Print this Article


නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ

නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ

සිඟිති දියණිය සුව නින්දකට වැටී ඇත. බෝපත් සිප එන මඳ නල ඇගේ මුහුණේ දැවටී වඩාත් සෞම්‍ය පෙනුමක් මතුකරවන අයුරු ඇගේ මව බලා සිටියේ අපමණ දාරක ස්නේහයෙනි. මේ වේලාව වන විට සිල් ඇත්තන් සියලු දෙනාම පාහේ සිල් මුදවා තම තමන්ගේ නිවෙස් බලා ගොස්ය. එහෙත් පෝ දිනට සිල් සමාදන් වන්නට තමන් සමඟ එන සිව් හැවිරිදි සිඟිත්තිය යළි නිවෙසට යෑම ප්‍රතික්ෂේප කර ඇත. දැරියගේ මේ මඳ නින්ද මවට වඩාත් සැනසිලිදායක වීමට හේතුව වන්නේ ඇය නිවෙසට ඔසවාගෙන යෑමට මේ හොඳම අවස්ථාව වන බැවිනි.

නිතර විහාරස්ථානය ඇසුරේම සිටින්නට උත්සාහ කරන සිඟිති දියණිය පැවිදි වීමට අවසර ඉල්ලාවි යැයි මෑණියනට එදා සිතුණේ නැත. එහෙත් දැරිය යන්තම් වයස අවුරුදු නවය වන විට තමන්ට මහණ වෙන්නට අවැසි බව කියා සිටියාය. මේ රුවැති දැරිය පැවිදි කරවන සිතක් කේ.එම්. ධර්මසේන පියාණන් තුළ හෝ ඩබ්.එම්. පොඩිහාමිනේ මෑණියන් තුළ නොවීය. නාවලපිටිය ඉඟුරුඔය ග්‍රාමයේ පිරිමි දරුවන් පස්දෙනෙකු සහ දැරියන් සතර දෙනෙකුගෙන් යුත් එම පවුලේ සයවැන්නියව 1975 ජනවාරි 17 වැනිදා උපන් දියණිය පවුලට ආලෝකයක්ම විය. එවන් ආලෝකයක් නිවෙසෙන් පිටමන් කරන්නට කිසිවකු කැමැති වූයේ නැත. ඒ වන විට පොඩි හාමිනේ මාතාවගේ වැඩිමල් සහෝදරිය පැවිදි දිවියට ඇතුළත්ව සිටියාය. මාපාකන්දේ ධම්මිකා නම් වූ සිල් මෑණියන් වහන්සේ දැරිය තමන් සමීපයේ රඳවා ගත්තද ඒ කුඩා දියණියට ආරාමයේ දින කිහිපයකට වඩා රැඳී සිටින්නට ඉඩ ලැබෙන්නේ නැත. දැරියගේ වැඩිමල් සහෝදරයෝ පැමිණ ඇය යළි නිවෙසට කැඳවාගෙන යති.

මේ ආකාරයෙන් වසර දෙකක් පමණ ගෙවී 1986 දෙසැම්බර් 14 වැනිදා උදාවිය. රාජ්‍ය අනුග්‍රහ සහිතව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පසුදින පැවැත්වීමට නියමිත පැවිදි කිරීමේ උත්සවයකි. එහිදී හෝ දියණියගේ ආශාව ඉෂ්ට කර දීමට ධම්මිකා සිල් මෑණියන් අදිටන් කර ගත්හ. කුඩා දැරිය පැවිදි කිරීමට අවැසි සිවුරු ආදිය සූදානම් කරගත් ඇය තම නැඟණියගේ නිවෙසට හදිසියෙම පැමිණියාය. දැරිය පැවිදි කිරීමට තමාට භාරදෙන ලෙස දන්වා සිටියාය.මෑණියන් වහන්සේගේ තදබල ඉල්ලීම ඉවතලීමට අපොහොසත් වූ මවුපියන් දෙනෙත් කඳුළෙන් පුරවා ගත්තද සිල්මෑණියන් තම අදහස අත් නොහැරියාය. දියණියගේ වැඩිමල් සහෝදර සහෝදරියන් ඒ මොහොතේ නිවසේ නොසිටීමද අමතර පහසුවක් විය. අවසන දියණිය සූදානම් කරගෙන සුරතින් අල්වාගෙන රැගෙන යද්දී මවුපියො නාවලිපිටිය නගරයට සිල්මෑණියන් සහ දියණිය සමඟ පැමිණියහ. එහෙත් එතැනින් ඔබ්බට මේ ඥාති පිරිස කැඳවාගෙන නොයෑමට ධම්මිකා සිල් මෑණියෝ නුවණැතිව දුර දිග බලා කටයුතු කළහ. ඒ අවසන් මොහොතේ හෝ මේ පැවිදිවීම වළක්වා ලන්නට ඔවුන් උත්සාහ කරතැ’යි ඇයට හැඟී ගිය නිසාය.

