Print this Article


සමථ - විපස්සනා භාවනාවන්හි උතුම් ඵල

සමථ - විපස්සනා භාවනාවන්හි උතුම් ඵල

සමාධි භාවනා සහ චිත්ත භාවනා යනුවෙන්ද හඳුන්වන සමථ භාවනාවෙන් සිත එක අරමුණක තබාගෙන සිත එකඟ කරගැනීම සිදුවෙයි. නොයෙක් අතේ දිවයන සිත එක් අරමුණක රඳවා ගනී. නිදසුනක් වශයෙන් ආනාපානසති භාවනාව ගනිමු. එහිදී හුස්ම වැදෙන අරමුණෙහි සිත පිහිටුවා ගැනීම සිදුවෙයි. බුදුගුණ භාවනාව ගත්විට බුදුගුණයක් මෙනෙහි කරමින් භාවනා වඩන්නේ නම් එම බුදුගුණයෙහි සිත කාවැදී මෙන් පිහිටයි. එවිට සිත තැන්පත් වී සුබදායක බවක් ඇතිවෙයි.

බුදුසසුන තුළ සමථ, විපස්සනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් පිළිබඳ සාකච්ඡා කෙරේ. මේ භාවනා ක්‍රම දෙකෙහි වෙනස්කම් පිළිබඳ බෞද්ධයනට විශේෂයෙන් මනා වැටහීමක් තිබීම වැදගත්ය.

සමාධි භාවනා සහ චිත්ත භාවනා යනුවෙන්ද හඳුන්වන සමථ භාවනාවෙන් සිත එක අරමුණක තබාගෙන සිත එකඟ කරගැනීම සිදුවෙයි. නොයෙක් අතේ දිවයන සිත එක් අරමුණක රඳවා ගනී. නිදසුනක් වශයෙන් ආනාපානසති භාවනාව ගනිමු. එහිදී හුස්ම වැදෙන අරමුණෙහි සිත පිහිටුවා ගැනීම සිදුවෙයි. බුදුගුණ භාවනාව ගත්විට බුදුගුණයක් මෙනෙහි කරමින් භාවනා වඩන්නේ නම් එම බුදුගුණයෙහි සිත කාවැදී මෙන් පිහිටයි. එවිට සිත තැන්පත් වී සුඛදායක බවක් ඇතිවෙයි.

සමාධි භාවනා වැඩීමෙන් ප්‍රථම ධ්‍යානය ආදි රූපාවචර ධ්‍යාන සතරක් ලබාගත හැකිය. ආකාසානසඤ්ඤායතන ආදි අරූපාවචර ධ්‍යාන සතරක් ලබාගත හැකිය.පංච අභිඤ්ඤා අෂ්ට සමාපත්ති ලැබිය හැකිය. නොයෙක් දෙනා නොයෙක් බලාපොරොත්තු ඇතිව සමාධි භාවනා වඩයි. සමහරු මේ භාවනා වඩන්නේ ධ්‍යාන ලබා බඹලොව ඉපදීමටයි. තවත් සමහරුන් ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීම සඳහා සමාධි භාවනා වඩන අතර තවත් අය නිරෝධ සමාපත්තියට සමවැදීම සඳහා සමථ භාවනා වඩති. මෙලොව සැප පිණිස, එනම් සමාධියට සමවැදි සතුටින් හිඳීම පිණිසද සමථ භාවනා වඩන පිරිස් සිටිති. විදර්ශනා භාවනා වැඩීමට උපකාරයක් වශයෙන් සමථ භාවනා වැඩීම සිදුවන අතර, බුද්ධශාසනයේ සමථ භාවනා වැඩීමේ ප්‍රධාන අරමුණ වන්නේද එයයි. විදර්ශනා පාදක කරගෙන සමාධිය වැඩීම ලෙස එය හඳුන්වයි. එනම් සමාධිය වඩා සිත හොඳින් එකඟ කරගෙන විදර්ශනාවට බැසීමයි. මෙහිදී අප සාකච්ඡාවට බඳුන් කරන්නේත් එම ක්‍රමයයි.

සමාධි භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය ආදි ධ්‍යාන ලබාගත හැකි බව මුලින්ද සඳහන් කරන ලදී. එසේත් නැතිනම් ඒ ධ්‍යානයට කිට්ටු උපචාර සමාධිය ආදි බලවත් සමාධියක් ලබාගත හැකියි. එයින් ප්‍රධාන වශයෙන් සිදුකෙරෙන්නේ පංච නීවරණ යටපත් කිරීමයි. එනම් ලෞකික වශයෙන් එම නීවරණ පළවා හැරීමයි. සූත්‍ර දේශනාවල සඳහන් ආකාරයට,පළමුව හොඳින් ශීලවන්ත වී ඊළඟට ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය සහ සන්තුට්ඨිය ආදි ගුණ ඇතිකරගෙන ඉන් පසුව නීවරණ ප්‍රහාණය කරන භාවනාව වැඩීම සිදුකරයි.

