ධම්මපදට්ඨ කතාවෙන් - 21
විශාඛාවෝ මිගාර සිටුතුමා
මිථ්‍යාදෘෂ්ටියෙන් ඉවත් කරවති
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
බුදුරදහු එක් දිනෙක රජගහනුවරට වඩිති. ඒ බව දත් මෙණ්ඩක සිටුපුත් ධනංජය
අමතා දූ වූ විශාඛා දැරිය බුදුන්ට පෙරගමන් කරවන්නැයි දැන්වීය. පන්සීයයක්
කතුන් ද සමඟ ඇය බුදුරදුන් වෙත එළඹ වැඳ එකත්පස්ව හුන්නාය. ඇගේ චරිතයට
ගැළපෙන ලෙස බුදුරදහු දහම් දෙසූහ. විශාඛාව පන්සියයක් දැරියන් සමඟ
සෝතාපන්තියට පත්වූවා ය. දෙවන දවසෙහි තම සිටු මැදුරෙහි දනට ද ආරාධනා කළා
ය. බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයා විශාඛා සිටු මැදුරෙහි දන් වැළඳූහ.
අටමසක් පුරාම මේ පින්කම් සිදුවිය. මේ අතරෙහි කොසොල් රජු ධනංජය සිටු
පුත් තම නගරයට කැඳවා සාකේත නම් නුවරක් කරවා එහි පදිංචි කරවා ගත්තේ ය.
විශාඛාවෝ ද එහි වෙසෙන්නාහ.
මේ අතරෙහි සැවැත්නුවර මිගාර සිටුහුගේ පුත් පූර්ණවඩ්ඪන කුමරා කල වයස
සපිරී ඇති බැවින් පංචකල්‍යාණයෙන් සපිරි කුමාරිකාවක සරණපාවා ගනු පිණිස
සොයන්නට විය. ඒ සඳහා පුරුෂයෝ අට දෙනෙක් සියලු නුවර සැරිසරති. ඔවුහු
සාකේත නුවරට ද පැමිණ ගං ඉවුරක එක් ශාලාවක වෙසෙති. එවේලෙහි නැකැත්
කෙළියක් උදෙසා නදී තෙරට බොහෝ දෙනෙක් ආහ. ඔවුන් අතර පංචකල්‍යාණියන්
සොයනා අතරේ මහවැස්සක් ඇද වැටුණි. බොහෝ කුමරියන් ශාලාවට දුවමින්
පැමිණෙද්දී විශාඛාව තෙමෙමින් පියවි ගමනින්ම පැමිණියා ය. ඒ ගැන සැක සිතූ
පුරුෂයෝ ඇය ගැන කතිකා කළහ. ඇය දුවමින් නොපැමිණියේ ඇයිද යන්න පැහැදිලි
කළා ය.
මිගාර සිටු ඒ බව රජතුමාට දන්වා රජු ද සේනාව ද සමග සාකේත නුවර ධනංජය
සිටු හමුවීමට පිටත්වූහ. ධනංජය හා මිගාර සිටුවරු හමුවූහ. විවාහය සම්මත
කළහ. විශාඛාව සඳහා ධනංජය සිටු මහලිය පලඳනාව කරවා පලඳවීය. වටිනාකම කෝටි
නමයකි. අවසන විශාඛා පූර්ණවඩ්ඪන විවාහය සිදුවිය. විවාහය දිනයෙහි ධනංජය
සිටු විශාඛාව අමතා දස අවවාද දුන්නේ ය. එනම් දියණියෙහි, පතිකුලයෙහි වසන
විට ඇතුළත ගිනි පිටත නොදිය යුතු ය. පිටත ගිනි ඇතුළට නොගත යුතු ය.
දෙන්නාටම දිය යුතු ය. නොදෙන්නාට නොදිය යුතුය. දෙන්නාටත් නොදෙන්නාටත්
නොදිය යුතුය. සුවසේ හිඳ ගත යුතු ය. සුවසේ අනුභව කළ යුතු ය. සුවසේ නිදිය
යුතු ය. ගිනි දෙවියන් පිදිය යුතු ය. ඇතුළත දෙවියන් පිදිය යුතු ය. යනාදී
ලෙය අවවාද දුන්නේ ය.
අනතුරුව විශාඛාව මහලිය පලඳනාවෙන් සරසා සාකේත නුවර වටා පැවති තවත්
තුදුසක් ගම්වටා පණිවිඩ යවනුයේ ඇය සමඟ යාමට කැමති පිරිස් වහා පැමිණෙනු
ලෙස ය. එවිට ගම්වැසියෝ සියල්ලෝම ඇය සමග යාමට මාර්ගයට පිවිසුණහ.
