Print this Article


බුදු ගුණයක අසිරිය මෙනෙහි කරමු

බුදු ගුණයක අසිරිය මෙනෙහි කරමු

සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වුවාද යන උතුම් වචනය අසා දැන ගැනීමටත් නොහැකිව කෙතරම් සසර සැරිසරමින් සතර අපායට වැටී දුක් ගැහැට වින්දා ද? කියා මොහොතක් සිතා බැලුවා ද? එම අන්ධකාරය සිහිපත් කරනවා ද? ඔබට පෙනෙනවා මහ මඟ තැනින්තැන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර තිබෙනවා. යන එන හැම ස්ථානයකමත් ගෞරව ආකාරයෙන් ද, සාමාන්‍ය ආකාරයෙන් ද නිර්මාණය කර තිබෙනවා. මේ කිසිදු ආකාරයකින් ඒ අසීමිත බුදුගුණවලින් බිඳක් තම ජීවිතය තුලින් ඔපවත් කර බැලීමට ඔබ උත්සහයක් කළා ද? බොහෝ දෙනා පවසන්නේ දූ දරු, රැකීරක්ෂා වෙළෙඳාම් ආදී අනේක විධ කටයුතු තිබෙන නිසා විවේකයත්, කාලයත් නැති බවයි. එයින් අදහස් වන්නේ නැවතත් අන්ධකාරයට යෑමට කැමැති බව නේද? සසරට වැටෙන කර්ම රැස්කර ගනිමින් දුක් විඳීමට කාලය, විවේකය වැඩිපුරත් තිබෙනවා. ඒ සඳහා ම සිත යොමු කරනවා. එහෙත් තමා දිනීමට (ජරා ව්‍යාධි මරණ) උනන්දුවන්නේ කීයෙන් කීදෙනා ද? අඩුම වශයෙන් එක බුදුගුණයක් වත් වචනයෙන්, මනසෙන් මනසිකාරය කරන්න දූ දරුවන්ට පුරුදු පුහුණු කරනවා ද? යන්නත් සිතා බැලිය යුතු වෙනවා.

ජීවිතය ගෙන යෑමට අවශ්‍ය අධ්‍යාපනය, දැනුම, වෘත්තිය පුහුණුවත් ලබාදීමත් කළ යුතුම වෙනවා. එයට සිතේ මානසික සැනසීමට සසර බියකරු භාවය අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් නොවන බව හොඳින් තේරුම් ගත යුතු වෙනවා. කුඩා කල පටන් පවට බිය වී හිරි ඔතප් ඇතිකරගෙන තම පවුල් සංස්ථාව තුළ ජීවිතය අසීමිත බුදුගුණ වලට වන්දනා කරමින් නිරතුරුව ආරක්‍ෂාව රැකවරණය සෙත ශාන්තිය සලසා ගත් පවුලක් පිළිබඳ මතක් කර දීමට අදහස් කරනවා. ඒ තුළින් ඔබටත් අප කරන අනුවණ කම් තේරුම්ගෙන එදිනෙදා ජීවන කටයුතු සැහැල්ලුවෙන් කරගෙන සතර සංග්‍රහ වස්තුවෙන් ජීවිත ආලෝකමත් කරගෙන කෙලෙස් ගඟ සිඳවා ගැනීමට පුළුවන් බව තව දුරටත් කරුණු කාරණා තේරුම් ගැනීමට මඟ හෙලි පෙහෙලි කරගැනීමට භාග්‍ය ඇති වෙනවා. එයින් විවේකය සැනසීම කුමක්ද? යන්න වටහා ගැනීමට පුළුවන් කම ලැබෙනවා.

බුදුන්වහන්සේ තමන් ලොවට පහළ වන්නේ ලද මිනිස් භවය අඳුරට නොවැටී දහමෙන් සකසා ගැනීමටත් අප්‍රමාදීව කුසල් දහම් කරගැනීමට නිවැරදි මාවත ලෝකයාට මතු කරදීමටත් සනාථන දහම වන ත්‍රිලක්‍ෂණය ලෝකයාට අනාවරණය (හෙලිදරව් කිරීමට) කරමින් ආර්ය සත්‍යය අවබෝධ කොට ගෙන ශාන්ත සුවය අත්පත් කර ගැනීමට මං සලසා දීමට යි. එහි සුවය ප්‍රමාද කරගෙන නිමක් කොනක් නැති දිගු සසරට වැටීමට හේතු නිර්මාණය කර ගන්නේ සුවයක් ලැබේය කියා විශ්වාස කොට ගෙන ද? එසේ නම් ඔබ තවමත් මිථ්‍යා දෘෂ්ඨිය වැළඳගෙන ප්‍රමාද කටයුතු කරන බව සිහියට ගත යුතු වෙනවා.

