Print this Article


බෝධිපාක්ෂික දියුණු සිත කෙලෙසුන්ගෙන් නිදහස්

බෝධිපාක්ෂික දියුණු සිත කෙලෙසුන්ගෙන් නිදහස්

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රාවකයෙක් භාවනාවේ යෙදෙන විට ඔහු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කර ගන්නවා. නමුත් ඔහුගේ සිතේ මොහොතකටවත් “අනේ මේ ක්‍රියාව තුළ මගේ සිතේ තිබෙන කෙලෙස් නැතිවේවා” කියා ප්‍රාර්ථනාවක් ඇතිවන්නේ නැහැ. බලාපොරොත්තුවක් නැහැ. එසේ ප්‍රාර්ථනා නො කළත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවා නම් ඔහුගේ සිත කෙලෙසුන්ගෙන් මිදෙනවා

 සංයුක්ත නිකායේ ඛන්ධ සංයුක්තියට අයිත් ‘වාසිජටෝපම’ සූත්‍ර දේශනාවයි ඉගෙන ගන්නේ. ‘වාසිජට’ කියන්නේ ‘වෑ මිට’ කියන අර්ථය යි.

දිනක් තථාගතයන් වහන්සේ දම්සභා මණ්ඩපයට රැස් වූ ස්වාමින් වහන්සේලට වදාළා ‘මහණෙනි, මම දකින කෙනාටයි, දන්න කෙනාටයි ආශ්‍රවයන්ගේ ක්ෂයවීම දේශනා කරනවා. කුමක් දන්න කෙනාගේද? කුමක් දකින කෙනාගේද? ආශ්‍රවය ක්ෂය වෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර , විඤ්ඤාණය කියන පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දන්න පුද්ගලයා හා අනිත්‍ය වශයෙන් දකින පුද්ගලයාගේයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ. පංචස්කන්ධය අනිත්‍ය ලෙස දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය කොටස් තුනකට බෙදා දකින හැටි වදාළා. මේ රූපය, මේ රූපයේ සමුදය, මේ රූපයේ අත්තංගමය කියා දකින, දකින පුද්ගලයාගේයි ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ. මේ වේදනාව, මේ වේදනාවේ සමුදය, මේ වේදනාවේ අත්තංගමනය කියා දන්න හා දකින පුද්ගලයා ගේ ආශ්‍රවයන් ක්ෂය වෙනවා. මේ සංඥාව, මේ සංඥාවේ සමුදය, මේ සංඥාවේ අත්තංගමනය කියා දන්න, දකින කෙනාගේත් ආශ්‍රවයන් ක්ෂය වෙනවා. ඒ වගේ සංඛාරයත්, විඤ්ඤාණයත් විස්තර කරනවා.

රූපය කියන්නේ සීත, උෂ්ණ ආදියෙන් විකෘතිවන සතර මහ ධාතුන්ගේ සංයුතියෙන් යුක්ත දෙයක්. රූපයේ සමුදය ලෙස හඳුන්වන්නේ ආහාර. ආහාර ලැබීමෙන් තමා රූපය පවතින්නේ. ආහාර නැතිවීමෙන් රූපය නැතිවෙලා යනවා. යමෙක් මේ රූපය කියා දෙයක් තිබෙනවා කියා දන්නවා. රූපය නැතිවෙන්නේ මේ නිසා කියා දන්නවා. සරලව කිව්වොත් රූපය පිළිබඳව මේ දකින්නේ ඇතිවීම හා නැතිවීමයි. ඇතිවීම සහ නැතිවීම කියන වචන දෙකම අනිත්‍යය කියන වචනය නියෝජනය වෙනවා. තථාගතයන් වහන්සේ වදාළා යමෙක් රූපයේ අනිත්‍ය වශයෙන් දන්නවානම්, අනිත්‍ය වශයෙන් දකිනවානම් එසේ අනිත්‍ය වශයෙන් දකින කෙනා ඒ රූපය දකින්නේ නැහැ. රූපය අල්ලා ගන්නේ නැහැ. රූපයට කැමැති වෙන්නෙ නැහැ. සතුටු වෙන්නේ නැහැ. කිඳා බසින්නේ නැහැ. ඒ තුළ ඔහුගේ් සිතේ කෙලෙස් පහළ වන්නේ නැහැ. රූපය අනිත්‍යය වශයෙන් දකින තරමට ඔහු ඒ රූපය කෙරෙහි කලකිරෙනවා. කලකිරෙන තරමට රූපය අතහරිනවා. අතහරින තරමට රූපය සමඟ බැෙඳන ආශ්‍රවයන් තිබෙනවානම්, ඒ ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

