Print this Article


මරණයට නොබියව මුහුණ දෙමු

මරණයට නොබියව මුහුණ දෙමු

මරණය යනු අප සැමදෙනාට ම නියත වශයෙන් ම මුහුණ දීමට සිදුවන ස්වභාවයකි. මරණය අපගේ උප්පත්තියත් සමග පසුපස එයි. (උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා) අපගේ මරණය කවර මොහොතක වුව ද, සිදුවිය හැකි යි. එවිට දර අඟුරු කැබැල්ලක් මෙන් මෙම සිරුරෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. (අචිරං වතයං කායෝ, පඨවිං අධිසෙස්සති - ඡුද්ධෝ අපේත විඤ්ඤාණෝ, නිරත්ථංව කලිංගරං) ජීවිතය දියබුබුලක් වැනි ය. තණ අග රැඳුන දිය බිඳුවක් බඳු ය. කුමන මොහොතක හෝ වැනසෙයි. ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පෙන්වා දෙන්න මෙවැනි උපමා රැසක් බුදුදහමේ දැක්වෙයි. ජීවිතය පවත්වාගෙන යාමට තිබෙන ආයුෂය, තේජෝ ධාතුව හෙවත් ශරීර උෂ්ණත්වය හා විඤ්ඤාණය හෙවත් චිත්ත ශක්තිය අවසන් වූ විට මරණය සිදුවෙයි. සියලු සත්ත්වයෝ මරණයට බියවෙති. (සබ්බේ භායන්ති මච්චුනෝ)

තමන් මරණයට පත්වන බව ගිහි පැවිදි ගැහැණු පිරිමි සැම දෙනා විසින් ම නිරන්තරයෙන් සිහි කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙම උපදේශය නිසා ඇතැම් අන්‍යාගමිකයෝ බුදුදහම අසුභවාදයක් යැ යි ද, බෞද්ධයන් නිරතුරුවම ජීවිතය ගැන පසුතැවෙමින් මරණ බියෙන් වෙසෙන උදාසීන පිරිසක් යැ යි ද වැරැදි මතවාදයක් පතුරුවති. මරණය ගැන අප නිරතුරුව මෙනෙහි කරන්නේ ඇයි? අප නිතරම මරණය ගැන කල්පනා කරමින් බියෙන්, සැකයෙන් සිටිය යුතු බවක් බුදුරදුන් වදාළේ නැත. එසේ කරන්නේ නොබියව සහ වේදනාවකින් තොරව මරණයට මුහුණ දීමේ ශක්තිය එමගින් අපට ඇතිවන බැවිනි. ජීවත්වන කාලය තුළ මෙලොව පරලොව ගැන සිතා තමන්ටත්, සමාජයටත් ප්‍රයෝජනවත් අයුරින් ජීවත්වන්නට උනන්දු වන්නේ මරණය ගැන සිතන මිනිසුන් පමණි. අද කළ යුතු දෙය අදම කරන්න. හෙට මරණය සිදුවේ දැ යි දන්නේ කවු ද? නොනැවතී ඉදිරියට ම යන්න. පසුබට නොවන්න. මෙවැනි ඉගැන්වීම් මගින් බුදුරදුන් සිදුකළේ යහපත් ජීවිතයක් සඳහා පුද්ගලයන් දිරිගැන්වීමටයි. බුදුරදුන් පිරිනිවන් පෑමට පෙර වදාළ අවසන් වදන නම්, ලොව සියල්ල නැසෙන සුළු ය. අප්‍රමාදයෙන් කටයුතු කරන්න යන්න යි. එය ජීවිත කාලය තුළ උන්වහන්සේ දෙසූ දහම වචන කීපයකට කෙටිකොට දැක්වීමකි. පුද්ගලයන් මරණය කෙරෙහි තැති ගන්වා උදාසීන තත්ත්වයෙන් තැබීමක් එහි නැත. එය පුද්ගලයන් දිරිමත් කිරීමකි.