ලොව්තුරු බුදුගුණ තුළින් එක ගුණ බිඳක් නිරතුරුව සිහිපත් කළොත් අපගේ ජීවිතවලට ලැබෙන මහත් සැනසිල්ල කෙතරම් වටින්නේ ද? කියලා මොහොතක් සිතා බලමු. රජගහනුවර එක්තරා පවුලක කුල දරුවෙක් හොඳින් වැඩෙයි. ඔහුගේ දෙමාපියන් ද තෙරුවන් කෙරෙහි බලවත් පැහැදීමකින් කටයුතු කරයි. එදිනෙදා ජීවිතයට උපයෝගි කරගෙන සිත තුළ දහම මැන බලයි. තම පුතාට ද කුඩා කල සිටම ස්වාමින්වහන්සේ නමක් දුටු තැන ‘සාධු’ කියා වඳින්නට පුරුදු කර වූහ. ‘නමෝ බුද්ධාය’ යන වචනය පුරුදු පුහුණු කරයි. එම උතුම් වදන පුතාගේ මුවින් නිතර ප්‍රකාශයට පත් වූහ. යන එන ගමනේ දී නිදන පුබුදින විට දී ක්‍රීඩා කටයුතුවල දී භාවිතා විය. මෙම ශ්‍රේෂ්ඨ වචනය තමා සමඟ ක්‍රීඩා කරන මිසදිටු ළමයින් ද කීමට පුරුදු විය.

ඒ මිසදිටු ළමයි එහි අරුත දැන නොසිටියත් නිතර කියවීමට පුරුදු වුනා. දිනක් එම ගමෙහි මිසදිටු පියෙක් දර ගෙනෙනු පිිණිස නුවරින් බැහැර ඝන වන ලැහැබකට ‘නමො බුද්ධාය’ කියා කීමට පුරුදුව සිටි තම පුතා සමඟ පිටත්ව ගියේ ය. එම දරුවා නිරතුරුව මෙම ‘නමො බුද්ධාය’ කියන උතුම් වචනය පුහුණු කළේ ය. දර සොයා ගෙන ආපසු ඒමට නොහැකි විය. රාත්‍රි කල කැලයේ නැවතීමට විය. ගැල් කරත්තය නවතා නින්දට වැටුණි. ඒ ප්‍රදේශය යකුන්ගෙන් යුතු විය. එක් යක්ෂයකු පියා සහ පුතු නිදන තැනැට පැමිණ දරුවාගේ කකුලෙන් අදින්නට විය. එකෙණෙහිම ළමයා තමාට පුරුදු කළ භාවිත කළ ‘නමො බුද්ධාය’ යන වචනය සිහිපත් විය. නින්දෙන් ම අවදි විය. යකා වෙවුලමින් වේගයෙන් පැන ගියේ ය. යකුන්ගේ උවදුරක් ගැන නොදත් දරුවා බිය තැති ගැනීමක් නොවී සුවසේ පියා සමග තම නිවසට පැමිණියේ ය. මෙම සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර ගියේ ය. ඒ නිමිති කොට පහත සඳහන් ගාථාව දේශනා කර වදාළ සේක. එහි ගාම්භීරත්වය ප්‍රමාණ වශයෙන් සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැක.

සුප්පබුද්ධං පබුජ්ජන්ති
සදා ගොතම සාවකා
යෙසෙට දිවා ච රත්තෝච
නිච්චං බුද්ධ ගතාසති

දිවා රාත්‍රි නිරන්තරයෙන්ම බුදු ගුණ සිහිපත් කරමින් තමා තුළ හටගන්නා වූ රාග, ද්වේශ, මෝහ ආදි අකුසල සිතිවිලි බැහැර කරමින් ක්‍රම ක්‍රමයෙන් බුදු මඟ යන සවිමත් සැම සුවසේ කල්ගත කර සුවසේ නිදත්. සුවසේ ප්‍රබෝධයෙන් අවදිවෙත්. එදා බුදු බණ අසා තමා දෙසට පමුණුවා ගත් ශ්‍රාවකයන් සියලු හුදු කටයුතු කරමින් දැහමෙන් සෙමෙන් ජීවිත ගෙවා ලොව්තුරු මග ඵල නිවනට පත් වූහ. විවේක සුවය, සැනසීම කටයුතු කරමින්ම ලැබුවාය. දිවා රාත්‍රි කර්මාන්තවල යෙදෙමින් භාවිතා කළේ ය. දෙදෙනෙක් තිදෙනෙක් එක් රැස් වූ විට දහමින් පෝෂණය වූ සිත් සහනය කරන දැහැමි කථා කළේය. එකි නෙකාගේ සුහදත්වය වර්ධනය වූයේ ය. කලහ විවාද තණ්හා ලෝභ මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ සිතිවිලි සමනය කර ගත්තේ ය. දහමෙන් සැනසුනේ්ය. හුදකලාව භාවනා අරමුණක සිත පිහිටුවා පී‍්‍රති ප්‍රමෝදය ලැබුවේ ය. විදසුන් නුවණින් සියලු ගිනි නිවා ගත්තේ ය.

