අධර්මය
බැහැර කිරීම හා
ධර්මය
ස්පර්ශ කිරීම
පොල්ගහවෙල මහමෙවුනා භාවනා
අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ඉවසීම ධර්මය යි.
මෛත්‍රිය ධර්මය යි. පීඩාව දරාගෙන
ආවේගයට ඉඩ නො දීම ධර්මය යි.
අධර්මය ඈත් කර ධර්මය
ස්පර්ෂ කිරීම ඉතා අමාරු දෙයක්.
සද්පුරුෂයෙක් වෙන එක මේ
ලෝකයේ ඉතාම දුෂ්කර දෙයක්.
අසද්පුරුෂයෙක් වීම ඉතා පහසුයි.
කවුරුත් එයට අනුබල දෙනවා.
අපට කෙතරම් දහම් දැනුම තිබුණත්,
ධර්මය අප තුළ නැත්නම් අර දැනුම
ප්‍රයෝජනවත් වන්නේ නැහැ.
අවසාන මොහොත නමැති විභාගෙට
අප කවුරුත් මුහුණ දෙනවා
මේ ලෝකයේ තිබෙනවා ධර්මය හා අධර්මය කියා දෙ කොටසක්. සාමාන්‍යය ලෝකයේ
බෝහෝ විට තියෙන්නේ අධර්මය යි. එනිසා බොහෝ මිනිසුන්ට ධර්මය ස්පර්ෂ කර
ගන්න අපහසු වී තිබෙනවා. ධර්මය හා අධර්මය තුළින් ධර්මය ළංකර ගන්න ලොකු
වාසනාවක් අවශ්‍ය යි. මනුෂ්‍යයාට බොහෝම ලේසියෙන් අධර්මය ළංකර ගන්න
සැකසුණු පරිසරයකුයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වී ධර්මය
දේශනා කරන විට මේ අධර්මයට ඇදී යන මිනිසුන් අතරින් බොහෝම සුළු පිරිසකට
ධර්මය අවබෝධ වෙනවා. ඒ අයට සද්්පුරුෂයා කියනවා.
අධර්මය කියන්නේ ප්‍රාණඝාතය, හොරකම, වැරදි කාමසේවනය, බොරුව, කේලාම්,
පරුෂවචන, නිසරු කතා, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, ඉරිසියාව, මිත්‍යා
දෘෂ්ටිය ආදි දේයි. මේ කියපු අධර්මයෙන් වැළකිලා කයෙන් සංවර වීම, වචනයෙන්
සංවර වීම, මනසින් සංවර වීම, සිහිය දියුණු කිරීම, සමාධිය වැඩීම, නුවණ
දියුණු කිරීම, ඉවසීම, මෛත්‍රිය ආදිය ධර්මය යි.
අධර්මයට ඉක්මණින්ම හසුවන ස්වභාවය වළකා ගැනීමත්, ධර්මය ජීවිතයට ගලපා
ගැනීමත් අපට තිබෙන අභියෝග. මේ අභියෝග ජය ගන්න අපට අවශ්‍ය වන්නේ දක්ෂකම
යි. සීහලවත්‍ථු කියන පැරණි පොතේ් අපූරු කතාවක් මේ සම්බන්ධව තිබෙනවා.
සද්ධාතිස්ස රජුන්ගේ කාලයේ අනුරාධපුරේ සිට යොදුන් පහක් දුරින් බටහිර
පැත්තට වෙන්න ‘භුමංගණ’ කියා ගමක් තිබුණා. මේ ගමේ එක් පවුලක් වාසය කළා.
මේ පවුලේ හිටියා පුතාලම හත් දෙනෙක්. මේ දරුවන්ගේ බාල පුතාගේ නම තිස්ස.
ඉතින් මේ වැඩිමහල් සහෝදරයෝ හය දෙනා ගිහින් කුලී වැඩ කරල මුදල්
හම්බකරනවා. අර බාලය සෙල්ලමින් ඉන්නවා. රස්සාවක් කරන්නේ නැහැ. එවිට අර
වැඩිමහල් සහෝදරයෝ අම්මට කියනවා ‘ඇයි අපි විතරද හම්බ කරන්න ඕන. මේ පොඩි
මල්ලිට බැරිද රස්සාවක් කරන්න’ කියා. එවිට අම්මා කිව්වා ‘පුතේ ඕක
හරියන්න අපි මෙයාට විවාහයක් කර දෙමු’ කියා සුමනා කියන ගෑණු ළමයා මොහුට
විවාහ කර දුන්නා.
