රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 28
එක්ව ගමන් කළ සසර ගමන
ජනක වෙත්තසිංහ
වරක් කියවූවද සෑහීමකට පත් නොවූ හිත දෙවැනි වරට ද කියවීමට තරම් මේ ‘
ශාසනාවතරණය’ ඔහුගේ සිත ආකර්ෂණයට පත් කළේ ය. ‘ශාසනාවතරණය’ දෙවන වර
කියවීමත් සමඟ එවකට වසර 26 ක් පමණ වූ මේ නව යොවුන් තරුණ ගුරුවරයාගේ
ජීවිත පොතේ ගිහි දිවිය හා බැඳෙන අවසන් පරිච්ඡේදය දෛවය විසින් ලියා නිම
කරමින්
පැවතියේ ය. ජීවිතය හොඳින් විමසා බැලිය හැකි ජවාධික තරුණ අවධියේ දී ම
ගිහිගෙය හැරයාමට තරම් හිත ප්‍රබල පරිවර්තනයකට පත් වූයේ රේරුකානේ මහා නා
හිමියන්ගේ පොත් පෙළෙහි වූ විශිෂ්ට ආකර්ෂණීය බව ය
කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්ට මතක තවත් අපූරු සිද්ධියකි මෙය. නාවික
ඉංජිනේරුවරයකු වූ ඔහු ලෝකයේ බොහෝ රටවල සංචාරය කරමින් විශාල වශයෙන්
මුදල් හම්බ කළ මෙන්ම නාස්ති කළ අයෙකි. හෙතෙම කමින් බොමින්, නටමින්,
රඟමින් නිරපරාදේ ධනය වැය කළේ නිශ්ඵල දේ සඳහා ය.
ඒ අතර වාරයේ භාග්‍යයකට මෙන් අතහැරීමට නො හැකි කලණ මිතුරෝ කීපදෙනෙක් මේ
ඉංජිනේරුවරයාට අහම්බෙන් මෙන් හමු වූහ. මේ කලණ මිතුරු කැල ඉංජිනේරු
මහතාගේ ජීවිතය යහමඟට හරවාලීම උදෙසා ප්‍රඥාවන්තව කටයුතු කළහ.
දුකේදී තව තවත් ළං වෙමින් ඔහු අතැර නොගියෝ ය. එනිසා සැබෑම කලණ මිතුරෝ
වූහ. ඒ වෙනත් කවුරුවත් නොවේ, රේරුකානේ මහා නා හිමියන් ලියූ විශිෂ්ට
ගුණයෙන් අනූන වූ එකිනෙකට නොදෙවැනි වූ අසහාය සදහම් පොත් පෙළ ය. ජීවිතය
කුමක් දැයි නො හඳුනමින් හිස් දිවියක් ගත කළ මේ මනුෂ්‍යයාට දිවියේ
යථාවාදී ස්වරූපය තත්වාකාරයෙන් පහදාදීමට මෙම සදහම් පොත් පෙළ සමත්වීම
නිසා අද ඔහු ආදර්ශවත් යහත් ජීවිතයක් ගත කරයි.
ඒ ඉන්ජිනේරු මහත්මයාට අත් විඳීමට ලැබුණු තවත් අපූරු අත්දැකීමක් ද මේ
සමඟ මෙනෙහි වෙයි. ඒ එතුමා සිටි ප්‍රදේශයේ ජීවත් වූ රළු ගති ඇති අයකු
පිළිබඳ පුවතකි.
හිරේ විලංගුවේ වැටී අච්චු විඳි මේ තැනැත්තා රළු ගති ඇත්තෙකි. ඔහුගේ
ස්වරූපය ද කෙනකුගේ හිතට භය උපදවන සුළුය. දිනක් ඉංජිනේරු මහතා පොතක්
කියවමින් සිටියේ ය. ‘සූවිසි මහා ගුණය’ නමැති එම පොත රේරුකානේ චන්දවිමල
මහා නා හිමියන් ලියූවකි. ඔය අතර එතනට පැමිණියේ අර රළු ගුණ ඇති
මනුෂ්‍යයා ය. පැමිණි ඔහු තම හඬට යම් තරමකට බරක් ද එකතු කර මෙසේ පැවසී
ය. ‘මහත්තයෝ මොකක්ද ඔය කියවන පොත’ බර හඬයි සැර පෙනුමයි එකට පදම් වී
ඉංජිනේරු මහතාගේ සිත මදක් සසල කළේ ය. ඔහුට මෙය අදාළ නොවුණත් පිළිතුරක්
නොදී මඟහැරිය නො හැකි ය. ‘මේක බුද්ධගමේ පොතක්’ ඉංජිනේරුවරයා පැවසීය.
