Print this Article


ගිහියකු ලබා ගත යුතු දුෂ්කර කරුණු

ගිහියකු ලබා ගත යුතු දුෂ්කර කරුණු

මෙම පත්ත කම්ම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා වන අනාථපිණ්ඩික සිටුතුමාටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය වූ (තෙරුවන් සරණගිය) ගිහියකුට මෙලොව දී සතුටු වියහැකි කරුණු හතරක් තියෙනව. ඒ හතර තමයි, මට ධාර්මිකව හරිහම්බ කර ගත් භවබෝග සම්පත් ඇතිවේවා. එම සම්පත් නෑයන්, මිත්‍රයන්, දාසි දාස කම්කරුවන් ආදි පරිවාර සම්පත් සමඟ තව තවත් වැඩිවේවා. භෝග සම්පතුත්, ඥාතීහුත් දන්නා හඳුනන පිරිවර සම්පතුත් සමඟ දිගු කලක් සැපසේ ජීවත්වෙම්වා, එසේ දිගු කලක් ජීවත් වූ විට මරණින් පසු සුගතියෙහි ඉපද සැපවිඳිම්වා යන කරුණු හතර ධාර්මික (සැබෑ බෞද්ධයකු) පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ මෙලොව සැපවත් ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි.

මෙම ලිපියේ මුල් කොටස බක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

එසේම ගෘහපතියා,ආර්යශ්‍රාවකයා විසින් උට්ඨාන වීර්යයෙන්, බාහු ශක්තියෙන්, දහදිය හෙළමින් ධාර්මිකව ධර්මානුකූලව ලබන ලද භෝග ගින්නෙන් හෝ දියෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමා නොකැමැතියන්ට දීමෙන් හෝ උපයන ලද භෝගයන්ට කිසියම් විපතක් වේද එබඳු විපතකදී එම ධනය උපයෝග කරගෙන හෙවත් වැය කොට එම විපතෙන් මිදිය හැකිය. ආත්මය (ජීවිතය) ආරක්‍ෂා කෙරෙයි. ඔහුගේ ධනය යායුතු දෙවන තැනට ගියේ වෙයි. අවශ්‍ය දෙයට වැයවූයේ වෙයි. කරුණු සහිතව පරිභෝග කළේ වෙයි.

එසේම ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා උත්සාහයෙන්, දෑතේ මහන්සියෙන් දහදිය හෙළා අදැහැමින් තොරව ධාර්මිකව උපයා ගත් භෝගවලින් ඤාතිබලි (නෑයන්ට දීම) අතිථි බලි ( ආගන්තුකයන්ටදීම) පුබ්බපේත බලි (මළගිය නෑයන් වෙනුවෙන් දීම) රාජ බලි (රජුන්ට අයබදු වශයෙන් දීම) දේවතා බලි ( දෙවියන් උදෙසා දීම) යන පස් වැදෑරුම් බලි හෙවත් දාන ( තමන් විසින් ඒ ඒ අවශ්‍ය අයට දීම ) වශයෙන් දීම හෙවත් පිදීම ඔහුගේ භෝග යා යුතු තෙවන තැනට ගියේ (දුන්නේ) වේ.

එසේම ගෘහපතිය, ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන් බාහු බලයෙන් දහදිය වගුරා ධර්මානුකූලව ධාර්මික ක්‍රියාවලින් උපයන ලද භෝග මදයෙන් (මත්වීමෙන්) හා ප්‍රමාදයෙන් ( දුසිරිත්වල යෙදීමෙන්) තොරව වාසය කරන හා අධි වාසනා ක්‍ෂාන්තියෙන් හා සුසිල්වත් බවින් යුක්ත එකම ආත්මය තමා විසින්ම ඉන්ද්‍රිය දමනයෙන් දමනය කරන, එකම ආත්මයෙහි කෙලෙස් සමනය කිරීමෙන් සමනය කරන, එකම ආත්මය කෙලෙස් පිරිනිවීමෙන් නිවන, කිසියම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද මරණින් පසු උඩ උඩ ලෝකවල උපදින මහණ බමුණෝ වෙත්ද ස්වර්ගයෙහි ඉපදීමට හීන වූ සුඛ විපාක ඇති, දිව්‍ය වර්ණාදී දශ වැදෑරුම් විශේෂ ගුණයන්ගේ උත්පත්තියට හේතු වන දක්‍ෂිණාව (දානය ) පිහිටුවයි හෙවත් දන්දෙයි. මෙය ඔහුගේ භෝග දියයුතු සතර වන ස්ථානයට දී තම දියයුතු තැනට දීමයි. අවශ්‍ය පරිදිම ධනය වැය වූයේ වෙයි. ගෘහපතිය මෙසේ ඒ ආර්යශ්‍රාවකයා උත්සාහයෙන් දෑතේ ශක්තියෙන් දහදිය හෙළමින් දැහැමි වූ දැහැමින් උපයන ලද භෝගයෙන් ගෘහපතියකු විසින් කළයුතු ක්‍රියා (කර්ම) කළේවේ.