මෙලොව සැප විහරණය, සමාධි භාවනාවෙන් ලැබෙන ආනිශංසයකි. ඉන් දැනෙන්නේ මහත්වු කායික, මානසික සුවයකි. ප්‍රථමධ්‍යානය ගැන උපමාවකින් මෙසේ දක්වා ඇත. සහල් පිටි හෝ පාන් පිටි ආදියට ජලය දමා හොඳින් ඇනූ විට පිටි ගුලි වී හැම තැනම ජලය තැවරීම සිදුවෙයි. ජලය තැවරුණු නැති තැනක් නැත. එසේම ප්‍රථම ධ්‍යානයට සමවැදුණූ විට සුඛ, ඒකාග්‍රතා ආදි ගුණයන්ගෙන් සිත, කය පිනා යෑම සිදුවේ. දෙවැනි ධ්‍යානය සම්බන්ධයෙන් දේශනා කර ඇති උපමාවට අනුව, විශාල ජලාශයක් පිළිබඳ අවධානය යොමුකර ඇත. එම ජලාශයට පිටතින් ජලය ගලා නොඑන අතර එයින් ජලය පිටාර යන්නේද නැත. වැසි වැටීම නිසා එහි ශීතල ජලය පිරී ඉවුරු සැමතැනම ජලයෙන් ස්පර්ශ වී තිබේ. එසේම දෙවැනි ධ්‍යානයට සමවැදුණු පසු මුළු සිත හා කයම සු ඛයෙන් ස්පර්ශ වෙයි. සමාධි සුවයෙන් ස්පර්ශ නොවුණු තැනක් නැත. තුන්වැනි ධ්‍යානය ගැන දැක්වෙන උපමාවට නෙළුම්, මානෙල් ආදි මල් සම්බන්ධය, එම මල් දිය යට ගිලුණු විට එහි හැම තැනම ශීතල ජලයෙන් ස්පර්ශව පවත්නා සේ, තුන්වැනි ධ්‍යානයට සමවැදුණූ විට සිත හා කය සුවයෙන් ස්පර්ශ වේ. සතරවැනි ධ්‍යානයෙහි ස්වභාව දැක්වෙන උපමාව මෙසේ සඳහන් කළ හැකිය. යම් පුද්ගලයෙක් මනාව ස්නානය කොට අනතුරුව සුදු වස්ත්‍රයක් හිසේ සිට පොරවා ගත් විට මුළු ශරීරයම ඍතු ගුණය දෙයි. එය මුළු ශරීරයටම සුවදායකයි. සිව්වැනි ධ්‍යානයේදීද එසේම සුවයෙන් මුළු සිත, කය ස්පර්ශ කරයි.

ඊළඟට අප අවධානය යොමු කළ යුත්තේ විදර්ශනා භාවනාව දෙසටයි. සමාධිය උපදවාගත් තැනැත්තා විදර්ශනාවට යොමු විය යුත්තේ දැනුම,අවබෝධය ලබාගැනීම පිණිසයි. සමාධීයෙන් සිත එක අරමුණක පිහිටුවාගෙන සිටිනවා විනා තමන්ගේ ජීවිතය, පංචස්කන්ධය හෝ බාහිර කාරණා ගැන අවධානය යොමු නොකරන නිසා ඒ කරුණු ගැන අවබෝධයක් ලැබිය නොහැකියි. එ නිසා අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන ත්‍රිලක්‍ෂණය වටහා ගැනීමට උදව් වන්නේ විදර්ශනා භාවනාවයි. විදර්ශනයට යොමුවන නොයෙක් ක්‍රමද ඇත.

ගැඹුරෙන් විදර්ශනා වඩන ක්‍රමයක් මෙසේ සඳහන් කළ හැකියි. යම් තැනැත්තකු සමාධි භාවනාවක් වඩා ධ්‍යාන උපදවාගෙන සිටිනවා යැයි සිතමු. එහිදී විතර්ක , විචාර, පි‍්‍රති , සුඛ ඒකාග්‍රතා යන ධ්‍යානාංග එනම් එම මානසික ධර්ම විදර්ශනා වශයෙන් මෙනෙහි කිරිම කළ හැකියි. ශරීරයේ හදවත මුල්කරගෙන,ආශ්‍රය කරගෙන පවතින මෙම මානසික ධර්ම, එනම් අරමුණට නැමෙන බැවින් නාම ධර්ම වන මේ ධර්ම ත්‍රිලක්‍ෂණ වශයෙන් මෙනෙහි කිරීම සිදුකරයි. මෙම නාම ධර්ම ආශ්‍රය කරගෙන පවතින කය, එනම් රූප ධර්මද සලකා ගනිමින් නාම රූප වශයෙන් වෙන්කොට බැලීම සිදුකරයි. එම ක්‍රමයට අනුව ගැඹුරින් විදර්ශනා වැඩීම සිදුකළ හැකි වුවත් සාමාන්‍ය ජනයාට එම ක්‍රමවේදය අනුගමනය කිරීම පහසු නැත. ඔවුනට සරල වශයෙන් විදර්ශනා වැඩිය හැකි ක්‍රමයක්ද තිබේ.

