Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

මහාචාර්ය හපුගොඩ නන්දාරාම නා හිමි

උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම සහ තදනුබද්ධ ප්‍රදේශවල ප්‍රධාන සංඝනායකව වැඩ විසූ සිරි සද්ධම්මකිත්ති විනයාචාර්ය ඝණප්‍රධාන මහාචාර්ය හපුගොඩ නන්දාරාමාභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත්වී මෙම මස (මාර්තු) 22 වැනි දිනට දස වසරක් සපිරිණි. මධ්‍යම පළාතේ හපුගොඩ ග්‍රාමයෙහි සැදැහැවත් ‘රංකොත්’ මුදලි තුමාටත් එම ‘රාජපක්‍ෂ’ මෑණියන්ටත් පුත් රුවනක් වශයෙන් වර්ෂ 1897 ඔක්තෝබර් මස 15 වැනි දින ජන්ම ලාභය ලැබූහ.

හපුගොඩ වැලිපෑල විද්‍යාලයෙන් සිංහල භාෂාවත්, පසුව කටුගස්තොට ‘ශ්‍රී රාහුල’ විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනයත් ලබා ගත් අතර, පාසල් අධ්‍යාපනයට අමතරව පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය සහ නක්ෂත්‍රය පිළිබඳ දැනුම ලබා ගත්හ. එවක දෙස් විදෙස් කීර්තියක් ඉසිලූ රාජපූජිත ‘පෑලව ධම්මරතනාභිධාන’ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් බටගල්ලේ ශ්‍රී සුධර්මාරාම රාජ මහා විහාරස්ථානයේ දී වර්ෂ 1911 ජූලි මස 08 වැනි දින ‘හපුගොඩ නන්දාරාම’ නමින් පැවිදි විය.

තම ගුරු දේවයන් වහන්සේගෙන් උගත මනා බණ දහම් ඉගෙන ගත් නන්දාරාම හිමියෝ පසුව තිත්තපජ්ජල ශ්‍රී සුදර්ශන පිරිවෙණට ඇතුළත්ව ධර්ම විනය භාෂා ශාස්ත්‍රය හදාරා හැරමිටිගල ‘ශාස්ත්‍රාලංකාර’ පිරිවෙනින් පෙරපර භාෂා සාහිත්‍යය මෙන්ම ධර්ම විනය ද මැනවින් හදාළහ.

1932 ජූලි මස 11 වැනි දින මහනුවර වරාතැන්න උදකුක්ඛේප සීමා මාලකයේ දී භදන්ත පණ්ඩිත විදුරුපොල පියතිස්ස මහා නාහිමියන් ප්‍රධාන විංසත් වර්ගික මහා සංඝරත්නය වෙතින් උපසම්පදාව ලබා ගත්හ. මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා ගත් තිත්තපජ්ජල ශ්‍රී සුදර්ශන පිරිවෙනෙහි ගුරුවරයකු වශයෙන් සේවය කළහ. තම ගුරුදේවෝත්තම ධම්මරතන නාහිමියන්ට දක්වන උපහාරයක් වශයෙන් 1933 අගෝස්තු මස 10 වැනි දින හාරිස්පත්තුවේ බටගල්ල නම් ග්‍රාමයෙහි ‘ශ්‍රී ධම්මරතන’ පිරිවෙන නමින් පිරිවෙනක් ආරම්භ කළහ.

ප්‍රදේශයෙහි දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දෙනු වස් පූජාපිටිය විද්‍යාලය ආරම්භ කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ නන්දාරාම නාහිමියන්ය. ධම්මරතන පිරිවෙනෙහි ගිහි පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාව ද දිනෙන් දින වැඩි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ධම්මරතන පිරිවෙන විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනයක් බවට පත් කිරීමට හැකියාව ලැබුණි. නන්දාරාම නාහිමියන්ගේ ත්‍රිපිටක ධර්මය පිළිබඳ හසළ දැනුම නිසා රජය මඟින් භික්‍ෂූ විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටක ධර්මය පිළිබඳ කථිකාචාර්ය පදවිය පිරිනමන ලදී. පසුව එම විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටක අංශයෙහි මහාචාර්ය ධුරයට පත් වූහ. උන්වහන්සේගේ වසර හැට හතක් වන සේවා කාලය තුළ රජයෙන් වැටුපක් හෝ කිසිදු දීමනාවක් පිළි නොගනිමින් හුදෙක් නිශ්සරණාධ්‍යාශයෙන්ම එම සේවාවන් ඉටු කිරීම සුවිශේෂ කරුණක් වශයෙන් සඳහන් කළ හැකි ය.

