Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -
බුදුරජාණන් වහන්සේ විසින් ශක්‍ර දේවේන්ද්‍රයා වීමට කළ පින්දහම් හා ඔහුගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ සටහන් කරන්න

පිළිතුර -
සක්දෙව් පදවිය ලැබීමට පළමු මිනිස් බව ලැබූ ඔහු සප්ත ව්‍රත සමාදන් වීමෙන් එම පදවිය ලබාගත් බව සත්ත සංයුත්තයේ එන සූත්‍රයක සඳහන් වෙයි. ඒ අනුව සප්ත ව්‍රත පද මෙසේය.

දිවිහිමියෙන් දෙමාපියන් පෝෂණය කිරීම, දිවිහිමියෙන් කුල දෙටුවන් පිදීම, දිවිහිමියෙන් මිහිරි වදන් කීම, දිවිහිමියෙන් කේලම් බස් නොකීම, දිවිහිමියෙන් ත්‍යාගශීලි බවෙන් යුතුවීම, දිවිහිමියෙන් සත්‍ය ගරුක වීම, දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකු වීමය.

තවද මෙම සූත්‍රයෙහිම එන පරිදි දිනක් මහාලි ලිච්ඡවි, බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ, සක්දෙව්රජ දුටුසේක් දැයි ඇසීය. එයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින් ‘මහලි’ මම ශක්‍රයාද දිටිමි. ශක්‍රයකු වීමට නිසි දහම් ද දනිමිය මෙසේ වදාළහ.

“සක්දෙව් රජ පෙර මිනිස් වූයේ ‘මඝ’ නම් මානවකයෙක් විය. මඝවා යයි කියන්නේ එබැවිනි. මිනිස්ව සිටිය දී මූලිකව දන්දුන් බැවින් ද නුවරක් පාසා දන්සැල් දුන් බැවින් ද “පූරින්දන” නම් විය. සකසා දන් දුන් බැවින් සක්ක යැයි කියනු ලැබේ. “අවස්ථ” හෙවත් නිවාස දන්දුන් බැවින් වාසව යැයි ද අරුත් දහසක් මොහොතක සිතන බැවින් “සහස්සඛ” යැයි ද කියනු ලැබේ.

ශක්‍ර භාර්යාව “සුජා” නම් අසුර කන්‍යාවකි. තව්තිසා දෙවියනට ආධිපත්‍ය දරන බැවින් “දේවාත” නමින් ද යැයි කියනු ලැබේ.

(මහලීසත්තවත පද සූත්‍ර) (සංනි)

ප්‍රශ්නය-
හිමාලය වැසි තවුස් පිරිසක් වෙතින් බුදු රදුන් ලොව පහළ ව සිටිතිය ඇසූ සිටුවරුන් තිදෙනෙක් සැපතට පැමිණ බුදුන්වහන්සේ දැක බණ අසා සෝවාන් වූහ. මේ සිටුවරු තිදෙනා කවුද?

පිළිතුර-
ඝෝසිත සිටුවරයා, කුක්කුට සිටුවරයා, පාවාරික සිටුවරයා,

ප්‍රශ්නය-
පුරා පන්සාළිස් වසක් මුළුල්ලේ ඉටු කළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය පරමාදර්ශි ලෝකාර්ථ චර්යාවයි. ඒ සඳහා උන් වහන්සේ වෙත භාවිත බහුලිකෘත කරුණා මෛත්‍රිය පිරි චරිතාපදානයත් ඉන්ද්‍රඛීලයක් සේ අකම්ප්‍ය මහත්ම ශක්තියත් හේතුභූත විය. තව ද තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නැති කරුණු හතරකුත් චෝදනා නොකළ හැකි කරුණු තුනකුත් ඇති බව උන්වහන්සේ ගේ ම අභීත සිංහ නාදයත් පෙළ පොත්වල සඳහන් වෙයි. බුද්ධ චරිතයෙහි එන මේ තොරතුරු පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර -
සූත්‍ර පිටකයෙහි අං.නි.අරෙක්‍ඛය්‍ය සූත්‍ර පාඨයකින් උපුටා ගත් පාඨයකින් මේ කරුණු පැහැදිලි කිරීම වඩාත් උචිත ය. මහණෙනි, තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නොවන කරුණු 4 නම්, තථාගතයන් වහන්සේ පිරිසුදු කාය සමාචාර ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනීවා කියා සැඟවිය යුතු කාය දුශ්චරිතයක් නැත.

තථාගතයන් වහන්සේ පිරිසුදු වාග් සමාචාර ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනීවා කියා සැඟවිය යුතු වාග් දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු මනෝ සමාචාර ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනීවා කියා සැඟවිය යුතු මනෝ දුශ්චරිත නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු ආජීව ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනීවා කියා සැඟවිය යුතු අපිරිසුදු ආජීවයක් නැත.

චෝදනා නොකළ හැකි තුන් කරුණ නම්:- තථාගතයන් වහන්සේ ‘ස්වාක්ඛාත ධර්ම ඇති සේක, තථාගතයන් වහන්සේ ස්වක්ඛාත ධර්ම ඇත්තෝ නොවෙතිය කියාද? තථාගතයන් වහන්සේ නිබ්බාණ ගාමිණී පටිපදාව මැනවින් පනවන ලදී. තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිබ්බාණ ගාමිණි පටිපදාව මැනවින් නොපනවන ලදි කියා ද, සිය ගණන් ශ්‍රාවකයෝ ආශ්‍රව නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්වය ලබා වාසය කරති.

තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරතියි කියා ද මේ තුන් කරුණෙන් සකාරණව මං චෝදනා කළ හැකි දෙවියකු, මාරයෙකු, බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමි. එබැවින් මම ක්‍ෂේම ප්‍රාප්ත ව අභය ප්‍රාප්ත ව විශාරද ව වාසය කරමි. මිහිපිට මිනිසෙකුට අකම්පිත ව නොසැලී විශාර ද ව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ මහත්මා ශක්තිය මෙහි අන්තර්ගතය.

ප්‍රශ්නය -
මිනිසා විසින් කරනු ලබන දෛනික කිි‍්‍රයා සන්තතිය බුදු සමයෙහි දී කුසල හා අකුසල යන නිර්වචන දෙක යටතේ විණරණය කර තිබේ. පැහැදිලි කරන්න.

පිළිතුර-
මිනිසා විසින් කරනු ලබන ක්‍රියා බුදුසමයෙහි කර්ම යන පාරිභාෂික වචනයෙන් දක්වා ඇත. එහෙත් විපාකදීමෙහි ශක්තිමත් කර්ම වශයෙන් සලකන්නේ චේතනා සම්ප්‍රයුක්ත(සිතින් සිතන) ක්‍රියා පමණකි. චේතනා මූලික කොට ගත් හැම ක්‍රියාවක ම ප්‍රධාන ලක්ෂණය වන්නේ ඵලයක් අපේක්ෂා කිරීමයි. එබඳු හැම ක්‍රියාවකටම සාධාරණ වූ අවස්ථා තුනක් දක්නට ලැබේ.

1.චේතනාව
2.ක්‍රියාව
3.කර්මය

කිසියම් ක්‍රියාවක් පළමුවෙන් සිතිය යුතුය. සිතීමෙන් අනතුරුව සිතූ දෙය ක්‍රියාවට නැංවෙයි.

විපාකය ක්‍රියාවෙහි ප්‍රතිඵලයයි. මෙයින් චේතනාව (සිත) පෙර ගමනක යෙදෙයි. පසුව එන ක්‍රියා විපාකය පශ්චාත්ගාමී වෙයි. ක්‍රියාව ඒ දෙක අතර (චේතනාව + විපාකය) අතර වූ නිසා අන්තර්ගාමී වෙයි.

කුසලාකුසල කර්මයන්ගේ සමුදයට (ඇති වීමට) නිධාන තුනක් (මූලික හේතු) බුදුරජාණන් වහන්සේ වදාළහ.

ලෝභ, දෝස, මෝහ යනුවෙන් අකුසල පක්ෂයට ද අලෝභ, අදෝස, අමෝහ යනුවෙන් කුසල පක්ෂයට ද දැක්වූයේ චේතනා ය.

මිනිසා විසින් ලෝභ, දෝස, මෝහ යන චේතනා මූලික කරගෙන කරනු ලබන ක්‍රියා අකුසල(පව්-නරක) ක්‍රියා බවත්, ඒවායෙහි ඵලය දුක් වේදනාවක් බවත් පැහැදිලි කළහ

එසේම අලෝභ, අදෝස, අමෝහ යන චේතනා මුල් කරගෙන කෙරෙන ක්‍රියා කුසල් හෙවත් (පින්, යහපත්) ක්‍රියා බවත්, ඒවායෙහි සුවදායක බවත් බුදුහිමියෝ වදාළහ.

ප්‍රශ්නය :-
මිනිසාගේ ලෞකික සමෘද්ධියේ එක් අංශයක් නම් ආර්ථික සමෘද්ධියයි. බාහිර කරුණු සියල්ල අතර වැදගත් සාධකයක් වන්නේ අත්තසම්ම පණිධි” නම් තමා මැනවින් පිහිටුවා ගැනීමයි. පැහැදිලි කරන්න.

පිළිතුර
අත්ථස්සද්වාර ජාතකය දියුණුවේ දොරටු හයක් ගැන සඳහන් වෙයි. පුද්ගල පෞරුෂය සඳහා බෙහෙවින් ඉවහල් වන මෙම කරුණු ඉතා ළාබාල අවදියේ සිට පාසලෙන් අධ්‍යාපනය හා ආරම්භ කළ යුතුය. පාලි දේශනා පාඨය මෙසේ ය.

ආරෝග්‍ය මිච්ඡෙපරමංච ලාභං
සීලංච ව්‍රද්ධානුමතං සුතංච
ධම්මානු වත්තීච අලීන තාච
අත්ථස්ස ද්වාරා පමුඛා ජලෙතෙ

1.ආරෝග්‍යය හෙවත් සෞඛ්‍ය
2.ආචාර ශීලය
3.වෘද්ධානුමතය හෙවත් වැඩිහිටි උපදේශනය
4.බහුශ්‍රැත බව හෙවත් උගත්කම, අධ්‍යාපනය
5.ධාර්මික බව
6.අලීන තාව හෙවත් කටයුතු වලදී අලස නොවීම

මෙහි එන සිව්වැන්න බහුශ්‍රැත බව හෙවත් උගත්කම පෙළ දහමෙහි (අලංකාතුං අලං සංවි ධාතුං) කටයුතු සංවිධානය සංවිධාන කරවීම, මෙලොව පුද්ගල දියුණුවෙහි දී වඩා වැදගත් වෙයි. පස්වැන්න වෘද්ධානු මතයයි. බුදුදහමට අනුව ‘වෘද්ධයා’ වියපත් තැනැත්තාම නොව දැනුම හා හැසිරීම අනුව ඤාණ වෘද්ධ, ගුණවෘද්ධ තපෝ වෘද්ධ යනුවෙන් වෙන් වෙන්ව හඳුනාගත හැකි ය. මොවුන්ගේ ප්‍රවීණත්වය පුද්ගල පෞරුෂය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් ය.