Print this Article


අනර්ථ වචන දහසකටවඩා අර්ථවත් වචනය වටී

අනර්ථ වචන දහසකටවඩා අර්ථවත් වචනය වටී

බුදුපියාණන් වහන්සේ වදාරනු ලබන්නේ අනර්ථය පිණිස හේතුවන සංඛ්‍යාත්මක වශයෙන් වචන දාහක් කතා කළත්,

ඒ වචන දාහ සමාජයේ යහපත පිණිස පවතින ඒවා නොවෙයි. තමන්ගේ මානසික යහපත පිණිස පවතින ඒවා නොවන බවයි. පුද්ගලයකු කතා කරන එක වචනයක් වුවත්, හොඳට සිතා බලා හොඳට බුද්ධිමත්ව කල්පනා කරල අවශ්‍ය ආකාරයට කතා කරනු ලබනවා නම් එම වචන ඔහුගේ යහපත වගේම,

සමාජයේ යහපත පිණිස පවතිනවා.

“තම්බදාටික” නමැති දරුණු සොර දෙටුවෙක් පරදවා බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක් ධම්මපද අට්ඨකතාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ වාසය කරන කාලයේ සිදුවුණ සිදුවීමක් ලෙස එම කාරණාව ධම්ම පදට්ඨ කතාව තුළ දක්නට ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙම බණ පදය එදාට වගේම වර්තමානයටත්, අනාගතයටත්, අප කාටත්, හැමදාටමත් එක ලෙස වැදගත් වෙනවා .බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ අනර්ථය පිණිස හේතුවන වචන දහසක් කතා කරනවාට වඩා අර්ථය, යහපත සිදුවන එක වචනයක් කතා කිරීම වැදගත් වන බවයි. මිනිසා මේ ලෝකය තුළ උප්පත්තිය ලබන විට කතා කිරීමේ හැකියාව සෑම මනුෂ්‍යකුටම ලැබෙන දෙයක් නොවෙයි. ඇතැම් පුද්ගලයන් උප්පත්තියෙන්ම කථාකළ නොහැකි අය ලෙස උපත ලබනවා. තවත් සමහරෙකු උප්පත්තිය ලැබූ පසුව සිදුවන විවිධ අනතුරු නිසා කතා කිරීමේ හැකියාව ඔවුන් තුළින් අඩුවෙලා යනවා. තමන් තුළ තනි අදහස වචනවලින් අනෙකකුට ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ මනුෂ්‍යයාට පමණක් වුණත්, මනුෂ්‍යයාගෙනුත් ඇතැම් අයට එම හැකියාව නොලැබෙන බවයි පැහැදිළි කරනු ලබන්නේ. පුද්ගලයකුට වචන කතා කිරීමේ හැකියාවක් ලැබෙනවා නම් එම හැකියාව හුදෙක් පුද්ගල හැකියාවක් පමණක්ම බවට බණ දහමේ දක්වන්නේ් නැහැ. බුදුපියාණන් වහන්සේගේ දේශනාවන් අනුව පැහැදිලි වනුයේ ඔහුට හෝ ඇයට එම වචන කතාකිරීමේ හැකියාව ඔහුට බාහිර වට පිටාවෙන් පමණක් ලැබෙන දෙයක් නොවන බවයි.

එම හැකියාව ඒ පුද්ගලයා සංසාරය පුරා කළ පින්දහම් නිසාත්, සමාජයට දායාද කළ යහපත් අදහස් හා යහපත් වචන නිසාත් ඒවාට ප්‍රතිවිපාක වශයෙන් වචන කතා කිරීමේ හැකියාවක් පුද්ගලයකුට ලැබෙන බවයි. බුදුදහමේ පැහැදිළිව දක්වනු ලබන්නේ පෙර සංසාරයේ හොඳ අදහස් සමාජ ගත කළ පුද්ගලයන්ට මේ ආත්මයේදී උප්පත්ති ලබන විට වචන කතා කිරීමේ හැකියාව පමණක් නොවෙයි වචන කතා කරන කටහඬ පවා මිහිරි සිත් ගන්නා හඬක් පුද්ගලයෙකුට උපතින්ම හිමිවන බවයි. ඇතැම් පුද්ගලයකුට මිහරි හඬක් ලැබෙන්නේත්, ඒ පවුලේම තව කෙනකුට එසේ හඬක් නොලැබෙන්නේත්, කුමන හේතුවකින් එසේ වූවාදැයි විමසා සිටිය හොත් අපට ඔහු වෙනුවෙන් ලබා දිය යුතු පිළිතුර වන්නේත්, එයයි. එනම් පෙර සංසාරයේ පුද්ගලයා ලැබූ පුණ්‍ය ශක්තිය අනුවම මෙබඳු හැකියාවක් ලැබෙන බවයි.

