සිරිපා
වන්දනා සමය
ඌරුගමුවේ අස්සජි හිමි
මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පා ගමනෙන් යා
යුතු සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානයයි.
එම දුෂ්කරතාව නිසාම ශ්‍රී පාද වන්දනා ගමන තුළින් ලැබෙන කුසලය සෙසු
වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා
උසස් යැ’යි වන්දනාකරුවෝ
අදහති. එබැවින් පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත්
උනන්දුවකින් බැතිමත්හු සිරිපා තරණය කරති.
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ නිරිත දිග් භාගයේ සමනළ කන්ද පිහිටා තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ උතුරු උඩ පත්තුවට අයත් මෙම සමනළ
කන්දෙහි උස ප්‍රමාණය මුහුදු මට්ටමේ සිට මීටර් 2230 ක් පමණ වේ. පරිවාර
කඳුවැටි සමූහයකින් වට වී කේතුරූපාකාරව දර්ශනය වන සමනළ කන්ද ස්වභාව
ධර්මයේ අපූර්ව නිර්මාණයක් ලෙස සැලකිය හැකිය.
පුරාතනයේ පටන්ම සමන්තකූටය ජගත් ආකර්ෂණයට ලක් වූයේ එහි ස්වභාව අලංකාරය
නිසා පමණක්ම නොව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය මෙම ගිරි ශිඛරය
මත පිහිටුවා තිබීම නිසාය. ශ්‍රී පාදස්ථානය බෞද්ධ සැදැහැවතුන්ගේත්
හින්දු හා ඉස්ලාම් ආගමික බැතිමතුන්ගේත් පූජෝපහාරයට ලක් වූ ස්ථානයකි.
එහි සියලුම ආගමික වතාවත් සිදුකරනු ලබන්නේ බෞද්ධයන් විසිනි. එම සියලු
ආගමික කටයුතුවල ප්‍රධානත්වය හිමිවන්නේ ශ්‍රී පාදස්ථානාධිපතින්
වහන්සේටය.
උඳුවප් මස පුරපසළොස්වක පොහොය උදාවත් සමඟම ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ
වෙයි. එතැන් සිට ඊළඟ වෙසක් පුරපසළොස්වක පොහොය දක්වා කාලය ශ්‍රී පාද
වන්දනා සමයයි. මෙම වන්දනා සමය ආරම්භ වන්නේ චිරාගත සම්ප්‍රදායානුකූල
ආගමික වතාවත් රාශියක් ඉටු කිරීම තුළිනි. එහි අදියර කිහිපයක් මෙසේ
ගොනුකොට පෙන්වාදිය හැකිය.
1. පැල්මඬුල්ලේ ගල්පොත්තාවල පන්සලේ සිදු කෙරෙන වතාවත්
2. රත්නපුර මහ සමන් දේවාලයේ සිදු කරන පුද පූජා
3. සමනළ කන්දේ සිදුකරන ආගමික වතාවත්
මේවා නියමිත ඒ ඒ අවස්ථාවන් හිදි අනුපිළිවෙළින් සිදු කෙරේ.
ශ්‍රී‍්‍ර ලංකාවේ බෞද්ධ ජන ජීවිතය හා සබැඳි විශේෂ අංගයක් වනුයේ වන්දනා
ගමන් යෑමය. අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණ එකල පා ගමනින් ම වන්දනා
ගමන් යෑමට මෙරට සැදැහැවත්හු හුරුපුරුදු වී සිටියහ. ශ්‍රී පාද වන්දනා
ගමනට අනෙකුත් වන්දනා ගමන් වලට වඩා විශේෂත්වයක් හිමි විය. සමන් දෙවියන්ට
භාරහාර වී ශ්‍රී පාද වන්දනා ගමන ආරම්භ කරන ජනතාව ඇතැම්විට තම ඉඩකඩම්
පවා ඤාතීන්ට පවරා දී ශ්‍රී පාද වන්දනාවේ යෙදුණහ.මෙරට ජනතාව වන්දනාවේ යන
සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පා ගමනෙන් යා යුතු එකම සිද්ධස්ථානය
වන්නේ ශ්‍රී පාදස්ථානයයි. එම දුෂ්කරතාව නිසාම ශ්‍රී පාද වන්දනා ගමන
තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන් වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි
වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයාද සමඟ වන්දනා නඩ වශයෙන්
සංවිධානය වී මහත් උනන්දුවකින් බැතිමත්හු සිරිපා තරණය කරති. එහි දී
ඔවුහු ගමන් විඩාව සංසිඳුවා ගැනීම පිණිස මෙවැනි කවි ගායනා කළහ.