ඒ ආකාරයට වේදනාව ගැනත් කල්පනා කරනවා. එහි අනිත්‍යය දකිනවා. වේදනාව කියන්නේ විඳීමයි. සුඛ, දුක්ඛ, උපේක්ෂා, සාමිස, නිරාමිස ආදී වශයෙන් වේදනා විවිධ වෙනවා. ඒ වේදනා සමුදය ලෙස හඳුන්වන්නේ ස්පර්ෂය යි. වේදනාව හට ගන්නෙ ස්පර්ෂයෙන් නම් ස්පර්ෂ නැතිනම් වේදනාවක් නැහැ. ඒ වේදනා අත්තංගමය. වේදනාව හට ගැනීම ස්පර්ෂයෙන් නම් නැතිවීමෙන් ස්පර්ෂ නිරෝධය යි. ස්පර්ෂය නැතිවීම යි. යමෙක් වේදනාව අනිත්‍යය වශයෙන්, ඇතිවීම්, නැතිවීම් වශයෙන් දකිනවා නම් ඔහු ඒ වේදනාවට බැෙඳන්නේ නැහැ. ඒ වේදනාවේ බැඳීම නිසා හට ගන්නා යම්කිසි ක්ලේෂයක් තිබෙනවා නම් ඒ ක්ලේෂය හට ගන්නෙත් නැහැ. වේදනාව අනිත්‍යය වශයෙන් දකින කෙනා වේදනාව පිළිබඳව අවබෝධයෙන් කලකිරී එය අත හරිනවා. ඒ අතහැරීම තුළ වේදනාව පදනම් කරගෙන ඇතිවන ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා.

ඊළගට සංඥා. සංඥාව කියන්නේ අරමුණු හඳුනා ගැනීම. සංඥා සමුදය ලෙස හඳුන්වන්නේ ස්පර්ෂයම යි. සංඥා අත්තංගමය ලෙස හඳුන්වන්නේත් ස්පර්ෂ නිරෝධය යි.

සංස්කාර කියන්නේ කර්ම සකස් කිරීම යි. කර්ම සකස් කිරීමේ සමුදය වන්නේ ස්පර්ෂය යි. එහි නිරෝධය ස්පර්ෂ නිරෝධ ය යි.

ඒ වගේම විඤ්ඤාණය යනු දැන ගැනීම යි. විඤ්ඤාණය දැනගන්නේ ස්පර්ෂය තුළිනු යි. ස්පර්ෂය තමා විඤ්ඤාණ සමුදය. ස්පර්ෂ නිරෝධය තමා විඤ්ඤාණ නිරෝධය.

මේ ආකාරයට යමෙක් පංචස්කන්ධයන්ගේ තිබෙන මේ ගොඩවල් පහ වෙන වෙනම හඳුනා ගන්නවා, දැන ගන්නවා. ඒ වගේම ඒ ගොඩවල් අනිත්‍යය වශයෙන් අවබෝධ කර ගන්නවා. එහෙම නම් දකින සහ දන්න පුද්ගලයාට තමා ආශ්‍රවයන් ක්ෂය වෙන්නේ කියා තථාගතයන් වහන්සේ වදාළා. පංචස්කන්ධය අවබෝධයෙන් දකින පුද්ගලයා ඒ පංචස්කන්ධයේ යථා ස්වභාවය දන්නවා. යථා ස්වභාවය කියන්නේ ඇතිවීම, නැතිවීම හෙවත් අනිත්‍යයි. යමෙක් පංචස්කන්ධයේ අනිත්‍යය දකිනවානම්, ඒ පංචස්කන්ධයන්ට ඇලෙන්නේ නැහැ. ඒ ඇලීම තුළ යම් ආශ්‍රවයන් ඇතිවෙනවා නම් නැගිටිනවානම් එබඳු ආශ්‍රව නැගිටින්නේ නැහැ. ඒ ආකාරයට ආශ්‍රවයන් ක්ෂය කරන කෙනෙකුට පමණයි අවබෝධයෙන් අනිත්‍යය දැක ආශ්‍රවයන් ක්ෂය කර ඔහුගේ සිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.

