Print this Article


නිරාමිස පී‍්‍රතිය ලබන ප්‍රතිපදාව

නිරාමිස පී‍්‍රතිය ලබන ප්‍රතිපදාව

සිතෙහි පිරිසුදුභාවය, බැබළීම ඇතිවීමට බුදුගුණ මෙනෙහි කිරීම ඉතාමත් උපකාරි වෙයි. විවේක සුවය සැලසීමත්, පී‍්‍රති ප්‍රමෝදය වැඩිවීමත්, දහම් ඇස පහළවීමත් මේ නිසා සිදුවෙයි. සව් කෙලෙස් නසා සම්මා සම්බුදු පදවිය ලබන තථාගතයන් වහන්සේගේ ගුණය මෙපමණ යැයි ගණනය කළ නොහැකිය.

මහා සහශ්‍රී ලෝක ධාතුව බුදුපියාණන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රය වන්නේය. තිස් එක් තලයකින් යුක්ත ලෝක ධාතු දහසක් චූලනිකා ලෝක ධාතුව වන්නේය.මෙය බුද්ධ ශ්‍රාවකයන්ට විශේෂිත වේ. ඍද්ධිමත් ශ්‍රාවකයන්ට මෙම ලෝක ධාතු දහසකට ඇසෙන සේ කතා කළ හැකිය. අන්ධකාරය, ආලෝකය, පැතිරවිය හැකිය. චූලනිකා ලෝක ධාතුව දස දහසින් ගුණකළ කල්හී මධ්‍යම ලෝක ධාතුව වන්නේය. මධ්‍යම ලෝක ධාතුව බුදුපියාණන් වහන්සේගේ ජාති ක්ෂේත්‍රය වේ.

මහ බෝධිසත්වයන් වහන්සේ පිළිසිඳ ගැනීම, උප්පත්තිය,මහාභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය, දම්සක් පැවැත්ම, ආයු සංස්කාර අත්හැරීම සහ පරිනිර්වාණය යන කරුණු සත සිදුවෙන විට මෙම මධ්‍යම ලෝක ධාතුව කම්පා වේ. එතරම්ම මිහිකත පවා සැලෙන්නේය. එයින් කිසිදු ප්‍රාණීයකුට කරදරයක්, පීඩාවක් නොවන්නේය. එය මහත් විශ්මිත වූ ඓශ්චර්යමත් සිද්ධියකි. මෙම කරුණු සත සිහිපත් කිරීම ශ්‍රද්ධාවට හේතු වන්නේය.

මධ්‍යම ලෝක ධාතුව නැවැත දහසින් ගුණ කළ විට මහා සහශ්‍රී ලෝක ධාතුව වේ. මුලින් සඳහන් කළ මහා සහ ශ්‍රී ලෝක ධාතුව බුදුපියාණන් වහන්සේ මහත්වූ මහානුභාවයෙන්, ශක්තිමත් කර පරිත්තය(ආරක්‍ෂාව) කර ඇත. එහි ඛන්ධ පරිත්තය, ධජග්ග පරිත්තය, මෝර පරිත්තය, මෙත්ත පරිත්තය, රතන පරිත්තය, බොජ්ඣංග පරිත්තය, ආටානාටිය පරිත්තය යන පරිත්ත වලින් බුද්ධ ආඥාවෙන් බලය පිහිටුවා ඇත. මෙම මහා සහ ශ්‍රී ලෝක ධාතුවෙන් ඔබ්බට ඇති සක්වළ තථාගතයන් වහන්සේගේ විෂය ක්‍ෂේත්‍රය වන්නේය. එහි ප්‍රමාණයක් නැත. මෙසේ විස්තර කිරීමට හේතු වන්නේ තථාගතයන් වහන්සේගේ බලමහිමය කෙතරම් පුළුල්ද යන්න සිතා බැලීමටයි. එහි ආනුභාවය සිතා නිම කළ නොහැකිය. දසබලධාරි ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ගුණානුභාවය මැනිය නොහැකිය. පාරමි ශක්තිය අතිමහත්ය.

