Print this Article


දසවස්තුක සම්‍යක්දෘෂ්ටිය

දසවස්තුක සම්‍යක්දෘෂ්ටිය

දසවස්තුක සම්‍යක් දෘෂ්ටියෙන් ඉදිරිපත්වන්නේ කර්මය හා එහි ප්‍රතිඵල පිළිබඳ අවබෝධයත් සදාචාරාත්මක ජීවිතයේ වටිනාකම පිළිබඳවත්ය. මේ දැක්ම සහිත පුද්ගලයා තවදුරටත් සදාචාර සම්පන්න ජීවිතයකට යොමු වේ. එසේම පුද්ගලයෙකුගේ ආගමික ජීවිතයේ ආරම්භ පියවර වන්නේද මෙම සදාචාරාත්මක දැක්මයි

නිවැරදි දැක්ම සම්‍යක්දෘෂ්ටියයි. සසර දුකින් නිදහස් වීමේ පිළිවෙතට අයත් ආරම්භක ප්‍රඥාසම්පත්තියට පත්වීම සිදුවන්නේ සම්‍යක් දෘෂ්ටියේ පිහිටීමෙන්ය. එබැවින් එය ආර්ය මාර්ගයේ පූර්වංගම කරුණ වශයෙන් ඉදිරිපත් කර තිබේ. අයහපතින් යහපත හෙවත් නිවැරැදි දේ සදාචාරත්මකව වෙන්කොට හඳුනාගැනීමට අවශ්‍ය අවබෝධය ඇතිවන්නේ යහපත් දැක්ම තුළින්ය. සෙසු මාර්ග අංගවලට අවශ්‍ය පදනම සකස් කෙරෙන්නේ සම්‍යක්දෘෂ්ටිය බැවින් එය සියල්ලටම පූර්ව අංගය වශයෙන් හඳුන්වා තිබේ. නිවැරැදි දැක්ම දෙයාකාරයකින් වර්ධනය කරගත යුතු බව මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වේ. ඒ අනුව ආශ්‍රව සහිත පින් පැත්තට යොමු වූ ප්‍රතිවිපාක සහිත සම්‍යක්දෘෂ්ටිය හා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්‍යක් දෘෂ්ටිය යනුවෙන් එය කොටස් දෙකක් යටතේ දැක්වේ. තවදුරටත් සරල කොට දක්වන්නේ නම් එයින් ලෞකික හා ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය අදහස් වේ.

දසවත්ථුක සම්මාදිට්ඨි හා චතුසච්ච සම්මාදිට්ඨි යනුවෙන්ද එය හඳුන්වනු ලැබේ. මෙම ලිපියෙන් පළමු ලෞකික සම්‍යක්දෘෂ්ටිය ගැන පමණක් සාකච්ඡා කෙරේ. පළමු ලෞකික සම්‍යක්දෘෂ්ටිය යනු දසවස්තුක සම්‍යක්දෘෂ්ටිය වශයෙන් හැඳින්වෙන (1) දන්දීමෙහි විපාක ඇත (2) මහදන් මහා පූජා පැවැත්වීමෙහි විපාක ඇත (3) ගුණවතුන්ට පුද පඬුරු යැවීමෙහි විපාක ඇත (4) යහපත් සේ කළ හා අයහපත් සේ කළ කර්මවල විපාක ඇත (5) මෙලොව ඇත (6) පරාලොව ඇත (7) මව ඇත (8) පියා ඇත (9) ඕපපාතික සත්ත්වයන් ඇත (10) මෙලොවත් පරලොවත් තමාම දැන ප්‍රත්‍යක්‍ෂ කර සිටින නිවැරැදි මගට පිළිපන් මහණ බමුණන් ඇත යන පිළිගැනීමයි.