මහාචාර්ය හපුගොඩ නන්දාරාම නාහිමියෝ ‘බුදුසරණ’ පත්‍රය කෙරෙහි විශේෂ සැළකිල්ලක් දැක්වූහ. බුදුසරණ පත්‍රය නොකඩවා කියැවූ අප නාහිමියෝ කලක් එවක ‘ධම්මික මෙහෙයවන ධර්ම සාකච්ඡා’ නම් විශේෂාංග යටතේ දහම් පැන වලට පිළිතුරු සපයමින් පාඨකයන්ගේ ප්‍රසාදයට ලක් වූහ.

වර්ෂ 1955 දී බුරුමය හෙවත් වර්තමාන මියැන්මාරයේ පැවැති 6 වැනි ධර්ම සංගායනාවට සහභාගි වූ උන්වහන්සේට ‘ජට්ඨ මහා සංඝීතිකාරක’ නම් ගෞරව උපාධිය ලැබුණි. උඩ රට අමරපුර මහා නිකායේ ‘සාසනජෝතිකා’ කාරක සංඝ සභික පදවිය, මධ්‍යම සහ තදනුබද්ධ ප්‍රදේශ වල ප්‍රධාන සංඝනායක පදවිය ලැබුණි. සිල්වත්, ගුණවත් විනය ගරුක ජීවිතයක් ගත කළ නාහිමියෝ මධ්‍යස්ථව අනුශාසනා කළහ.

පෞද්ගලික සුඛ විහරණය ගැන නොතැකූ උන්වහන්සේ ආදර්ශවත්, විනය ගරුක ජීවිතයක් ගත කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ වසර 108 ක් ආයු වින්දනය කළහ. ගිහි ශිෂ්‍යයෝ ද ලක්දිව පුරා සිටිති. අප්‍රමාණ ලෝක ශාසනික මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය හපුගොඩ නන්දාරාම නාහිමියෝ අදින් වසර දහයකට පෙර අපවත්වී වදාළහ. උන්වහන්සේගේ ඉල්ලීම පරිදි දේහය වෛද්‍ය සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට භාර දෙන ලදී. අපවත්වී වසර දහයක් සපිරෙන මාර්තු මස 22 වැනි දින බටගල්ලේ ධම්මරතන පිරිවෙනෙහි දී සඟ සතු දානමය පින්කමක් ඇතුළු සමාජ සත්කාර්යයන් රැසක් සිදු කිරීමට ශිෂ්‍ය පිරිස සහ දායක සභාව විසින් කටයුතු යොදා තිබිණි. අපවත්වී වදාළ මහාචාර්ය හපුගොඩ නන්දාරාමාභිධාන නාහිමියන්ට නිවන් සුව ලැබේවා.


ගැවිලිපිටියේ පඤ්ඤාරංසි නා හිමි

ඓතිහාසික කැලණිය පොල්හේන ශාන්ත්‍යාරාමාධිපති ගැවිලිපිටියේ පඤ්ඤාරංසි නාහිමිපාණන්ගේ 86 වන ජන්ම දිනය මාර්තු 18 වනදාට යෙදී තිබිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පරණකුරු කෝරළේ තුම්පළාත පත්තුවේ ගැවිලිපිටිය ග්‍රාමයේ ‘ඇල්බට්’ නමින් උපන් කුමරා හය (06) දෙනෙකුගෙන් යුත් පවුලේ හතරවැන්නාය.

අලපලාවල පඤ්ඤාසීහ හිමියන් යටතේ 1942 මැදින් මස 23 වන දින මේ කුමරුවෝ පැවිදි දිවියට පත්විය. අලපලාවල පඤ්ඤාසීහ නාහිමියන් හා කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වරාපිටියේ බුද්ධානන්ද නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි වූ උන්වහන්සේ එතැන් සිට ගැවිලිපිටියේ පඤ්ඤාරංසි නම් විය. මාවතගොඩ පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ උන්වහන්සේ පොල් අඹේගොඩ ශ්‍රී සුදස්සනාරාම පිරිවෙනින්ද අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළත් වූහ. වැඩිදුර අධ්‍යාපනය ලබමින් වැල්ලම්පිටිය විවේකාරමස්ථ විහාරයෙහි වැඩ සිටින අතරතුර සමීප බිමක් ලෙස පොල් අතු මඩුවකින් ආරම්භ කරගත් දැනට වාසය කරන කැලණිය, පොල්හේන ශාන්ත්‍යාරාමය වැඩිදියුණු කරමින් රටට සෙත සඳහා පින්බිමක් ලෙස එම විහාරස්ථානය ගොඩනැගූහ. එම පුණ්‍ය භූමිය මෙම වසරේ සැප්තැම්බර් 24 වන දිනට හැට දෙවසරක් සපුරයි.


