Print this Article


අවිද්‍යා අඳුරු පටලයෙන් සිත නිදහස් කර ගනිමු

අවිද්‍යා අඳුරු පටලයෙන් සිත නිදහස් කර ගනිමු

ලුණු දිය පානය කළාට පීපාසය නොසංසිදේ. කෙතරම් කාමයේ රසය වින්දත් එය ඇති නොවේ. රස විඳින්න විඳින්න කාම තෘෂ්ණාව තව තවත් ලියලමින් වැඩේ. ඇසට කෙතරම් පි‍්‍රය රූප දැක්කත් ඇති නොවේ. ටෙලිනාට්‍ය අදත් බලයි. හෙටත් බලයි. ඇතිවීමක් නැත. කන, නාසය, දිව, ශරීරය, මන මෙම ආයතන සියල්ලටම පි‍්‍රය දෙය කොතෙක් ලැබුණත් ඇතිවීමක් නැත. කාමසුඛල්ලිකානු යෝගය නිවනට බාධාවක් බවබුදුරජාණන් වහන්සේ දේශනා කළේ එම නිසාය.

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
මධුවා මඤ්ඤාති බාලෝ
යාව පාපංනපච්චති
යදාච පච්චති පාපං
අථබාලෝ දුක්ඛංනිගච්චති

පින්වත්නි

එම ගාථාව අයත්වන්නේ ධම්මපදය බෞද්ධ අත්පොතේ බාලවග්ගයටයි. එහි සරල අදහස වන්නේ අනුවණයා පව මෝරා විපාක දෙනතුරු මී මෙන් සලකයි. යම් දවසක පව මෝරා විපාක දෙයිද එදාට එම අනුවණයා දුකට පත් වේ

කය නම් එක් දෙයකි.සිත නම් තවත් දෙයකි. කය රූප කොට්ඨාශයකි. රූපය දිරන දෙයකි (රූප්පතිති රූපං) ක්‍ෂණයක් පාසා වෙනස්වන දෙයකි. සිත නම් කයේ ක්‍රියාකාරිත්වය ඇතිකරන ශක්තියකි. එය නාම කොට්ඨාශයකි. නැතොත් නාමිකව පවතින දෙයකි. කය නොමැතිනම් සිතක් ඇති නොවේ. සිතක් ඇතිවීමට කය අවශ්‍යයය. කය ක්‍රියා කරවන්නේ සිත විසින්ය. ඇඟිල්ලක් සෙලවීමට පවා සිත අවශ්‍යයය. කරත්තය ක්‍රියා කරන්නේ ගොනා විසින්ය. එමෙන්ම කය ක්‍රියා කරවන්නේ සිත විසින්ය.

සසර පුරාගෙන එන කාමය, රාගය,ආශාව ආයතන හය තුළම ඔපවත් කරමින් ඉදිරියට ගෙන යාම සිතේ ස්වභාවයයි. තණ්හාව, ආශාව, කාමය,රාගය සොය සොයා ඒ තුළම සිත රැඳී පවතී. මෙය සිදුවන්නේ අවිද්‍යාව නිසයි. එනම් සිත අගතියට යාමයි. මෙම සිත ඉඩ ලැබුණු සෑම අවස්ථාවකම අගතියට යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. “ගමණංති අගතිං ගච්ඡති අකත්තබ්බං කරොති’ති

අගතිය යනු නොමඟ යාමයි. නොකළ යුතු දේ කිරීමයි. අවිද්‍යාව තුළ වල්මත්වී ඇති සත්ත්වයාට මෙය සසරින් උරුමකරදී ඇති දායාදයකි. මෙම අගති ගමන් සතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. (චත්තාරි මානි භික්ඛවේ අගතිගමනා’ති)

1. ඡන්දා ගතිංගච්ඡති (ඡන්දයෙන් අගතියට යාම)
2. දෝසා ගතිං ගච්ඡති (ද්වේශයෙන් අගතියට යාම)
3. මෝහං ගතිං ගච්ඡති (මෝහයෙන් අගතියට යාම)
4. භයාගතිං ගච්ඡති (භයින් අගතියට යාම)

“ඉමානි ඛෝ භීක්ඛවේ චත්තාරි අගතිගමානි” මෙම අගති ගමන් සතරින්ම සිත නොමඟ යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඡන්දය යනු කැමැත්තයි. මෙය දෙවැදෑරම් වේ. හොඳ පැත්තටත් කැමැත්ත ඇත. නරක පැත්තටත් කැමැත්ත ඇත. මෙහි හොඳ පැත්ත “කත්ථු කම්යතා කුසලච්ඡන්දය නමින් හැඳින්වේ. නරක පැත්ත තණ්හා ඡන්ද පටිඝඡන්ද ආදි වශයෙන් හැදින්වේ. මෙහි ඡන්ද අගතිය යනුවෙන් හැඳින්වෙන්නේ නරක පැත්තට යන කැමැත්තයි

චක්ඛුරාදී පංචවිධ ආරම්මණයන් තම පසිඳුරන් මගින් ලබාගන්නා ආශ්වාදයට රසවිඳීමට ඇති කෑදරකම සිත ඡන්දයෙන් අගතියට යාමයි. මෙය කාම තණ්හාවයි. කාම තණ්හාව බලවත්වූ විට එය කෙසේ හෝ සංසිඳුවා ගැනීමට උපක්‍රම සොයයි. පිපාසිතයා දිය සොයන්නාක් මෙන් කාම තණ්හාව සංසිඳුවා ගැනීමේ ආහාරය සොයයි.

