Print this Article


බුදුරදුන් වදාළ උතුම් සද්පුරුෂ ධර්මය

බුදුරදුන් වදාළ උතුම් සද්පුරුෂ ධර්මය

මව්පිය පෝෂණය කරන, කුල දෙටුවන් පුදන, මිහිරි වචන කතා කරන, සැර පුරුෂ නැති, බොරු, කේලාම් නොකියන, ලෝභ නැති, සත්‍යගරුක, මනුස්සකම ඇති අයට “තංවෙ දෙවා තාවතිංසා ආහ සප්පුරිසො ඉති” තව්තිසාවේ දෙවියො සත්පුරුෂයායි හඳුන්වන බව පෙන්වා දෙයි. අංගුත්තර නිකායේ තික නිපාතයේ සූත්‍රයක මෙසේ දක්වා ඇත. “බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති වූච්චරෙ ආහුණෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා තස්මා හිනෙ නමස්සෙය්‍ය සක්කරය්‍යොථ පණ්ඩිතො” මා පියෝ බ්‍රහ්ම වෙති. පූර්ව ගුරුවරුද වෙති. දරුවනට අනුකම්පා කරන ඔවුන්ට නුවණැති අය, ගරු සැලකිලි හා නමස්කාර කරති.

බුදුන් දවස සිට, බෞද්ධයන් විසින් පිළිපදිනු ලබන උතුම්ම සද්පුරුෂ ධර්මය, මව් පියන් ප්‍රධාන සියලු වැඩිමහල් අයට, සැලකීමයි. එය පින් ඵල දෙන මංගල කරුණකි. සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ දී භික්ෂූන්ට දේශනා කළ (සප්ත ව්‍රත පද) සද්පුරුෂ ධර්ම හතෙන්, විශේෂකොට දේශනා කළේ ද, වැඩි මහළු සියලුදෙනාට ගරු සැලකිලි දැක්වීම හා ඇප උපස්ථාන කිරීමයි.

මෙම ගුණ ධර්මය පිළිපැදීමේ දී, කරුණාව, දයාව, මෛත්‍රීය, ඉවසීම, සත්‍ය ගරුකවීම, උඩගු නොවීම, ද්වේෂ, මෝහාදියෙන් මිදෙන නිසා, මහත්ඵල මහානිසංස ලැබෙන බව පෙන්වා දී ඇත.

බුදුන් දවස සමාජයේ පැවති, අමනුෂ්‍ය අසද්පුරුෂ ගති ලක්ෂණද, මෙම සද්පුරුෂ ධර්ම දේශනා මගින් දුරුකොට, යහපත් සමාජයක් ඇති කිරීම අරමුණු විය. සිදුහත් බෝසතුන්ට නොදැකීමට සලස්වා තිබූ මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, දැකීම නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දර්ශන,ජාති, ජරා ව්‍යාධි මරණ පිළිබඳ ලැබූ අවබෝධයත්, බුදුවී මෙම ගුණ ධර්ම දේශනා කිරීමට හේතු විය.

මිනිස් භවයක දී මෙම ධර්ම පිළිපැදීම හේතුකොට සක්දෙවි පදවිය පවා ලැබූ බව සඳහන් වේ. ජාතක පාලියේ “තිත්තිර” ජාතකයේ

“යේ වුද්ධමපචායන්ති – නරාධම්මස්ස කෝවිදා
දිට්ඨෙව ධම්මේ පාසංසා - සම්පරායේව සුග්ගතිං”

යනුවෙන් වැඩි මහළු අයට සලකන අයට මේ භවයේ දී ප්‍රශංසා ලැබෙන අතර මතු භවයේ දී සුගතිය අත්වන බව පෙන්වා ඇත. “අංගුත්තර නිකායේ පංචක නිපාතයේ” මෙසේ දක්වා ඇත.

“මාතා පිතූ කිච්චකරො පුතතදාරා හිතො සදා...
ඤාතීනං පුබ්බපෙතානං දිට්ඨ ධම්මෙව ජීවිතං...
සමණානං බ්‍රාහ්මණානං, දෙවතානඤච පණ්ඩිතො....
සොකරිත්වාන කළ්‍යාණං පුජොහොති පසංසියො...
ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදති”

ධර්මය පිළිපඳීමින් ජීවත් වන අය, මව්පිය ආවතේව කරත් ද, තමා හා ජීවත් වන අයට සලකන්නේ ද, සීලවන්තද, පින්පෙත් දී පරලෝ ගිය අයට සෙත් පතාද, ශ්‍රමණාදීන්ට අවශ්‍ය දේ දීමෙන්ද, දෙවියන්ට පින් දීමෙන් ද ප්‍රසංසා ලබා මරණින් මතු සුගතියට පත්වෙති.

