Print this Article


මනුෂ්‍යයා ලැබිය යුතු දුර්ලභ කරුණු සතරක්

මනුෂ්‍යයා ලැබිය යුතු දුර්ලභ කරුණු සතරක්

ඒ වුණාට දුර්ලභයි. මැරිලා හොඳ තැනකට යන්න තියෙනව නම් හොඳයි. දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ කාරණා පහ ගැන හිතන්න. දැන් අපේ බෞද්ධයන් අපට පෙනෙනවා.

නොයෙක් තැන්වල මේ කාරණා ප්‍රාර්ථනා කර කර යාඥා කර කර යන හැටි, බලන්න කොච්චර පින්වතුන් දේවාල වලට යනවාද? දේවාල වලට ගිහිල්ලා මොකද කරන්නේ? ප්‍රාර්ථනා කරනවා, ලැබේවා ලැබේවා ලැබේවා කියල , බලන්න දේවාල වලට යන පින්වතුන්,ඒ වාගේම නොයෙක් නොයෙක් තැන්වලට යාතිකා කරන්න යන පින්වතුන් ඔය හැම දෙනාම මොනවටද මේ යන්නේ කියල පොඩ්ඩක් හිතන්න.මේ ගිහිල්ලා මොනවාද ප්‍රාර්ථනා කරන්නේ. මේ ප්‍රාර්ථනා කරන දේවල් අතර අර කියන ලද කාරණා පහට අයිති නොවන යමක් තිබෙනවාද? මොනවද ඒ කාරණා පහ කියල මම නැවත මතක් කරලා දෙන්නම්. ආයුෂ, වර්ණ සැප, යසස, ස්වර්ගය, මැරිල හොඳ තැනකට යන්න ලැබේවා කියන කාරණය. ඔය ප්‍රාර්ථනා කරන දේවල් අතර මේ පහට අයිති නොවන මොකක්වත් තිබෙනවාද? නැහැ පින්වත්නි, හැම දෙයක්ම මේ පහට අයිති වෙනවා. එහෙනම් බලන්න බුදුහාමුදුරුවන් දේශනා කළේ මොකක්ද කියලා. මේ කාරණා පහ ආයාචනා හේතුවෙන් වත් ප්‍රාර්ථනා හේතුවෙන්වත්, ලබන්නට බැහැ. කියල මම දේශනා කරනවය, එහෙම ලබනවා නම් කො ඉධ කෙන හායෙත මේ ලෝකයේ කාට මොකකින් අඩුවක් වෙයිද කියලයි බුදුහාමුදුරුවො අහන්නේ. ඔය ප්‍රාර්ථනා කරන දේවල්. අනේ මට පිහිට වෙන්න, පිහිට වෙන්න කියල එක එක්කෙනාගෙන් දේවල් ඔය ආකාරයෙන් ලැබෙනවා නම් කාට මොකකින් අඩුවක් වෙයිද කියල බුදුරජාණන් වහන්සේ අහනවා. පින්වත්නි, ඒක වෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ අනතුරුව දේශනා කරනවා ‘න ඛො ගහපති අරිය ශාවකෙන අයුං ආයාතිතුංවා අභිනන්ධිතුංවා ‘ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් මේ ආයුෂයට වුණත් තෘෂ්ණා කරන්නට එපා.

ආයුෂය වුණත් ප්‍රාර්ථනා කරන්නට එපා. ආයුෂ විතරක් නොවෙයි අනෙක් කාරණා පහටත් ඒ විධියටමයි සැප, යසස, කීර්ති, ප්‍රසංශා යන මේවා මොකක්වත් ප්‍රාර්ථනා කරන්න එපා. එහෙම ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාරණා පහ ලබන්නට ඕනැ නම්, ලැබේවා කියල හැගීමක් තියෙනවා නම් තමන් විසින් කළ යුත්තේ, ආයුෂ ප්‍රාර්ථනා කරනවා නම් ආයුෂ ලැබෙන්නට ප්‍රතිපදාවක් තිබෙනවා. ඒ ප්‍රතිපදාව පුරන්න. මේ ඔක්කොම ප්‍රතිපදාව කැටි කරලා ගත්තාම තමයි, දාන, ශීල, භාවනා කියල අපි කියවන්නේ.ආයුෂ ලැබෙන්නට නම්,ආයුෂය කියල කියන්නේ තමන්ගේ ජීවිතය දිගු කලක් පවතීවා කිියල කියන එකනේ. අනුන්ගේ ජීවිත කෙටි කරන්න එපා. ඒ කියන්නේ සත්ත්ව ඝාතනයෙන් වළකින්න කියන එකයි. තමන් නීරෝගීව ඉන්නට කැමති නම් අනුන්ගේ ශරීරවලට දුක් දෙන්නට එපා. සත්ත්ව හිංසාව කරන්නට එපා. එතකොට තමන්ට නීරෝගී බව ලැබෙනවා. පින්වත්නි,අප හැම දෙනාම සසර සැරිසරාගෙන එම කාලයේදි හොඳ දේවලුත් කරනවා. නරක දේවලුත් කරනවා. මේ අපි කරන හොඳ දේ නරක දේ තමයි කර්මය වශයෙන් අප පසුපස එන්නේ.