ගෘහපතිය, මේ සිව්වැදෑරුම් කළයුතු යුතුකම්වලින් බැහැරව වෙනත් නොකටයුතු ක්‍රියා වෙනුවෙන් උපයාගත් භෝග විනාශයට පත්වේද ගෘහපතිය, ඔහුගේ මේ භෝග අස්ථාන ගත වූයේ වෙයි. අප්පත්ත ගත වූයේ නොයායුතු තැනට ගියේ වේ. නුසුදුසු තැනට පරිභෝග වශයෙන් ගියේයයි කියති.

ගෘහපතිය, යම් කිසිවකු හෝ මේ භෝග සිවු වැදෑරුම් ප්‍රාප්තකර්මයන් සඳහාම තම භෝග ක්‍ෂය වේද (අඩුවේ ද) එසේ වූයේ නම් ඒ භෝග (ඨානගතා) යා යුතු තැනට ගියේ වේ. (පත්ත ගතා) යා යුතු තැනට ගියේ වේ. (ආයතන සො පරිභුත්තා) ප්‍රයෝජන ගතයුත්තන් ප්‍රයෝජන ගත්ථා යි කියනු ලබති. ඔහු භෝගයෝ වළඳන ලදහ. පෝෂණය කළ යුත්තෝ පෝෂණය කරන ලදහ. විපත් පැමිණි කල මා විසින් භෝගයෝ ප්‍රයෝජන ගන්නා ලදහ. මරණින් මතු පලදෙන මහණ බමුණන්ට දක්‍ෂිණාව දෙනලදහ. තවද පස් බලිද දෙන ලදී.

සංවර වූ බ්‍රහ්මචාරී වූ සිල්වතුන්ට උපස්ථාන කරන ලදී. ගිහිගෙයි වසන පණ්ඩිත තෙමේ යම් අර්ථයක් සඳහා භෝග කැමැති වන්නේ ද මා විසින් ඒ අර්ථය (ඵලය) ලබන ලදී. පසුතැවිලි නොවන කටයුත්තදෑ කරන ලදී.

පඤ්ච ශීල ධර්මයෙහි යෙදී සිටින හෙවත් පන්සිල් රකින ආර්ය (බෞද්ධ) ගෘහපතිය (ගිහිය) ඉහත සඳහන් දහම් සිහි කරමින් තම ජීවිතය නිවැරදිව ගත කරන්නේ නම් ඉහාත්මයෙහි දීම ඔහු අන්‍යයන්ගේ පැසසුමට ලක්වෙයි. මරණින් පසු පරලොවගොස් දෙව් ලොව දෙවියෙකුව ඉපිද දිව්‍ය සැප විඳිමින් සතුටු වෙයි කියා අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

මෙම පත්ත කම්ම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා වන අනාථපිණ්ඩික සිටුතුමාටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය වූ (තෙරුවන් සරණගිය) ගිහියකුට මෙලොව දී සතුටු වියහැකි කරුණු හතරක් තියෙනව. ඒ හතර තමයි, මට ධාර්මිකව හරිහම්බ කර ගත් භවබෝග සම්පත් ඇතිවේවා. එම සම්පත් නෑයන්, මිත්‍රයන්, දාසි දාස කම්කරුවන් ආදි පරිවාර සම්පත් සමඟ තව තවත් වැඩිවේවා. භෝග සම්පතුත්, ඥාතීහුත් දන්නා හඳුනන පිරිවර සම්පතුත් සමඟ දිගු කලක් සැපසේ ජීවත්වෙම්වා, එසේ දිගු කලක් ජීවත් වූ විට මරණින් පසු සුගතියෙහි ඉපද සැපවිඳිම්වා යන කරුණු හතර ධාර්මික (සැබෑ බෞද්ධයකු) පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ මෙලොව සැපවත් ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. එහෙත් එම කරුණු ලබාගැනීම අතිශය දුෂ්කර යි. එම කරුණු හතරම පුද්ගලයාට ඉෂ්ටයි. සිත් බඳින සුළුයි. සිත පිනවන සුළුයි. ඉතාම දුර්ලභයි. (ලැබීමට ඉතාම අපහසුයි)