විශාඛාව සමග විශාල පිරිසක් ගමනට එක් වූ පසු කලබල වූ මිගාර සිටුතුමා
මෙතරම් පිරිසක් කවුරුන්දැයි විමසූ විට විශාඛාවට මෙහෙවර සඳහා යයි කීහ.
එවිට මෙතරම් පිරිසක් පෝෂණය කරන්නේ කෙසේදැයි උරණ වූ මිගාර සිටු තෙමේ
ඔවුනට තළා පෙළා හිරිහැර කොට පලවා හැරියේ ය.
විශාඛාව සැවැත් නුවරට පැමිණි දින සිටම නුවර වැස්සෝ ඇයගේ නෑදෑයන් මෙන්
වූහ. මේ අතරෙහි මිගාර සිටුවරයා තම පුතුගේ විවාහ මංගල්‍යය වෙනුවෙන්
පන්සියයක් නිගණ්ඨයන් නිවසට කැඳවා කිරිබත් දානයක් පිළිගැන්වීය. එවේලෙහි
මිගාර සිටු විශාඛාව අමතා යෙහෙළියෙණි, මාගේ රහතන් වහන්සේලා නමදින්නැයි
ඉල්ලා සිටියේ ය. සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක වූ විශාඛාව මෙය අසා මහත්
සතුටු සිතින් ආර්යයන් වහන්සේලා වඳින්නට පැමිණියේ ය. එහෙත් විශාඛාව
දුටුවේ නිර්වස්ත්‍ර තාපස පිරිසකි. මොවුන් දකින්නට තමා කැඳවීම ගැන මිගාර
සිටුවරයාට ගර්හා කොට විශාඛාව පලා ගියා ය. එය දුටු නිගණ්ඨයෝ එකහඬින්
මිගාර සිටුවරයාට ගර්හා කොට ගෞතම ශ්‍රාවිකාවක වූ මේ කාලකණ්ණිය මෙහි
ගෙනාවේ ඇයිදැයි දෝෂාරෝපණ නගමින් මේ ගෙයින් වහාම නෙරපා හරින්නැයි ද
ඉල්ලූහ. මිගාර සිටු විශාඛවගේ ළා බාල බව නිසා මෙසේ වූ බව දන්වා සමාව
යැද්දේ ය.
අනතුරුව නිගණ්ඨයෝ රන් තලිවල මීපැණි සහිත කිරිබත් අනුභව කරන්ට වූහ.
එවේලෙහි පිඬු පිණිස හැසිරෙන එක් තෙරුන් වහන්සේ නමක් ඒ ගෙදරට ද වැඩම
කළහ. මිගාර සිටු එය නුදුටුවාක් මෙන් සිට අනුභව කළේ ය. එය දුටු විශාඛාව
පැමිණ ස්වාමිනි, වෙනත් ගෙයකට වඩිනු මැනවි. තම මාමා පුරාණය අනුභව කරන්නේ
යයි කීවා ය. එය තේරුම් නොගත් මිගාර සිටු, තමන් අශූචි වළඳන්නෙකි යි කියා
තමාට නිග්‍රහ කළේ යයි කිය කියා විශාඛාව තම නිවසින් පලවා හරින්නැයි
අඬගෑය.
එය ඇසූ විශාඛාවෝ තමන් එසේ නොයන බවත් යහපත් දෙමාපියන් ඇතිව හැඳුණු
වැඩුණු තමා දීගයක පැමිණ එසේ බැහැර කිරීම කළ නොහැකි බවත්, තමා සමඟ
පැමිණි කෙළෙඹියන් අට දෙනෙකු ඇති බවත් ඔවුන් කැඳවා තමාගේ දෝෂ අදෝෂ විමසා
බලන ලෙසත් ඉල්ලා සිටියහ. ඇගේ කතාව ඇසූ මිගාර සිටු තෙම කෙළඹි පුත්‍රයන්
කැඳවා, මේ මංගල දිනයෙහි මැය මා අශූචි අනුභව කරතියි කියයි. එබැවින් මැය
ගෙයින් නෙරපා හරින්නට තීරණය කළ බවත් මිගාර සිටු කිවේ ය. එවිට කෙළඹි
පුත්‍රයන් විශාඛාවන්ගෙන් එවැන්නක් කීවේදැයි ඇසූ විට ඈ කියා සිටියේ තමා
කිසි විටෙකත් අශූචි අනුභව කරන බවක් නොකී බවයි. තෙරනමක් නිවෙස ඉදිරියේ
පිඬුසිඟා වැඩ සිටින විට දන් නොදී සිටුතුමා අනුභව කළ හෙයින් මගේ මාමා මේ
ආත්මයේ පින් නොකරයි. පෙර කළ පින්වල ආනිශංස අනුභව කරයි. එබැවින් වෙනත්
ගෙයකට වඩින ලෙස උන්වහන්සේට කියූ බව ඇය කියා සිටියා ය. මේ අනුව පුරාණය
අනුභව කරන්නේ යයි කීවේ වරදක් ඇත්දැයි විමසුවා ය. එවිට කෙළෙඹි පුත්‍රයෝ
එහි කිසිදු දොසක් නොමැති බව කීහ.
