Print this Article


ජීවිතයට සැප සලසන ප්‍රඥා භාවනාව

 ජීවිතයට සැප සලසන ප්‍රඥා භාවනාව

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපට දුකින් නිදහස් වන මාර්ගය වදාළා. උන්වහන්සේ අවබෝධයෙන්ම ඒ මාර්ගයේ ගමන් කර එයින් නිදහස් වී අපටත් ඒ මාර්ගයේ ප්‍රතිපදාවන් වදාළා. උන්වහන්සේ වදාළා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් දෙකක් පිළිබඳව. එයින් ප්‍රතිපත්ති පූජාව විශේෂ කොට සැලකුවා.

මේ ප්‍රතිපත්ති පූජාවට අයත් භාවනාව පුණ්‍ය කර්මයක් පමණක් නොවෙයි, නිවන් දකින ප්‍රතිපදාවක් ලෙසත් යොදා ගන්නා ආකාරය උන්වහන්සේ වදාළා.

භාවනාවෙහි අර්ථ ලෙස වඩනවා, දියුණු කරනවා, ප්‍රගුණ කරනවා කියා සඳහන්. මොනවාද වඩන්නේ? මොනවද දියුණු කරන්නේ? මොනවද ප්‍රගුණ කරන්නේ? අප සිතනවා සිතයි වඩන්නේ, සිතයි දියුණු කරන්නේ, සිතයි ප්‍රගුණ කරන්නේ කියා. මේ උත්තරය සැබෑ නිවැරැදි උත්තරය නොවේ. භාවනාව මඟින් සිත වැඩීම සිත භාවිතා කිරීම, සිත ප්‍රගුණ කිරීම ලෝකයේ හැමදාම තිබුණා. ලෝකයේ හැමදාම භාවනාව ලෙස නම් කළේ ඒ දේයි. එයට කියනවා චිත්ත භාවනාව කියා.

මේ භාවනාව බුදුවරුන් ලෝකයේ පහළ වෙන්න කලිනුත් ලෝකයේ තිබුණා. බෝසත් සිරිත විමසන විට බෝධිසත්ත්වයන් වහන්සේ රූපි ධ්‍යාන, අරූපි ධ්‍යාන, අෂ්ඨ සමාපත්ති, පංච අභිඥා උපදවාගෙන වැඩ සිටි වාර දහස් ගණන් තිබෙන බව නොයෙක් නොයෙක් පාරමි පිරූ අවධි ගැන කියනකොට දැනගන්න පුළුවන්. සිද්ධාර්ථ කුමරු මේ ලෝකයට බිහිවෙන දවසේ සුදවුන් මහ රජුගේ ආචාර්ය වූ කාලදේව තවුස්තුමා ධ්‍යානලාභීව සමාපත්තියට සමවැදී වැඩ සිටියේ දෙවියන් අතර බවත් දෙවියන්ගේ පී‍්‍රති ඝෝෂා ඇසී ඔවුන්ගෙන් කරුණු විමසා බෝසත් කුමරා බලන්නට පැමිණි බවත් අපේ බෝසත් සිරිතේ කියවෙනවා. ඒ වගේම විසි නව වැනි වර්ෂයේ ගිහි සැප විඳලා සත්‍ය සොයාගෙන යන ගමනේදී විශේෂයෙන් හමු වූ වැදගත්ම ආචාර්යවරු ලෙසයි ධ්‍යාන සමාපත්ති උපදවා ගන්නට උදව් කළ තවුස්වරු ලෙසයි අප ආලාරකාරාම උද්දකරාම ගුරුවරු ගැන ඉගෙන ගත්තේ. ආලාරකාරාම රූපි ධ්‍යාන හතරකුත්, අරූපි ධ්‍යාන හතරකුත් උපදවාගෙන සිද්ධාර්ථයන් වහන්සේටත් එය උපදවා ගන්න මඟ පෙන්නුවා. උන්වහන්සේ ඒ ධ්‍යාන උපදවා ගත්තා. එයින් නො නැවතුන බෝසතාණෝ උද්දකාරාම තවුස්තුමා වෙතටත් ගොස් නේවසඤ්ඤානාසඤ්ඤීවාදී සමාපත්තිය වඩන හැටි අසා ඉගෙන ගෙන ඒ ධ්‍යානයන් වැඩූ බව අප අසා තිබෙනවා.