ඒ මහා කරුණික තථාගතයන් වහන්සේ ලොවට චතුරාර්ය සත්‍යය දර්ශනයම දේශනා කොට වදාරන සේක. ජරා ව්‍යාධි මරණ ආදි දුකෙන් මිදෙන මඟම හෙළිදරව් කරන සේක. ශුභ වූ නිත්‍ය, පරම ගම්භීර වූ ලොකෝත්තර සැපය වන නිවන ප්‍රකට කොට වදාරන සේක. සැප ලබන ප්‍රතිපදාවම දුකෙන් පෙළෙන සත්වයන්ට විවෘත කොට පෙන්වා දෙන සේක. බුදු උපතම ත්‍රිවිධ ලෝකයට සැප වන්නේ එම නිසාමය.

රාග, ද්වේශ, මෝහ, මාන ආදි අඳුරෙන් පිරීගිය පුහුදුන් සත්වයන් සිහි කළාට සිතේ සහනයක් සන්සිඳීමක්, විවේකයක්, විරාගයක්, නිරෝධයක් නිවීමක් නොවන්නේමය. තව තවත් කෙලෙස් වැඩිවන්නේය. නීවරණයන් වර්ධනය වන්නේය. දහම් ඇස වැනසෙන්නේය. සැපය අතුරුදන් වන්නේය. සැපයයි සිතා පුහුදුන් සත්වයා ජරා ව්‍යාධී මරණය ම සිහිපත් කරන්නේය. එහි උමතු භාවයට පත්වන්නේය. විකාර බවට ක්ලාන්ත භාවයට වැටෙන්නේය. එහිම ආරූඪ වන්නේය. ආභාවිත සිතක් කිලිටි සිතක්ම භාවිත කරන්නේය. දුක්ඛිත සසරට ම බාල තෙම වැටෙන්නේය.

තෙරුවන් සරණයෑම කෙසේ වන්නේද? බහුතරයක්ම මව, පියා, බෞද්ධ පරම්පරාවක් වීම නිසා උපතින්ම බොදුනුවන් වන්නේය. එයද වාසනාවකි. එහෙත් ලෝභ, ද්වේශ, මෝහ වැඩෙන්නේ නම් ඔවුන් අසරණයන්ද අනාථයන්ද වීම වැළැක්වීය නොහැකිය. භූචලන, සුනාමි නායයෑම් දේශගුණික විපර්සයාස ආදි ස්වභාවික විපත්වලින්ද සත්වයන්ට හානි පැමිණෙන්නේය. එයද බොහෝ කොට වන්නේ ලෝභ , ද්වේෂ, මෝහ ගිනි විශ්වයට එකතුවීම වැඩිවීම තුළින්ය. එවැනි විපත්ද බහුල වශයෙන් ඇතිවන්නේ සත්වයන්ගේ සිත් සතන්වල දූෂණය වීම වැඩිවීම නිසාවෙන්ය. අන්ත දෙකට වැටී අකුසලය පෝෂණය වනතාක් මෙවැනි විපත් අභ්‍යන්තරික සහ බාහිර වශයෙන් සිදුවීම වැළැක්විය නොහැකිය. මොනතරම් තාක්‍ෂණික දියුණුවක් ලැබූවත් මිනිස් සිත පිරිහී ඇත්තේනම් එයින් ලෝ සතුනට සෙතක් නොවන්නේය. බාහිර විපත් පැමිණියත් ආධ්‍යාත්මික ශක්තියෙන් ගුණයෙන් දියුණුනම් මරණය පැමිණියත් අසරණ අනාථභාවයට පත්නොවන්නේය. වැඩූ සිත (ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා) ලාමක නොවන්නේය. අලාමක වන්නේය. බුදු සව්වන් එසේ සිත දියුණූ කරන ආර්ය පිරිසක් විය යුතුය.අවබෝධය පිණිසම, නිරන්තරයෙන් තම සිත කිලිටි නොකරගෙන දියුණු කර ගත යුතුය. සමථයෙන් විදර්ශනාවෙන් නිරන්තරයෙන් සිත වැඩීම, භාවිත කිරීම, බහුල කිරීම ලෝකෝත්තර දහම් ඇස පහළ කරගැනීමට හේතුවන්නේය.

එසේ නොකොට රාග,ද්වේශ,මෝහ මාන ආදි කෙලෙස් ගින්නෙන් දැවෙමින් දැවෙන්නා වූ බාහිර පුද්ගලයන්ද මෙනෙහිකොට සරණක් පැතුවාට එයින් ප්‍රතිඵලයක් නොවන්නේය. එයට හේතුවන්නේ දෙපිරිසම රාග, ද්වේශ ,මෝහ කෙලෙස් සහිත නිසාය. එයින් තමන්ගේ සිතේ පිරිසුදුභාවයක් සන්සිඳවීමක් නොවී තව තවත් අපිරිසිදුභාවය තුළින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස බහුල වන්නේය. අකුසලයම රැස්වන්නේය. එතෙරවීමක් සිදු නොවන්නේය.

දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරමින් භික්‍ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් මෙසේ වදාළ සේක. “මහණෙනි, සිහි කිරීම් අතර (අනුස්මරණය) උත්තරීතර නිදහස කරා සිත වැඩෙන මඟ දේශනා කරමි.මනා ලෙස දෙසවන් යොමුකොට අසන්න” භික්‍ෂූන් වහන්සේද මැනැවින් ශ්‍රවණය කළහ. “මෙලොවෙහි පුහුදුන් සත්වයා නිරතුරුව පුත්‍ර ලාභය සිහිපත් කරයි. භාර්යලාභය සිහිපත් කරයි. ස්වාමි ලාභය සිහිපත් කරයි. ධන ලාභය සිහිපත් කරයි. පිරිස් ලාභය සිහිපත් කරයි. කුදු මහත් ලාභ සිහිපත් කරයි. මිසදිටු වරදවා පිළිපන් මහණ බමුණන් සිහි කරයි. එහි සමාදන් වෙයි.මෙවන් සිහිපත් කිරීම් ඇත. ඒවා නැතැයි නොකියමි. එහෙත් ඒ හැම මෙනෙභි කිරීමක් තුළින් රාග,ද්වේශ, මෝහ ගිනි වැඩෙන්නේය. ජාති, ජරා, ව්‍යාධි, මරණයම සකස් කරන්නේය. සන්තානය හීණ ග්‍රාම්‍ය උමතුභාවයට අනාර්ය භාවයට පත්කරන්නේය. කෙලෙස් සන්සිඳීම නොවන්නේය. සසර කලකිරීමට හේතු නොවන්නේය. විරාගයට නිරෝධයට ආර්ය සත්‍ය අවබෝධයට නොවැටෙන්නේය. යමෙක් පිහිටි සැදැහැ ඇතියේ අචල ශ්‍රද්ධාවට පැමිණියේ අවබෝධයෙන් යුතුව තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති වූයේ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ සිහිපත් කෙරේ නම්, එයම සත්වයාගේ විශුද්ධිය පිණිස හේතු වන්නේය. ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයන්ගේ දැවීම නැතිවීම පිණිස, දුරුවීම පිණිස, අධිගමලාභය පිණිස නිවන් පසක් කිරීම පිණිස පවතින්නේය. මෙනෙහි කටයුතු දෑ අතරින් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු මෙනෙහි කිරීම අනුස්සතානුත්තරිය වෙයි.

මේ කරුණු අවබෝධ කරගෙන, ඔබගේ සිතෙහි සන්සිඳීම සමාධිය, විවේකය, නිදහස නැති වන හේතුව වටහා ගත යුතු වන්නේය.ඔබ තුළ අත්හැරීමට වඩා හැම දෙයක්ම උපාදාන කරගන්නා තරමටම දුක වැඩිවන්නේය. ශෝක, පරිදේව හුල් වැඩිවන්නේය. සම්බුදු අනුශාසනාව නුවණින් දැන නැත. රාග, දවේශ මෝහ සිතට ගලා එන්නේ අයෝනිසෝමනසිකාර ය නිසයි. එම සිතුවිලිවල දෝෂ දැක වහා දුරුකිරීමට යෝනිසෝමනසිකාරය වඩන්නේ නම් ඒ මොහොතේම සාන්දෘෂ්ටික ඵලය ලබන්නේය. හේතු ඵල දහම අවබෝධ වන්නේය. බුදුන් වහන්සේ දේශනා කළේ මා සිහිකරන්නේ නම් දහම දකින්නේය, යමකු දහම සිහිකරන්නේ නම් මා දකින්නේය, එසේ නොකොට පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවන්නේය යනුවෙනි.

ලෝභ, ද්වේශ, මෝහ මූලය වඩන්නේ නම් ප්‍රමාද විහරණයෙන් යුතුබව සිතන්න. උපාදානයන් නිසා දුක උරුම වන බව සිතන්න. එනිසා අප්‍රමාද විහරණයම බහුල කොට වඩන්න.