මම ජීවත් වන කාලයේ හොඳින් සිටියෙමි. පින් දහම් සිදු කළෙමි. අනුන්ට උපකාර කළෙමි. දරුවන්ට කරදරයක් නැතිව ජීවත්වෙන්නට මාර්ගය සැලස්වූවෙමි. මම දැන් මැරුණත් කමක් නැත. යනුවෙන් ඇතැම් වැඩිහිටියන් තමන් ගත කළ ජීවිතය ගැන සතුටට හා සෑහීමට පත්වන අයුරු අපට අසන්නට ලැබේ. එලෙස කියන්නේ තමන් මරණයට පත්වන බව කල්පනා කොට ජීවිතය සාර්ථකව පවත්වාගෙන ගිය මිනිසුන් ය. ජීවිතයේ සැඳෑ සමයේ එවැනි වදන් පවසමින් සැනසිල්ලේ මරණයට මුහුණ දීමට මට හැකිවෙයි ද? යන්න අප හැම කෙනකු විසින් ම සිතා බැලිය යුතු දෙයකි. ඔබගේ ජීවිතයේ කිසියම් උතුම් තත්ත්වයකට පැමිණ සිටින්නේ දැ යි අවසාන කාලයේ දී සද්ධි විහාරික භික්ෂූන් විමසන විට පිළිතුරු දීමට නොහැකිව බිම බලාගෙන නොසිටිමි යන හැඟීමෙන් භික්ෂුවක වුව ද, තම ආධ්‍යාත්මික දියුණුව සඳහා ක්‍රියා කළ යුතු ය. එය වහ වහා කළ යුත්තකි.

සදාකාලිකව ම ජීවත් වන්නට අපට නොහැකි යි. සසර ජීවිතයේ ඊළඟ භවයට යහපත් දෙයක් රැගෙන යායුතු යි. ඒ අප සිදුකරන යහපත් ක්‍රියාවන් ය. ජීවත්වන කෙටි කාලය තුළ අනුන්ගේ දේවල් පැහැර ගන්නේ කුමට ද? මරණයට පත් වූ පසු මේ සියල්ල අත්හැර දමා යා යුතු යි. (සබ්බං පහාය ගමනීයං) මෙවැනි සිතිවිලි ඇතිව කෙනකු තම ජීවිතය යහමගට යොමු කරගන්නේ මරණය ගැන සිතා කටයුතු කිරීමෙනි. ඒ අනුව මරණය ගැන කල්පනා කිරීම යනු ජීවිතය සුබදායක පැත්තට යොමු කර ගැනීමේ උපායකි. මා මැරෙනවා යැ යි සිතමින් බියෙන් පසුවීම නොව මා මැරෙන නිසා, ඊට පළමුව මගේ මතු ජීවිතයට, උපන් රටට හා සමාජයට යහපතක් කළ යුතු ය. යන හැඟීම ඇති කර ගැනීම මරණානුස්මෘතියේ ප්‍රයෝජනයකි. නොයෙකුත් කරුණු හේතුවෙන් තණ්හාව, ද්වේෂය, වෛරය සිතට නැඟෙන විට කුමන මොහොතක හෝ මරණයට පත්වන මා නපුරු සිතිවිලිවලට යටත් වන්නේ කුමට දැ යි කල්පනා කොට සිත පාලනය කරගන්නට පුලුවන.