කෙසේ නමුත් මේ කතන්දරය අවසන, ශාසනයට තවත් කුඩා සිල් මෑණියන් වහන්සේ නමක් එක් විය. නාවලපිටියේ අනුරාධා ධර්මචාරි සිල් මෑණියන් වහන්සේ දැන් සසුන එළිය කරමින් බබළන මහරු මිණකි. දරුවන් රැසකට ගුරුහරුකම් කියාදෙන ආචාර්යවරියකි. ගුරුමෑණිවරුන් ඉදිරියේ බෙහෙවින් සුවච කීකරු ශිෂ්‍යාවකි. තම පවුලට ආඩම්බර විය හැකි වටිනා දියණියකි.

තමන් ආ මඟ අනුරාධා සිල්මෑණියන් වහන්සේ විස්තර කරන්නේ නිතොර මුවඟ රැඳෙන කාරුණික සිනහවෙන් යුතුවය.

‘1986 දෙසැම්බර් 15 වැනිදා පැවිදි කිරීමේ පින්කමෙන් පස්සෙ 1987 ජනවාරි 2 වැනිදා කෝරළ ඉම සිරිශීල සිල්මාතාශ්‍රමයට පැමිණියා. ඒ සිල්මාතාශ්‍රමාධිපති මාතලේ ධම්මධීරා සිල්මෑණියන් යටතේ ශ්‍රී සංඝමිත්තා අධ්‍යාපන පීඨයේ ඉගෙන ගන්නයි. උදේ වරුවෙ පාසල් යන අතර සවස් වරුවෙ පිරිවෙනේ ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළෙ සහ පිරිවෙන් අවසාන විභාග සමත් වුණා. පාලි ඩිප්ලෝමා විභාගය ,ප්‍රාචීන ප්‍රාරම්භය , ප්‍රාචීන මධ්‍යම විභාග මෙන්ම උසස් පෙළත් උසස් ලෙස සමත් වුණා. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා. විෂයන් වුණේ සමාජ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය ,පාලි හා සිංහලයි.’

අනතුරුව ශාස්ත්‍රපති උපාධියද ලබා දර්ශනපති උපාධිය සඳහා ඉගෙනගනිමින් සිටියදී අනුරාධා සිල් මෑණියන් හට සේවාස්ථ ගුරු පුහුණුවට අනුයුක්ත වීමට හැකිවිය. 2005 වසරේදී කොළඹ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට ස්ථීර ගුරු පත්වීමක් හිමිවිය. එහිදී උසස් පෙළට උගන්නා සිසු දැරියනට බෞද්ධ සංස්කෘතියත් සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවනට බුද්ධ ධර්මයත් උගන්වන අතර ශ්‍රී සංඝමිත්තා අධ්‍යාපන පීඨයේ, පාලි, සංස්කෘත හා ත්‍රිපිටක ධර්මය උගැන්වීමේහිද නිරත විය.

“මේ වන විට ඉගැන්වීම් කරන්නෙ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විශේෂයෙන් දරුවන්ට උපදේශන ලබාදීමත් සිදුකරනවා. දරුවන්ගේ ජීවිත වඩාත් හොඳ මට්ටමකට ගෙන එන්න අපට කළ හැකි සේවය විශාලයි. සිල් මෑණියන් යන ප්‍රතිරූපයත් එක්ක දරුවන් අප සම¼ග වඩාත් නම්‍යශීලිිව, ගෞරවාන්විතව කටයුතු කරනවා. ඔවුන්ගෙ ඉගෙනීම පමණක් නොවෙයි මනැස සකස් කරන්නත් ඒ නිසා අපට වඩාත් හැකියාව ලැබිල තියෙනවා.” 2010 දී වියට්නාමයේ පැවැති සත්‍යදීතා 11 වැනි ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සිල්මෑණියන් ද සහභාගි විය.