අනතුරුව මිගාර සිටුතුමා කියනුයේ මැය විවාහයට රැගෙන එනදා මාගේ පියා මැයට
සැඟවුණු අරුත් ඇති අවවාද දහයක් දුන් බවත් ඒවායේ අර්ථය මා නොදන්නා බවත්,
පහදා දෙන ලෙසත් ඉල්ලීය. කෙළෙඹියෝ ඒවා එකිනෙක පහදා දුන්හ. එය ඇසූ පසු
පිළිතුරක් දී ගත නොහී සිටාණෝ බිම බලා ගත්හ. එවිට කෙළඹියෝ විශාඛාවගේ
තවත් දොස් ඇත්දැයි විමසූහ. නැතැයි සිටාණෝ කීහ. අනතුරුව විශාඛාව වෙත
පැමිණි මිගාර සිටු ඇයගෙන් සමාව ඉල්ලීය. විශාඛාව සමාව දී තමා උවැසියක
බැවින් රුචි පරිදි තම මැදුරේ භික්‍ෂු සංඝයාට දන් දීමට අවසර පැතුවා ය.
මිගාර සිටු එකඟ විය.
දෙවෙනි දා බුදුපාමොක් මහ සඟනට දන් පිළිගැන්වීමට තම මැදුරට ආරාධනා කළා
ය. ඒ බව සැළ වූ නිගණ්ඨ තාපසයෝ ද වේලාසනම පැමිණ මිගාර සිටු මාලිගාවේ
රැඳුණහ. බුදුරදුන් හා සංඝයා දානයට වැඩි පසු දන් බෙදන්නට එන්නැයි මිගාර
සිටු පුත්‍රයාට පණිවිඩ යැවුවාය. එහෙත් නිගණ්ඨ පිරිස් සිටුතුමා එහි යාම
වැළැක්වීය. අනතුරුව දන් වළඳා අවසන දහම් දෙසන වේලෙහි දහම් අසන්නට
එන්නැයි මිගාරට පණිවිඩ යැවීය. නිගණ්ඨයෝ එයද වැළැක්වූහ. එහෙත් සිටාණන්ට
නොගොසින් සිටින්නට නොහැකි විය.
එවිට නිගණ්ඨයන් කියා සිටියේ එසේනම් බුදුන් සමීපයට නොගොස් තිරයක් ඇද
ඉන් මෙපිට සිට අසන ලෙසයි. ඒ අනුව තිරයක් අද්දවා මිගාර එයින් මෙපිට
සිටියේ ය. එවිට බුදුහිමියෝ ඔබ තිරයෙන් එහා නොව බිත්තියෙන් එහා හෝ
පර්වතයකින් එහා හෝ සක්වළින් එහා හෝ සිටියද ඔබට ඇසෙන්නට දහම් දෙසමියි
වදාළහ. බුදුරදුන්ගේ පිළිවෙළ කථාව ඇසූ මිගාර සිටු සෝවාන් පෙළෙහි පිහිටා
අචල ශ්‍රද්ධාවෙහි ද පිහිටා විශාඛාව වෙත ගොස් ඔබ අද පටන් මගේ අම්මා යයි
ඇය මව් තනතුරෙහි තැබුවේ ය. බුදුන්ගේ ශ්‍රී පාදය සිඹ සිඹා තමා අපා
දුකින් මිදුණු බව කියා සිටියේ ය. මගේ යෙහෙළිය අද පටන් මගේ මව් තනතුරෙහි
තබා ගන්නා බව ප්‍රකාශ කළේ ය. එතැන් විට විශාඛා තොමෝ මිගාර මාතා නමින්
ප්‍රකට වූවා ය.
ධම්මපදට්ඨ කථාවෙන් - 20 අසුබ නිමිති පුහුණු කළ මහා කාල තෙරණුවෝ මහා
පර්වතයක් සේ නිසසල ය |