ලුණු දිය පානය කළාට පීපාසය නොසංසිදේ. කෙතරම් කාමයේ රසය වින්දත් එය ඇති නොවේ. රස විඳින්න. විඳින්න කාම තෘෂ්ණාව තව තවත් ලියලමින් වැඩේ. ඇසට කෙතරම් පි‍්‍රය රූප දැක්කත් ඇති නොවේ. ටෙලිනාට්‍ය අදත් බලයි. හෙටත් බලයි. ඇතිවීමක් නැත. කන, නාසය, දිව, ශරීරය, මන මෙම ආයතන සියල්ලටම පි‍්‍රය දෙය කොතෙක් ලැබුණත් ඇතිවීමක් නැත. කාමසුඛල්ලිකානු යෝගය නිවනට බාධාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එම නිසාය.

මාතෘකා කළ ගාථාව බුදුරජාණන් වහන්සේ උත්පලවණ්නා රහත් මෙහෙණින් වහන්සේ අරමුණු කර දේශනා කළ සේක.

සැවැත්නුවර සිටු පවුලක රූමත් කුමරියක් වූවාය. පෙර කළ කුසලය නිසා ඇය නිල් මහනෙල් මලක පැහැයෙන් යුක්ත විය. එනිසා ඇය උත්පලවණ්නා නමින් හැදින්විය. පෙර සසර කරන ලද ප්‍රාර්ථනය අනුව ඇය බුදුරජාණන් වහන්සේ වෙත පැවිදිව භික්‍ෂුණී ආරාමයක මහණදම් පිරීමට ගියාය. ඇය ටික කළකින්ම ඍධි බලයෙන් යුත් මහානුභාව සම්පන්න රහත් මෙහෙණින් වහන්සේ නමක් වූවාය.

උත්පලවණ්නා රහත් මෙහෙණින් වහන්සේ හුදකලාවට හරිම කැමැතිය. ඇය භාවනා කිරීමට අන්ධවනයට වැඩියාය. එහි පුංචි කුටියක ඇය වාසය කළාය. ඇය යැපුනේ පිණ්ඩපාතයෙන්ය.

උත්පලවණ්නා රහත් මෙහෙණින් වහන්සේගේ ගිහි කළ මස්සිනා කෙනෙක් වන නන්ද නම් අය මැය විවාහ කර ගැනීමේ අදහසින් සිටියේය. උත්පලවණ්නා පැවිදි වූවත්, නන්ද තුළ වූ මෙම ආශාව අතහැරුනේ නැත. ඇය තම වසඟයට ගන්න ඔහු සිතීය.

උත්පලවණ්නා රහත් මෙහෙණින් වහන්සේ පිණ්ඩපාතය සඳහා ගමට වැඩියාය. නන්ද අවස්ථාව බලා මෙහෙණින් වහන්සේගේ කුටියට රිංගා සැඟවුණේය. මෙහෙණින් වහන්සේ පිණ්ඩපාතය කර ආපසු පැමිණ වෙහෙස බැවින් ආසනයේ සැතපුණාය. නන්ද මෙහෙණින් වහන්සේගේ ආසනයට වැදී ඇය ග්‍රහණය කර ගත්තේය. ‘නන්ද ඉවතට යන්න, වැනසෙන්න එපා, අපාගත වන්න එපා “ යනුවෙන් උත්පලවණ්නා මෙහෙණින් වහන්සේ නන්දට ප්‍රකාශ කළාය. ඔහු එයට කන් දුන්නේ නැත. ඔහු යන්න පිටවී එළියට බසිත්ම මහපොළොව දෙබෑවිය. ගිනිදැල් මතුවිය. පනපිටින්ම ඔහු අවිචි මහා නිරයට ඇදගෙන ගියේය.

උත්පලවණ්නා රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දැක මේ බව ප්‍රකාශ කළාය. “ පින්වත් උත්පලවණ්නා,අර පවිටු පුද්ගලයා අනතුර කරද්දී ඔබට සිතුනේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ විචාල සේක.

“ස්වාමීනි , භාග්‍යවතුන් වහන්ස, මම සතර සතිපට්ඨානය මෙනෙහි කරමින් සිටියා. මගේ සිත මෙම ඇසටවත් , කනටවත්, නාසයටවත්, දිවටවත්, කයටවත්, මනසටවත් සම්බන්ධ වී තිබුණේ නැහැ. මා සිටියේ කපා දැමූ කෙසෙල් කඳක් මෙන් මට කිසි දැනීමක් වුනේ නැහැ. රාගය යනු කුමක්දැයි යන්නවත් මට දැනුනේ නැහැ. එය මගේ සිතට සම්බන්ධ නොවු දෙයක්” යනුවෙන් උත්පලවණ්නා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කළාය. එම අවස්ථාවේ මාතෘකා කළ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කර දහම් දෙසූ සේක.

ඡන්දයෙන් අගතියට ගිය නන්දට රාගයේ ආදීනව අමතක විය. අවිද්‍යා අඳුරු පටලය ඔහු සිත වෙලා ගත්තේය. රාග ගින්නෙන් ඔහු දැවෙන්න විය.මී මෙන් රසයයි සිතු රාගය එවලේම විපාක ලැබිණි.

“නත්ථි රාග සමෝ අග්ගි” රාගය ගින්නකට සමානය. එය ඇතිවූ විට බුර බුරා පැන නගී. සිත අගතියට යාමට නොදී යෝනිසෝ මනසිකාරය උපදවා ක්‍රියා කිරීම තුළින් මෙම රාගගින්න මැඩපවත්වා ගත හැක.

ඔබ සැමට තෙරුවන් සරණයි