“සක්ක සංයුක්තයේ ද, මාතාපෙත්ති භරං ජන්තුං කුලෙ ජෙට්ඨා පචායිනං සණ්හං සකිල සම්භාසං පෙසුණෙයප්පභායිනං”

මව්පිය පෝෂණය කරන කුල දෙටුවන් පුදන, මිහිරි වචන කතා කරන, සැර පුරුෂ නැති, බොරු කේලාම් නොකියන, ලෝභ නැති, සත්‍යගරුක, මනුස්සකම ඇති අයට “තංවෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉති” තව්තිසාවේ දෙවියො සත්පුරුෂයායි හඳුන්වන බව පෙන්වා දෙයි.

අංගුත්තර නිකායේ තික නිපාතයේ සූත්‍රයක මෙසේ දක්වා ඇත. “බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති වූච්චරෙ ආහුණෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා තස්මා හිනෙ නමස්සෙය්‍ය සක්කරය්‍යාථ පණ්ඩිතො”

මා පියෝ බ්‍රහ්ම වෙති. පූර්ව ගුරුවරුද වෙති. දරුවනට අනුකම්පා කරන ඔවුන්ට නුවණැති අය, ගරු සැලකිලි හා නමස්කාර කරති. ආහාර, පාන වස්ත්‍ර, පා සේදීම, නෑවීම, ආදි අවශ්‍ය සත්කාර කරන අයට නුවණැති අය ප්‍රශංසා කරති. එම කුසලයෙන් මරණින් මතු දෙව්ලොව උපදිති. එසේම දරුවන්ට නිසිමග කියා දුන් දෙමව්පියෝ දරුවන්ගෙන්, යුතුකම් පහක් බලාපොරොත්තු වේ. මහළු කළ පිහිට, ආවතේව, දෙමාපියන්ගෙන් පසු සම්පත්, ඉඩකඩම්, ගේ දොර ආදිය නිසි ලෙස පවත්වාගැනීම, දෙමාපියන්ට සමාජයට ගරු පිණිස ජීවත් වීම, පින් දහම්, කුසලක්‍රියාවන් හි යෙදවීම, ආදියයි.

අංගුත්තර නිකායේ සඳහන් අන්දමට

“හරන්ති මාතා පිතරො පුබ්බේ කත මනුස්සරං කරෝන්ති තෙසං කච්චානි යථා තං පුබ්බකාරිනං”

දෙමාපියන්ට කළ ගුණ සැලකීම, මාපියන් පෝෂණය කිරීම, මා පිය අවවාද අනුශාසනා අනුව හැදුණු දරුවෝ කරන්නාහ. ඔවුහු ප්‍රශංසා ලබති. තවද අංගුත්තර නිකායේ මංගල වර්ගයේ සූත්‍රයක් අනුව මෙවැනි කුසලකායකර්ම, වාග් කර්ම, මනෝකර්ම, කරන අයට වහා කුසලානිසංස ලැබෙයි. වැඩි මහළු අයද ඒවා සපුරාගත යුතුය. අංගුත්තර නිකායේ “ දුතිය උරුවෙලා” සූත්‍රයේ දක්වන අන්දමට ගුණ ගරුක අර්ථවත් තරුණයෙක් වූවත්, වැඩි හිටියකු ලෙස පිදුම් ලැබීමට ගුණ ධර්ම සුරැකීම හේතුවෙයි. චිත්ත සංයුක්තයෙහි සඳහන් පරිදි චිත්ත ගහපතියා දන්දුන් විටෙක, භික්ෂුන්ගෙන් විමසූ කරුණු, වලට පිළිතුරු නොදුන්විට “ඉසිදත්ත” නම් තරුණ භික්ෂුව දුන් පිළිතුරු නිසා වැඩි මහළු අයට ලැබෙන පුද සත්කාරම ලබා ගති...