බලන්න, අපි හොඳ කර්මයක් නිසා මනුෂ්‍ය ආත්මභාවයක් ලැබුවා. ඒ එක්කම ඒ මනුෂ්‍ය ආත්මභාවයෙහි දුර්වලකම් තිබෙන්නට පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට රෝගීයි. සමහර වෙලාවට අල්පේශාක්‍යයි,මහේශාක්‍ය ආදි හොඳ පැත්තට යනකොට තමන්ට හොඳ කර්ම ඒ වාගේම අනෙක් දුර්වල පැත්තට එනකොට නරක කර්ම. එකම ජීවිත කාලයේ හොඳ නරක දෙපැත්ත විපාක දෙනවා. නමුත් ඒකාන්තයෙන්ම මේවා විපාක නොදී පිරිනිවන් පාන්නෙත් නැහැ කියල දේශනා කළා. නමුත් බොහෝ කර්ම හොඳ කර්මවලින් යටපත් කරන්නට අපට පුළුවන්. ඒ නිසයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යමෙකුගේ කරන ලද පාප කර්මයෝ වෙත්නම් එය කුසලයෙන් වහලා දමන්නට කියල කිව්වා. ඒ වගේම යමෙකුගේ කුශල ශක්තීන් තිබෙනවා නම් අකුසල් කරනකොට කුශල ශක්තීනුත් වැහිලා යනවා.

යමෙකුගේ් උදාර වූ අධ්‍යාත්මික ගුණ වගාවක් තිබෙනවා නම් ඒ ගුණ වගාවට ඒ ගුණයට උපහාර වශයෙන් තමයි අපි පූජා පවත්වන්නේ. ඉතින් ඒ ගුණය ගැන තමයි, ශීල, සමාධි, ප්‍රඥා කියල කියන්නේ. යම්කිසි ආකාරයකින් පුදන ලද්දක් වෙයි නම් ඒ පුදන ලද්ද මහත් ඵල මහානිසංශ වෙනවා නම් ඒ ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන්, ඒ ප්‍රතිග්‍රාහකයා ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන යන පංචාංගයන්ගෙන් යුක්ත විය යුතුයි. ඒ පංචාංගයන්ගෙන් ඉහළටම ගිය තැනැත්තා බුදුරජාණන් වහන්සේයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා තියන පූජාව ශ්‍රේෂ්ඨයි කියල දේශනා කළා. පින්වත්නි ඒ බුද්ධ පූජාව හැමදාම ගෙදරක තියන්න.මේ බණ අහන පින්වතුන් අද ඉඳලා ගෙදරක බුද්ධ පූජාව තියන්න අද ඉදලා පටන් ගන්න. ඒ තියන පූජාව තියන්න පුළුවන් ඉහළම මට්ටමින් තියන්න. සමහර වෙලාවට උදේ වැඩට යන්න ලෑස්තිවෙලා තියන්න පුළුවන් ඒ ඉහළම මට්ටම තේ කෝප්පයක් වෙන්නට පුළුවන්. කමක් නැහැ. තියන එක ඉහළම මට්ටමින් තියන්න. සමහර වෙලාවට ගෙදර ඉන්න වෙලාවට පුළුවන් නම් බුදුහාමුදුරුවන්ගේ අනන්ත වූ ගුණය සිහිපත් කරගෙන හොඳට හරිගස්සලා බුදුරජාණන් වහන්සේට දානයක් තියන්න. ඒක සමහර වෙලාවට තමන්ට පුළුවන් ආකාරයෙන්, සමහර වෙලාවට සම්බෝලයි බතුයි වෙන්නට පුළුවන්.

ඒත් කමක් නැහැ. තමන්ට තිබෙන ඉහළම මට්ටම ඒක නම් ඒ විධියට තියන්න. ඒ නිසා කවදාවත් බුද්ධ පූජාව දුර්වල කරන්න එපා. ඉතාම ශ්‍රද්ධාවෙන් ඒක කරන්න. බුදු ගුණය සිහි කරගෙන ඒක කරන්න.