අට්ඨකථාචාර්යන් විසින් මෙම පිළිගැනීම “කම්මස්සකථා සම්මාදිට්ඨි” යනුවෙන් හඳුන්වා තබේ. සමස්තාර්ථයෙන් එයින් ප්‍රකාශ වන්නේ කර්මය හා කර්ම ඵල විශ්වාසයයි. මෙම දැක්ම නොමැති පුද්ගලයා ආගමික ප්‍රතිපදාවකට අවතීර්ණ නොවේ. පුද්ගලයා ආගමික ප්‍රතිපදාවකට යොමුකරන මූලික දැක්ම හා සැකැස්ම මෙම දසවස්තුක සම්‍යක්දෘෂ්ටියෙහි ඇතුළත් වේ. අන්තර්ගත ලක්ෂණ එකිනෙක විමසීමෙන් එහි වැදගත්කම අනාවරණය කරගත හැකිවේ. පළමු අංග තුනෙන් අදහස් කෙරෙන්නේ පරිත්‍යාගය හෙවත් යමක් අන් අය සමඟ බෙදා ගැනීමේ වටිනාකම තේරුම් ගැනීමයි. නැතහොත් දන් දීමෙහි හා පුද පූජා පැවැත්වීමෙහි වටිනාකම වටහා ගැනීමයි. සිව්වැන්නෙන් කර්මය හා එහි විපාක පිළිබඳ දැක්ම අදහස් වේ. මේ නිසා පුද්ගලයාට පවින් වැළකී යහපතෙහි යෙදීමට අවශ්‍ය අවබෝධය ඇති වෙයි. පස්වැන්නෙන් පුනර්භවය පිළිබඳ විශ්වාසය අදහස් කරයි. නැතහොත් මෙලොව පරලොව පැවැත්මක් තිබේ යන විශ්වාසයයි. සංසාරික පැවැත්මෙහි ස්වභාවය වටහා ගැනීම මෙමගින් සිදුවේ. හත සහ අට වැන්නෙන් දෙමාපියන්ට සැලකීමේ වටිනාකම ඉදිරිපත් වේ. එය පුද්ගලයා තුළ කෘතවේදීත්වය වර්ධනය කිරීමෙහිලා උපයෝගී වේ. මේ දැක්ම ඇති පුද්ගල සන්තානයක සියලු ගුණ දරා සිටීමේ ශක්තිය ඇතිවේ. නව වැන්නෙන් සංසාරික පැවැත්මේ ස්වභාවය දකිමින් පුනර්භවයේ විවිධත්වය වටහා ගැනේ. ආධ්‍යාත්මික ජීවිතයේ අග්‍රඵලය අත්පත්කරගත් උතුමන්ගෙන් ලෝකය කිසිදා හිස් නොවන බව වටහාගන්නේ අවසන් කරුණෙන්ය. එයින් තමන්ගේ ආගමික ප්‍රතිපදාව හිස් නොවන එකක් බවත් එය අනුගමනය කිරීමෙන් තමන්ටද එම උසස් තත්ත්වය අවබෝධ කරගත හැකිය යන ආත්ම විශ්වාසය පදනම්කරගත් වීර්ය හා උනන්දුව ඇති වේ. මේ සියල්ල සමාලෝචනය කළ විට දසවස්තුක සම්‍යක් දෘෂ්ටියෙන් ඉදිරිපත්වන්නේ කර්මය හා එහි ප්‍රතිඵල පිළිබඳ අවබෝධයත් සදාචාරාත්මක ජීවිතයේ වටිනාකම පිළිබඳවත්ය. මේ දැක්ම සහිත පුද්ගලයා තවදුරටත් සදාචාර සම්පන්න ජීවිතයකට යොමු වේ. එසේම පුද්ගලයෙකුගේ ආගමික ජීවිතයේ ආරම්භ පියවර වන්නේද මෙම සදාචාරාත්මක දැක්මයි.

කම්මස්සකථා සම්‍යක්දෘෂ්ටිය නොමැති තැනැත්තාගේ ජීවිතය අර්ථ ශූන්‍ය එකකි. බුදුරජාණන් වහන්සේගේ අනුපූර්ව දේශනය යටතේ දාන කථා, සීල කථා, සග්ග කථා යනුවෙන් වෙනත් අයුරකින් ඉදිරිපත් කරන්නේ මෙම දසවස්තුක සම්‍යක්දෘෂ්ටියයි. සමකාලින ආගම් විචාරය කිරීමේදී බුදුරජාණන් වහන්සේ භෞතික වාදීආගම් කෙරෙහි දැක්වූ ආකල්පයට වඩා වෙනස් ආකල්පයක් කර්මවාදී ආගම් කෙරෙහි දැක්වූහ. කර්මවාදී පුද්ගලයන් පැවිද්දට ඇතුළත් කරගැනීමේදී පරිවාසයට යටත්නොකර ඔවුන්ට පැවිද්ද ලබාදීමට අනුදැන වදාළ.

කාමසුකල්ලිකානු යෝගය තරම් ප්‍රබල ආකාරයෙන් අත්තඛිලමතානුයෝගය දෙස නොබැලුවේ එයින් කර්මය හා කර්මඵලය පිළිබඳ විශ්වාසය පිළිගෙන තිබෙන බැවිනි. මෙනිසා අත්තඛිලමතානුයෝගය වචන තුනකින් විවේචනය කර තිබේ. භෞතිකවාදී ආගමික ඉගැන්වීම් මගින් පුද්ගලයා තුළ ආත්මාර්ථකාමිත්වය වර්ධනය කෙරේ.

