Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 31 නොදන්නා බව දැනගත් චන්දවිමල මහා නා හිමියෝ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 31

නොදන්නා බව දැනගත් චන්දවිමල මහා නා හිමියෝ

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ට අග්‍ර උපස්ථායකයකු ලැබෙන්නේ උන්වහන්සේගේ වයස අවුරුදු 83 ක් පමණ වන විටදීය. ධම්මානන්ද හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති.

“ඒ උතුමන් වහන්සේගේ පශ්චිම කාලයේ අප වැනි උපස්ථායකයකු ලැබීමත් පුදුමයක් නොවේද? ගිහි පැවිදි දෙපක්‍ෂයේම බොහෝ අය වයෝවෘද්ධව තමන්ගේ වැඩ තමන්ට කර ගැනීමට නොහැකි තත්ත්වයට පත් වූ විට උපස්ථානයට කෙනකු නොමැතිව අපවිත්‍රව දුගඳ හමමින් සිටිනු කොතෙකුත් අප දැක ඇත. හේනේගොඩ කල්‍යාණ ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් අපට ද තරමක් වැඩ අධික විය. එබැවින් සමහර අවස්ථාවලදී මහා නායක මාහිමිපාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු ද අපහසු විය. මීට වසර තුනකට පෙර මෙහි වැඩම කළ කුකුල්පනේ සුදස්සී හිමියන් අප ඇති නැති සැම විටම මහා නා හිමියන්ට මෙත් සිතින් උපස්ථාන කිරීමට ඉදිරිපත් වීම නිසා ඒ අඩු පාඩුවත් මඟ හැරී ගියේ ය. ඒ අතරතුර උන්වහන්සේට උපස්ථාන කළ ගිහි පින්වතුන් කීප දෙනෙකුගේ ම සහාය ලැබීමද භාග්‍යයකි. වුවමනා දේ ලැබීමේ වාසනා ගුණය අවසාන මොහොත දක්වාම පැවතුණා යැයි ප්‍රකාශ කළේ මේ කරුණු සැලකිල්ලට ගනිමිනි.

අනුන්ට කරදර නොකර තමන් වහන්සේගේ වැඩ තමන් වහන්සේ විසින්ම කර ගැනීමට නිතර උත්සාහ කිරීම ඒ මහෝත්තමයාණන් වහන්සේ තුළ දක්නට ලැබුණු විශේෂ ගුණයකි. ඇප උපස්ථාන කරන අයට මෙය මහත් පහසුවක් විය. මෙහාට ආව දෙවැනි දවසේ ඉඳල නායක හාමුදුරුවන්ට උපස්ථාන කරන්න පටන් ගත්තා. කාගෙන්වත් විමසීමක් නොකර මට කරන්න පුළුවන් වැඩ කොටස කළා. අතුපතු ගෑම, නායක හාමුදුරුවන් පිරිසුදු කිරීම ආදී කටයුතු වල මං යෙදුණා. ඒ වෙනකොට තවත් පුංචි හාමුදුරු නමක් මෙහි සිටියා. එයා ඉගෙන ගන්න පිරිවෙන් යනවා. මං ඒ පොඩි හාමුදුරුවන්ට කීවා ඔයා කරන කටයුතු ටික ඔයා කරන්න. මෙන්න මේ කටයුතු ටික මං කරන්නං කියල. මෙතනදී මං හුඟක් ප්‍රවේශම් වුණා. මේ වන විට උපසම්පදාවෙන් එක් වර්ෂයක් සම්පූර්ණ වෙනවා. නායක හාමුදුරුවන් හරිම ප්‍රතිපත්ති ගරුකයි. අනුපසම්පන්නයකු විසින් කළ යුතු දේවල් මං කරනවාට උන්වහන්සේ කොහෙත්ම කැමති වුණේ නැහැ.