ගමනේ වෙහෙසක් සිතට නොගල්ලා
ගමනට ඉනි මග කවි පවසල්ලා
බුදු ගුණ කියමින් ගමන යමල්ලා
දෙනෙතට වැඳ සිරිපා වැඳ ගල්ලා
කවි පමණක් නොව ශ්‍රී පාද වන්දනාවට ම ආවේණික වූ සැහැලි ස්වරූපයේ කියමන්
රාශියක්ද ද පවතියි. මේවා ගැමිජනතාව විසින් නිර්මාණය කරන ලද ‘වාගාලාප’
ලෙස නම් කළ හැකිය.වන්දනා නඩය කොටස් දෙකක් වශයෙන් බෙදී මෙම වාගාලාප
ගැයීම සිදු කරති.මෙහි මුල් පේළිය වන්දනා පිරිසේ නායකයා හෝ ඒ පිළිබඳ
දක්ෂතා ඇති වෙනත් කෙනෙකු හෝ හඬ නඟා කියයි. ඒ අනුව සෙස්සෝ සාමූහිකව
අනෙක් පේළිය හඬ නගා කියති. එවැනි වාගාලාප කොටසක් මෙසේ පෙන්වා දිය
හැකිය.
1.අපේ බුදුන් 1.පෙරළි පෙරළි
2. අපි වඳින්ඩ 2. අපි වඳින්ඩ
1 .එරන් පතුල 1.මැණික් පතුල
2.අපි වඳින්ඩ 2.අපි වඳින්ඩ
1. වම් සිරිපා 1.දෙදණ නමා
2.අපි වඳින්ඩ 2.අපි වඳින්ඩ
1.නළල තබා 1.සිරස නමා
2.අපි වඳින්ඩ 2.අපි වඳින්ඩ
1.තෙලුත් පුදා 1.මලුත් පුදා
2.අපි වඳින්ඩ 2.අපි වඳින්ඩ
1.බුදු සරණයි 1.දම් සරණයි
2. අපි වඳින්ඩ 2.අපි වඳින්ඩ
1.සග සරණයි 1.තුන් සරණයි
2.අපි වඳින්ඩ 2.අපි වඳින්ඩ
1.කෝඩු සමඟ 1.දොහොත් නඟා
2.අපි වඳීන්ඩ 2.අපි වඳින්ඩ
1.සමන් දෙවියො 1.කිරි කෝඩුට
2.වන්දවන්ඩ 2.කරුණාවයි
1.දඬු කෝඩුට 1.සමන් දෙවිඳු
2.කරුණාවයි 2.කරුණාවයි
මෙම වාගාලාප වන්දනාකරුවන් ගේ මුවින් නික්මෙන්නේ සමන්ගිර නැඟයන
අවස්ථාවේදිය. සිරිපා වැඳගෙන පහළ බසින සැදැහැවත්හු ඉහළ නඟින්නන් හමුවන
කල මෙසේ කියති.
1.අපේ බුදුන් 1.නළල තබා
2.අපි වැන්දා 2.අපි වැන්දා
1.වඳින්ඩ යන මේ නඩේට
2. සුමන සමන් දෙවි පිහිටයි
එවිට සමනොළ ගිර නඟින පිරිස මෙසේ කියති.
