Print this Article


සීල කුසලයේ පරමාර්ථය හා ආනිශංශ නුවණින් විමසා බලමු

සීල කුසලයේ පරමාර්ථය හා ආනිශංශ නුවණින් විමසා බලමු

සීලය (ශීලය) යනු මිනිසාගේ “චර්යාව“ හැඳින්වීමට භාවිතා වන වචනයකි. එම චර්යාව “දුසීල-සුසීල” වශයෙන් දෙයාකාර වේ. සුසීල චර්යාව “බ්‍රහ්ම චර්යාව“ නමින්ද හැඳින්වේ. නාමකය තුළ පවත්නා අකුසල හා කුසල ශක්ති පදනම් වීමේ දෙයාකාර දුසීල හා සුසීල චර්යාවන් සකස් වේ. මේ කිසිවක් අවබෝධ කොට නොගත් බොහෝ බැතිමත්හු සීලය වෘතයක් බවට පත් කොට ගෙන සීල සමාදානය සඳහා විවිධ ස්ථාන කරා ගමන් කරති. සීල කුසලයේ පරමාර්ථ හා ආනිශංස වටහා නොගත් අනුශාසකයෝ ද සීල ව්‍යාපාර බවට පත්කොටගෙන තිබේ. තිලෝගුරු අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ අවබෝධය සරණ කොට ගෙන ශික්‍ෂණයේ යෙදීමයි. එබැවින් කුසල ශීලයේ අර්ථය කුමක්ද? එහි ආනිශංස කුමක්දැයි අවබෝධ කර ගැනීමට තිලෝගුරු බුදුන් වහන්සේට සවන් දෙමු.

එක්තරා දිනකදී ආනන්ද හිමියන් බුදුන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසා සිටියේ ය. කිමත්ථානි භන්තෙ කුසලානි කිමානිසංසානි?

ස්වාමින් වහන්ස, කුසල සීලය කුමක් අර්ථකොට ඇද්ද? කුමක් ආනිශංශ කොට ඇද්ද? හෙවත් කුමණ ප්‍රතිඵලයක් සඳහාද? එවිට බුදුන් වහන්සේ කුසල සීලය මෙසේ පැහැදිලි කළ සේක.

අවිප්පටිසාරත්ථානි බො ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානිසංසාති.(එම සූත්‍රය) 1. ආනන්දය කුසල සීලය සිත තුළ පවත්නා විපිළිසරභාවය (කැළඹිලිගතිය) දුරලීම අර්ථ කොට ඇත. එයට ආනිශංශ කොට ඇත. කුසල සීලයේ සිත තුළ නොවිපිළිසරභාවය උදා කරයි. නොවිපිළිසරභාවය කුමක් අර්ථ කොට ආනිශංශ කොට ඇද්දයි ඇසූ විට.

එමගින් සිතතුළ පාමොජ්ජ හෙවත් ප්‍රමෝද බව ඇති කරන බව වදාළ සේක. මේ ආකාරයෙන් මේ එක් එක් මනෝ භාවයන් කුසල සීලයෙන් උදාවෙන ආකාරය මෙසේ පෙන්වා දුන් සේක.

ඉති බො ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටි සාරානිසංසානි අවිප්පටිසාරො පාමොජ්ජත්ථො ... පාමොජ්ජං පීතත්ථං ... පීතිපස්සද්ධො... පස්සද්ධි සුඛත්ථා... සුඛ සමාධත්ථං... සමාධි යථාභූත ඤාණදස්සනත්ථො... යථාභූත ඤාණදස්සනත්ථං නිබ්බිදා විරාගත්ථං... නිබ්බිදාවිරාගො විමුක්ති ඤාණදස්සනත්ථො විමුක්තිඤාණ දස්සනානි සංසො ඉති බො ආනන්ද කුසලානි සීලානි අනුපුබ්බෙන අග්ගාය පරෙන්තිති. (කිමත්ථිය සූත්‍රය- අංගුත්තර නිකාය)

මෙලෙස කිමත්ථිය සූත්‍ර දේශනාව මගින් කුසල සීලය භාවිතා වීමෙන් එක් එක් ධර්මතා පමුණුවමින් අවසානයේ අර්හත්ව සංඛ්‍යාත අග්‍රයට පමුණුවන ආකාරය සරලව දකිමු.