අනර්ථය පිණිස හේතුවන වචන දහසක් කතාකරනවාට වඩා අර්ථය පිණිස හේතුවන එක වචනයක් කතා කිරීම යහපත්ය කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ මෙබඳු සංසාරගත පරිසරයක් බුදුපියාණන් වහන්සේට වැටහෙන නිසා. වචන කතා කිරීමේ හැකියාව පෙර සංසාරයේ පුණ්‍ය මහිමය නිසා ලැබුණ දෙයක් වුවත්, තමා කතාකරන වචනවල තැන්පත් බව සංවර බව, අදාළ බව, අත්‍යවශ්‍ය බව, අනවශ්‍ය බව, තීරණය කරන්නට අවශ්‍ය වන්නේ ඒ පුද්ගලයාගේ බුද්ධිය, ප්‍රායෝගික දැනුම, ස්ථානෝචිත ප්‍රඥාව මානසික පාලනය විසිනුයි. ඇතැම් කෙනකු සිතනවා තමන් දන්න හැමදේම කතාකරන එක තමයි තමන්ගේ ලොකු කම කියලා. තව කෙනෙකු සිතනවා. තමන් දන්න සියලුම දේ කියලා දැමූවිට තමන් ලොකු කෙනකු බව සමාජයේ අනෙකකු පිළිගන්නා බව,තමන් කේන්තිගෙන උච්චස්වරයෙන් කතා කළ විට, ඒ වචනවලට තැනක් ලැබීමෙන් තමන්ගේ තත්වය ස්ථාවර වන බවත්, ඒ තුළින් තමන්ගේ නායකත්වය අනෙක් පිරිස පිළිගනු ලබන බවත්ය. මෙබඳු අයුරින් වචන හසුරුවන අය අපට අපේ සමාජය තුළ දක්නට ලැබෙනවා. සමහර අය තමන්ගේ ලොකු කම් පෙන්වීමටත්, සමහර පිරිසක් තමන්ගේ තත්වය පෙන්වීමටත්, තවත් පිරිසක් තමන්ට සමාජගත කළ යුතු නිවැරැදි අදහස පැහැදිළි කරදීම සඳහා වචන කතා කරනු ලබනවා. මේ සෑම දෙනාම කථා කිරීම තුළින් එකම ක්‍රියාව සිදු කරනු ලැබුවත්, ඒ කතා කරන වචන තුළින් පුද්ගලයා පිළිබඳව සමාජයට ඇතිවන හැගීමත් ඒ පුද්ගලයා විසින් සමාජයට කරන ලද සේවයත් අතින් බරපතළ වෙනස්කම් තිබෙනවා. බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ බුද්ධිමත් පුද්ගලයා තමන් කථා කරන වචන හසුරුවන්නේ එක ක්‍රමයකට බුද්ධියෙන් අඩු පුද්ගලයා තමන් කතාකරන වචන හසුරුවන්නේ තවත් ක්‍රමයකට. තමා පෙර සංසාරයේ පුණ්‍ය මහිමය නිසා වචන කතාකිරීමේ හැකියාව ලැබුවත් , එම හැකියාව ඇතැමෙකු අයහපත පිණිස යොදවන බව පෙනෙනවා. තමන් ලැබූ පෙර සංසාරයේ පුණ්‍ය ශක්තියෙන් ලැබූ වචන කතාකිරීමේ හැකියාව මතු සංසාරයේ යහපත පිණිස යොදවන්නේ නැතිව සමාජයට අනර්ථය පිණිස පවතින වචන කතා කරන අය.

අනර්ථය පිණිස පවතින වචන කතාකරන පුද්ගලයන් සමාජයට දායාද කරනු ලබන්නේ අනර්ථයයි. එම අනර්ථය දීම නිසා ඇතැම් මිනිසුන්ගේ සිත් සත්‍ය දැන ගැනීමේ තත්වයෙන් මිදෙනවා. අසත්‍ය සත්‍ය ලෙස සිතන්නට පටන් ගන්නවා. අසත්‍ය සමාජගත වෙනවා. එනිසා ඔවුන් දැනුම අඩු පුද්ගලයන් බවට පත්වෙනවා. වෙනත් කෙනකු විසින් දෙන වචන නිසා තවත් කෙනෙකුගෙ සිත්වල මානසික වශයෙන් බුද්ධිමත් බව අඩු වෙනවා. එසේ සිදුවීමට බලපාන වැරැදි වචන සමාජයට දුන් පුද්ගලයාට තමන් කළ අකුසලයෙහි ප්‍රතිවිපාකයක් හැටියට ලැබෙන්නේ තමන් මතු සංසාරයේ බුද්ධියෙන් අඩු පුද්ගලයකු ලෙස සමාජයේ උපදින එකයි. එම අකුසලයෙභි බරපතළකමේ අනෙක් පැත්ත ලෙස අනෙක් පිරිස කොපමණ කරුණු කාරණා පැහැදිලි කරදෙනු ලැබුවත් එය තේරුම් ගැනීමේ හැකියාවක් අසන පුද්ගලයාට නොලැබීමයි. එසේ නොලැබෙන්නෙ ඔහු පෙර සංසාරය තුළ සමාජයට අයහපතම කළ නිසා එහි විපාක වශයෙන් මෙවැනි තත්වයක් ලැබෙන බවයි.