“පිළිගැන්වීම් වාගේ දේවල් අනුපසම්පන්නයකු විසින් ම කළ යුතු වෙනවනේ. උපසම්පදාශීලය කියන පොත මං හොඳට කියවා තිබූ නිසා හුඟක් ප්‍රවේශම් වුණා. උන්වහන්සේගේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන සේ ක්‍රියා කරන්නට.” “දවසක් නායක හාමුදුරුවන් මට කීවා ඔයා මේ වැඩ කරනවාට මගේ නම් කැමැත්තක් නැහැ කියල. මං ඒ කියපු දේ තේරුම් ගත්තා. උන්වහන්සේ මට තියෙන සැලකිල්ල සහ ගෞරවය නිසා පඩික්කම් සේදීම වගේ දේවල් මං කරන එක ගැන උන්වහන්සේ කැමති වුණේ නැහැ.” ධම්මානන්ද හිමියන් පවසන මේ ප්‍රකාශ තුළින් හැඟෙන්නේ මහා නා හිමිපාණන් වහන්සේට උපස්ථානයන් අවශ්‍ය වුවද ඒ සියල්ල සිදු කළ යුත්තේ භික්‍ෂු විනයට අනුකූලව ප්‍රතිපත්තීන් නොකඩවන ආකාරයට බවය. ඉතා අපහසු අවස්ථාවක වුවද තම පෞද්ගලික පහසුව වෙනුවෙන්වත් විනය නීතියක් ඛණ්ඩනය වෙනවා දකින්නට උන්වහන්සේ කැමති වූයේ නැත. භික්‍ෂු ජීවිතයේ පැවැත්ම විනය මතම පදනම් විය යුතු යැයි ඇදහූ රේරුකානේ මහා නාහිමියෝ උදාර භික්‍ෂු චරිතයක්මය. මහා නාහිමිපාණන් වහන්සේට හැකි සෑම අවස්ථාවකම තමන්ගේ කටයුතු තමන් විසින්ම කර ගැනීමට උත්සාහ දැරීය. මහා නා හිමියන්ගේ ඇස් දෙකම සම්පූර්ණයෙන්ම නොපෙනෙන අවධියේත් උන්වහන්සේ ප්‍රයත්න දැරුවේ කිසිවකුටත් කරදරයක් නොවී ජීවත්වීමටය. ධම්මානන්ද හිමියන් විනයාලංකාරාරාමයට පැමිණෙන කාලයේ මහා නා හිමියන් ස්නානය කළේ උණුවතුර ය. උණු පැන් සකසා දීම ධම්මානන්ද හිමියන් අතින් සිදු විය.

සමහර අවස්ථාවල මහා නාහිමියන්ට වැසිකිලියට ගමන් කිරීමද අපහසු විය. නමුත් කිසිවකුට කරදර නොකර වතුර බාල්දියද රැගෙන උන්වහන්සේ වැඩියේ තනිවය. නායක හාමුදුරුවන් එසේ වැඩිය අවස්ථාවල ධම්මානන්ද හිමියන්ට කොතරම් වැඩ කටයුතු තිබුණ ද ඉතා විමසිල්ලෙන් පසුවීමට උන්වහන්සේ නිතරම පෙළඹුනහ. එවැනි අවස්ථාවක වූ සිදුවීමක් ගැන ධම්මානන්ද හිමියන් පැවසුවේ මෙසේ ය. “දවසක් හොඳ වැඩක් වුණා. නායක හාමුදුරුවන් වැසිකිලියට වඩිනවා දැකල මං ඇහුවා මාත් එන්නද කියල.” නායක හාමුදුරුවන් කීවා කමක් නෑ ඔයා එන්න අවශ්‍ය නෑ කියලා”

“ටික වේලාවක් යනකොට මහානායක හිමියන් වැසිකිළිය ඇතුලේ ඉඳල “ධම්මානන්ද, ධම්මානන්ද කියල හයියෙන් කතා කළා. මාත් ඉක්මනට ගියා” “වැසිකිලියේ දී පහසුව සඳහා අල්ලා ගන්න තිබුණු ලණුව කැඩිලා. නායක හාමුදුරුවන්ගේ කකුල් දෙක වැසිකිලි වලට වැටිලා ඇඹරිලා තිබුණා.” “එවේලේ මා කිවුවා, නායක හාමුදුරුවෝ මං නාවට කමක් නෑ කිව්වට දැන් කමක් තියෙනව නේද කියල. මෙහෙම කිව්වහම නායක හාමුදුරුවන්ටත් හොඳටම හිනා ගියා.”