රන්පත්විල විමලරතන හිමි

උන්වහන්සේ අනුරාධපුර රන්පත්විල ග්‍රාමයේ දී 1958 පෙරබරවාරි 25 දින ජන්ම ලාභය ලැබූහ. චන්ද්‍රසේකර මුදියන්සේලාගේ නංහාමි සහ මැණික් රාළගේ පුංචි මැණිකා යන දම්පතීන් දෙමාපියන් වූහ. මේ කුමරුගේ ගිහි කල නම චන්ද්‍රසේකර මුදියන්සේලාගේ ජයවර්ධන විය. මේ කුමරා පස්වැනි වියට පා තබත්ම රන්පත්විල මහා විද්‍යාලයට ඇතුළත්ව අකුරු කරණය ආරම්භ කළහ. මේ කුමරා පැවිදි දිවියට පත් වූයේ 1970 අගෝස්තු මස 17 දින වව්නියාව මඩුකන්ද රාජමහා විහාරස්ථානයේ දී ය. එහිදී තත් විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ පිහිඹියගොල්ලාවේ ධම්මාලෝක නාහිමි, පාලිප්පතානේ ධම්මරතන නාහිමි සහ කුරුදුගොඩ රතනසාර මාහිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ආචාර්ය උපාධ්‍යායන් වූහ.

පැවිදි දිවියේ මූලිකව උගතයුතු බණ දහම් උගෙන රත්මලේ රත්නසේල පිරිවෙනට ඇතුළත්ව ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම හා විවිධ විෂයන් ඉගෙනීම ආරම්භ කළහ. අනතුරුව ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබූහ. 1980 ජූනි මස 25 දින ඓතිහාසික මල්වතු මහා විහාරිය මංගල උපෝසථාගාරයේ දී උපසම්පත්තියෙහි පිහිටියේ ය.

1985 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ. ප්‍රායෝගික භාවනා වැඩමුළුවලට සහභාගි වී පුහුණුව ලබා ප්‍රවීණ කම්මට්ඨානාචාර්යවරයෙකු බවට ද පත්විය. එමඟින් සුවහසක් ජනතාව තුළ ආගමික ප්‍රබෝධයත්, මානසික සංහිදියාවත් නිතරම ජනිතකරවා ලීය. උන්වහන්සේ ස්වේච්ඡාවෙන්ම මැදවච්චිය කිරිගල්වැව මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ශිල්ප ඤාණය ලබාදුන්හ. පිරිවෙන් ගුරු සේවයට සම්බන්ධ වී ශිෂ්‍ය භික්‍ෂූන්ට ධර්ම ඤාණය දායාද කළේ වව්නියාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථ ධම්මරතන මහ පිරිවෙනින් ය. පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙනට උප ගුරුවරයෙකු ලෙස බැඳී වසර කිහිපයක් තම සේවාව ඉටු කළේ නොපැකිලවය.

1992.08.04 දින සිට කැස්බෑව නන්දන පිරිවෙනට සම්බන්ධ වී පුරා වසර විස්සකට අධික කාලයක් එහි උප ගුරුවරයෙකු ලෙස කටයුතු කළාක් මෙන්ම තත් පරිවේණාධිපති ධුරයෙන් ද පිදුම් ලැබුවේ ගුරු සිසු දෙපිරිසගේම නොමද ගෞරවාදරයට පාත්‍ර වෙමිනි.


වලස්වැවේ ඥානරතන නා හිමි

විශ්‍රාමික පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ කුරුණෑගල මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කුරුණෑගල ශ්‍රී රුවන්බෝධි විහාරය, පොල්පිතිගම හාතිගමුව ගුරුගොඩ විහාරය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත වලස්වැවේ ඥානරතන නාහිමිපාණන් වහන්සේගේ ගුරු හිමියන් බවට පත්වූයේ වෑඋඩවිල්ලි හා හිරියාල හත්පත්තුවල අධිකරණ සංඝනායක පණ්ඩිත බොරවැවේ රතනපාල නාහිමිපාණන් වහන්සේ ය.

ක්‍රි.ව. 1953 මාර්තු 04 දින රජරට, කලාවැව, වලස්වැව ගම්පියසේ ඩබ්.එම්. ටිකිරි බණ්ඩා සහ ඒ.එම්.නීලම්මා යන දෙපළ උන්වහන්සේගේ දෙමව්පියන් වූහ. දසවැනි වියේ දී නියඳවන රාජමහා විහාරයට අයත් හාතිගමුව ගුරුගොඩ විහාරයේ දී ශ්‍රී බොරවැවේ රතනපාල නාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා වශයෙන් සසුනට එක්විය.

කුරුණෑගල අංගංගල ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන, මලියදේව විද්‍යාරක්‍ෂක පිරිවෙන යන පිරිවෙන් වලින් පාරිවෙණික අධ්‍යාපනය නිමකල ඥානරතන හිමිපාණෝ 1974 දී මහනුවර මල්වතු මහා විහාරයීය උපෝෂථාගාරයෙන් උපසම්පදාව ලබා ගන්නා ලදී.