කුසල සීලයෙන් පළමුවෙන්ම සිතට

අවිප්පටිසාරිභාවය පමුණුවයි. සිතේ විපිළිසර බව කැළඹිලි ගතිය නැති කරයි.

එම අවිප්පටිසාරිභාවය(නොවිපිළීසර බව) මගින් සිතට පාමොජ්ජ හෙවත් “ප්‍රමෝද” බව උදා කරයි.

එම පාමොජ්ජ හෙවත් ප්‍රමෝදයභාවය මගින් සිතට පී‍්‍රතිය පමුණුවයි හෙවත් උදාකරයි.

එම පී‍්‍රතිය(පී‍්‍රති) මගින් සිතට පස්සද්ධිය පමුණුවයි. හෙවත් උදා කරයි. පස්සද්ධිය කාය පස්සද්ධිචිත්ත පස්සද්ධිය කියා දෙයාකාර වේ. කයේ හා සිතේ තැන්පත්භාවය එම¼ගින් උදා කරයි.

පස්සද්ධිය මගින් සිතට සුඛය (චිත්ත සුවය) පමුණුවයි හෙවත් උදා කරයි.

චිත්ත සුඛය මගින් සිතට සමාධිය පමුණුවයි හෙවත් උදාකරයි. චිත්ත සමාධිය යනු දිට්ඨිය පූර්වාංගම වී අංග ශතකින් ගොඩනැ‍ෙගන ඒකාංග සිත සමාධිය බව මහා චත්තාර්සක සූත්‍ර දේශනාවේදී (ම නි 3) පෙන්වා දී තිබේ.

යමෙකුගේ සිත සමාධිගත වීමට කුසල සීලය පදනම් වී ඉහත සඳහන් වූ කුසල මනෝභාවයන් පැමිණීම (උදාවීම) සිදුවිය යුතු ය.

මෙහිදී සමාධිය කුමක් අර්ථකොට, කුමක් ආනිශංශ කොට තිබේදැයි ආනන්ද හිමියන් දිගින් දිගටම අසන එකම ප්‍රශ්නයේදී අටවෙනි ප්‍රශ්නයට මෙසේ පිළිතුරු වදාළ සේක.

ආනන්දය, සමාධිය යථාභූත ඤාණ දර්ශනය අර්ථ කොට ඇත. ආනිශංශ කොට ඇතැයි වදාළ සේක. ඒ අනුව සම්මා සමාධිය ධර්මතා යථාභූතව දැන ගැනීම හා දැක ගැනීමේ ඤාණය පමුණුවන බව උදා කරන බව වදාළ සේක. මෙහිදී ආර්ය ශ්‍රාවකයා සත්‍යාවබෝධයට පත්වේ.

යථාභූත ඤාණදස්සනය මගින් වින්දනයේ කලකිරීම හා නොරැඳීම පමුණුවන බව උදාකරන බව වදාළ සේක. නාම ධර්මතා හා රූප ධර්මතා වල යථාභූත ස්වභාවය වන ත්‍රිලක්ෂණය දර්ශනය වීම මෙහිදී උදා වී එමගින් සිත තුළ ජනිත වන වින්දනයේ කලකිරීම හා නො ඇලීම නො රැඳීම පමුණුවයි. උදා කරයි.

ආනන්දය නිබ්බිදා විරාගය මගින් විමුක්තිය හා විමුක්ති ඤාණ දස්සනය පමුණුවයි. උදා කරයි. (ලෞකික මනෝභාවයෙන් විමුක්ත වීමද සිදුවේ. එම ධර්මතාවය ලෝක උත්තර ලෝකෝත්තර නම් වේ).

ආනන්දය මේ ආකාරයෙන් කුසල සීලය පදනම්ව අනුපිළිවෙළින් අර්හත්වය නම් වන අග්‍රයට පමුණුවයි.