Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 32

සෝණකුටිකණ්ණ මහ රහතන්වහන්සේ

සංසාරය කියන්නේ අතිශයින් ම දුක් සහිත එකක්. මේ ඉපදෙමින් මැරෙමින් පැමිණි සංසාර ගමන ආරම්භයක්, කෙළවරක් පෙන්වන්නට බැරි තරම්ම දීර්ඝ බවත් එබඳු සංසාර ගමනට නැවතීමේ තිත තබන ලෙස සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් වදාළේ. ඒ උතුම් සම්බුදු වදන්වලට අනුව ජීවිතය ගතකොට, මේ ජීවිතයේදී ම සසර දුක් අවසන්කර ගන්නේ් උතුම් රහතන් වහන්සේලා යි. අද දවසේත් අප ඉගෙන ගන්නේ ඒ රහතුන් අතර වැඩසිටි උතුම් සෝණකුටිකණ්ණ මරහතන් වහන්සේ ගැනයි.

පදුමුත්තර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වී වදාළා. එකල හංසවතී නම් නුවරක මහත් වූ ධන සම්පත් ඇති සිටු පුත්‍රයෙකු ලෙසයි සෝණකුටිකණ්ණ තෙරුන් ඉපදී සිටියේ. දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් මහරහතුන් පිරිවරාගෙන හංසවතී නුවරට වැඩම කළා. අප දන්නවා බුද්ධානුභාවය කියන්නේ හරිම අසිරිමත් එකක්. ඒ උතුම් බුද්ධානුභාවය නගරවැසියන් පැළඳසිටි ආභරණයන්ගේ මුතු මැණික් අසාමාන්‍ය ලෙස එළි විහිදුවමින් බබලන්නට පටන් ගත්තා. නගරයේ වීදිවල නිවෙස්වල තිබූ බෙර, දවුල්, වීණා ආදී වාද්‍ය භාණ්ඩ ඉබේම වාදනය වුණා. හැමදෙනාම මහ හඬින් සාධුකාර දුන්නා.

මෙය දුටු සිටුවරයාගේ සිත බුදුරජුන් කෙරෙහි බොහෝ සෙයින් පැහැදුණා. ඒ නිසාම ඔහුත් නිතර නිතර පුදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීමට විහාරයට ගියා. එක් දිනක් ධර්ම දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ‘පින්වත් මහණෙනි, මේ භික්ෂුව මාගේ ශාසනයේ යහපත් වචන ඇති භික්ෂුන් අතරින් අග්‍ර වන්නේ’ යැයි රැස් ව සිටි භික්ෂු පිරිසෙන් එක් භික්ෂුවකට අගතනතුරු පිරිනමා වදාළා. මේ සිද්ධියෙන් සිටුතුමාටත් අනාගතයේ බුදු සසුනක මේ තනතුර ලැබීමේ කැමැත්තක් ඇතිවුණා. ඔහු සත් දිනක් පුරාවටම බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට මහා දන් පූජා කළා. අවසන් දිනයේ දන් පිරිනමා හෙතෙමේ ‘අනාගත ශාසනයක මටද යහපත්වචන ඇති භික්ෂූන්’ අතර අග තනතුර ලැබේවා! යි අධිෂ්ඨාන කළා. තුන්කල් දකිනා පදුමුත්තර බුදුරාණන් වහන්සේ ‘මේ මහත් දන් පූජා කළ සිටුවරයා දෙස බලන්න. මෙතෙමේ අනාගතයේ ගෞතම නම් බුදු සසුනේ යහපත් වචන ඇති භික්ෂුන් අතුරින් අග තනතුරු ලබන්නේ යැයි වදාළා.

ඒ ජීවිතයේ බොහෝ පින්දහම් කළ ඔහු මරණින් මතු සුගතියේ ඉපදුණා. සසර ගමනේ බුදු සසුනක් මුණ ගැසෙන්නේ කෙතරම් කලාතුරකින් ද? යළිත් මීට කල්ප අනූඑකකට පෙර යුගයේ විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. එකල මිනිසුන් අතර ඉපදී සිටි ඔහුට විපස්සී බුදුරජුන් සමීපයේ පැවිදිවීමේ වාසනාව ලැබුණා. තමන්ගේම සහෝදර සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකට ඉරුණු සිවුර මසා දීමෙන් ඒ ජීවිතයේදී සංඝෝපස්ථාන පින් රැස්කළා. මරණින් මතු දෙවියන් අතර උපත ලැබූ හෙතෙමේ යළිත් බුද්ධ ශුන්‍ය යුගයක දඹදිව බරණැස නම් නුවරක ඉපදුණා. එකල ඔහු රෙදි වියන්නෙක්. අමුසොහොනෙන් අහුලාගත් රෙදි කෑලි එකතුකොට ඔහු අඟනා සිවුරක් සැකසුවා. ඒ සිවුර ඔහු එක්තරා පසේබුදුරජාණන් වහන්සේ නමකට පූජා කළා.