එදා අම්මා මේ දෙන්නට හාල් සේරුවක්, වංගෙඩියකුත්, මෝල් ගහක් දුන්නා.
ඊළඟට වතුර කළයක්, මැටි කෝප්ප දෙකකුත් දීලා කිව්වා ‘අදින් පස්සේ මේ
ගෙදරින් ඔබලාට කෑම නැහැ. දැන් ඉතින් රස්සාවක් කරගෙන ජීවත් වෙන්න’ කියා.
දැන් මේ ගෑනු ළමයා මේ බඩුටික තබාගෙන අඬන්න පටන් ගත්තා. එවිට තිස්ස
අහනවා ‘ඇයි අඬන්නේ? ඔබ බය වෙන්න එපා. මට හොඳට අතේ පයේ හයිය තිබෙනවා. මම
කම්මැලි කෙනෙක් නොවේ. ඒ නිසා අද අපට මේ ලැබුණ හාල් සේරුවෙන් හාල්
හුණ්ඩු දෙකක් උයාගමු. හාල් හුණ්ඩු දෙකකින් අප හෙට දානයක් දෙමු’ කියා.
ඊට පස්සේ මේ දෙන්නම පන්සලට ගියා. ‘ස්වාමිනි, අප අලුතින් විවාහ දිවියට
ඇතුළු වුණා. එනිසා දානයක් පූජා කරන්න කැමැතියි’ කිව්වා. ඒ ස්වාමින්
වහන්සේ පොඩි නමට අඬගහලා කිව්වා. ‘පොඩිනම හෙට ගිහිල්ලා මේ අළුත්
ජෝඩුවගේ ගෙදරින් දානේ රැගෙන එන්න’ කියා. ඉතින් මේ සුමනා අර හාල්
හුණ්ඩු දෙකෙන් දානේ ඉවුවා. ව්‍යාඥජන නැහැ. පලාකොළ ටිකක් හැදුවා. ලුණු
ටිකක් ඉස්සා. දානේ පූජා කළා. ඊටපසු සුමනා මේ පොඩි ස්වාමින් වහන්සේගේ
පිටිපස්සෙන් ගියා දානේ ගැන සතුටට පත්වෙනවද කියා බලන්න. අනෙක් පොඩි
හිමිවරුත් කෝ අලුත් ජෝඩුවගේ දානේ කියා බලා කටක් කෑව. ලුණු රස පමණයි
තිබුණේ. ඒ පොඩි නම ‘මේක වළඳන්න බැහැනේ. මේ දානේ තිබෙන්නේ ලුණු
විතරනේ’ කියා ඒ දානය වීසි කළා. ඉන්පසු ලුණු තිස්ස කියා නමක් පටබැඳුණා.
මෙය දුටු සුමනා අඬ අඬා ගෙදර ගියා. එවිට තිස්ස අහනවා ‘ඇයි ඔබ අඬන්නේ?’
‘අප පූජා කළ දානය ස්වාමින් වහන්සේලා වැළඳුවේ නැහැ. ඔබට ලුණු තිස්ස කියා
විහිළුත් කළා. එවිට මේ තරුණයා අත්දෙක උස්සල වැඳගෙන කියනවා ‘මාගේ
ආචාර්යයන් වහන්සේලා දාපු නමට මම ඉතා කැමැතියි. ‘සුමනා ඔබ දුක් වෙන්න
එපා. අප රසට දානයක් දෙමු’ කියා මේ තරුණයා පාන්දරින් දෑකැත්තත් අරන්
ගියා. වරුවකින් ලොකු කුඹුරු යායක ගොයම් කැපුවා. වී බුසලක් ලැබුණා. මේක
බිරිඳට දීලා කිව්වා ‘මේ වී ටික විකුණලා හොඳ හාලුයි, මී කිරියි,
ගිතෙලුයි, මාළුයි දානයට ගන්න’ කියා. පහුවදාත් පොඩි නමක් වැඩියා. දානේ
පූජා කළා. එදා දානේ හරි සුවඳයි. හරි රසයි. මේ විදිහට දිගටම දන් දුන්
නිසා ඔහු ගැන කීර්තිරාවයක් පැතිරුණා ‘ලුණු තිස්ස හරිම ප්‍රණීත ආකාරයට
සංඝයාට දන් දෙනවා කියා’.