බුද්ධකාලීන භෞතිකවාදය ඉගැන්වූ ආචාර්යවරයා වූයේ අජිතකේශකම්බලය. මොහු එක් අතකින් උච්ඡේදවාදියෙක් මෙන්ම අකිරියවාදියෙක් ද විය. බුදුරදුන් විසින් දසවස්තුක මිථ්‍යාදෘෂ්ටිය යටතේ බැහැරකරන ලද අංග ඔහු සත්‍ය සේ සලකා පිළිගෙන තිබේ. මේ හා සමානම භෞතිකවාදී අදහස් දරන පුද්ගලයන් වර්තමානයේද දක්නට ලැබේ. එම පුද්ගලයෝ පරිත්‍යාගය පුදපූජා පිළිවෙත් මෙන්ම දෙමාපියන්ට සැලකීම වැනි සදාචාරාත්මක ක්‍රියා අර්ථවත් නොවන දේ වශයෙන් සලකා පව්පින් නොසලකා ඉදුරන් පිනවීම තම ජීවිත පරමාදර්ශය කොටගෙන වාසය කරති. ආත්මාර්ථකාමී අයුරින් ධනය ඉපැයීමෙහි නිරත එම පුද්ගලයා සමාජ සදාචාරය හෝ නීතිය යුක්තිය බැහැරකොට ක්‍රියා කරයි. මෙවන් පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක සදාචාරය නීතිය යුක්තිය පිරිහීමට පත්වේ.

සදාචාර සම්පන්න අර්ථවත් ආගමික ජීවිතයකට අවශ්‍ය පදනම සපයන දසවස්තුක සම්‍යක්දෘෂ්ටිය පිළිබඳ අවබෝධය කවර ආගමිකයෙකුට වුවද වැදගත් වේ. මෙම අංග දහයට අයත් බොහෝ කරුණු සෑම ආගමකින්ම පිළිගෙන තිබේ. ඒ අතරින් දසවස්තුක සම්‍යක්දෘෂ්ටිය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම විශේෂ වූවකි. පුද්ගලයා තුළ කුඩා අවදියේ සිටම ආගම පදනම්කරගත් ශික්‍ෂණයක් ඇතිකිරීමෙන් අපරාධ හා සමාජ විරෝධි ක්‍රියාවලට යොමුවීම වැළැක්විය හැකි වේ.

පුද්ගලයා තුළ සම්‍යක්දෘෂ්ටිය වර්ධනය වීමෙහිලා පරතෝඝෝෂය හෙවත් ධර්මයට සවන් යොමුකිරීම හා යෝනිසෝ මනසිකාර හෙවත් නුවණින් මෙනෙහි කිරීම අවශ්‍ය වේ. ධර්මය ඇසීමෙන් හා කියවීමෙන් ඇතිවෙන අවබෝධය මෙන්ම අසන ලද ධර්මය නුවණින් මෙනෙහි කිරීමෙන් දසවස්තුක සම්‍යක්දෘෂ්ටිය වර්ධනය වේ. මෙමගින් පෙන්වා දෙන්නේ දහම් ඇසීමට යොමුවීමේ හා දහමට සිත යොමුකිරීමේ වැදගත්කමයි. ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය හෙවත් චතුසච්ච සම්මාදිට්ඨියට පෙර පුද්ගලයා තුළ ලෞකික සම්‍යක්දෘෂ්ටිය වර්ධනය පිණිස දහම් දෙසීමත් ආගමික පිළිවෙත් සකස් කිරීමත් අවශ්‍ය වේ. සමාජයට නිවැරදි දැක්මක් ඇතිකිරීමට මගපෙන්වීමේදී ආගමික නායකයන්ට අමතරව ගුරුවරුන්. දෙමාපියන් හා වැඩිහිටියනට මෙන්ම කළ්‍යාණ මිත්‍රයන්ටද පැවැරෙන වගකීම සුවිශේෂ වේ. දහමට යහපතට නීතියට අනුගතව කටයුතු කරන දරු පිරිසක් සකස්කිරීම දහම් පාසල් ගුරුවරයාගේ වගකීම වේ.

නිර්වාණාවබෝධය අවසන් අරමුණ කරගනිමින් පළමුව සදාචාර සම්පන්න පුද්ගලයෙකු නිර්මාණය කීරීම උදෙසා දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය පිළිබඳ අවබෝධය කුඩාකල සිටම සිත්හි වර්ධනයෙහිලා ගිහි පැවිදි දෙපක්ෂයම අවධානය යොමුකළ යුතු වේ.