මේ අයුරින් සසර ගමනේ නොයෙකුත් පින්දහම් කරමින් පැමිණි හෙතෙමේ මේ මහා භද්‍ර කල්පයේ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ යුගයේ මනුලොව උපත ලැබුවා. අවන්ති රට කුරරඝරයේ ඉතා ධනවත් සිටු පවුලක උපන් ඔහුගේ නම වුණේ ‘සෝණ’. ඔහු දැරූ කුණ්ඩලාභරණයේ වටිනාකම කෝටියක් වුණා. ඒ නිසාම පසු කලෙක ඔහු ජනයා අතර ‘සෝණකුටිකණ්ණ සිටු පුත්‍රයා’ ලෙස ප්‍රසිද්ධ වුණා. සෝණකුටිකණ්ණ සිටුපුත්‍රයා බුදු සසුනේ පැහැදී දන්පැන් ආදිය පුදමින් සිල්වත් ජීවිතයක් ගතකළා. ඒ හේතුවෙන් ම ඔහු සෝණකුටිකණ්ණ උපාසකතුමා යැයි ප්‍රකට වුණා.

ඒ කාලයේ මහාකච්චාන මහරහතන් වහන්සේ අවන්ති රට කුරරඝරයේ, ‘පවත්න’ කියන පර්වතයේ වැඩ සිටියේ. ඒ දිනවල මහාකච්චාන තෙරුන්ට උපස්ථාන කළේ සෝණකුටිකණ්ණ උපාසකතුමා යි. දිනක් විවේකයෙන් සිටි මේ උපාසකතුමාට සිතුණා. ‘ආර්ය වූ මහාකච්චාන තෙරුන් ඒ ඒ ආකාරයෙන් ධර්මය කියා දෙනවා. ඒ ඒ ආකාරයෙන් ම මමත් නුවණින් සිහි කරන්න ඕන. නමුත් ගිහිගෙදර ඉඳලානම් පිරිපුන්, පිරිසුදු, සුදෝසුදු බඹසර හැසිරෙන එක ලේසි නැහැ. මටත් ගිහිගෙදර අත්හැරලා කෙස්රැවුල් බාලා කසාවත් පොරොවගෙන බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න තිබෙනවානම් කොතරම් දෙයක් දැයි සිතුනා.

නමුත් කාමයන් කෙරෙහි ඇල්ම සහිතවම මේ උපාසකතුමා කරන ඉල්ලීමට මහාකච්චාන තෙරුන් මෙසේ පිළිතුරු දුන්නා. ‘පින්වත් සෝණ, ජීවිතාන්තය දක්වාම එක වේලකින් යැපීම ගොඩක් දුෂ්කරයි. තනියම හුදෙකලාවේ ඉදීමත් දුෂ්කරයි. බඹසර වාසයත් දුෂ්කරයි. ඒ නිසා සෝණ ඔබ ගිහිගෙදර වසමින්ම බුදු සසුනේ යෙදෙන්න. උපෝසථය රකින්න. හුදෙකලාවේ බඹසරත් ගත කරන්න.

මේ අයුරින් අවස්ථා තුනකදී පැවිද්ද ඉල්ලා සෝණකුටිකණ්ණ උපාසකතුමාට මහාකච්චාන තෙරුන් සමීපයේ පැවිදි වීමේ වාසනාව ලැබුණා. නමුත් සෝණකුටිකණ්ණ ස්වාමින් වහන්සේට අවුරුදු තුනක් පමණ ප්‍රමාද වෙලයි උපසම්පදා වෙන්ට ලැබුණේ. උපසම්පදාවෙන් වසරක් ගත වූ කළ උන්වහන්සේ මහාකච්චාන තෙරුන්ගෙන් අවසර අරගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියේම සෝණකුටිකණ්ණ ස්වාමින් වහන්සේට සේනාසන සකස් කරන ලෙස භාග්‍යවතුන් වහන්සේ පවසා වදාළා. එදින අලුයම භාග්‍යවතුන් වහන්සේ ‘සෝණ, ඔබ ඉගෙන ගත් ධර්මය පවසන්න’ කියා වදාළා. අතිශයින් පී‍්‍රතියට පත් උන්වහන්සේ මිහිරි හඬින් සුත්ත නිපාතයේ අට්ඨක වර්ගයට අයත් සූත්‍ර දාසයම සජ්ඣායනා කළා. එයට සාධුකාර පැවැත් වූ ශාස්තෘන් වහන්සේ සෝණකුටිකණ්ණ ස්වාමින් වහන්සේට මේ අයුරින් අනුශාසනා කොට වදාළා.

