පිරිනිවුණි ඒ
නිකෙලෙස්
රහත් හිමිවරු
34
සානු
මහරහතන් වහන්සේ
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
පුතේ කෙනෙක් මැරුණට පස්සේ අඬනවා තමයි. ජීවත්වෙලා ඉන්න කෙනෙක් නො දකින
කොටත්
අඬනවා තමයි. යම් කෙනෙක් කාමයන් දුරුකරලා, පැවිදි වෙලා ඉඳලා අයෙමත් මේ
දුකට ආපු නිසයි මම මේ අඬන්නේ. එයා ජීවත් වුණත් මැරුණා වගේ තමයි. පුතේ
යාන්තම් උණුඅළු (කුක්කුල) නිරයෙන් ගොඩ ඇවිල්ලයි මේ ඉන්නේ. ආයෙමත් උණු
අළු නිරයට යන්ට කැමැති ද? පුතේ නිරයෙන් ගොඩ ඇවිල්ලා ඉඳගෙන ආයෙමත් නිරයට
වැටෙන්ට කැමති ද?
තමාව අත්හැර නො යන සෙවණැල්ලක් වගේ රැස් කරන පින පසුපසින්ම පැමිණිලා
සැප විපාක ලබා දෙනවා. පින විසින් කෙනෙකුගේ ජීවිතය සැපය කරාම අරගෙන යන
විදිය හරිම පුදුම සහගත යි. ඒ විදියට සංසාර ගමනේ් යහපත් ලෙස සිදුකළ
උතුම් පුණ්‍ය ධර්මයන් නිසාම යි. කෙනෙක් මේ ලෝකයේ අග්‍රම සැපය වන නිවන්
සැපයට පත්වන්නේත්. ඉතින් සසරේ රැස්කළ පින් නිසා ගෞතම බුදු සසුනේ උතුම්
අරහත්වය සාක්ෂාත් කළ ‘සානු’ නම් උතුම් මහරහතන් වහන්සේ ගැනයි අද අප ඉගෙන
ගන්නේ.
මින් කල්ප අනු හතරකට පෙර මේ දෙව් මිනිස් ලෝකය කෙරෙහි අනුකම්පාවෙන්
සිද්ධාර්ථ නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වී වදාළා. එ
සමයෙහි සානු තෙරුන්හට ඒ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ නිතර නිතර
බැහැදැකීමේ අවස්ථාව උදාවුණා. ඒ හේතුවෙන් ම ඔහුගේ් සිත තුළ බුදු සමිඳුන්
කෙරෙහි විශාල ආදර ගෞරවයක් හට ගත්තා. මහත් වූ පැහැදීමෙන් යුතුව ශාස්තෘන්
වහන්සේට දන් වැළැදීමට ප්‍රථම ඇඟපත දොවා ගැනීමට ඔහු පැන් පිළියෙළ කළා.
දන් වළඳන විට වළඳන පැන්ද ඔහු විසින්ම සකස් කළා. දානයෙන් අනතුරුව මුව
දෝවන පැන්ද සකස් කළේ ඔහු විසින් ම යි. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ද
ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඒ සියලු උපස්ථාන ඉවසා වදාළා.
මේ අයුරින් බොහෝ කලක් බුද්ධෝපස්ථාන සිදුකළ මොහු මරණින් මතු සුගතියේ
ඉපිදී බොහෝ කම්සැප අනුභව කළා. ඒ උතුම් ජල දානයේත් බුද්ධෝපස්ථානයේත්
විපාක වශයෙන් මීට කල්ප හැට එකකට පෙර යුගයේ විමල නමින් සතර මහා සමුද්‍රය
ම ධාර්මිකව ජයගත් සක්විති රජ පදවියට පත්වුණා. මේ අයුරින් රැස්කළ
පුණ්‍යානුභාවයෙන් කල්ප අනූ හතරක් පුරාවට දෙව් මිනිස් දෙ ගතින්ගේ සැප
විඳිමින් පැමිණ අපගේ් ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ
වූ සමයේ සැවැත්නුවර දුප්පත් මවකගේ කුසේ පිළිසිඳ ගත්තා.
