Print this Article


අඳුරයි ආලෝකයයි

අඳුරයි ආලෝකයයි

කොසොල් රටේ වැසියන් විසින් එකතු වී ආධාර එකතු කොට පන්සියයක් පමණ භික්‍ෂුන් වහන්සේලාට වස් සමාදන් වීමට අවස්ථාව සලසා දුන්හ. භික්‍ෂුන් වහන්සේලා ද ගිහි ඇත්තන්ගේ ආරාධනාව පිළිගෙන වස් සමාදන් වී ආගමික කටයුතු කාරණා සිදු කරන්නට විය.

සාමාන්‍යයෙන් භික්‍ෂුන් වහන්සේගේ මූලික අරමුණ වන්නේ සංසාර ස්වභාවය පිළිබඳව මැනවින් අවබෝධ කොට ගෙන එයින් මිදීමට කටයුතු කාරණා කිරීමය. එසේම තමන් වහන්සේට සිදුවූයේ ඇප උපස්ථාන කරන ගිහිදායකකාරකාදීන් වෙනුවෙන් ධර්මයෙන් උපකාර කිරීමය. ගිහි ඇත්තන් සඳහා ධර්මයෙන් උපකාර කරන භික්‍ෂුන් වහන්සේලාට දෙවිදියකින් ගිහි ඇත්තන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට උපදෙස් ලබාදිය හැකිය. එනම්

1.සංසාර ස්වභාවය අවබෝධ කරගෙන ඉන් මිදෙන මඟ මැනවින් කියාදීම

2.තමන් ගතකරන ගිහිජීවිතය සතුට සොම්නස පිරි අර්ථවත් දිවියක් ලෙස ගතකිරීමට ධර්මයෙන් ලබාගත හැකි ආලෝකය පිළිබඳ පැහැදිළි කිරීම ආදියයි.

භික්‍ෂුන් වහන්සේ මේ අංශ දෙකෙන්ම විවිධ අවස්ථාවල ගිහි අයගේ ජීවිතය සාර්ථක කරගැනීමට උපදෙස් දෙති. ගිහි ඇත්තන්ගේ ආරාධනාව අනුව වස් සමාදන් වූ භික්‍ෂුන් වහන්සේගේ වැඩි අවධානය යොමුවුනේ සංසාර දුකෙහි ස්වභාවය මැනවින් අවබෝධ කරගෙන ඉන් මිදීමේ මාර්ගය කියාදීම සඳහාය. ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නේ බුදු රජාණන් වහන්සේ මැනවින් දේශනා කොට ඇති ධර්මය පිළිබඳ ආසාවත් ආදරයත් ඇතිකර ගැනීමය. මමත්වයක් ඇතිකර ගැනීමයි. ධර්මය පිළිබඳ මමත්වය ඇතිකර ගැනීම සහ ඒ කෙරෙහි ඇල්ම දැක්වීම ධර්මය යනු කුමක්දැයි මැනවින් වටහාගැනීමට යහපත් පෙළඹවීමක් ඇති කරනු ලබයි. ආසාවෙන් ආදරයෙන් තොරව ධර්මය දැනගැනීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ උපමාවකිනි. ඒ උපමාව නම් ගවයන් බලාගන්නා ගොපල්ලා වගේය යන්නයි. ගවයන් බලාගන්නා ගොපල්ලා ගවයන් මගේය. මා විසින් ගවයන් ආරක්ෂා කළ යුතුය. ගවයන් සුදුසු තැන්වලට යොමු කළ යුත්තේ මා විසින්ය කියා මමත්වයක් ඇතිකර ගනු ලැබුවද? ගවයන්ගෙන් දොවාගත් කිරි සියල්ල ලැබෙන්නේ ගොපල්ලාට නොවේ. ඒවා ලැබෙන්නේ ගවයන්ගේ අයිතිකාරයාට ය. ඇතැමුන් ධර්මය පිළිබඳව උගන්වන කරුණු කාරණා සියල්ල මැනවින් කටපාඩම් කරගෙන ඒවා ඉතාමත් මනරම් ලෙස සිත් කාවදින ලෙස අනෙක් අයට කියා දෙති. නමුත් ධර්මයේ හරය සහ ආස්වාදය භුක්ති නොවිඳිති. ඒවා හරියට ගවයන් බලා ගන්නා ගොපල්ලාට ලැබෙන ගවයන් පිළිබඳ මමත්වය වගේය.