මරණය හා ජීවිතයේ විඳින්නට සිදුවන දුක් කරදර පිළිබඳව අවධානයෙන් සිටීම සාමාන්‍ය ජීවිතයේ දියුණුවට ද ප්‍රයෝජනවත් ය. තමන්ගේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය ජීවන පරිසරය සකස් කර ගැනීමත්, දරුවන් වෙනුවෙන් ධනය, ඉඩකඩම් ආදිය සපයා ගැනීමෙන් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමත් සිදුකරන්නේ තම ජීවිතයේ අවදානම ගැන හිතන මව්පියවරුන් පමණි. තමන්ගේ මරණයෙන් පසු, නැතිනම් හදිසි කරදරයක් නිසා, තමන්ගෙන් යැපෙන අය අපහසුතාවයට පත්විය හැකි බව එවැනි අය තේරුම් ගනිති. නමුත් එදිනෙදා ජීවිතය ගැන පමණක් සිතන බේබදුකමට හුරු වූ, නිකරුණේ මුදල් වැයකරන මිනිසුන්ට යහපත් ජීවන පැවැත්මක් නොමැත. තමන් ජීවිත කාලයේ සිදුකරන පින්දහම් කටයුතු සටහන් කරන පින්පොතක් භාවිතා කිරීම පැරැණි වැඩිහිටියන් අතර පැවැති සිරිතකි. මරණාසන්න මොහොතේ දී එය කියවා සිත පැහැපත් කරගැනීමෙන් මතුභවය සැපවත් කරගත හැකි ය.

මරණානුස්සති යනුවෙන් භාවනා කමටහනක් ද තිබේ. මරණය ගැන නිතර මෙනෙහි කරන තැනැත්තාට මරණය සම්බන්ධයෙන් බියක් නොදැනේ. කුමන මොහොතක හෝ තම මරණය සිදුවිය හැකි යැයි සිතන ඔහු මෙලොව පමණක් නොව පරලොව ජීවිතය ද සැපවත් කරගැනීමට වෙහෙසෙයි. මරණයට නොබියව මුහුණ දීමට ශක්තියක් ඔහුගේ සිතෙහි වර්ධනය වෙයි. බෞද්ධයෝ යනු මරණයට තැති නොගන්නා පිරිසකි.

බුදුදහම පෙන්වා දෙන පරිදි අපගේ සසර පැවැත්ම නියතියක් නොවේ. සසර ගමනේ දී අපගේ භවය විවිධාකාර ය. එය යහපත් කරගත හැක්කේ ජීවිතය හා මරණය ගැන අවබෝධයෙනි. ජීවිතය සම්බන්ධ කිසිම සිදුවීමක් දේව බලමහිමයකින් සිදුවන බවක් බුදුදහම පිළිගන්නේ නැත. බුදුදහම යනු දුක ගැන ම කථාකරන, අසුභවාදී ආගමක් යැ යි වැරැදි අදහස් පතුරුවන්නේ බෞද්ධ ඉගැන්වීම් මැනවින් තේරුම් නොගත් පුද්ගලයන් විසිනි. බුදුහාමුදුරුවන්ට වුවමනා වුණේ ජීවිතය පිළිබඳව සැබෑ තත්ත්වය අවබෝධ කරදී ඒ තුළින් මිනිසාගේ දියුණුව සැලසීමට යි. එසේ නොමැතිව දුකින් කල්ගෙවන මනුෂ්‍ය සමාජයක් බිහි කිරීමට නොවේ.