බුදුන් වහන්සේ වැඩිහිටියන්ට සැලකීම දේශනා කිරීමට හේතු වූයේ, ශ්‍රාවක භික්ෂුන් කළ ඇතැම් වැරදි හැසිරීම් ය. බුදුන්ට පවා අගෞරව කළ ගෝලබාලයෝ, එම අකුශලයන්ගෙන් බේරාගැනීමට සිදුවිය. “සුත්ත නිපාතයෙහි” “කොකාලිය” සූත්‍රයට අනුව, සමහර භික්ෂූන්, බුදුන්ගේ අවවාද පවා නොතකා වැඩිහිටි භික්ෂූන්ට, අගෞරව කළ නිසා බුදුන්ට පවා ඇහෙන ලෙසට, බැණ වැදුනු නිසා, එම අකුසලවලින් මුදවා ලීමට, සද්පුරුෂ බණ කියා දීමට සිදුවිය. පාරාජිකා පාලියේ සඞගභේද, සඞගාදිසෙස, ශික්ෂාපද ඊට සාක්ෂි දරයි.

නූතන ලාංකික සමාජය තුළ බුදුන් වදාළ උතුම් සද්පුරුෂ ධර්ම නැවත කියාදීම අවශ්‍යව ඇත. මේ සඳහා විවේචනය කර කර සිටිනවාට වඩා විවිධ අෙඳීනා කන්දොස්කිරියා, ගීත ගයනවාට වඩා විවිධ සුදුසු අවස්ථා යොදා, මාධ්‍ය පවා යොදාගෙන කාරුණිකව, මනෝවිද්‍යාත්මක උපක්‍රම මඟින් ධර්මාවබෝධය ලබාදීම කළ යුතුවෙයි. පැරණි බෞද්ධ පරපුර මේ සඳහා යොදාගත්තේ උසස් බෞද්ධ ධර්මය හා සාහිත්‍යයි. ඇතැම් අයෙක් වැඩිහිටියනට ගරු නොකරන්නේ “යොබ්බනමදය” නම් තරුණ උඩගුව නිසයි. රැකියාවල සිටින ඇතැම් අය පවා, තමන් මහළුවන බව, නොදනී. සේවා දායකයන්ට පහත් ලෙස සලකන්නේ ද ඒ නිසයි.

මේ අනුව බුදුන් දෙසූ පරිදි, බොහෝ සමාජ කොටස් වල, දක්නට ලැබෙන, පුහු උඩගුව, උද්දච්චකම, ද්වේශය නිසා කරන “අසභාගවුත්ති” නම් අකුසලය දුරු කිරීමට ධර්මය කියා දිය යුත්තේ, බුදු මග අනුව කරුණාවෙනි.

සමහරවිට මලක්වත් බුදුන්ට පූජා නොකරන තරම් වූ මොවුන්ගේ ස්වභාවය, වැඩිහිටියන් සමග කෝලාහල කිරීම, ගැරහීම, අවලාද, අපහාස කිරීම, හා හිංසා කිරීමයි. මෙම භවයේදී ම විඳවන අකුසල්, පාප කර්ම, හඳුන්වා ඇත්තේ “දේව වස්සතා” නමිනි. උද්ධච්චවූ මොවුන්ගේ මානසික රෝග හඳුන්වන්නේ “සම්මෝහය” නමිනි. කාම රාගයෙන් ද උන්මාදයට පත්වන මොවුන් ඇදෙන්නේ දෙමාපිය වැඩිහිටියනට සැලකීමට නොව, නැටුම්, ගැයුම්, වැයුම්, විකාර සන්දර්ශන කෝලම් දැකීමටය. ඒවායේ බලවේගය ධර්මයට වඩා වැඩි බැවින්, ඇතැම් දෙමාපියෝ නොමග යන දරු පරම්පරාවක් නිසා පීඩා පිදිති. බුදුන් වහන්සේ දේශනා කළේ, ධර්මය උගෙන, දැන පිළිපැද, ගුණ ධර්ම රැක, ජීවත්වීමෙන්, වැඩිහිටියන් දෙන අවවාද උපදෙස්, පිළිපැදීමෙන්, අකුසල්වලින් මිදිය හැකි බවයි.

මේ සඳහා මිනිසුන් දැනුවත් කිරීමට බුදු හිමියෝ, ජාතක කථාද, සූත්‍ර දේශනාද විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත. භික්ෂුන් සමග සැවැත්නුවරට වැඩි කල්හි, සියලු භික්ෂුන් වැඩ සිටීමට ස්ථාන සොයාගත් නමුත් සැරියුත් හිමියන්ට තැනක් නැතිව, ගසක් මුල සක්මන් කරනු දුටු බුදු හිමියෝ, භික්ෂුන් අමතා අතීත භවයකදී, වටුවෙකුත්, ඇතෙකුත්, වදුරෙකුත්, වැඩි මහල්ලා ලෙස වටුවා තෝරා ගෙන සැලකූ හැටිත්, එය “කුල ජෙට්ඨ” පචායනය” බවත් දේශනා කරන ලදී.