ධර්මයෙහි මනා ආස්වාදය ලබන පුද්ගලයා මැනවින් දෙසූ ධර්මයෙහි ආස්වාදය ලබයි. එහි අරුත් මෙනෙහි කරයි. ඒ අරුත් සමාජ අරුත් සමඟ සන්සන්දනය කරයි. සමාජය ගමන් කරන ආකාරයත් සමාජයේ ජීවත්වීමට ධර්මයෙන් දෙන උපදෙසුත් අතර පවතින සාමාන්‍ය අසාමාන්‍යතා පිළිබඳ නුවණින් මෙනෙහි කරයි. එවිට ඔහුට සාමාන්‍ය සමාජයේ ජීවත්වන ආකාරය ලෙහෙසි ලෙසත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව ජීවත්වීම අපහසු ලෙසත් වැටහෙයි. ධර්මය පිළිබඳ විශ්වාසය තබන පුද්ගලයා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව ජීවත්වීම සඳහා අධිෂ්ඨානය ඇතිකර ගනී. සාමාන්‍ය සමාජය සමඟ ජීවත්වීමේදී ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය අනුව අපහසු වුණත් නිවැරැදි ක්‍රමය එය වන නිසා ධර්මය පිළිබඳ ඇතිකරගනු ලැබූ විශ්වාසයන් ඒ තුළ නිමග්න වේ.

ධර්මයට අනුගතව මනැස හදාගත් නිසාම පුද්ගලයාගේ චර්යාව තුළින්ද ඒ යහපත් තත්ත්වය සමාජයට පෙනේ. මානසිකත්වය විසින් හැසිරීමේ වෙනසක් ඇතිකර ගනු ලබයි. මෙයින් පෙනෙන්නේ සමාජයෙහි ජීවත්වන පුද්ගලයන් වර්ග දෙකක් සිටිනා බවයි. එනම්

1. ජීවත්වීමේදී ස්වකීය අරමුණ ඉෂ්ටකරගැනීම කෙරෙහි නැඹුරු වූ පිරිස

2. ස්වකීය අරමුණ ඉෂ්ටකර ගැනීමේදී ලෝකස්වභාවය පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම යනුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ජීවිතය හැඩ ගස්වාගත් පුද්ගලයා පරිසරයේ සිටින ඇතැම් මිනිසුන්ගේ දුෂ්චරිත නරක ක්‍රියා දැක ඒවා කෙරෙහි නොසැළෙයි. නොතැවෙයි. නොඑසේ නම්, නොසැළී සිටීමටත්, නොතැවී සිටීමටත් උත්සාහ කරයි. ඔහු එම උපදේශනය ගත්තේ ලෝකයේ ස්වභාවය මෙය නොවේදැයි යන සිතිවිල්ල මනැසෙහි පවතින නිසාය. තමන්ට අලාභ වන විට අපකීර්ති ලැබෙන විට නින්දා ලැබෙන විට, දුක් ලැබෙන විට ඔහු කල්පනා කරන්නේ මට මෙබඳු දේවලුත් ලැබෙනවාය කියා නොව මේවා ජීවිතයට හැදෙන්නට දෙන දායාද කියාය. ඔහු කල්පනා කරන්නේ මේ අභියෝග වලින් සාර්ථකව ජයග්‍රහණය කොට සැහැල්ලුවෙන් ජීවත් වන්නේ කෙසේද කියාය. මෙබඳු අභියෝග හමුවේ සැහැල්ලුවෙන් ජීවත්වන්නේ කෙසේ ද කියාය. මෙසේ සිතන සිතිවිලි සහිත පුද්ගලයා සන්සුන් කෙනෙකි. තැන්පත් කෙනෙකි. එබඳු පුද්ගලයා ජීවත්වන ගෘහය සන්සුන්ය. තැන්පත්ය. එබඳු පුද්ගලයන්ගෙන් පිරි සමාජයද එසේමය. බුදු දහමෙහි උගන්වන්නේ ආර්යය මාර්ගය කටපාඩම් කිරීමට වඩා ආර්යය මාර්ගය සමාජය තුළින් අවබෝධ කරගන්නා පිළිවෙතය. නිවන් දැකීම යනු සමාජයෙන් පරිබාහිරව කළ හැක්කක් නොවන බව ඉන් වැටහේ. ගිහි ගෙයින් නික්මී නිවන් දැකීම අරමුණු කරගත් පුද්ගලයා තුළ ගිහිගෙදර ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු වෙයි.

ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය යනු පෝයට සිල් සමාදන්වීම ලෙස අර්ථකථනය කොට දැක්විය හැකිද? එසේ දැක්විය නොහැකි ද? යන ගැටලු පිළිබඳ මනැස යොමුකළ යුත්තේ ඒවායේ සියල්ලන් විසින්ම නොවේද? අවුල් වියවුල් වලින් තොර සැපවත් ජීවිත ගත කරනු ලබන්නේ ආර්ය මාර්ගයට පිළිපන් අය පමණද? ආර්ය මාර්ගයෙහි සිටිනා පුද්ගලයාගේ මනැසට වෙනත් පරිබාහිර ගැටලු එන්නේ නැද්ද? ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වන්නේ මොනවාද? මිනිසුන්ගේ මනැසට මතුවන ප්‍රශ්න මූලික වශයෙන් අංශ දෙකකට යොදා සාකච්ඡා කළ හැකිය. එනම්,

1. තමා විසින්ම තමාගේ අනවබෝධය නිසා ඇතිකරගනු ලබන ප්‍රශ්න

2. වෙනත් අය විසින් කරනු ලබන වෙනත් නරක ක්‍රියා නිසා තමන්ට බලපෑම් කරනු ලබන ප්‍රශ්න යනාදී වශයෙනි. කෙනකුගේ ජීවිතයට ප්‍රශ්නයක් මතු වූ විට බණ දහමට අනුව ඔහු කල්පනා කළ යුතු යැයි දක්වන්නේ ප්‍රශ්නයෙන් ගොඩ එන මඟට වඩා මෙබන්දක් ඇතිවීමෙහි හේතුව කුමක්දැයි කියාය.

නමුත් තමන්ගේ ජීවිතයට එන හැම ගැටලුවකටමත් මේ ක්‍රමය එලෙස හරියනවාදැයි සිතා බැලීමට මිනිසා බුද්ධිමත් විය යුතුය. හේතුව නිසා ඵලය හටගත්තේ හේතුව නැති කිරීම අනුව ඵලය නැති වී ගියත් ජීවිතයේ ඇතිවන ඇතැම් ප්‍රශ්නවලදී හේතුව සොයා බැලීම අනවශ්‍යය. එයට හේතුව ප්‍රශ්නයට හේතුව සොයා බැලීම තමන්ට අදාල කාර්යයක් නොවන අවස්ථාවල දීය.

කොසොල් දනව්ව වස් සමාදන් වූ සියලුම භික්‍ෂුන් වහන්සේ බුදු රජාණන් වහන්සේ දෙසූ මේ හරවත් ධර්මය ප්‍රායෝගිකවද මිනිසුන්ට කියාදීම නිසා ධර්මය පිළිබඳ වැඩි දැනුමක් නොතිබූ පුද්ගලයා ද ධර්මය වටා එක්රොක් වන්නට විය.

කළ යුතු දේ හෙවත් වැඩිය යුතු දේ සුදු දේවල් ලෙස ද නොකළ යුතු දේවල් හෙවත් වැළකිය යුතු ධර්ම කළු ධර්ම හැටියට ද බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන බව පැහැදිළි වේ. එය හරියට අඳුරයි එළියයි වන්නේ ය. අඳුරට අකැමැති සේම නරක දෙය කලු ධර්ම ලෙස සිතා ඉවත්කළ යුතුය. ආලෝකයට ආදරය කරනවා සේම සුචරිතයෙහි යෙදීමට ආසා කළ යුතුය. මෙහිදී බුදුරජාණන් වහන්සේ හොඳ නරක යන සංකල්පවලට වර්ණයන් ද ලබාදී තිබේ. එම වර්ණය තුළින් මේවායේ ආදීනව පිළිබඳව කෙනකුට කල්පනා කිරීමට ද හැකිය.

සුදු පවතින්නේ කාල වර්ණය නිසා ය. කලු පවතින්නේ ද සුදු නිසා ය. හොඳ ද නරක ද ඒ වගේය. හොඳ පවතින තුරු නරක ද නරක පවතින තුරු හොඳ ද සමාජය තුළ පවතී. මේ දෙකෙහි ඇත්තේ සාපේක්ෂ වූ වටිනාකමකි. නමුත් බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පෙන්වා දෙනු ලබන්නේ සාපේක්ෂ වුව ද ඒ දෙකෙහිම වටිනාකම එක හා සමාන නොවන බවය. යහපත් සමාජයක් තුළ නරක සහ නරකට හිමිවන අගය අඩු වටිනාකමකින් යුක්තය. හොඳ හෙවත් යහපතට ලැබෙන අගය වැඩි වටිනාකමකින් යුක්තය.

හේමමාලා රන්දුනු