“මං මෙහාට ඇවිදින් මාස නවයක් විතර කාලයක් රාත්‍රිය ගත කළේ මේ කුටියේ නොවෙයි. එහා ආවාස ගෘහයේදීය. මහා නාහිමියන් උදේ දානේ වළඳලා ටික වේලාවක් ඉඳලා පත්තර බලනවා. උදේ 8.30 විතර වෙනකොට දවල් නිදන ඇඳට ගිහින් වාඩිවෙලා භාවනාවක යෙදෙනවා. කීප වරක් එහාට මෙහාට සක්මන් කරලා ඇවිත් ටිකක් ලියනවා. ඉන් පසුව මා ඇවිත් අහනවා ගිලන්පසට අවශ්‍යය දෙයක් ගැන. 9.30 පමණ වන විටයි ගිලන්පස ටිකක් වළඳන්නේ. මං ආව දවස්වල උන්වහන්සේ පිටස්තර දානමානාදියටත් වැඩම කරනවා. එසේ නොමැති බොහෝ අවස්ථාවල විහාරයේ දාන ශාලාවට වැඩම කරලා වළඳලා එනවා. උන්වහන්සේ වළඳන්නේ ඉතාම ස්වල්පයයි. සමහරවිට මට පුදුමත් හිතෙනවා, මෙතරම් ටිකක් වළඳලා කොහොමද ජීවිතය පවත්වාගෙන යන්නේ කියලා. දොළහට කලින් දානෙ වළඳලා ඇවිත් තේ එකක් නොවරදවාම වළඳනවා. මාත් එය හදලා කාට හරි කියලා පිළිගන්වනවා. ඒ දවස්වල වැඩිපුරම කාලය ගත කළේ භාවනායෝගීවයි. රේරුකානේ මහා නා හිමියන් ලියූ පොත් පෙළ සම්භාවනාවට අතිශය බඳුන්වූයේ සදා සත්‍ය කටු කොහොල් හැර සරලව විවරණය කළ නිසාම ය. කිසිදා එහි අන්තර්ගතය පරණ නොවන අවලංගු නොවන සදාතනික අගයකින් හෙබි පොත් පෙළක්මය. එය එදා මෙන්ම අදත් නැවත නැවතත් මුද්‍රණය වෙමින් ගම්නියම්ගම් පුරා ගමන් කරමින් සදහම් සුවඳ විහිදුවාලීමේ රහස එය වෙයි.

මෙවන් අසහාය පුස්තක පෙළක් උත්පාදනය වීමේ මූල බීජය ජනිත වන්නේ කොතනින්, කෙලෙස දැයිද අපි පැවසුවෙමු. මෙවන් සුවිශිෂ්ට පොත් පෙළක් උන්වහන්සේ ලියන්නට පෙළඹුනේ ඒ ඒ අවස්ථාවන්හි ඇතිවුණු විවිධ මතිමතාන්තර විෂමතා ගැටලු, අවශ්‍යතාවයන්, නිසි පැහැදිලි කර ගැනීම් ආදී දෑ සඳහා නිවැරදිව පිළිතුරු සැපයීමට අවශ්‍ය වූ පසුබිමක සිට බව උන්වහන්සේගේ චරිතාපදානය කියැවීමේ දී අපට තේරුම් ගැනීම අපහසු නොවේ. එහෙත් චන්දවිමල මා හිමිපාණන් වහන්සේ ඒ විශිෂ්ට මෙන්ම පොදුජන විඤ්ඤාණය හා සුසංයෝග වූ මෙම අසහාය පුස්තක පෙළ ලිවීමට බලපෑ මානසික හේතුව පැහැදිලි කරන්නේ කිරිඔරුවේ ධම්මානන්ද හිමියන් සමඟ ඇති වූ සංවාදයකදී ය.

චන්දවිමල මහා නා හිමි චාරිතාපදානය ලියාගෙන යාමේදී එම ප්‍රකාශය සටහන් කළ බව මතකය. එහෙත් එම ප්‍රකාශය පිළිබඳව පුළුල්ව විමසීම මේ මොහොතේ දී ද වඩාත් උචිත යැයි ඔබට ද එවන් සරල ප්‍රකාශයන්හි අන්තර්ගතයේ ඇති ගැඹුර නැවත නැවත විමසා බලා එය තේරුම් ගැනීම පහසු කරවීමේ අදහසින් නැවතත් එම ප්‍රකාශය ඉදිරිපත්කිරීමට අවසර පතමි. හොඳයි අපි රේරුකානේ මහා නා හිමියන්, ධම්මානන්ද හිමියන් සමඟ පවසන එම ප්‍රකාශයට සිත් යොමු කරමු.