අප කොපමණ සැප වින්දත්, අප සැමදෙනාගේ ම ජීවිත අතරින් දුක ගලා බසින බව රහසක් නොවේ. පසිඳුරන් පිනවන විට එය සැපයක් ලෙස හැඟෙන බව ඇත්තකි. එහෙත් සැපයක් යැ යි අප සිතන සෑම දෙයක් ම කෙළවර වන්නේ දුක් වේදනාවලිනි. ලොව පවතින කිසිම දෙයක් සදාකාලික නොවේ. වෙනස් බවට පත්වෙයි. පි‍්‍රය මනාප සැම දෙයකින් ම ඈත්වීමට අපට සිදුවෙයි. අපේ ජීවිතය අපට අහිමි වෙයි. අප පි‍්‍රයකරන මව, පියා, දූදරු නෑදෑ හිතවතුන් අපගෙන් වෙන්ව යති. මරණයට පත්වෙති. අප ආශාවෙන් පෝෂණය කරන රූපය, අඟපසඟ කාලයත් සමග ම ජරාවට පත්වෙයි. පිළිකුල් සහගත වෙයි. සුවඳ විලවුන්වලින් සැමදා එය වැළැක්විය නොහැක. කලක් අප සමග හිතවත්ව සිටි අය පසුකලක දී අපි‍්‍රය පුද්ගලයන් බවට පත්වෙයි. අපේ ජීවිත ලෙඩ දුක්වලට ගොදුරු වෙයි. අප කවුරුත් මේ දුක් දොම්නස්වලට මුහුණ දිය යුතු ය. ඒ දුක්ඛ වේදනාවන් තුනී කරගත හැක්කේ ජීවිතයේ සැබෑ ස්වරූපය තේරුම්ගෙන කටයුතු කිරීමෙනි.

රෝගයක් වැළඳුන විට එහි ස්වභාවය හා හේතු සොයා බැලීම සාමාන්‍යයෙන් සිදුකෙරෙන දෙයකි. රෝගයට බෙහෙත් නියම කරන්නේ ඉන්පසුව යි. වෛද්‍ය උපදෙස් අනුව පිළියම් කිරීමෙන් රෝගය සුව වෙයි. ඒ අනුව යම් ගැටලුවක් හොඳින් තේරුම් ගත්විට එයට විසඳුමක් සොයා ගැනීම පහසු ය. බුදුරදුන් ධර්ම දේශනා මගින් සිදු කළේ මිනිසුන් විඳින ජාති ජරා මරණ ආදී දුක් වේදනාවලට පිළියම් කියාදීම යි. අපට ජීවිතයේ විඳින්නට සිදුවන දුක්වල ස්වභාවය, ඒවා හටගැනීමට හේතු සහ ඒවායෙන් නිදහස් වීමෙන් මනැසට දැනෙන සුවදායක බව හා ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය හා දුක්ඛ නිරෝධ මාර්ග ප්‍රතිපදා සත්‍යය යනුවෙන් සඳහන් වන්නේ එම පැහැදිලි කිරීම යි.

දුක්ඛ සත්‍යය යනු දුක් සහිත තත්ත්වය යි. ඒ ගැන සඳහන් කරන විට බුදුදහම අසුභවාදී දහමක් ලෙස සිතීම වැරැදි ය. ජීවිතයේ දුක් සහිත බව විස්තර කිරීමෙන් අනතුරුව, එයින් නිදහස් වීමට අනුගමනය කළ යුතු මාර්ගය ද එහි පෙන්වා දී තිබෙන බව අප තේරුම් ගත යුතු ය. එය මේ ජීවිතයේ දී ම ලබාගන්නට හැකි උසස් තත්ත්වයකි. ඒ සඳහා දෙවියකුගේ හෝ බාහිර බලවේගයක පිහිටක් මිනිසාට වුවමනා නැත. ඉපදීම, මරණය හා ඒ අතර ජීවිතයේ විඳින්නට සිදුවන නොයෙක් දුක් දොම්නස්වලින් මිඳී විමුක්තිය ලබාගැනීමේ ශක්තිය රැඳී තිබෙන්නේ අප තුළ ම ය. බුදුවරුන් සිදුකරන්නේ විමුක්තිය සඳහා මග පෙන්වාදීම පමණි. එමනිසා, සියලු දුක්වලින් නිදහස් වීමෙන් ලබන සදාකාලික සැනසීම වන විමුක්තිය හෙවත් නිවන අප විසින් ම ලබාගත යුතු ය. බෞද්ධයකුගේ ක්‍රියා කලාපය සකස් විය යුත්තේ ජීවිතයේ පැවැත්ම පිළිබඳ අවබෝධය ඇතිව නිවන් සුවය ලබාගැනීම වෙනුවෙනි.