මේ සිඟිත්තා බිහිවීමට පෙරම ඔහුගේ පියා වෙනත් බිරිඳක් සහේට ගෙන දුරබැහැර
ප්‍රදේශයකට ගියා. නමුත් මේ සිඟිත්තාගේ මව ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. ඇය
දස මාසයක් කුස හොවා මේ දරුවා බිහි කළා.’සානු’ නම් වූ මේ කුමාරයා හත්
හැවිරිදි විය වන තෙක් දුකසේ නමුත් මව විසින් පෝෂණය කරමින් හදාවඩා
ගත්තා. එනමුත් පියා නො මැතිව දරුවා පෝෂණය කිරීම දුෂ්කර නිසාම මේ මව වයස
අවුරුදු හතේදී සානු කුමාරයා භික්ෂුන් සමීපයට ගෙන ගොස් බාර කළා.
සානු කුමාරයා භික්ෂුන් සමීපයේ හොඳින් ධර්ම විනය වත්පිළිවෙත්, ඇවතුම්
පැවතුම් ඉගෙන ගත්තා. ‘සසර කියන්නේ ඉතාම බියජනක එකක්. ඒ සසර දුකින්
නිදහස් වෙන්නේ නිවන් සැප අවබෝධ කළොත් පමණයි’ කියා සානු කුමාරයාට
භික්ෂූන් වහන්සේලා ධර්මය කියා දුන්නා. එය හිතට ගත් මේ සිඟිති කුමාරයා
‘මේ සසුනෙහි අප්‍රමාදීව වාසය කොට අතිශයින්ම සැපදායක වූ නිවන ලබන්නෙමි’
යි උතුම් පැවිදි භාවයට පත්වුණා.
දැන් මේ සානු ස්වාමින් වහන්සේ ඉතාම හොඳින් වත්පිළිවෙත් කරනවා. කම්මැලි
නැහැ. හරිම ගරුසරුයි. පුංචි වුණාට බොහෝම හොඳට ධර්ම කතාව කරනවා. ලස්සනට
ධර්මය සජ්ඣායනා කරන්ටත් සානු ස්වාමින් වහන්සේට පුළුවනි. ඒ නිසාම හැම
භික්ෂුවනක්ම උන්වහන්සේට පි‍්‍රය වුණා. කවුරුත් ආදරයෙන් කතා කළේ ‘සානු
සාමණේර’ කියල යි.
සානු සාමණේරයන් වහන්සේ බොහෝම හොඳට සිල්පද ආරක්ෂා කළා. සිල්වත් ගුණවත්
සංඝයාට දෙවිවරුන් හරිම පි‍්‍රය යි. ඉතින් සානු සාමණේරයන්ගේ ගුණ
දෙව්ලොවත් පැතිරුණා. ඒ වගේම අමනුෂයෝ ද සානු සාමණේරයන්ට හරිම ආදරෙයි. ඒ
මොකද උන්වහන්සේ හොඳට මෙත් සිත වඩනවා. මේ විදිහට සානු සාමණේරයන්
වහන්සේගේ් කල්‍යාණ රාවය දෙව් මිනිස් සියලු දෙනා අතරම පැතිරී ගියා.
මේ අතර සානු සාමණේර නමගේ මීට පෙර ජීවිතයක මව් කෙනෙක් යක්ෂ යෝනියේ
යක්ෂණියක්ව ඉපදී සිටියා. මේ බව දැනගත් සානු සාමණේරයන් වහන්සේට පැහැදී
සිටි යක්ෂ පිරිස් මේ යක්ෂණියටත් පුදසත්කාර කිරීමට පටන් ගත්තා. බලවත්
යක්ෂයින් පවා සානු සාමණේරයන් කෙරෙහි වූ ගෞරවාදරය හේතුවෙන් මේ යක්ෂණියට
ගරු සත්කාර දැක්වූවා.
