Print this Article


ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014  බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 5

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 5

1 කොටස

1. (අ) ඒකබ්බෝහාරික නිකායයෙන් බිඳී ගිය අලුත් නිකාය කුමක්ද?

(ආ) මේ නිකායිකයන්ගේ ඉගැන්වීම් ඇතුළත් ග්‍රන්ථ මොනවාද?

2. (අ) වාත්සීපුත්‍ර හිමියන් ඉදිරිපත් කළ නව සංකල්පය නම් කරන්න

(ආ) මේ සංකල්පය ප්‍රතික්‍ෂේප කරමින් ස්ථවීරවාදීන් ලියූ කෘතිය කුමක්ද?

3. (අ) කණිෂ්ක රජතුමාගේ සංගායනාවේ මූලිකත්වය දැරූ බෞද්ධ භික්‍ෂූහු කවරහුද?

(ආ) මේ සංගායනාවේදී සම්පාදිත මූලික බෞද්ධ ග්‍රන්ථ මොනවාද?

4. (අ) බෞද්ධ තර්ක ශාස්ත්‍රයෙහි අසහාය විශේෂඥයා වූ මහායාන ආචාර්යවරයා කවරෙක්ද?

(ආ) මේ ආචාර්යවරයා ලියූ කෘති නම් කරන්න

5. (අ) මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේදී බුරුමයේ සිට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණි භික්‍ෂූහු කවරහුද?

(ආ) මේ භික්‍ෂූන් පෙරළා බුරුමයට වැඩමවීමෙන් පසු එහි බුදුසසුන ආශ්‍රයෙන් අති වූ වැදගත් සිදුවීම කවරෙක්ද?

6. (අ) චීනයේ මාධ්‍යමික බෞද්ධ සම්ප්‍රදායයේ ආරම්භකයා නම් කරන්න

(ආ) ඔහු විසින් චීන බසට පරිවර්තිත කෘති මොනවාද?

7. (අ) අනුරාධපුර යුගයේ විසූ මහසෙන් රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ ඇමැතිවරයා කවුද?

(ආ) මේ ඇමැතිවරයා රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට තුඩු දුන් හේතුව කුමක්ද?

8. (අ) තිවංක බුදු පිළිමයක් සොයා ගෙන ඇත්තේ ලංකාවේ කිනම් ස්ථානයකදීද?

(ආ) මේ ප්‍රතිමා වර්ගයෙහි දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණ කවරේද?

9. (අ) වාහල්කඩ සම්බන්ධ කර ඇත්තේ කවර බෞද්ධ නිර්මාණයකටද?

(ආ) මෙසේ වාහල්කඩ තැනීමේ අරමුණ කුමක්ද?

10. (අ) මනෝරථපුරණිය ලියන ලද්දේ කවුරුන් විසින්ද?

(ආ) මේ කෘතියට පාදක වූ ග්‍රන්ථය කුමක් ද?

පිළිතුරු

1.(අ) ලොකෝත්තරවාදය

(ආ) මහා වස්තුව හා ප්‍රාතිමෝක්‍ෂ සූත්‍රය

2.(අ) පුද්ගල සංකල්පය

(ආ) කථාවත්ථුප්පකරණය

3.(අ) පාර්ශ්ව හා වසුමිත්‍ර

(ආ) විනය විභාෂා ශාස්ත්‍ර’ උපදේශ ශාස්ත්‍ර හා අභිධර්ම විභාෂා ශාස්ත්‍ර

4. (අ) ආචාර්ය දින්නාගපාද

(ආ) න්‍යාය ප්‍රවේශය, න්‍යායද්වාර හා ප්‍රමාණ සමුච්චය

5. (අ) උත්තරජීව හා ඡප්පට

(ආ) සීහල සංඝ නමින් අභිනව නිකායක් ආරම්භ කිරීම

6. (අ) කුමාරජීව

(ආ) මහා ප්‍රඥාපාරමිතා ශාස්ත්‍රය, සුඛාවත්‍යමුත ව්‍යුහය, සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය හා වජිරවේදිකා ප්‍රඥාපාරමිතා සූත්‍රය

7. (අ) මේඝවර්ණාභය

(ආ) මහා විහාරයට හිරිහැර පැමිණවීම, මහාවිහාරික භික්‍ෂූන්ට දානමානාදිය දීම නීතියෙන් තහනම් කිරීම, මහා විහාරයට අයත් ගොඩනැගිලි බිඳ දමා ඒවායේ තිබූ උපකරණ ආදිය අභයගිරියට ගෙන යාම

8. (අ) පොළොන්නරුවේ වේළුවනාරාම ප්‍රතිමා ගෘහය

(ආ) පහසු ලීලාවෙන් වැඩ සිටින ආකාරයෙන් දණහිස, ඉ¼ගටිය හා ගෙල යන තුන් තැනින් සිරුර නැමෙන අයුරින් නිරූපණය කෙරෙන ප්‍රතිමා

9. (අ) ස්තූපය

(ආ) ස්තූප වන්දනාවට එන සැදැහැවතුන් සිය ප්‍රදක්ෂිණාවේදී නතර වී වන්දනා කිරීම හා සෙල්මුවා මල් ආසන මත මල් පහන් පූජා කිරීම

10. (අ) බුද්ධඝෝෂ හිමි

(ආ) අංගුත්තර නිකාය

2. (අ) බුද්ධ ප්‍රතිමාවන්හි දක්නට ඇති මුද්‍රාවන් සහ ආසන නම් කරන්න.