‘මහත්තයෝ මටත් දෙන්නකො පොත බලන්න. චණ්ඩියා, එසේ ඉල්ලිම කරන විට
ඉන්ජිනේරු මහත්තයාගේ හිතට ඇතිවූයේ පුදුමයත්, බයත් සම්මිශ්‍රණය වූ
හැඟීමකි. කොහොමවත් මොහුට නම් පොත නොදී බැරිය. වචනය පිට වූ සැනෙන් පොත ඒ
මනුෂ්‍යයාගේ අත මතට වැටුණේ ඒ නිසා ය.
ඔහු පොතත් රැගෙන සෙමෙන් මාරු විය. මිනිත්තු හෝරා දවස් බවට පත්වෙමින්
කාලය ගත විය. පොත ගෙනිච්ච චණ්ඩියත් නැත. පොතත් නැත. එහෙත් දින හය
හතකින් අතුරුදහන් වූ චන්ඩි පාහේ මනුෂ්‍යයා නැවත මතුවුණේ පොතත් සමඟය.
‘මහත්තයෝ මේ පොත මම හයවාරයක් කියෙව්වා.’ ඇත්තෙන්ම මහත්තයෝ මේ වගේ දේවල්
අපි දැනගෙන හිටිය නං වැරැදි වැඩ කරන්නේ නැහැ. මෙතරම් විනාශ සිද්ධ
වෙන්නෙත් නැහැ.
‘එක එක අමනුස්ස වැඩ කරන්නෙත් නැහැ.’ චණ්ඩියාගේ මුවින් ප්‍රකාශ වූ ඒ
වදන් පෙළ පරිදිම ක්‍රියාව ද විශාල පරිවර්තනයකට පත්විය. මොහු සුමගට
හැරවීමේ හැරවුම් ලක්‍ෂය වූයේ රේරුකානේ මහා නා හිමියන්ගේ ‘සූවිසි මහා
ගුණය’ යි. දැන් ඔහුගේ චන්ඩි පාට් නොමැත. කතාවත් සන්සුන්ය. ඉන්ජිනේරු
මහත්තයටත් මෙම ක්‍ෂණික පෙරළිය මහත් පුදුමයකි.
අංගුලිමාල නැවතත් අහිංසක වූවාසේ මෙම රළු මිනිසාත් මුදු මිනිසෙක් බවට
පත් විය. අවැඩ අත්හැර ගුණ ගරුක මිනිසෙක් බිහි විය. බලන්න මෙවන් විශාල
පරිවර්තනයක් කළ රේරුකානේ මහා නා හිමියන්ගේ පොත් පෙළේ ඇති බලය. මේ අප
දන්නා අද්දැකීම් කීපයක් පමණි. දහස් ගණනින් මිනිසුන් මෙවැනි යහපත්
අද්දැකීම් වලට මුහුණ දුන්නාට සැක නැත. මේ පොත් පෙළ නිසා බොහෝ
මිනිසුන්ගේ අන්ධ විශ්වාසයන් දුරු විය. නිසි ශ්‍රද්ධාව නො හඳුනනා බොහෝ
මිනිසුන්ට සැබෑ වූ ශ්‍රද්ධාව මේ යැයි පස්කර දෙනු ලැබීය.ඒ රේරුකානේ මහා
නා හිමියන්ගේ පොතක බලය විසිනි. එවැනි මිනිසුන්ගේ ලියුම් වලින්
විහාරස්ථානයට අඩුවක් නොවීය. ශ්‍රද්ධාව වර්ධනය කර ගනිමින් ගිහි
ජීවිතයෙන් මිදී භික්‍ෂූත්වය ගෞරවයෙන් වැළඳ ගත් ද අයද මේ අතර සිටිති.
එයින් විශේෂ භික්‍ෂූන් වහන්සේ නමක් වූයේ අපවත් වී වදාළ පානදුරේ
අරියධම්ම ස්වාමීන්වහන්සේයි. උන්වහන්සේට ගිහි ජීවිතය අත්හැර භික්‍ෂු
ජීවිතයට අවතිර්ණවීමට හේතු පාදක වූයේ රේරුකානේ චන්දවිමල මහා නා
හිමියන්ගේ ධර්ම පුස්තක පෙළ බව ප්‍රසිද්ධ කරුණකි.