වත්මන් සමාජය තුළ විවේකය නැතැයි කියන්නේ ඔවුන්ගේ අදක්‍ෂකම අනුවණ කම නිසාම ය. එදා සැදැවතුන් තම ජීවිතය දහමෙන් පෝෂණය කරගෙන ප්‍රායෝගිකව ලත් සුවය තම දරුවන්ටත් පුරුදු කළේ ය. ඒ ආභාෂය දරුවන් ද වගා කර ගත්තේ ය. ඒ සිත් සතන් වල් බිහි නොවූයේ ය. අද කුමක් සිදුවෙනවා ද යන්න තම තම නැණ නුවණින් විමසා බැලිය යුතුය. තමනුත් දරුවනුත් තණ්හාව වැඩෙන පැත්තට ම (භෞතික දේ පසු පස) තරගකාරිව දිව යන්නේ ය. එහි දිවගොස් ලබන සැනසුම කුමක් ද? එදවස නිදා ගන්නා අවස්ථාවේත් බුදුගුණ, දහම් ගුණ, මහා සඟ ගුණ මෙත් ගුණ, අසුභය, ආදි භාවනා මනසිකාරයෙන් කරමින් විවේක සිතකින් නින්දට අනුගත වූයේ ය.

අද අඩුම වශයෙන් නිදා ගන්නට ගිය මොහොතේ වත් පවුල් සංස්ථාව තුළ තෙරුවන් වැඳ සමඟිය සමාදානය වූ සිතක් මැන බලනවාද යන්න විමසා බැලිය යුතුවේ. බොහෝ දෙනා හරවත් සාරවත් දේට වඩා නිසරු වූ දෙය ප්‍රණීත කොට ගෙනම කෙලෙස් සිත් උපදවනවා. රූප රාමුව තුළ නැරඹු ලාමක දර්ශන, විකාර දර්ශන, නරඹා රාගය, ද්වේශය, මෝහය වැඩෙන අයුරින් ම ඊළඟ දවස වනතෙක් ගිලන් සිතකින්ම බලාපොරොත්තු තබා සිටිනවා. එදිනට විදුලිය නැතැත් වෙනත් ගෙදරකට වෙනත් ප්‍රදේශයකට හෝ ගොසින් එම ලාමක දේ බැලීමට උත්සාහ වෙනවා. දරුවන් නොමඟ යන, ද්වේශ, ක්‍රෝධය, වෛරය, පටිඝය බහුල වශයෙන් වැඩෙන දර්ශන බහුලවෙමින් පවතිනවා. ඒවා නරඹා තමා ද හිංසාව පිණිස, අතත්ඥානය පිණිස, කාම මිච්ඡාචාරය පිණිස, බොරු කීම පිණිස, මතට ප්‍රමාදයට යොමු වන පිණිසම පාප මිත්‍ර සේවනයට කුඩා කල සිට යොමු වෙනවා. එහි භයානක විපාක සමාජය තුළින් සිදුවෙන ක්‍රියාකාරකම් තුළින් ප්‍රකටව පේනවා. මෙම දර්ශන නැවැත නැවත මෙනෙහි කිරීම තුළින් දරුවාගේ සිත තුළ රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, හිංසා පීඩා සිදුකිරීම බහුල වී තිබෙනවා. සියලු දර්ශනම අහිතකර බව කියනවා නොවෙයි. ඒවා කරණ කොට පිරිහෙන පැත්තට සිත යොමු වෙන ප්‍රවණතාව වැඩිවීමක් විය හැකි ය.

එම නිසා අවුලාගත් ගිනිදැල් නිවා ගැනීමට වත් බුදු ගුණයක අසිරිය මෙනෙහි කර ද්වාර සංවරය ඇතිකර ගැනීමට වීර්යය සලසා ගනිමු. අරහං බුදු ගුණය තුළින් සිත් සකසා ගනිමු.

ඇසින් රූප දැක ඒ රූප කෙරෙහිද, කණින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි ද, නාසයෙන් ගඳ සුවඳ විඳ ඒ ගඳ සුවඳ කෙරෙහිද, දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි ද, කයින් පහස ලබා ඒ පහස කෙරෙහිද, මනසින් අරමුණු ලබා ඒ අරමුණු කෙරෙහි තථාගතයන් වහන්සේ නොඇලුනු සේක, නොගැටුන සේක. මුලා නොවුණු සේක. ආශාවන් දුරු කළ සේක, නිවීමට පත් වූ සේක, මාද එසේ නුවණින් ද්වාර සංවරය කොට ගෙන බුදු මඟ වඩන්නෙමි. රූප ශබ්ද, ගන්ධ, රස, පහස ධම්ම යන අරමුණු කෙරෙහි ඇලෙන බැෙඳන ගැටෙන සිත ක්‍රමක් ක්‍රමයෙන් මුදාගෙන යථාර්ථය දැක (අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම) විදසුන් නුවණින් සිත සනසා ගනිමු. දාන්ත කර ගන්නෙමි. කෙලෙස්ගිනි නිවා ගනිමි. නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරත්වා.