1.වැඳල බහින මේ නඩේට
2.සුමන සමන් දෙවි පිහිටයි
1.කරුණාවයි – කරුණාවයි
2.කරුණාවයි – කරුණාවයි
සමනළ ගිර නැඟීමේදීත් බැසීමේදීත් වන්දනාකරුවන් මෙම වාගාලාප කියනුයේ
වෙහෙස නිදිමත ආදිය දුරුකර ගැනීමටත්,ආගමික ශ්‍රද්ධාව, දියුණු කරගැනීම
පිණිසත් ය.සිිරිපා වන්දනාවේ දී ‘තුන් සරණය ‘ නමැති ජන කාව්‍යයේ එන කවි
ගායනා කිරීමද සාම්ප්‍රදායික සිරිතකි. තවද සිරිපා වන්දනාව හා ආවේණික වූ
විශේෂ වචන මාලාවක් ද තිබේ. මෙම වචන මාලාව සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ
අවස්ථාවකවත් භාවිත වන බවක් දැකිය නො හැකිය.
මෙම වචන මාලාව අතුරෙන්, හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම
සිිරිපා පුදබිමේදී හඳුන්වන්නේ ‘ඉර සේවය’ යන නමිනි. වන්දනාකරුවන්
ඔවුනොවුන් හමුවන අවස්ථාවන් හිදී ආශිර්වාද කරගන්නේ ‘කරුණාවයි’ කියමිනි.
එය වෙනත් අවස්ථාවක ‘ආයුබෝවන්’ යැයි කීම හා සමානය. ජීවිතයේ ප්‍රථම වතාවට
සිරිපා වන්දනාවේ යන තරුණයා ‘කෝඩුකාරයා’ නමිනුත්, වැඩිහිටියා, ‘දඬුකෝඩු’
නමිනුත් කුඩා දරුවකු හෝ දැරියක ‘කිරිකෝඩු’ නමිනුත් හැඳින්වෙයි. තද අඳුර
සහිතව වළාකුළු පැතිරයාම සිරිපා වන්දනාවේදී ‘කෝඩේ’ නමිනුත් වැසි වසින බව
හැඟවීම ‘ගඟුල බානවා ‘ නමිනුත් ව්‍යවහාර වේ.
සිරිපා වන්දනාවේදී ‘ගෙත්තම් කිරීම ‘ නමින් සිදු කරන අභිචාර විධියක්
පවතී. ඉදිකටු හා නූල් රැගෙන ඒවා ගසක අත්තක දවටා යෑම මෙයින් අදහස් වේ.
සිරිපා මළුවේ දක්නට තිබෙන විශාල පහන හඳුන්වනුයේ ‘දොලොස්මහේ පාන’ නමිනි.
සිරිපා වන්දනාවේ දී භාවිත වන ‘පරඩැල් පෑගෙනවා ‘ යනුවෙන් අදහස් කෙරනුයේ
‘කටු ඇනෙනවා ‘ යන්නයි. ගමන් මාර්ගය අවහිර නම් ඉඩ ඉල්ලා ගන්නේ ‘සංහිඳේ
‘ යනුවෙන් පැවසීමෙනි. ‘ඉඩ දෙන්න ‘ යනු එහි අර්ථ ය යි . සිරිපා
වන්දනාකරුවා ගෙන යන සියලුම ආම්පන්න බහාලන උරය ‘සැහැල්ලුව’ නමි.
සැහැල්ලුව වනාහි කරේ දමාගෙන යා හැකිවන පරිදි මැසූ ලොකු උරයකි.