මෙසේ තවත් එක් ගුරු මහත්මයෙක් චන්දවිමල මහා නා හිමියන් වෙත අතිශයින්ම
පැහැදෙන්නේ උන්වහන්සේගේ පොතේ බල මහිමයට පින් සිදු වන්නටය. එම ගුරු මහතා
පසුකාලීනව චන්දවිමල මහා නා හිමියන්ගේ ජීවිතයට අතිශය සමීප වන නිසා මෙතන
දී කතා කළ යුතු විශේෂිත පුද්ගල චරිතයක් බවට පත් වෙයි.
මෙම ගුරු මහතාගේ ගම බිබිල ප්‍රදේශයේ ය. එතුමා මුලින්ම කියැවූයේ
රේරුකානේ මහා නා හිමියන්ගේ ‘අභිධර්ම මාර්ගය’ නමැති පොතය. එය කියවීමෙන්
ධර්ම රසයත් සමඟ මහත් අස්වැසිල්ලක් හිතට දැනිණ. එතුමාගේ ජීවිතාපේක්‍ෂාවේ
උතුම් ඵලයක් ලබාදීමට තරම් වාසනාව උදා කළේ ශාසනාවතරණය’ නමැති පොත ය.
වරක් කියවූවද සෑහීමකට පත් නොවූ හිත දෙවැනි වරට ද කියවීමට තරම් මේ
‘ශාසනාවතරණය’ ඔහුගේ සිත ආකර්ෂණයට පත් කළේ ය. ‘ශාසනාවතරණය’ දෙවන වර
කියවීමත් සමඟ එවකට වසර 26 ක් පමණ වූ මේ නව යොවුන් තරුණ ගුරුවරයාගේ
ජීවිත පොතේ ගිහි දිවිය හා බැඳෙන අවසන් පරිච්ඡේදය දෛවය විසින් ලියා නිම
කරමින් පැවතියේ ය. ජීවිතය හොඳින් විමසා බැලිය හැකි ජවාධික තරුණ අවධියේ
දී ම ගිහිගෙය හැරයාමට තරම් හිත ප්‍රබල පරිවර්තනයකට පත් වූයේ රේරුකානේ
මහා නා හිමියන්ගේ පොත් පෙළෙහි වූ විශිෂ්ට ආකර්ෂණීය බව ය.
මා හිමිපාණන් වහන්සේගේ පොත් පරිශීලනය කිරීමෙන් ලද ධර්මාවබෝධය නිසා
නික්ම යෑම බැඳ තබන්නට ගිහි ගෙදර වරපට කිසිසේත්ම සවිමත් නොවී ය. එහෙත්
මේ තරුණ ගුරුවරයාට ගිහිගෙය හැරයාමට නොහැකි ප්‍රධාන සාධකය වූයේ තම
ආදරණීය අම්මාය. අම්මාගෙන් වෙන්වීම වේදනාකාරී වුවද අත් හැරීමට සිත හදා
ගත යුතු ය.
සාමාජිකයන් හයදෙනකු සහිත පවුලේ එකම පිරිමි දරුවා මෙසේ ශාසනයට ඇතුල්වීම
අම්මා කෙසේ නම් උහුලන්නේද? කෙලෙස හෝ හැඬුම් වැළපුම් මැද මේ තරුණ
ගුරුවරයා 1977 වසරේ ජූනි 23 වන දින දුක් සහිත ගිහි දිවියෙන් මිදී උත්තම
සංඝ සමාජයේ බුද්ධ පුත්‍රයකු වීමේ වාසනාව උදාකර ගැනීමට සමත් විය.
මේ තරුණයා සසුන් ගත වූයේ කිරිඔරුවේ ධම්මානන්ද යන නමිනි. මහණවීමෙන් පසුව
ධම්මානන්ද හිමියන් තවත් වසර තුනක් පමණ පුරුදු ගුරු වෘත්තියේම නියැළිණි.
විහාරයේ ලොකු හාමුදුරුවෝ ද තම ගෝලයාගේ සියලු කාර්යයන්ට සහාය ලබා දුන්හ.
ගෝලයා ද ගුරු භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ඇවැතිය යුතු පැවැතිය යුතු
නිවැරදි ආකාරයටම තම යුතුකම් වගකීම් ඉටු කරනු ලැබුවේ කිසිදා දෑසින් දැක
නොතිබුණු රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් ලියූ පොත් හි සඳහන්ව තිබූ
ආදර්ශයන්ට හාත්පසින්ම අනුකූල වන ආකාරයටය.