ඊළඟට උන්වහන්සේ වදාළා මහණෙනි, භාවනාව කරන සමහර පිරිස් භාවනාවට වාඩි වෙලා ප්‍රාර්ථනා කරනවා, කැමැත්තක් ඇතිකර ගන්නවා ‘අනේ මගේ සිතේ තිබෙන කෙලෙසුන් දුරු වෙලා යනවානම් හොඳයි. මගේ හිත කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදෙනවානම් හොඳයි’ කියා. එහෙම කැමැත්තක් ප්‍රාර්ථනාවක් ඇතිකරගත් පමණින් හිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ නැතිබව උන් වහන්සේ වදාළා ප්‍රාර්ථනාවකින් එසේ කරන්න බැරි ඇයි? ඒ තමා අබාවික මනස. ඔහු ආශ්‍රවයන්ගෙන් සිත මුදවා ගැනීමට අවශ්‍ය කරන භාවිතා කළ යුතු පුරුදු කළයුතු ගුණ ධර්ම පුරුදු කරන්නේ නැහැ. එහෙම පුරුදු නොකර කෙ තරම් සිත කෙලෙසුන්ගෙන් මිදේවා කියා ප්‍රාර්ථනා කළත්, එය සිදුවන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ වදාළා සිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීමට කැමැති පුද්ගලයෙක් බෝධිපාක්ෂික ධර්ම පුරුදු කළයුතුයි කියා. එහි ධර්ම තිස්හතක් තිබෙනවා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ක්‍ධංග ධර්ම හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය. මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන දියුණු කරන කෙනෙකුට පමණයි හිත කෙලෙසුන්ගෙන් මුදා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. පුරුදු කරන්නේ නැතුව දියුණු කරන්නේ, වඩන්නේ නැතුව කවුරුහරි කෙනෙක් මට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කළාට එය ඉටු නොවන බව උන්වහන්සේ වදාළා.

ඒ වගේ ම මේ කියන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ නැති කෙනෙක් මගේ සිත කෙලෙසුන්ගෙන් මිදේවා කියා ප්‍රාර්ථනා කළාට එයත් ඉෂ්ඨ වන්නේ නැහැ. ඔබ නිවන් අවබෝධය උදෙසා හොඳ දෙයක් කරන විට ඒ සෑම දෙයක්ම මේ බෝධිපාක්ෂික ධර්මවලට ගලපා කරන්න. අප දානයක් දුන්නත් බෝධි පූජාවක් කළත්, වෙනත් පින්කමක් කළත් ඒ තුළින් සතර සතිපට්ඨානය වැඩෙන්න ඕන. එහෙම නැත්නම් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දියුණුවෙන්න ඕන. නැත්නම් සතර සෘද්ධිපාද, සතර පංච ඉන්ද්‍රිය, පංච බල, දියුණු වෙන්න ඕන. එහෙමත් නැතිනම් සප්ත බොජ්ක්‍ධංග හෝ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දියුණු වන්න ඕන. එසේ කළොත් එය කුසලයක් වෙනවා. එය නිවනට උපකාරයක් වෙනවා.