’ජීවිතය නමැති ලෝකයේ ආදීනව දැක්කට පස්සේ, ඒ අමා නිවන එකම සැනසීම හැටියට දැනගත්තට පස්සේ, ආර්ය පුද්ගලයා පව්වල ඇලෙන්නේ නැහැ. පාපී දේවල් කවදාවත් පිරිසුදු කෙනාගේ ඇලෙන්නේ නැහැ.

මේ අවවාදය සිතට ගත් සෝණකුටිකණ්ණ ස්වාමින් වහන්සේ විරිය වඩා නොබෝ කලකින්ම රහතන්වහන්සේ නමක් බවට පත්වී වදාළා. ඒ අරහත්වයෙන් පසු පී‍්‍රති වාක්‍ය ලෙස මේ මිහිරි ගාථාවන් ප්‍රකාශ කොට වදාළා.

උපසම්පදා ච මේ ලද්ධා
විමුත්තෝ චම්හි අනාසවෝ
සෝ ච මේ භගවා දිට්ඨෝ
විහාරේ ච සහාවසිං

මාත් උපසම්පදාව ලබා ගත්තා. නිකෙලෙස් වූ චිත්ත විමුක්තිය ඇතිකර ගත්තා. භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ගිය වෙලාවේ ඒ බුදු සමිඳාණන් වැඩවසන විහාරයේ පවා මට වාසය කරන්නට ලැබුණා.

බහුදේව රත්තිං භගවා
අබ්භෝකාසේ තිනාමයි
විහාර කුසලො සත්ථා
විහාරං පාවිසී තදා

එදා රාත්‍රී බොහෝ වෙලාවක් යනතුරු භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමිනුයි වැඩසිටියේ. විවිධාකාර සමාපත්ති වලින් වැඩ සිටින්නට දක්ෂ වූ අපගේ ශාස්තෘන්වහන්සේ එකල ගන්ධ කුටියට වැඩිසේක.

සත්ථරිවාන සංසාටිං
සෙයයං කප්පේසි ගෝතමෝ
සීහෝ සේලගුහායං ච
පහීණ භය භේරවෝ

ඒ ගෞතම සමිඳාණන් දෙපට සිවුර අතුරා සිංහ සෙය්‍යාවෙන් සැතපුනේ බිය තැති ගැනීම් කිසිවක් නැතිව ගල් ලෙනක වාසය කරන සිංහ රාජයෙක් වගේ.

භතෝ කල්‍යාණවාක්කරණෝ
සම්මා සම්බුද්ධසාවකෝ
සෝණෝ අභාසි සද්ධම්මං
බුද්ධසෙට්ඨස්ස සම්මුඩේ

එදා එතැනදී සම්බුදු සමිඳාණන්ගේ ශ්‍රාවකයෙක් වූ මිහිරි ලෙස කථා කරන සෝණකුටිකණ්ණ ඒ ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් ඉදිරියේ දහම් දෙසුවා

පඤ්චක්ඛන්ධේ පරිඤ්ඤාය
භාවයිත්මාන අඤ්ජසං
පප්පුය්‍ය පරමං සන්තිං -
පරිනිබ්බායිස්සතයනාසමෝ

පංච උපාධානස්කන්ධයන්ගේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත්තා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කර ගත්තා. පරම ශාන්තියට පත්වුණා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පාන්නට ඔහුට දැන් පුළුවන්.

ශ්‍රාවකයන්ට අගතනතුරු පිරිනමද්දී ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං කල්‍යාණවාග්කරණානං යදිදං සෝණෝ කුටිකණ්ණෝ ‘මහණෙනි, මාගේ ශ්‍රාවකයින් අතරේ මේ සෝණ කුටිකණ්ණයන් යහපත් වචන ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වේ’ යැයි බුදුරජුන්ගෙන් අගතනතුරු ද ලැබුවා.

ඇත්තෙන්ම පින් බලයෙන්ම සුන්දර වූ මේ ජීවිත හරිම මනස්කාන්ත යි. සසරේ යළි නූපදින ස්වභාවයට පත් වූ සුන්දර ජීවිත සහිතව පිරිනිවනට පත් වූ ඒ රහතන් වහන්සේලා ගැන අප සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 31 යසදත්ත මහරහතන් වහන්සේ