ධම්මානන්ද හිමියන්ට ධර්මය කියා දුන්නේ භික්‍ෂු ජීවිතයට අවශ්‍ය ඇවැතුම්
පැවැතුම් මෙන්ම නිසිමඟ පැහැදිලි කරදුන්නේ රේරුකානේ මහා නා හිමිපාණන්ගේ
පොත් පෙළ ය. තමා මහණ කළ නායක හාමුදුරුවන්ට වඳින්න යන සෑම අවස්ථාවකම,
ධම්මානන්ද හිමියන් කරන්නේ ප්‍රථමයෙන් තමාට ධර්මය කියා දුන් රේරුකානේ
මහා නා හිමියන් සිහිපත් කර වැඳීමය. ඔය අතර වාරයේ ධම්මානන්ද හිමියන්
සිතුවේ තමාට ධර්මය පිළිබඳ නිසි නිවැරැදි අවබෝධය ලබා දුන් චන්දවිමල මහා
නා හිමියන්ට ටික දිනක් හෝ ඇප උපස්ථාන කරමින් කෘතගුණ සැලකිය යුතු බවය.
අවසානයේ ධම්මානන්ද හිමියෝ තීරණයකට එළඹුණහ. හැකි සෑම අවස්ථාවකම අම්මාට
සැලකිය යුතු ය. තමා අම්මා සමඟ නො සිටියාට ආදරණීය මව වෙනුවෙන්
සහෝදරවරියෝ සිටින්නේ ය. ලොකු හාමුදුරුවන් බලා ගැනීමට තවත් ගෝලයෝ
සිටිති. එසේ නම් දැන් මා ගියාට පව් නැත. ඉතින් මා යා යුතු ය. ධම්මානන්ද
හිමි එසේ සිතුවේ ය.
පොකුණුවිට බලා එන ගමන ඉතා සංවේගජනකය. ධම්මානන්ද වැනි අතිජාත දරුවකු
අම්මාගෙන් වෙන්වීම දුකකි. ධම්මානන්ද වැනි ඉතා යහපත් ගෝලයකු නා
හිමියන්ගෙන් ඈත්වීම ද දුකකි. එහෙත් සසර දුකින් මිදී දුක නිවාරණය
කරගන්නට අවැසි නිසි මඟ තෝරා ගැනෙන්නේ නම් එය සතුටකි. සියල්ලන්ගේ හඬා
වැළපීම් හමුවේ ධම්මා නන්ද හිමි ගමන පිටත් විය. නායක හාමුදුරුවන්ගේ දෑසද
කඳුළුලෙන් තෙත් වී තිබිණ. ධම්මානන්ද හිමියන්ගේ මෙම ගමන ඉතා හදිසියේ ගත්
තීරණයකි.
කිසිදා දැක නොමැති රේරුකානේ මහා නා හිමියන් මෙන්ම උන්වහන්සේ වැඩ සිටි
ස්ථානය ගැන කිසිදු අවබෝධයකින් තොරව පිළිපන් මේ අස්ථිර ගමන කාටත්
ප්‍රහේළිකාවක් වූහ. කෙනකුට නිශ්ඵල ගමනක් සේ දැනුණ ද පෙනුණද ඇත්තෙන්ම
මෙය සසර චාරිකාව එක්ව ගමන් කළ වූවන්ගේ එක් හමුවීමක ආරම්භය විය. එය
සිදුවුණේ 1980 අගෝස්තු 27 වැනි දිනය. මහා නාහිමියන්ගේ වයස අවු. 83 කි.
බිබිලේ සිට පොකුණුවිට දක්වා අසාගෙන සොයාගෙන වෙහෙසින් ආ ගමන
විනයාලංකාරාරාමයෙන් නැවතෙන විට එදා රාත්‍රී අට පසුවෙමින් පැවතිණි.
විහාරස්ථානයට පැමිණියේ ද අවේලාවේ දී ය. මෙහිදී ධම්මානන්ද හිමියන්ට
කලය්‍යාණ ධම්ම හිමියන් මුණ ගැසුණේ ය. පැමිණි අවශ්‍යතාවය කල්‍යාණ ධම්ම
හිමියන්ට පැවසීමෙන් පසුව මහා නා හිමියන් හමුවීමට අවස්ථාව උදාකර දෙන
ලදී. නායක හාමුදුරුවන්ගේ කන් ඇසීම දුර්වල නිසා උපදෙස් ලැබුණේ හඬ නගා
කතා කරන ලෙසය. ඒ අනුව හමුවීම සිදුවිය.
තවත් කොටසක් අප්‍රේල් 14 වන දා පත්‍රයේ පළ වේ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 27 සසර දුර මග අඳුරු
අහුමුලු එළිය කළ පහන් වැට |