වර්තමානයේදි නම් සිරිපා වන්දනා ගමනේ දී සැහැල්ලුව භාවිතයට නොගන්නා
තරමටම අභාවයට ගොස් තිබෙන බව පෙනේ. එහෙත් දැනුදු මෙම වචනය භාවිතයේ
පවතියි. සමනළ කන්දේ ඉහළ කොටසේ තද ශීතලක් පවතී. එම තද ශීතල සහිත
ප්‍රදේශයෙහි ගමන් කිරීම ‘හිමේ නඟිනවා’ යනුවෙන් හැඳින්වේ. වන්දනාකරුවන්
සිරි පතුල වැඳීමට පෙර පිරිසුදුවීම ‘පේවීම ‘ නම් වේ. දෙහි කැබැල්ලක් ගා
සීත ගඟුලෙන් නෑම මෙහි විශේෂ පේවීම ලෙස හැඳින්විය හැකිය. සිරිපා
වන්දනාකරන පිරිස ‘නඩය’ නමින් හඳුන්වන අතර එම පිරිසේ නායකයා ‘නඩේ ගුරා’
යනුවෙන් හඳුන්වයි. සිරිපා වන්දනාව හා පමණක් ආවේණික වූ මෙම වචන මාලාව
හුදෙක් ගැමි පාරිභාෂික වචන කෝෂයක් ලෙස හඳුන්වා දිය හැකිය.
සිරිපා වන්දනා සමයෙහි සිරිපා මළුව තුළ සාම්ප්‍රදායික ව පැවැත්වෙන පුද
සිරිත් සමූහයක් ද පවතියි. බදාදා, සෙනසුරාදා, යන කෙම්මුර දිනයන් හිදී
සිදුවන විශේෂ චාරිත්‍රයක් වනුයේ සවස පූජාවට පෙරාතුව රැස්ව සිටින
බැතිමතුන් සියලු දෙනාම මළුවෙන් ඉවත්කර, පිවිසෙන දොරටු වැසීමයි. ඉන්
අනතුරුව මළුවේ කාර්ය මණ්ඩලය විසින් නා නා විධ සුවඳ වර්ග මුසු කළ පැන්
කළ හතකින් ශ්‍රී‍්‍ර පාද පද්මය දෝවනය කරනුලැබීම සිදුවේ. ඉක්බිතිව සුමන
සමන් දේවාලය ද එලෙසම පවිත්‍ර කෙරේ. මුළු සිරිපා මළුවම සුවඳ ජලයෙන් සෝදා
සඳුන් කිරි පැන් ඉසීමෙන් පිරිසුදු කිරීම අඛණ්ඩව සිදුවන පැරැණි සිරිතකි.
මෙම පවිත්‍ර කිරීම් වලින් පසුව සාම්ප්‍රදායිකව සකස් කළ බුද්ධ පූජාව
ගෞරවාන්විත පුද පෙරහරක් මඟින් මළුව වටා තෙවරක් වැඩම කරවාගෙන විත්
ශ්‍රී‍්‍ර පාද වහන්සේ අභියස තැන්පත් කෙරේ. දේව පූජාව ද එබඳුම පූජා
පෙරහරක් මගින් වැඩමවා සමන් දේවාලයෙහි තැන්පත් කරයි. සැදැහැවතුන්ට
වන්දනාව සඳහා දොරටු විවෘත වනුයේ මෙම සියලු පූජාවන් හා චාරිත්‍ර විධි
පැවැත්වීමෙන් පසුවයි. ශ්‍රී‍්‍රපාදස්ථානයෙහි ආගමික තේවාව භාරව සිටින
භික්ෂූන් වහන්සේ දෛනිකව උදේ සවස ශ්‍රීපාද වහන්සේ අභියස සහ සමන් දේවාලය
තුළ සෙත් පිරිත් දේශනා කරති. කපුරාළවරුන්ගේ යාතිකාවන්ද සිරිත් පරිදි
පැවැත්වේ.
මෙම පුද පූජා හා උත්සවවලට අමතරව වසරේ මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ
සිරිපා මළුවේ සිදුකෙරෙන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඇතුළු
පුණ්‍යෝත්සව මාලාවද විශේෂ වැදගත්කමකින් යුක්තය. |