සිල්වත්ව වත් පිළිවෙතේ් දක්ෂව වාසය කළත් සාණු සාමණේරයන් වහන්සේට
මාර්ගඵල අවබෝධ කොට බුදු සසුනේ් ස්ථිරවම ශ්‍රාවක භාවයට පත්වෙන්නට නො
හැකි වුණා. තමා ගැන පැතිරි ගිය කීර්ති රාවයෙන් මුසපත්වූ නිසාම ඒ සඳහා
විර්ය කළෙත් නැහැ. ටික ටික පැවිද්දට ඇති ඇල්ම නැතුව ගියා. ගිහි වීමේ
කැමැත්ත නිතර ඇතිවුණා. කිසිවෙකුටත් නො කියාම උන්වහන්සේ තම මෑණියන්
සොයාගෙන ගියා. තමාට යළි ගිහියෙකු වීමට කැමැති බවත්, පැවිද්ද කිරීම
අපහසු බවත් මෑණියන්ට පැවසුවා. තමා දන්නා පරිද්දෙන් ගිහි ජීවිතයේ ආදීනව
පවසා සානු සාමණේරයන් හට පැවිද්ද ගැන කැමැත්ත ඉපදීමට උත්සාහ කළත් එය
අසාර්ථක වූ නිසා එම මෑණියන් මෙසේ පැවසුවා.
‘එහෙනම් මගේ පුතේ දැන් කාලාවේලා ගතවෙන්ට කළින් දානෙ වළඳලාම අපි කතා
කරමු. මම දානේ් පොඩ්ඩක් ඉක්මනට හදන්නම්’.
මේ අතරේ සානු සාමණේරයන් නිසා සත්කාර ලබන යක්ෂණිය උන්වහන්සේ මේ මොහොතේ
කොහේ් සිටිත්දැයි විපරම් කළා. සානු සාමණේරයන් පැවිද්ද අතහැර ගිහිවීමට
කැමැත්තෙන් නිවසේ සිටින අයුරු දුටු යක්ෂණිය මෙසේ කල්පනා කළා. ‘මේ
සාමණේරයන් ගිහි වුණොත් මේ අනිත් යක්ෂයෝ මට කරන සත්කාර සම්මාන ඔක්කෝම
නවත්වනවා. ඒ නිසා මේකට නම් මම කීයටවත් ඉඩ තියන්නේ නැහැ’ සිතා ඒ යක්ෂණිය
පැමිණ සානු සාමණේරයන්ගේ් ඇඟට ආවේෂ වී නොයෙකුත් විකාර කරමින් බිම
පෙරළෙන්නට පටන් ගත්තා.
මේ දුටු සානු සාමණේරයන්ගේ් මෑණියන් කිසිවක් කරගත නො හැකිව හඬ හඬා මේ
විදියට පැවසුවා. ‘තුදසුස්වකටත්, පසළොස්වකටත්, අඩමසක් පාසා අටවකටත්, සඳ
නැගෙන කාලෙටත් යම් කෙනෙක් අට්ඨාංග උපෝසථය සමාදන්ව ඉන්නවා නම්
බ්‍රහ්මචාරීව ඉන්නවා නම් ඒ උදවිය සමඟ යක්ෂයෝ සෙල්ලමට යන්නේ නැහැ කියලා
රහතන් වහන්සේලාගෙන් මම අහල තියෙනවා. අද මම ඒක දකිනවා. සානු පුතාත් එක්ක
මේ යක්ෂයෝ සෙල්ලම් කරනවා නෙව.