එහිදී ද යම් වේලාවක් සමාධි භාවනාවක් වැඩිය යුතුයි. උදාහරණයක් වශයෙන් පැය භාගයක් පමණ සමාධිය අධිෂ්ඨාන කර ඉන් පසුව සමාධියෙන් නැගී සිට, ඉන් අනªතරුව සිත රූපාදි අරමුණුවලට යන්නට පටන් ගත්විට එම අරමුණූ භාවනාවට නැඟිය හැකියි. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය මනැස යන දොරටු හයෙහි අරමුණු වදින විට ඒවා අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කිරීමයි. එවිට සරල වශයෙන් විදර්ශනාවට බැසගත්තා වෙයි. එයින් පංචස්කන්ධය පිළිබඳ දැනුම,අවබෝධය ඇතිවෙයි.

විදර්ශනා භාවනා ක්‍රමයේදි සප්ත විශුද්ධී යනුවෙන් පිළිවෙළක් තිබේ. ශීල විශුද්ධිය , චිත්ත විශුද්ධිය, දිට්ඨි විශුද්ධිය, කංඛා විතරණ විශුද්ධිය, මග්ගාමග්ග ඥාන දස්සන විශුද්ධිය, ප්‍රතිපදා ඥාන දස්සන විශුද්ධිය වශයෙන් පිළිවෙළින් සිත වඩා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා යන ගුණධර්ම සහ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මාදිය හොඳින් මේරු පසු මාර්ග ඥානයක් පහළවීමට තරම් වන උට්ඨානගාමි විපස්සනාව ගොඩනැගෙයි. එවිට තවදුරටත් භාවනා වැඩීමෙහිදි සිත ලෞකික මට්ටමෙන් මිදී ලෝකෝත්තර මාර්ග චිත්ත විථීයත් පහළ වෙයි. මාර්ගඵල ලබනවා යනු එයයි. විදර්ශනාවේ ප්‍රතිඵලය වෙන්නේ එසේ සෝවාන් ආදි මාර්ගඵලයන්ට පත්වීමයි.

මේ ආකාරයෙන් අවසන සිත සමථ විදර්ශනා වශයෙන් ප්‍රබල බවට පත්වෙයි. සමථ බල- විපස්සනා බල වශයෙන් එය හඳුන්වයි. නීවරණ ධර්මවලින් මොනම ආකාරයකටවත් කම්පාවට පත් නොවන, නොසෙල්වෙන සිත සමථ බලයෙන් යුතුයි. විපස්සනා බල යනු නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් ගෙන සිත මොනම කරුණකටවත් කම්පා නොවන බවයි. සමථ බල විපස්සනා බල මට්ටමට සිත පත්වූවාට පසු එහිදී මාර්ග ඥාන පහළ වී සිත තමන් බලාපොරෙත්තු වන උසස් මට්ටමට පත් වෙයි.

මේ වකවානුවේ මෙවැනි භාවනා ක්‍රම සඳහා වැඩි නැඹුරුවක් සමාජයෙහි දක්නට ලැබේ. නොයෙක් ආචාර්යවරුන් විසින් තම දැනුම අනුව ඒ ඒ ආකාරයට භාවනාව ගැන උගන්වනු ලැබේ. නිවැරැදි ගුරුහරුකම් ලබමින් භාවනාව සිදුකරගෙන යාම ඉතා වැදගත්ය. විශේෂයෙන් විදෙස් රටවල පවා බෞද්ධ භාවනාව පිළිබඳ වැඩි නැඹුරුවක් ,උනන්දුවක් මෙකල ඇතිවී තිබේ. කෙතෙක් දුරට සැප සම්පත් වින්දද එයින් සිතේ සැනසීම නොලැබෙන නිසා භාවනා වැඩීමෙන් සිතේ සහනය, සතුට සොයාගන්නට උත්සාහ දරනු දැකිය හැකිය. බොහෝ විට නිවන් දැකීමේ අරමුණක් ඒ පිරිස් තුළ නොවුණද සැනසීම වර්ධනය කරගනු පිණිස සිදුකරන මේ භාවනා කටයුතුද අගය කිරීම අවශ්‍යය.