මෙම කරුණු කාරණා ඉතාමත්ම පැහැදිලිව වටහා නොගතහොත් තමා විසින් සමාජයට හානිකරන අවස්ථා වැඩියි. තමන් පෙර පිනට ලැබූ කටහඬ වුණත් සමාජයේ අයහපත පිණිස හේතුවන කටයුතු කාරණා කරනවා. එනිසාම යි බුදුපියාණන් වහන්සේ වදාරනු ලබන්නේ අනර්ථය පිණිස හේතුවන සංඛ්‍යාත්මක වශයෙන් වචන දාහක් කතා කළත්, ඒ වචන දාහ සමාජයේ යහපත පිණිස පවතින ඒවා නොවෙයි. තමන්ගේ මානසික යහපත පිණිස පවතින ඒවා නොවන බවයි. පුද්ගලයකු කතා කරන එක වචනයක් වුවත්, හොඳට සිතා බලා හොඳට බුද්ධිමත්ව කල්පනා කරල අවශ්‍ය ආකාරයට කතා කරනු ලබනවා. එම වචන ඔහුගේ යහපත වගේම,සමාජයේ යහපත පිණිස පවතිනවා.

අප වැළඳගත යුත්තේ අනර්ථය පිණිස හේතුවන වචන දාහද නැතහොත් යහපත පිණිස හේතුවන එක වචනයද යන්න තීරණය කළ යුතුයි.

බුද්ධිමත් ලෙස වචන හැසිරවීමේ හැකියාව මනුෂ්‍යයෙකුට ලැබෙන්නේ ඔහු තුළ පවතින මානසික දියුණුව අධ්‍යාත්මික දියුණුව මතයි.මානසික දියුණුව අධ්‍යාත්මික දියුණුව යනු කාරණා දෙකක්. මේ කාරණා දෙකම පුද්ගලයකුට අත්‍යවශ්‍යයයි. මානසික දියුණුව පමණක්ම ප්‍රමාණවත් නොවන අතර අධ්‍යාත්මික දියුණුවකුත් අවශ්‍යයයි. අධ්‍යාත්මික දියුණුවකුත් අවශ්‍යයයි. අධ්‍යාත්මික බව යනු හදවතේ පවතින හැගීම්බර බව හා සමාජයට යහපතක් කළ යුතුය යන වුවමනාව. අධ්‍යාත්මික දියුණුවක් නොමැති බුද්ධිමත් පුද්ගලයන් පමණක් සමාජයේ දක්නට ලැබෙනවා. බුදුපියාණන් වහන්සේ වදාරනු ලබන්නේ මෙවැනි පුද්ගලයන් සමාජය තුළ සිටිනා බවයි. තමන්ට සමාජය වෙනුවෙන් නොමිලයේ දිය හැකි දේ වන වචනය වුවත් සමාජයට යහපත් හැඟීම් සිත් වල ජනිත වන ආකාරයට කරුණු කාරණා පහදා දීමට පුද්ගලයකුට හැකි නම්, ඒ පුද්ගලයා උතුම් පුද්ගලයකු බව බුදුරජාණන් වහන්සේ වදාරනු ලබයි. එවැනි පුද්ගලයන් තුළින් සමාජයට සිදුවන සේවය වැඩියි. ඔහුට කතා කිරීමේ හැකියාව තිබූ නමුත් බුද්ධිමත්ව කතා කළ යුතු කතා නොකළ යුතු දෙය හොඳීන් සිතනවා. මෝඩ පුද්ගලයාට කතා කිරීමේ හැකියාව තිබුණාට කතාකරන වචන සංඛ්‍යාත්මකව වැඩි වූවාට එහි බුද්ධිමත් භාවයක් නැහැ. එබඳු වචන දාහක් කතා කළාට බුද්ධිමත් පුද්ගලයා කතාකරන එක බුද්ධිමත් වචනය වචන දාහම යටපත් කරනු ලබනවා.