එසේනම් ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ නේවසඤ්ඤීනාසඤ්ඤීවාදී කියන ඉහලම තලයට හිත වඩන්න චිත්ත භාවනාවක් ලෝකයේ තිබුණා. මේ චිත්ත භාවනාවට මීට වඩා කරන්න පුළුවන් ආශ්චර්ය නැහැ. චිත්ත භාවනාවෙන් කරන්න පුළුවන් උපරිම දේ තමා මේ කෙලෙස් නෙක්ඛකම්ම වශයෙන් යටපත්කර මේ ධ්‍යානය කුසල් උපදවා ගන්නේ. ධ්‍යානය කුසලයන් නේවසඤ්ඤීනාසඤ්ඤීවාදී සමාපත්තිය යි. ඒ සමාපත්තියේ සිටත් උපදින කෙලෙස් ගති මහා කල්ප අසූහාර දහසකට සඟවන්න පුළුවන්. යටපත් කරන්න පුළුවන්. එයින් කෙලෙස් සඟවා යටපත් කරනවා මිසක් ඉවත් කරන්න බැහැ. සමුච්චේද ප්‍රහාණයකට යන්න බැහැ. චිත්ත භාවනාවෙන් කළ හැක්කේ එ පමණයි.

අද අපේ බෞද්ධ සමාජය තුළ බුද්ධ ශ්‍රාවයකයෝ ලෙස භාවනාව කියා කථා කරන්නේ සිතේ වැඩීම යි. සිත දියුණු කර ගැනීමනම් ඒ කථා කරන්නේ නේවසඤ්ඤීනාසඤ්ඤීවාදී සමාපත්තිය දක්වා ඇති කෙලෙස් යටපත් කරන වැඩපිළිවෙලට යි . ඒ නිසා අපට සිත පමණක් නොවේ වඩන්න තිබෙන්නේ. නිවන, ප්‍රඥාවත් වඩන්න ඕන. සිතයි ප්‍රඥාවයි දෙකම සම සමව වැඩිය යුතුයි. ඒ දෙකම භාවිතා කරන්න ප්‍රගුණ කරන්න ඕන. ලෝකයේ හැමදාම කෙලෙස් යටපත් කරන ක්‍රම තිබෙනවා. කෙලෙස් සමුච්චේද වශයෙන් නැවත හට නො ගන්නා ආකාරයට අවසන්කර ක්ෂය කර ගන්න හැකියාවයි අවශ්‍ය වන්නේ.

ලෝකයට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ ක්‍රමය දායාදය කරනවා. ඒ නිසා වත්මන් ලෝකයට තිබෙන දුර්ලභව වටිනාම භාවනාව ප්‍රඥා භාවනාව යි. මේ චිත්ත භාවනාව දියුණු කරන්නේ ප්‍රඥා භාවනාවට උපකාර පිණිසම යි. ඒ නිසා අපට මේ කියන භාවනා ක්‍රම දෙක පිළිබඳවම අපේ නුවණ වඩන්න අවශ්‍ය වෙනවා. එහි යෙදෙන්න පුළුවන්කම තිබෙන්නේ ඒ ගැන නිවැරැදිව නිරවුල්ව අසා විමසා ගත් කෙනෙකුට පමණ යි.

බෝධි සත්ත්වයන් වහන්සේ සමාපත්ති උපදවාගෙන ගයා ශිර්ෂයට වැඩම කළේ මේ ජීවිතයේදීම නිවන් දකින්න. අප අදත් භාවිතා කරන්නේ සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් වහන්සේ එදා අත්හැර ගිය භාවනා ක්‍රමයක් නම්, ඒ වැඩ පිළිවෙලනම්, අපේ ජීවිතයේ වටිනාකම හඳුනාගෙන කළයුත්ත කළාද කියා අප අපෙන් විමසා ගන්න ඕන. මේ බුද්ධ ශාසනය කවුරුන් හෝ කියන මෙහෙයුමකට පැවරුමකට යටත්ව කටයුතු කළ වැඩ පිළිවෙලක් ප්‍රතිපදාවක් නොවේ තිබෙන්නේ. මේ ශාසනය නම් කරන්නේ ‘ඒහිපස්සිකෝ’. ‘එව බලව‘ කිව්වා මිස ‘එව කරව‘ කිව්වා නොවේ.

අද අප ගිය ගමන් අපට භාවනා කමටහන් ලැබෙනවා. අපත් ඒ කමටහන් ගෞරවයෙන් භාවිතා කරනවා. නමුත් අප දන්නේ නැහැ මේකෙන් මොනවද වෙන්නේ කියා. ඒ නිසා ලෝකයේ කවුරුවත් කොහොම කිවුවත් මට මා පිළිබඳව වටිනාකමක් තිබෙනවා. ඒකයි ‘එන්න බලන්න’ කියන දහමක් අප සොයා ගන්න ඕන. අප යමක් දැනගෙන කිරීම තමා සුදුසු. ඒ නිසා අපට භාවනාව පිළිබඳව හුඟාක් දේ ඉගෙන ගන්න, කථා කරන්න අසා ගන්න හිතන්න, විමසන්න තිබෙනවා. එවිට මේ භාවනා ක්‍රම දෙක පිළිබඳවම අප විමසිලිමත් විය යුතුයි.