දැන් මේ දෙන්නාගේ හිතේ තිබෙන්නේ දන් දෙන අදහස පමණයි. ලුණු තිස්ස
වීර්යකින් හොඳට මහන්සි වී වැඩ කළා. දිනපතා සංඝයා බොහෝ සංඝයාට දානය පූජා
කරනවා. ටික ටික මොහු ධනවතෙක් වුණා. දවසක් යාළුවෙකුට කිව්වා ‘යාළුවේ මට
ආසයි වැඩිපුර සංඝයාට දානය දෙන්න. එය කොහොමද කරන්නේ?’ එවිට යාළුවා
කිව්වා ‘එහෙමනම් ඔබ නාගදීපේ පැත්තට යන්න. නාගදීපෙට විවිධ පළාත් වලින්
සංඝයා පන්සිය නම, හයසිය නම, අටසිය නම, දහස් නම වඩිනවා’ කියලා.
ඊට පස්සේ මේ ලුණු තිස්ස ගම්බිම් අතහැර කරත්තවල බඩු, හැළිවලං පටවගෙන
දැසි දස්සොත් අරගෙන නාගදීපෙට ගියා. නාගදීපේ කිට්ටුව තිබුණ ‘හරිතාල’
කියන ගමේ පදිංචි වුණා. දැන් ලුණු තිස්ස කියන නම නැතිවෙලා ‘හරිතාල
තිස්ස’ කියන නමින් ප්‍රසිද්ධ වුණා. මොහු දිනපතා විශාල සඟ පිරිසකට දානය
දෙනවා.
ඒ කාලයේ රහතන් වහන්ස්ලාගේ යුගය. මේ හරිතාල තිස්ස උපාසක ගැන සිල්වත්
ගුණවත් සංඝයා අතර ගුණ කථනය වෙද්දී සතරවරම් දෙවිවරුන්ටත් ඒ දෙවිවරු
මඟින් සක් දෙවිඳුන්ටත් දැන ගන්න ලැබුණා. ‘සිංහල ද්විපයේ හරිතාල තිස්ස
කියන අපූරු උපාසක කෙනෙක් පුදුම විදිහට සංඝයාට දානමාන ආදියෙන් උපස්ථාන
කරන බව. සක් දෙවිඳු සිතුවා එසේනම් මම ගිහින් බලන්න මේ ගැන කියා.
දිනක් හරිතාල තිස්ස ගෙදර ඉද්දී වයසක හාමුදුරුවන් වහන්සේ නමක් වැඩියා.
දානේ දුන්නා. උන්වහන්සේ පිටත්වුණා. හවස් වෙලා ආයෙමත් උන්වහන්සේ හරිතාල
තිස්සගේ නිවසට වැඩියා. ඒ වෙලාවේ ඔහු කෑමට සූදානමින් සිටියේ. බිරිඳ
සුමනා උපාසිකාව පැන් කොතලය අතේ තබාගෙන සිටිද්දීයි හාමුදුරුවෝ වැඩියේ.
කෑම කන එක නවත්තලා ළඟට ගිහින් ඇහුවා ‘ස්වාමිනි මොකද වුණේ’. ‘අනේ උපාසක,
මට අනුරාධපුරේ යා ගන්න ඕන මහ සෑය වඳින්න. ඔරුකාරයාට සල්ලි දීලා මාව
ගඟෙන් එතෙර කරවන්න පුළුවන්ද? කියා. ‘හොඳයි ස්වාමිනි’ කියා මොහු පිටත්
වුණා. හරිතාල තිස්සගේ ගෙදර ඉඳන් ගඟ ළඟට ටිකක් දුරයි. මේ ස්වාමින්
වහන්සේ ගඟ ළඟට වැඩම කර කියනවා ‘උපාසක හරි වැඩක් වුණා නොවැ. මගේ
හැරමිටිය මතක නැතිවුණා. ගිහිං ගේනවද? කියා ඇහුවා. ‘හොඳයි ස්වාමිනි’
ගේන්නම් කියා ඔහු දුවගෙන ගෙදර ගොස් හැරමිටිය අරගෙන ආවා. අර හාමුදුරුවෝ
අහනව ‘උපාසක තරහ නැද්ද?’ කියා. ‘නැහැ ස්වාමිනි තරහ නැහැ’ කිව්වා. ‘අනේ
තව එකක් අමතක වුණොනේ නානකඩේ ගේ පිටිපස්සේ වැලේ දාලා ආවේ. එයත් ගේනවද?’