එතකොට අර යක්ෂණිය මෙහෙම පැවසුවා. ‘ඔබ ඒ අසා තිබෙන රහතුන්ගේ වචන බොහෝ
හොඳයි. දැන් මා කියන වචනත් සානුට සිහිය ආපුවාම කියන්න’ එළිපිට හෝ
රහසින් හෝ පව් කරන්නට එපා! යමෙක් පව් කරනවා නම්, පව් කළොත් අහසට නැඟී
පලායන්ට හැදුවත් ඒ දුකින් නිදහස් වෙන්ට බැහැ. මේ කරුණු පැවසූ යක්ෂණිය
සානු සාමණේරයන් අතහැරල යන්ට ගියා. සිහිය එද්දී සාමණේරයන්ට දැක ගන්නට
ලැබුණේ හඬමින් සිටින තම මෑණියන්ව යි.
’ඇයි අම්මේ ජීවත්වෙලා ඉන්න මාව දකිමිනුත් අම්මා ඔහොම අඬන්නේ?’ යැයි
සානු සාමණේරයන් වහන්සේ මවගෙන් අසා සිටියා.
සානු සාමණේරයන්ගේ් මව සිදු වූ සියල්ල පවසා තම පුතුට පැවිදි ජීවිතයේ
වටිනාකම පහදා දෙන්නෙමි යි සිතා අවවාද කිරීම පිණිස මෙසේ පැවසුවා.
’පුතේ කෙනෙක් මැරුණට පස්සේ අඬනවා තමයි. ජීවත්වෙලා ඉන්න කෙනෙක් නො දකින
කොටත් අඬනවා තමයි. යම් කෙනෙක් කාමයන් දුරුකරලා, පැවිදිි වෙලා ඉඳලා
අයෙමත් මේ දුකට ආපු නිසයි මම මේ අඬන්නේ. එයා ජීවත් වුණත් මැරුණා වගේ
තමයි.
’පුතේ යාන්තම් උණුඅළු (කුක්කුල) නිරයෙන් ගොඩ ඇවිල්ලයි මේ ඉන්නේ. ආයෙමත්
උණු අළු නිරයට යන්ට කැමැති ද? පුතේ නිරයෙන් ගොඩ ඇවිල්ලා ඉඳගෙන ආයෙමත්
නිරයට වැටෙන්ට කැමති ද?
’පුතේ ආපහු යන්න. යහපතක්ම වෙන්න ඕන. ඒ ගැන කාට දොස් කියන්න ද? ගිනි
ගත්තු ගෙදරකින් එළියට ගත්තු බඩුවක් ආයෙමත් ගින්නට දාන්න කැමැතිද?
සානු සාමණේරයන් වහන්සේ ආපසු වැඩ සිටි තැනටම ගියා. අම්මාගේ අවවාදයෙන්
සංවේගයට පත්වුණා. අප්‍රමාදීව ධර්මයේම හැසිරුණා. නොබෝ කලකින්ම උතුම්
මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අරහත්වයට පත් උන්වහන්සේට උදානයක්
මෙන් සිත තුළ මේ ප්‍රකාශය හට ගත්තා.
’අම්මේ! මේ ලෝකේ කෙනෙක් මැරුණාමනේ් අඬන්නේ. එහෙම නැත්නම් ජීවත් වෙන
කෙනෙක් දකින්ට නො ලැබෙන කොටනේ. එහෙත් අම්මේ, මේ ජීවත්වෙන මම දිහා
බලමින් අම්මේ ඇයි ඔය විඳිහට අඬන්නේ?’
අරහත්වයට පත් වූ සානු මහරහතන් වහන්සේ ධර්ම කථිකයෙකු බවට පත් ව බොහෝ
දෙනාට මේ ධර්මයේ පිළිසරණ සලසා දුන්නා. උන්වහන්සේ පිරිනිවන් පා වදාළේ
වයස අවුරුදු එකසිය විස්සේදී යි.
ඉතින් පින විසින්ම මෙහෙයවනු ලැබූ මේ උතුම් ජීවිත කොයිතරම් සුන්දර ද?
අපත් ඒ මහරහතුන්ගේ ජීවිතය ආදර්ශයට ගෙන ජීවිතයත් සැපවත් කරන උතුම්
පුණ්‍ය ධර්මයන්ම රැස්කර ගැනීමට උත්සාහවන්ත වෙමු.
|