ඇයි එහෙම කරන්න කියන්නේ. ඒ ටිකත් මේ පින්වතුන්ට වටහලා දෙන්නට ඕනෑ. අපි ‘නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’ කියල කියනවා. භගවතො කියල කියන්නේ භග්ගරාගො භග්ගදොෂො භග්ගමොහො’ බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළා.ද්වේශය දුරු කළා. මෝහය දුරු කළා. ඒ රාග ද්වේශ මෝහ දුරු කළ නිසා භගවා කියල කියනවා. ඒ වාගේම අරහං කියල කියනවා. ඒ රාග ද්වේශ මෝහ දුරු කරලා නික්ලේශී බවට පත් වුණූ නිසා දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට නිසි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහං අරහං ගුණයට තමයි අපි මේ උපහාරය කරන්නේ. ඒක සුළු දෙයක් නොවෙයි. ඒ අරහං ගුණයට කරන්න පුළුවන් උපහාරය ඉහළම මට්ටමින් කරනකොට තමන්ගේ හදවතෙන් එන්නේ බෞද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් තමන් දන්නවා තමන් යා යුතු මඟ,ලෝභ ,ද්වේශ,මෝර දුරු කිරීමේ මාර්ගයයි කියලා. ඒ බවම තමයි තමන්ගේ මනසට එන්නේ. මා බුදු පුද කරනකොටම බුද්ධ පූජාව කරනකොටම තමන්ගේ හදවතේ තිබෙන ලෝභ, ද්වේශ,මෝහ යටත් වෙලා. අලෝභ, අද්වේශ,අමෝහ කියන කුශල ශක්තීන් ඉස්මතු වෙනවා. හැමදාම අප්‍රමාණ වූ කුසල ස්කන්ධයක් මේ ආකාරයෙන් රැස් කරනවා. මෙන්න මෙහෙම රැස් කරන කුසලස්කන්ධය දෙවියන්ට අනුමෝදන් කරන්න. ස්ථාන ආරක්‍ෂා කරන දෙවියන් ඉන්නවා. ඒවාගේම ඉෂ්ට දේවතාවන් දන්නවා. ඒ වාගේම ශාසනාරක්‍ෂක දෙවිවරුන් ඉන්නවා. ඒ දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. ඒ දේවතාවන්ට අනුමෝදන් කරන විට දෙවියන් සතුටු වෙනවා.

කුසල් ටිකක් රැස් කරලා ‘ආකාසට්ඨාච භුම්මට්ඨා’ කියල දෙවියන්ට පිං අනුමෝදන් කරන්න.මෙන්න මේ දේ සිද්ධ වෙනවා.මේ ටික කියල දෙන්න ඕනෑ. ඒ පිං අනුමෝදන් කරනකොට බුදු දහමේ සූත්‍රවල සඳහන් වෙනවා.පොහොය දවසට දෙවිවරුත් දෙව්ලොව සුධර්මා දිව්‍යසභාවේ රැස් වෙනවා කියල කියනවා. දිව්‍ය ලෝකයේ පිරිහීමත්, දිව්‍යලෝකයේ දියුණුවත් කියන කාරණය සාකච්ඡා කරන්නට. එතකොට මේ යන භූමාටු ,ආකාසට්ඨාච ආදි වූ දේවතාවෝ එහි සඳහන් කරනවා. මෙන්න අප ඉන්න තැන්වල මේ ඇත්තෝ දන් දෙනවා. සිල් රකිනවා. භාවනා කරනවා යනුවෙන් ඒ ඇත්තන්ගේ කුසල ශක්තීන් ගැන කියනකොට දෙවියන් සතුටු වෙනවාය,සතරවරම් දේවතාවෝ පවා ලෝකය සිසාරා යනවා.ඒ ඇත්තන්ගේ පිංඅනුමෝදන් වෙන්නට, එතකොට ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවාය කියනවා. මෙන්න මේ විධියට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නේ. කුසලයක් කළාම ඒ කුසලය කරපු තැන දෙවියන්ට පිංදෙන්න. යා තක්ඛ දෙවතා ආතුං තාසං දක්ඛිණ මාදිසෙ එහි දේවතාවෝ ඇත්නම් ඒ දෙවියන්ට මේ පුණ්‍ය දක්‍ෂිණාව දෙන්නට. එතකොට දෙවියෝ ඒ ඇත්තන්ට ආශිර්වාද කරනවාය. දේවතානුකම්පිතො පොසො සදා භද්‍රාන පස්සති. එසේ දෙවියන්ගේ අනුකම්පාව ලබන තැනැත්තාට හැමදාම යහපත සැලසෙනවාය. ඒ නිසා පින්වතුනි, යහපත දකින්නට කැමති නම් හැමදාම වෙන කුසලයක් නොවෙයි. හැමදාම මේ බුද්ධ පූජාව තියන්න. තියලා දෙවියන්ට පිං දෙන්න. කවුරු හරි කියයි අනෙ ඕක වැරදුණොත් හොඳ නැහැයි කියල. පින්වතුනි, භය පෙන්නන්නට එපා. බුදුහාමුදුරුවෝ කාත් එක්කවත් තරහ වෙන කෙනෙක් නොවෙයි. දවසක් දෙකක් වැරදුණත් අමතක වුණත් ඒකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තමන් හොඳ ගුණයක පිහිටා පන්සිල් රකින්නට උත්සාහ කරමින් හැමදාම මේ බුද්ධ පූජාව තියල දානය දෙන්න. ඥාතීන්ට මිය ගිය ඇත්තන්ට පිං දෙන්න. තමන් හොඳට කුසල් රැස් කරන්නට අලෝභ,අදෝශ,අමෝහ චේතනා තමා තුළ දියුණු කරගන්න. එයින් තමයි තමන්ට වාසනාව පෑදෙන්නේ. මේ ධර්මය තමන්ගේ වෙන දෙයක් නොවෙයි.

මෙම ලිපියේ මුල් කොටස අපේ‍්‍රල් 22 වනදා පත්‍රයේ පළවිය.

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ දහම් දෙසුමක් ඇසුරෙනි