1973 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත් වී ත්‍රිපිටකවේදී උපාධියත්, රාජකීය පණ්ඩිත උපාධියත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් පසුව පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය හා පුස්තකාල විද්‍යාව පිළිබඳ උපාධිය ද උන්වහන්සේ ලබා ගත්හ.

පිරිවෙන් ගුරු සේවයට ඇතුළු වූ උන්වහන්සේ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන, රම්බඩගල්ල විද්‍යා සාගර මහා පිරිවෙන යන පිරිවෙන්හි පරිවේණාචාර්ය ධුරය සහ පරිවෙණාධිපතිධුර හෙබවූ අතර මෙම අවධියේම ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ගුරු භූමිකාව සංවර්ධනයෙහිලා කටයුතු කිරීමටත්, 1986 – 1989 දී නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ප්‍රමුඛාචාර්යවරයෙක් ලෙස සේවය කළ අතර, එහි උප පීඨාධිපති තනතුරටද පත් වූහ. 1989 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරය හොබවමින් ලංකාවේ විවිධ පළාත් භාරව කටයුතු කරමින් පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනයට මහත් සේවයක් සිදු කළහ. 1999 දී නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයට පත් ඥානරතන හිමියෝ 2004 දී දිවයිනේ පිරිවෙන් භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ තනතුරට පත් වී 2013 මාර්තු මාසය දක්වාම පිරිවෙන් ක්ෂේත්‍රයට අමිල සේවයක් සිදු කළහ. එම සේවාවන් අතර මූලික පිරිවෙන් විෂය නිර්දේශය කාලීන අවශ්‍යතා අනුව සංශෝධනය කිරීම, මූලික පිරිවෙන් සියලු පන්තිවලට පෙළ පොත් නැවත ලිවීම, පිරිවෙන් විභාග හා ප්‍රාචීන විභාග සංශෝධනය කිරීම, පිරිවෙන් ගුරු උපදේශක සේවාවක් ඇති කිරීම, පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ සේවාව ව්‍යාප්ත කිරීම, පිරිවෙන් විෂය උපදේශන සේවය පිහිටුවීම, ශීල මාතා අධ්‍යාපනය දියුණු කිරීමට මං පෙත් සැලසීම, සමාජ සේවා භික්‍ෂු අධ්‍යාපන පුහුණු ආයතනයක් ඇති කිරීම, පිරිවෙන් අභ්‍යාස විද්‍යාල කථිකාචාර්යවරුන්ට ශ්‍රේණි ක්‍රමයක් හා ආකර්ෂණීය වැටුප් ක්‍රමයක් ඇති කිරීම, ඉන්දියාවේ ශ්‍රී ලාංකික භික්‍ෂූන් පවත්වාගෙන යනු ලබන භික්‍ෂු අධ්‍යාපන ආයතන වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම, විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙකට යෝග්‍ය පරිදි මානව සම්පත් හා මූල්‍යාධාර ලබාදීමට ක්‍රියා කිරීම, පිරිවෙන් අධ්‍යාපන පනත කාලීන අවශ්‍යතා අනුව සංශෝධනය කිරීමට කටයුතු කිරීම, රජයේ පාසල් ගුරුවරුන් ලබන වරප්‍රසාද පිරිවෙන් ගුරුවරුන්ට ලබා දීමට ක්‍රියා කිරීම ආදී සේවාවන් විශේෂ වේ.

කුඩා කල සිටම සමාජ සේවයට ලැදියාව දැක් වූ නාහිමියෝ තම විහාරස්ථානය පුළුල් කොට විවිධ සමිති සමාගම් ආරම්භ කළහ. ඒ අතර වයඹ සමාජ සුබ සාධන හා සංස්කෘතික සංවර්ධන පදනම වැදගත් ස්වේච්ඡා සංවිධානයකි. උන්වහන්සේට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන සංසදයේ සභාපතිත්වය ද සමාජ සේවා ජාතික ක්‍රියාකාරි පෙරමුණේ සභාපතිත්වය ද හිමි වී ඇත. එසේම සමාජ සේවා කැපවීම නිසා ‘සේවා කීර්ති’ සම්මානයෙන් ද පිදුම් ලබා ඇති අතර, ජාතික, ආගමික, ශාසනික, අධ්‍යාපන ආදි වශයෙන් නාහිමිපාණන්වහන්සේ සිදුකරනු ලැබූ මහඟු සේවය අගය කරමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් ‘ධර්ම කීර්ති ධර්මරක්‍ෂිත රතනපාල’ යන විශේෂ ගෞරව උපාධිය සහිතව කුරුණෑගල මහා දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට ද පත් කර ඇත.