පියරජුගේ දූර දර්ශී, අවවාද පිළිගත් “දීඝායූ” කුමාරයා, තම දෙමාපියන් මැරවූ බ්‍රහ්ම දත්ත රජු මරා දැමීමට හැකිව තිබියදීත්, නොකළ නිසා පළිනොගත් නිසා, යස ඉසුරුද, රාජ්‍ය බලයද ලබාගති. මෙම කතාවෙන් පුළුවන් කාලයේ වැරදි වැඩ කොට මහලු කාලයේ විඳවන හැටිද පෙන්වා දෙන ලදී. වැඩිහිටි කුරුලු බෝසතුන්ගේ අවවාද පිළිගත් කුරුලු රංචුවේ යහපත් කුරුල්ලෝ, මහා ලැව් ගින්නකින් බේරුනු අයුරුත්, අකීකරු අවනීත කුරුල්ලෝ ගින්නෙන් දැවී ගිය හැටිත් “සකුණ” ජාතකයෙන් පෙන්වා දී, සමස්ත බෞද්ධ පිරිස්වලට කීකරුකමේ සුගතිය වටහා දෙන ලදී. මව් පියන්ට සත්කාර කළ උතුම් බෝසත් ගිරවකු ගැන කියන “සාලිකේදාර ජාතකය, අහිංසක සතුන්ට පවා මිනිසුන් ළග නැති ගුණ ඇති බව පැහැදිළි කරයි. බුදුන් දවස සිටි මවට උපස්ථාන කළ භික්ෂුන් වහන්සේ නමක් ඇගයීම සඳහා මෙය දේශනා කරන ලදී.

“මවට උපස්ථාන කළ භික්ෂූ නමක් අරභයා “මාතුපෝසක” ජාතකය දේශනා කරන ලදී. තම අන්ධ මවට උපස්ථාන කළ, ගුණවත්, බෝසත් ඇතෙකු වැද්දෙක් ලවා අල්වාගත් රජෙකු, තොරතුරු දැනගත් පසු ඇතා නිදහස් කළ අතර ඇතා මව මියගිය පසු ප්‍රදේශය අත්හැර ගිය බවත්, ඇතා සිහිවීම පිණිස, ප්‍රතිමාවක් සාදවා “හස්ති මග“ නම් පූජාවක් ද පවත්වන ලදී. තමා ඇසුරු කළ, ළග සිටි සතකු පවා මහළුවූවත්, නොසලකා හැරීම අකුසලයක් බව දෙසූ බුදු හිමියෝ, වඩිනමග අතරදී හමුවූ “භද්‍රවතිකා” ඇතින්නට, නැවතත් උදේනි රජු ලවා ගරු සත්කාර කරවන ලදී. මෙවැනි දහම් පණිවුඩ රාශියකින් ගුණ ධර්ම උගත් පැරණි බෞද්ධයෝ කුසල් බලයෙන් සැනසීම ලැබූහ. තම පිය ශුද්ධෝදන මහ රජු වයස්ගතව, ව්‍යාධියෙන් පෙළෙනවිට, වැඩම කළ බුදුන්වහන්සේ, කළ සත්‍ය ක්‍රියා බලයෙන් සුවපත් කරන ලදී.

මේ ආකාරයට ගිලනුන්ටද අසරණ දුගී, දුප්පත් සමාජය පහත් කොට සැලකූ පිරිස්වලටද පිහිට වූ බුදු හිමියෝ තමන් වෙත පැමිණි බඩගිනිකාර දුප්පතෙකුට මහ සගරුවන වළඳා ඉතිරි වූ දානය දීමෙන් පසු බණ කියා සනසන ලදී. වැඩි හිටියන්ට සැලකූ ආදර්ශවත් චරිතය ආනන්ද හිමියන්. බුදුන් වහන්සේ පිරිනිවන් පාන තුරුද උපස්ථාන කරන ලදී.