ඇහුවා. ‘හොඳයි’ කියා නැවතත් ගොස් එයත් අරගෙන ආවා. ඊට පස්සේ කියනවා
‘උපාසක බලන්නකෝ මගේ මතකය. මම අද නෑව තැන මගේ ඉන පටිය තිබ්බා’ කිව්වා.
ඔහු ගොස් එයත් ගෙනවිත් දුන්නා. නැවත කියනවා ‘උපාසක, තරහ වෙන්න එපා මගේ
පෙරහන්කඩෙත් පුළුවන්නම් ගෙනත් දෙන්න’ කියා. දුවල ගිහින් එයත් ගෙනාවා.
නැවත අහනවා ‘උපාසක තරහ නැහැ නේද?’ ‘නැහැ’ කිව්වා. තව පොඩි උදව්වක්
කරන්න. මගේ ඉඳිකටු ගුලාවත් ගෙදර’ කිව්වා. ගිහිං එය රැගෙන එද්දී එතැන අර
ස්වාමින් වහන්සේ නැහැ. සක් දෙවිඳු ඉන්නවා. සක් දෙවිඳු කියනවා ‘හරිතාලය,
ඔබ රෑ මුළුල්ලෙහි එහාට මෙහාට යාමෙන් දුෂ්කර දෙයක් කළා’. එවිට හරිතාල
කියනවා ‘ස්වාමිනී මම දුෂ්කර දෙයක් කළේ නැහැ. මට ඇඟේ පතේ හොඳට හයිය
තිබෙනවා. කියා.
මෙයින් අපට තේරෙනවා හරිතාල තිස්සගෙයි, බිරිඳගෙයි තිබුණ ගුණවත්කම. ඒ
හරිතාලට තිබුණා ඒවා වෙන කෙනෙක් අතේ යවන්න. නැතිනම් බිරිඳට තිබුණා කෑම
කාලා යන්න කියන්න. එකපාරක් දෙවැනි පාරත් ගිහින් ආවාම හරිතාලට හිතෙන්න
පුළුවන් ‘ඇයි මේ හාමුදුරුවන්ට එකපාර මේවා කියන්න බැරි? දෙතුන් පාර එහාට
මෙහාට යද්දී හිතෙනවා ‘අනේ මේ හාමුදුරුවන්ට මක්වෙලා ද? කල්පනාවක්
නැද්ද? කියා. එසේ සිතුවෙත් නැහැ.
ඉතින් සක්දෙවිඳුන් කියනවා හරිතාලය, ඔබ මිනිසුන් අතර දෙවියෙක්. ඔබේ
බිරිඳ මිනිසුන් අතර දෙවඟනක්. තුසිත දිව්‍ය ලෝකයේ ඔබේ විමානය පහළවෙලා
තිබෙන්නේ’. කියා කිව්වා.
එහෙනම් මේ විමාන පහළ වුණේ සල්ලි වලට නොවේ. ධර්මයකින්. ඒ ධර්මය ඉවසීමේ
ධර්මය යි. මෛත්‍රිය ධර්මය යි. පීඩාව දරාගෙන ආවේගයට ඉඩ නො දීමේ ධර්මය
යි. අධර්මය ඈත් කරලා ධර්මය ගන්නවා කියන්නේ හරි අමාරු දෙයක්.
සද්පුරුෂයෙක් වෙන එක මේ ලෝකයේ ඉතාම දුෂ්කර දෙයක්. අසද්පුරුෂයෙක් වීම
ඉතා පහසුයි. කවුරුත් එයට අනුබල දෙනවා. අපට කෙතරම් දහම් දැනුම තිබුණත්,
ධර්මය අප තුළ නැත්නම් අර දැනුම ප්‍රයෝජනවත් වන්නේ නැහැ. අවසාන මොහොත
නමැති විභාගෙට අප කවුරුත් මුහුණ දෙනවා. ඒ විභාගයේ විනිශ්චය ගේන්නේ
තමන් රැස්කළ දේ. තමන් ධර්මය රැස් කළානම් ධර්මය විසින් විනිශ්චය ගේනවා.
තමන් අධර්මය රැස්කළා නම් අධර්මය විසින් විනිශ්චය ගේනවා.
එනිසා ගෞතම බුද්ධ ශාසනය තුළදීම ඔබටත් ප්‍රඥාවන්තයන් වී මේ ධර්මය ස්පර්ෂ
කරන්න දුර්ලභ වූ භාග්‍යය උදාවේවා!
නයනා නිල්මිණි ලියනගේ |