තථාගතයන් වහන්සේ නැවත වදාළා පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රාවකයෙක් භාවනාවේ යෙදෙන විට ඔහු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කර ගන්නවා. නමුත් එසේ ඔහුගේ සිතේ මොහොතකටවත් “අනේ මේ ක්‍රියාව තුළ මගේ සිතේ තිබෙන කෙලෙස් නැතිවේවා” කියා ප්‍රාර්ථනාවක් ඇතිවන්නේ නැහැ. බලාපොරොත්තුවක් නැහැ. එසේ ප්‍රාර්ථනා නො කළත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවානම් ඔහුගේ සිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. නිවන කියන්නේ ප්‍රාර්ථනා කර ලබන්න පුළුවන් දෙයක් නොවේ. ඒ මඟෙහි ගමන් කරන්නාට ප්‍රාර්ථනා නො කළත් නිවන ලැබෙනවා. අප කරන පින සත්තිස් බෝධිපාක්ෂික වැඩෙන අයුරින් සිදු කරනවා ප්‍රාර්ථනාවන් කළයුතු වන්නේ් නැහැ. සත්තිස් බෝධිපාක්ෂික යනු නිවන ඉලක්ක කරගත් ධර්මතාවයක්.

බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, වාසි ජටෝපම කියන්නේ වෑ මිටක් තිබෙනවා. මේ වෑය අරගෙන යම් පුද්ගලයෙක් පොල් ලී සහිනවා. ඒක අල්ලන මිටේ ඇඟිලි සලකුණු එතැන රැදෙනවා. නමුත් ඔහුට දැනුමක් නැහැ මම මේ විදිහට වෑ මිට අල්ලපු නිසා මිටෙන් මෙතරම් ප්‍රමාණයක් අද ගෙවුනා. ගිය සතියේ මෙතරම් ප්‍රමාණයක් ඊට කලින් මෙතරම් ප්‍රමාණයක් මේ මිටෙන් ගෙවුනා කියා ඔහුට දැනෙන්නේ නැහැ. නමුත් ඔහුට කිසියම් දැනුමක් අවබෝධයක් තිබෙනවා මිට ගෙවුනාට පස්සේ මේ මිට තිබුණාට වඩා දැන් ගෙවිලා කියා. ඒ වගේ භාවනානුයෝගිව කටයුතු කරන භික්ෂුව භාවනා කරන අතර ඔහුගේ සිතේ මෙතරම් කෙලෙස් ගෙවුනා කියලා දැනීමක් නැහැ. නමුත් යම් දිනක ඔහු සියලුම කෙලෙසුන්ගෙන් මිදුනාම ඔහුට දැනෙනවා මගේ සිත කෙලෙසුන්ගේ මිදුන බව. එහෙමනම් මේ දැනීම නැත්තේ සාමාන්‍ය පෘතග්ජන පුද්ගයාට යි. සෝවාන් ඵලයේ සිට ඉහල තලයට පත්වූ අයට එය වැටෙහනවා. මගේ සිතේ නැතිවූ කෙලෙස් මේවායි කියා අවබෝධයෙන් දන්නා අතර නැති කිරීමට තිබෙන කෙලෙස් මේවා කියා දැනුමෙන් ඔහු දන්නවා. මේ කෙලෙස් නැතිකිරීමේදී දැනුම අවශ්‍ය වන්නේ ප්‍රත්‍යක්ෂභාවය සඳහා. මුලින් දැනුවත් වෙලා පසුව ප්‍රත්‍යක්ෂ කර ගන්නවා.

තථාගතයන් වහන්සේ වදාළා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අවසාන ඉලක්කය තමා අනිත්‍ය සංඥාව. සියල්ලම අනිත්‍යය කියා දකින කෙනා වෙන වෙන දේ වලට බැඳෙන්නේ නැහැ . බැඳීමක් ඇතිවුණොත් දුක ඇතිවෙන්නේ කියා අවබෝධයෙන් දන්නවා. මේ දුක කවුරුත් නිසාවත් ඇති වූ දෙයක් නෙමේ. මා විසින්ම ඇතිකර ගත් දෙයක් කියා අවබෝධයෙන් කළකිරෙනවා.

එනිසා ඔබටත් පංචස්කන්ධයට නො බැඳි අනිත්‍ය දකිමින් වාසය කරන්න ශක්තිය ලැබේවා!