“ධම්මානන්ද මම ඉගෙනීම කළේ පොත් ලිවීමේ අදහසින්වත් අනුන්ට බණ කීමේ අදහසින්වත් උගතෙක් වශයෙන් ප්‍රසිද්ධවීමේ අදහසින් වත් නොවේ. අපේ සම්මෝහය දුරු කර ගැනීමටයි.” එම විශේෂිත වූ ප්‍රකාශය ගැන ධම්මානන්ද හිමියන්ගේ අදහස මෙසේ ය.

“ඒ උතුමන් වහන්සේ ඉගෙනීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය දුර්ලභ ගණයේ අදහසක් බව කාටත් පැහැදිලිය. එය අපට ගතහැකි මහඟු ආදර්ශයකි. ඒ පරමාර්ථයෙන් ඉගෙනුම කරන කෙනෙකුට ඉතා උසස් නිරවුල් දැනුමක් ඇතිවීම අනිවාර්ය සිද්ධියකි” දැනුමේ ඥානයේ වපසරිය කුඩා වුවද කුඩා දැනුමක් මහා වපසරියක් පුරා විහිදුවන්නේ එයට පුහු ආටෝප පලිප්පු දමමිනි. අල්ප දැනුමක් ඇති බොහෝ ඇත්තන් පෙන්නන්නට උත්සාහ කරන්නේ තමා මහා දැනුම් සම්භාරයකින් පොහොසත් බවය. තමා මහා උගතකු බවය. මේ පසුබිම මත උත්සාහ කරති. දැනුම හුවමාරු කර ගැනීම ආධ්‍යාත්මයෙන් පාඨකයා පොහොසත් කිරීම නොව තම ආර්ථික වාසිය ජනපි‍්‍රයත්වය උදෙසාද ව්‍යාපාරයක් වශයෙන්ද ඇතමෙක් පොත් ලියති.

එහෙත් බලන්න, ග්‍රන්ථකරණයෙන් මෙතරම් විශිෂ්ටත්වයට පත් වූ බහුශ්‍රැත බවින් පිරිපුන් ඉතා නිවැරදි ආකාරයෙන් සම්බුදු දහම නිරවුල්ව පාඨකයා හමුවට රැගෙන ආ රේරුකානේ හිමියන්ගේ පොත් පෙළ ලියැවීමට පෙළඹීම ඇති කළ මානසිකත්වය උන්වහන්සේ විග්‍රහ කරනා නිහතමානී ආකාරය දෙස. රේරුකානේ හිමියන් ප්‍රථමයෙන්ම කළේ ධර්මය මනාසේ ඉගෙන ගැනීමය. ඉගෙන ගත්දෙය තම ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමය.

උන්වහන්සේ ධර්මය හොඳින් අධ්‍යයනය කළේ ජනපි‍්‍රය මාතෘකා ඔස්සේ අනවශ්‍ය ඉලක්ක ජය ගැනීමට ද නොවන බව පෙනේ. අනුන්ට බණ කීමේ අදහසින්වත් උගතකුවීමේ අදහසින්වත් නොවන බව උන්වහන්සේ පවසන්නේ ඒ නිසාය. සම්මෝහය යනු නොදැනුවත්කමයි. නොදන්න බව තේරුම් ගත්විට අපට ඉතා හොඳින් දැනුම සොයායා හැකිය. නොදැනුවත්කම ඇතිවිට නිවැරදිදේ නිරවුල්ව ඇතුල්වීමට මනස හොඳින් සූදානම්ව තිබෙයි.

රේරුකානේ හිමියන් දැනුම සොයා ගියේ නොදන්නා දේ ඉතා පැහැදිලිව දැනගැනීමේ ඒකායන අරමුණින්මය. එතනදී වෙනත් කිසිදු කරුණක් මූලික නොවූ නිසා වෙනත් ඉසව් වෙත නොදුවන මනසින් ඉතා නිරවුල්ව දැනුමෙන් මනස පරිපූර්ණ කර ගැනීමට හැකිවිය. උගතකු වීම හෝ අනුන්ට බණ කීම වැනි අරමුණු පෙරදැරි කරගත්තේ නම් හැම විටම කෙනකු සූදානම් වන්නේ ඒ ඉලක්කය සපුරා ගැනීමටය. නමුත් මේ කිසිවක් නොමැතිව පරිපූර්ණ මිනිසකුවීමේ අභිප්‍රායෙන් දැනුම සොයා යන්නකු ඒ ඉලක්කය ජය ගන්නා විට දැනුමෙන් ඥානයෙන් ආධ්‍යාත්මයෙන් පිරිපුන් බහුශ්‍රැතයකු අපට මුණ ගැසෙනු නියතය.