පිළිතුරු

දැනට හඳුනා ගෙන ඇති මුද්‍රා අතර

1. අභය මුද්‍රාව (බියවීමට හේතුවක් නැති බව සංකේතවත් කිරීම)

2. විතර්ක මුද්‍රාව (දහම් දෙසන බව සංකේතවත් කිරීම)

3. ධර්මචක්‍ර මුද්‍රාව (ප්‍රථම ධර්ම දේශනාවේදි ධර්මයේ බලය සංකේතවත් කිරීම)

4. භූ®මිස්පර්ශ මුද්‍රාව (තම බුද්ධත්වයට මහ පොළොව සාක්‍ෂි දරණ බව)

5. ධ්‍යාන මුද්‍රාව (භාවනානුයෝගී බව)

6. වරද මුද්‍රාව (ශ්‍රේෂ්ඨ වූ නිවන ලබා දීම)

ආසන

බුදු පිළිම සඳහා යොදා ගෙන ඇති ආසන වර්ග සතරක් පමණ වේ. එනම්,

1. පද්මාසන :- (පද්මයක් හා සමානව සිටීම)

2. වජ්‍රාසන :- (බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේ වජ්‍රාසනයේ වැඩ සිටීම)

3. වීරාසන (වම්පාදය මත දකුණු පාදය සිටින සේ හිඳ ගැනීම )

4. භද්‍රාසන (උස් අසුනක දෙපා පහළට හෙළා හිඳ ගැනීම) පහළට හෙළා හිඳ ගැනීම, මුද්‍රාවන් ගෙන් දෙඅත් හසුරුවන ආකාරයත් දැක්වේ.

(ආ) මුරගල සහ කොරවක්ගල යන්න හඳුන්වා දෙන්න

පිළිතුර

විහාර දොරටුවක සඳකඩපහණ දෙපස කොරවක් ගලට ඉදිරියෙන් පිහිටුවා ඇති මූර්ති ද්වාරපාල හෙවත් මුරගල යනුවෙන් හඳුන්වා ඇත. මුල්ම කාලයේ මුරගල කැටයම් රහිත අර්ධ කවාකාර හෝ පලාපෙති හැඩයක් ඇති ආයතනාකාර ගල් පුවරු විය. කොරවක් ගලට ආධාරකයක් වශයෙන් මේවා මුලින් හිටවන්නට ඇතැයි කල්පනා කරනු ලැබේ. විවිධ කැටයම් මෙහි දක්නට ඇත. කලා කෘතියක් වශයෙන් ඉතාම අගය කරනු ලබන මුරගල දක්නට ලැබෙන්නේ අනුරාධපුරයේ රත්න ප්‍රාසාදයෙනි.

බෞද්ධ පූජනීය ස්ථානයකට ප්‍රවේශ වීමේ දොරටුව අයත්වන තවත් අංගයක් නම් කොරවක්ගලය. මුරගලට පිටුපසින් පිහිටුවා ඇති මේ විශාල ගල් පුවරුවෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ පඩි පෙළේ නගින්නට ආරක්‍ෂාව සැපයීමත් පඩි පෙළෙහි ආරක්‍ෂාව සැපයීමටත්ය. පූජනීය ස්ථානවල පමණක් නොව රජ මාලිගාවලට ඇතුළුවන ස්ථානවල හා පොකුණුවලට බසින ස්ථානවල පිය ගැටපෙළ දෙපසද කොරවක් ගල දැකිය හැකිය. විවිධ කැටයම් වර්ග මෙහි දක්නට ඇත. විශේෂයෙන් ගජසිංහ හිස, ඇත් හිස, සිංහ හිස වැනි කැටයම් දක්නට ලැබේ.

(ඇ) සීගිරි බිතු සිතුවම් පිළිබඳව විස්තරයක් සපයන්න

පිළිතුර

ලක්දිව ආදිම පැරැණි බිතුසිතුවම් ලෙස සලකනු ලබන්නේ 5 වන සියවසට අයත් සීගිරි බිතුසිතුවම් ය.මල් , ලියකම් සහිත අලංකාර ශීර්ෂාභරණයන්ගෙන් සැරසුණු හිස් ඇති අලංකාර ආභරණයන්ගෙන් සුසැදුණු විවිධ ඉරියව්වෙන් යුත් උඩුකය පමණක් දැක්වෙන නාරි රූප කාශ්‍යප රජු විසින් අඳින ලදැයි සලකනු ලැබේ. මෙම සීගිරි අප්සරාවන් නිරූපණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විචාරකයෝ විවිධ මත දරති. ලක්දිව හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරයෙක් වූ එච්.සී.පී. බෙල් මහතා ප්‍රකාශ කරන්නේ මෙම චිත්‍රවලින් කාශ්‍යප රජුගේ බිසෝවරුන් හා සේවිකාවන් අසල ඇති පිදුරංගල විහාරයට වන්දනාවේ යන බවයි. ආනන්ද කුමාරස්වාමි,කොඩ්රිංටන්,හෝකාට් සහ බෙන්ජමින් රෝලන්ඩ් වැනි විද්වතුන් ප්‍රකාශ කරනු ලබන්නේ ඔවුන් අප්සරාවන් බවය. සෙනරත් පරණවිතාන සූරින් දක්වන්නේ විජ්ජුලතා (විදුලි කුමරියන්) හා මේඝ ලතා (වලාකුමරියන් ) වන බවයි. මෙම සීගිරි සිතුවම් අජන්තා විහාරයන්හි බිතු සිතුවම් ගුරු කොටගෙන ඇති බව විචාරකයන්ගේ මතයයි. මෙම සීගිරි සිතුවම් අතර දැනට විද්‍යාමාන වන්නේ අප්සර රූප 21 ක් පමණි. පන්සිය ගණනක් පින්තූර තිබූ බව සීගිරිය නැරඹීමට ගොස් කැටපත් පවුරේ ලියා ඇති කුරුටු ගී වලින් පැහැදිලි වේ.