මේ භාවනා දෙකම යමෙකු වඩන්න, භාවිතා කරන්න කිසියම් ආකාරයට පිළිසිඳ ප්‍රඥාවක් බීජමය හැකියාවක් උත්පත්තියෙන්ම තිබිය යුතු වෙනවා. සමහර විට ඔබට ඒ බීජමය හැකියාව පිළිසඳ ප්‍රඥාව නැතුවා වෙන්න පුළුවන්. එවිට ඔබට සිතෙයි ‘මේ ශාසනයෙන් මට පිහිටක් නැද්ද? කියා. ඔබටත් මේ ශාසනයෙන් පිහිටක් තිබෙනවා. මේ ශාසනය තුළ ඔබටත් පිහිටක් තිබෙනවා. පුද්ගලයන් සොයාගෙන ගිහිල්ලයි තථාගතයන් වහන්සේ බණ කිව්වේ. නමුත් සුදුස්සන්ගේ අතර සිටි සුදුසුකම් සපුරා නැති අය අතහැර දැම්මේ නැහැ. ඒ අයටත් මඟක් පිළිවෙතක් උන්වහන්සේ වදාළා. නුසුදුසුකම් ඉවත් කරලා සුදුසුකම් මතුකර ගන්නත් උන්වහන්සේ වදාළා. ඒ නිසා ඔබ ළඟ චිත්ත හා ප්‍රඥා භාවනා කරන්න සුදුසුකම් නැත්නම් එය ඇතිකර ගන්නා වැඩපිළිවෙලක් මේ ශාසනයේ තිබෙනවා. ඒ නිසා මේ භාවනාව අප කාටත් ගැලෙපන සුදුසු තැන්වලින් පටන්ගන්න පුළුවන්කම තිබෙනවා. සුදුසුකම් නැතත් පසුතැවීම් නොවී ඒ සුදුසුකම් ලැබූ පිරිස ඇසුරු කරන්න ඕන.

සුදුසුකම් ඇති අයට ඒ සුදුසුකමේ පිහිටා මේ ජීවිතය තුළ ඒකාන්ත නිවන අරමුණු කරගෙන වඩන්නට සීල, සමාධි, ප්‍රඥා ත්‍රි ශික්ෂාව වදාළා. ඒ සුදුසුකම් නැති පිරිස සුදුස්සන් බවට පත්කර ගන්නත් මහ ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් වැඩපිළිවෙලක් වදාළා. ඒ දාන, සීල, භාවනා වැඩපිළිවෙළ යි. මේ පින්කම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට සසරේ රැඳෙන්න නොවේ. සැප විඳ විඳ සසර ගමන දීර්ඝ කරගන්නත් නොවේ. සසර නතර කරගන්න ඕන මූලික අවම සුදුසුකම් ටිකවත් සම්පාදනය කර ගන්නයි. එහෙයින් සීලමය පින්කම තිරිසන්, පේ‍්‍රත, අසුර, නිරය ආදී ප්‍රගති ආත්මභාවයට ප්‍රතිසන්ධිය ලබන්න නොදී මිනිස් ආත්ම තුළත් අංගවිකල නොවී, ආබාධිත නොවී, ලෙඩ නොවී, විරූපි අවලස්සන කෙනෙක් නොවී, සුරූපි දිව්‍ය කයක්, නිරෝගි දීර්ඝායුෂය සුරූපි මිනිස් කයක් ලබා ගන්න ඔබට උදව් වෙනවා. දානමය පින්කම උපන් ජීවිතය පවත්වාගන්න ඕන කරන උපදේශ පරිභෝග සම්පත් ටික ඔබට ළඟාකර දෙනවා.

හොඳින් මිනිස් කය සම්පත් තිබෙනවා නම් ඔබ සිතයි අපට මොනවද මේ ලෝකයේ අඩු කියා. නමුත් ඔබට මතකනම් මහ මුහුද මැද තනිවුනු රුවලක් හබලක් නැති ඔරුවක්, හමන සුළඟින් ඒ දිසාවට ගසාගෙන ගිහින් ගල් පරතරයක හැපිලා නැසී වැනසී යයිද කියා කියන්න බැහැ. ඒ වගේ දානමය සීලමය විපාක දෙක ඔබේ ජීවිතයට ලැබිලා තිබෙනවා නම් භාවනාමය විපාකය ලැබී නො තිබුණොත් අර මහ සයුර මැද පවතින හබලක්, රුවලක් නැති ඔරුව වගේ. ලැබෙන ආශ්‍රයත් සමඟ ඕනෑම දිසාවකට ගසාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයට දැක්මක් දර්ශනයක්, ඉලක්කයක් ඕන. ඒ ජීවිතයට ඒ දර්ශනය ඉලක්කය හරි දිසාවට මෙහෙයවන්න පුළුවන් වෙන්නේ ඤාණ ශක්තියක් දැන උගත්කමක් තිබුණොත් පමණයි.

නයනා නිල්මිණි ලියනගේ