පළමුකරුණ වන භෝග සම්පත් ලැබිය යුත්තේ ධාර්මිකවයි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන කාය වාග් අකුසල්වලින් දුරුව එසේම නිවැරදි ජීවිකා වෘත්තීන්ගෙනුයි. එවිටයි සපයන දේ ධාර්මික වන්නේ. අන්න එසේ ඉපයූ භව භෝග ඇතිවේවා යන්න පළමු සැපයයි. ඉහත කී පරිදි දැහැමින් භව භෝග (රූපාදී) සම්පත්ත මාගේ දැහැමි ජීවිකා වෘත්තීන්ට අනුව ලබන ඤාතීන්, සන්දිට්ඨ සම්හත්ත (දැකීමෙන් හා ආශ්‍රයෙන්) මිත්‍රයන් ආදී පරිවාර සම්පතුන් සමගම මාගේ දියුණුව සැලසේවා. එසේම එම භෝගත්, පිරිවර සම්පතුත් ලැබ දීර්ඝායුෂ විඳිමින් කලක් ජීවත් වෙම්වා. එසේම දැහැමින් ලද භෝග සම්පතුත් ඤාතීන්, හිතවතුන් ආදී පිරිවර සම්පත් ද දීර්ඝායුෂ ද ලැබ සැපසේ ජීවත් වී මරණින් පසු දෙව් ලොව ඉපිද දෙව් සැප ලබම්වා යන පැතුම් අනුව ඒවා ලබාගෙන ජීවත් වන්න සැබෑ ආර්ය බෞද්ධයා අපේක්‍ෂා කළයුතු යයි බුදුරදුන් වදාළහ.

අනතුරුව බුදුරදුන් වදාරණව ගෘහපතිය, ඉහත සඳහන් සැප ලැබීම පහසු කරුණක් නොවෙයි. ඒවා ලබාගන්නට කැමැති පුද්ගලයා ධර්ම කරුණු හතරක් අනුගමනය කළයුතුයි. ඒවා නම්, ශ්‍රද්ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන හතරයි. එම ධර්ම කරුණු හතර මෙසේ නම් වශයෙන් දැක් වූ බුදුරජාණන් වහන්සේ එකින් එක ඒවා විස්තර කරමින් මෙසේ වදාළහ. ශ්‍රද්ධා සම්පත්ති නම් අරහාදි බුදුගුණ නවය අනුව බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යයි විශ්වාසය ශ්‍රද්ධා සම්පදාවයි. එසේම ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතාදි කායික වාචසික අකුශලයන්ගෙන් හා මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර ( මත්වන දැයින්) පානයෙන් දුරුවීම ශීලසම්පදාවයි. එසේම ආර්යශ්‍රාවකයා මසුරුමළයෙන් තොරවූ සිතින් ගිහි ගෙයි වෙසෙයි. අත්හරින ලද වස්තුව කෙරෙහි ඇල්මකින් තොරව වෙසෙයි. දීමට සෝදාගත් අත් ඇතිව වෙසෙයි. දීමෙහි ඇලුම් ඇතිව වෙසෙයි. ඉල්ලීමට සුදුසුව (කවරෙක්ද තමාගෙන් යමක් ඉල්ලන්නේ කියල දීමට බලාපොරොත්තු වෙන්ම) වෙසෙයි. මෙය ත්‍යාග සම්පත්තියයි. එසේම ප්‍රඥා සම්පත්තිය නම් අභිධ්‍යා, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන චිත්තෝපක්ලේෂයන් දුරු කොට වෙසෙයි. මෙසේ චිත්තෝපලේශ ප්‍රහීණ කළ ආර්යශ්‍රාවකයා මහා ප්‍රාඥයි. පෘථුල ප්‍රාඥයි. සියුම් අර්ථය පවා දක්නේ වෙයි. එවිට මොහු ප්‍රඥා සම්පන්න පුද්ගලයෙක් වේ. මෙය ප්‍රඥා සම සම්පත්තියයි. මේ සිව් වැදෑරුම් සම්පදාවෙන් යුක්ත පුද්ගලයාගේ ගිහි ජීවිතය සාර්ථක වේ.