රඥාව වැඩි දියුණු වන විට එහි ආලෝකය සිත ප්‍රසන්න කරවයි. ඒ බව ධම්මානන්ද හිමියන් ගේ ප්‍රකාශයෙන් සනාථ වෙයි.

වසර පහළොවක් පමණ කාලයක් යනු අපගේ ජීවිත කාලය හා සැසඳීමේ දී සුළු පටු කාලයක් නොවේ. එවන් කාලයක් මහා නාහිමියන් සමීපයේ උන් වහන්සේට ඇප උපස්්ථාන කළ ධම්මානන්ද හිමියන් පවසන්නේ “මහා නා හිමියන් ට ඇප උපස්ථාන කිරීමේ දී කවරදාකවත් ඒ පිළිබඳව එපා වීමක් හෝ අපි‍්‍රය වීමක් හෝ තම සිතට ඇති වුණේම නැහැ” යනුවෙනු යි.

මේ වකවානුව වන විට වසර 8ක පමණ කාලයක සිට මහා නාහිමියන්ගේ දෑසම නොපෙනී තිබුණ ද උන්වහන්සේ වැඩි පුරම කාලය යොදවන්නේ භාවනාව සඳහා ම ය. ධම්මානන්ද හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති. “අපට විනාඩියක් උන් වහන්සේ ට පැයක් වගේ දැනෙනවා ඇති. නමුත් එදා වගේ ම අදත් ප්‍රතිපත්තිවල නම් වෙනසක් නැහැ. කථා බහේ වෙනසක් නැහැ. මේ තත්ත්වය නම් මහා පුදුමයි.”

“මේ පංචස්කන්ධයෙන් මේ සංසාර දුකින් මේ ජීවිතයේ දීම මිදෙන්න ඕනෑ කියන අදහසින් උන්වහන්සේ මේ මොහොතේත් ක්‍රියාත්මක වෙනවා. සමහර විට මහා රාත්‍රියේ පවා උන් වහන්සේ ට අවබෝධ වෙච්ච ධර්මය ගැන කතා කරලා මට කියනවා. සාමාන්‍යයෙන් උන් වහන්සේට නින්ද යෑම අඩු යි. නමුත් නායක හාමුදුරුවෝ කියනවා මට නින්ද නො ගියාට මං මේ ඉන්නේ කාම විතර්කවලින් නො වෙයි. මේ ඉන්නේ ධර්ම සංඥාවකින් කියලා. දවසක් රාත්‍රියේ මට කතා කරලා නායක හාමුදුරුවෝ කීවා”

“ධම්මානන්ද අද රාත්‍රියේ දුක්ඛ සත්‍ය පිළිබඳව වැටහුණු කාරණා පොතක් වශයෙන් ලීවොත් පිටු පන්දහසක් විතර වෙයි. එහෙම ලියුවොත් මං කලින් ලියා තිබෙන චතුරාර්ය සත්‍ය කියන පොත මොකක් ද කියල ඔය ඇත්තන්ට හිතෙන්න පුළුවන්” කියල.

“දෑස් නොපෙනෙන වයෝවෘද්ධ තත්ත්වයක සිට හෝ මේ ධර්මය ගැඹුරින් සිහිපත් කිරීමයි උන්වහන්සේ හිතන්නේ. වයසට යාමත් සමග මතකය නම් අඩු වන බවක් පේනවා. නමුත් ගුණ ධර්මවල ප්‍රතිපත්තිවල නම් කිසිම වෙනසක් මේ දක්වාම දකින්නට නැහැ.” උන්වහන්සේ නිතර ත්‍රි ලක්‍ෂණ මෙනෙහි කරමිනුයි දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ.”

කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් සමග සංවාදයේ යෙදෙන ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමියෝ ධම්මානන්ද හිමියන් ගෙන් මෙසේ අසති.

“මහා නායක හාමුදුරුවන් ගේ පොත පත කියවීමෙනුත් වසර පහළොවක් වැනි දිගු කලක් අග්‍ර උපස්ථායකයා වශයෙනුත්, දිවා රෑ දෙකේම ළඟම සිටීමෙනුත් ඔය ඇත්තන්ට කියන්න පුළුවන් ද රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් ආධ්‍යාත්මික වශයෙන් යම් විශේෂ තත්ත්වයකට පත්වෙලා සිටින උතුමෙකු කියල”

ධම්මානන්ද හිමියන් එයට පිළිතුරු සපයන්නේ මෙසේ ය.

“එහෙම සම්පූර්ණයෙන් කියන්න බැරි උනත් නායක හාමුදුරුවන් සාමාන්‍ය පුද්ගලයකු නො වන බව නම් මට විශ්වාස යි.”

“උන්වහන්සේ ඉතාම දුර්වල වෙලා ලෙඩ වෙලා ඉන්න අවස්ථා වලදී උන්වහන්සේ ගේ සිත විමසා බැලීමට මාත් සෑම උත්සාහයක්ම ගත්තා. ගන්නවා.

ඇහැ ඔපරේෂන් කරලා ඉන් පසුව ආහාර ගන්නත් බැරිව නායක හාමුදුරුවෝ බරපතළ අපහසුතාවයකට පත් වුණා. මට මතකයි ඒ හේතුවෙන් වෙන වෙන රෝගත් හැදුනා. හුඟක් අමාරු වුණා. මං ඒ වගේ අවස්ථාවලදී නායක හාමුදුරුවන්ගෙන් විමසුවා කොහොම ද නායක හාමුදුරුවනේ කියලා.

උන්වහන්සේ ප්‍රකාශ කළේ “ධම්මානන්ද මම එබඳු බොහෝ අවස්ථාවලදී කරන්නේ සිත නිවනට යොමුකර ගැනීමයි.” ධම්මානන්ද හිමියෝ තව දුරටත් මෙසේ ප්‍රකාශ කර සිටිති.

“තවත් විශේෂ කරුණක් තමයි නායක හාමුදුරුවන්ගේ තිබෙන ප්‍රාර්ථනාව. බොහෝ දෙනෙකු හිතන්නේ නායක හාමුදුරුවෝ ලොව්තුරා බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක් කියල යි.

නමුත් නායක හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව, අරමුණ වී තිබෙන්නේ කොහොම නමුත් මේ ජීවිතයේ ම මේ පංචස්කන්ධය අවසන් කර දැමීම යි. උන් වහන්සේ උත්සාහ ගන්නේ ඒ සඳහාම යි. “ඒ සඳහා තමයි මාගේ මේ උත්සාහය” කියලා මහා නා හිමියන් නිතර ප්‍රකාශ කරනවා.


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 31 නොදන්නා බව දැනගත් චන්දවිමල මහා නා හිමියෝ