මාපියන්ට මෙන් නොව ගුරුවරුන්ට සැලකීමේ දී විචාරශීලී විය යුතු බව විවිධ චරිත ඇසුරින් දක්වන ලදී. තිලමුට්ඨි, ගුත්තිල හා අංගුලිමාල කතාවලින් මෙය පැහැදිළි කළේ ය. “රජතුමනි එදා ඔබ ඒ මහලු කතගේ තල කෑ වරදට දඬුවම් නොකළානම්, තවත් හොරකමේ යෙදීමට ඉඩ තිබිණි. එසේ වී නම්, අද මේ රජ සිරි ලැබෙන්නේ නැත.” යනුවෙන් පහදා දුන් නිසා, මරා දැමීමට සූදානම් කර සිටි ගුරුවරයා ජීවිත දානය ලැබුවේ ය. ගුරුවරයාගේ චේතනාව යහපත් වූ නිසයි, මූසිලගේ මූසලකම දැන දැනත්, මා පියන්ගේ ඉල්ලීමට උතුම් ලෙස ගරුකොට, සියලු ශිල්ප උගන්වා, රජ මාලිගයේ සේවය ලබාදීටද කැඳවා ගෙන ගිය ගුත්තිල ඇඳුරු සමග, රජුගේ වැරදි ඉල්ලීම නිසා වාදයකට සහභාගී වීම ගෞරවය කෙලසීමකි. එහි විපාකය මූසිල යමපුරට යැවීමයි. ගුරු ගෞරවය සැලකුවා නම් රජු පැටලවූ විවාදයෙන් ඉවත්වීමට තිබිණි. ගුරු ගෝල සම්බන්ධතා පිළිබඳ වූ අංගුලිමාල කථාව, ගුරුන් හා සිසුන් අවිචාරවත්ව කටයුතු කිරීමේ විපාක කියාදෙයි. ගුරුවරයෙක් වෙත තිබිය යුතු අනුකම්පාව, දයාව, කරුණාව, උපේක්ෂාව, මනෝවිද්‍යාත්මක දැනුමේ අවශ්‍යතාවය අවධාරණය කරන මෙම කථාව, පළිගැනීමේ චේතනාවෙන් යුක්ත වූ, මානසිකව දුර්වල ගුරුවරයකු නිසා විනාශමුඛයට පත් වූ අහිංසක ගෝලයකු පිළිබඳව පාඨක අවධානය සංවේදිව යොමු කරන අතර ගුරුවරයා කවරෙක් විය යුතුද යන උසස් පණිවිඩය ඉදිරිපත් කරන ලදී. ශිෂ්‍යයන් ද ගුරුවරුන් දන්වන බොහෝ කරුණු ඉටුකළ යුත්තේ විචාරශීලිවය. මේ අවස්ථාවේ දී බුදුන් වහන්සේගේ කරුණා මහිමයෙන් අංගුලිමාල වූ අහිංසක කුමාරයාත්, විනාශ වීමට ගිය ඔහුගේ මවත් බේරා ගත හැකිවිය. එහෙත් මෙවැනි ගුරුවරුන්ට කීකරුව ඉල්ලීම් ඉටුකිරීමට යාම නිසා වුණු විනාශය නූතන සමාජයටම ආදර්ශවත් පණිවුඩයක් දෙයි. කෙසේ වූවත් නූතන ශිෂ්‍ය පරපුර තුළ ගුරුවරුන්ට සැලකීම තවමත් යහපත් ව ඇත. වඩාත් යහපත් කර ගැනීමට ගුරු පරපුරද කැපවිය යුතුය.

මෙසේ බුදුන් වහන්සේ ක්‍රියාවෙන්ම ලොවට දුන් උතුම්ම සද්පුරුෂ ධර්ම පණිවුඩය වැඩි හිටියන්ට සැලකීමයි. මංගල සූත්‍රයේ දී “පූජාච පූජ නියානං” යනුවෙන් සඳහන් කළේ ඒ සඳහායි. මා, පිය, ගුරුවරු මහළු අය, ලෙඩුන්, භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා හා පෘතග්ජන සියලු දෙනාට පමණක් නොව, සමස්ත සත්වයිනට පවා සැලකිය යුතුය. ඇප උපකාර කළ යුතුය. එවිට සියලු මිනිසුන් වෙත ඇති සියලු කෙලෙස් දුරුවී, සියලු සත්ත්වයෝම නිදුක් නීරෝගී, සුවපත් වී නිවන්සුව ලැබීම සඳහා යොමුවනු ඇත.