Print this Article


ශ්‍රමය පිළිබඳ බොදු පිළිවෙත

ශ්‍රමය පිළිබඳ බොදු පිළිවෙත

සාමුහික ශ්‍රමය යනු බොහෝ දෙනෙකු සම්බන්ධ වී එක් නිෂ්පාදන කාර්යාවලියක් දියත් කිරීමය. පරාර්ථචරියානු බද්ධ වූ සාමූහික ශ්‍රම පදනම මානව ගුණාංග වර්ධනයට හේතුවක් වන අතර ම කාර්යයන් කඩිනමින් ඉටුකොට ගැනීමට හා සාර්ථක ව නිමා කිරීමටත් හේතු වේ. සාමුහික ශ්‍රමයෝජනය තුළින් ලත් ජයග්‍රහණ රැසක් පිළිබඳව තොරතුරු ජාතක සාහිත්‍යයේ සඳහන්ය.

ධනය සෙවීම පිණිස පුද්ගලයාගේ යම් කැප කිරීමක් අවශ්‍ය වේ. කෘෂි කර්මාන්තය හා වෙනත් මානව අවශ්‍යතා නිෂ්පාදන කාර්යයන් සමඟ ඍජුව ම සම්බන්ධ වනුයේ මිනිසාගේ කායික හා මානසික ශ්‍රමය බවට වාදයක් නොමැත. පාලියේ සේවා යෝජක, සේවා දායක හා යනු සේව්‍ය හා සේවක යනුවෙන් හඳුන්වනු ලබයි. නැතහොත් ස්වාමියා හා සේවකයා යන්නයි. ත්‍රිපිටකයට අනුව ශ්‍රමය ලබාදෙන ක්‍රම තුනක් හඳුනාගත හැකිය. කායික ශ්‍රමය, මානසික ශ්‍රමය හා ආධ්‍යාත්මික ශ්‍රමය යන්නයි. ආධ්‍යාත්මික ශ්‍රමය සිය විමුක්තිය උදෙසා කැප කෙරේ. කායික හා මානසික ශ්‍රමය නිෂ්පාදන සාධකයන්ගෙන් එකක් වේ. ශ්‍රමය හා ධනය යන්න නිෂ්පාදන ක්‍රියාවලිය හා නිරන්තරයෙන් බද්ධ ව පවතියි. ශ්‍රමය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යෙදෙන මිනිසුන්ගේ කායික යා මානසික හැකියාවන් වන අතර මූල්‍යමය හෝ ශ්‍රම හුවමාරුව මත අවශ්‍ය ශ්‍රමය ලබා ගැනේ. කාලය හා ඉටුකරනු ලබන කාර්යභාරය මත ශ්‍රමය අගැයුමට ලක් කෙරේ. පෞද්ගලික ශ්‍රමය කැප කිරීම මෙන්ම සාමුහික ශ්‍රම යෝජනය ගැන ද තොරතුරු ත්‍රිපිටකයේ අන්තර්ගතය. උට්ඨාන වීර්යයෙන් යුතුව දෑතේ, දෙපයේ ශක්තියෙන් ධනය නිපදවීම (භොගා හොන්ති විරියාධිගතා බාහාබල පරිචිතා) යන්නෙන් පෙන්වනුයේ පෞද්ගලික ශ්‍රමය ධනය සෙවීම අරබයා ආයෝජනය කරනු ලබන්නේ කෙසේ ද යන්නයි.

එමෙන්ම සාමුහික ශ්‍රමය යනු බොහෝ දෙනෙකු සම්බන්ධ වී එක් නිෂ්පාදන කාර්යාවලියක් දියත් කිරීමය. පරාර්ථචරියානු බද්ධ වූ සාමූහික ශ්‍රම පදනම මානව ගුණාංග වර්ධනයට හේතුවක් වන අතර ම කාර්යයන් කඩිනමින් ඉටුකොට ගැනීමට හා සාර්ථක ව නිමා කිරීමටත් හේතු වේ. සාමුහික ශ්‍රමයෝජනය තුළින් ලත් ජයග්‍රහණ රැසක් පිළිබඳව තොරතුරු ජාතක සාහිත්‍යයේ සඳහන්ය. සම්මෝදමානව ජාතක මින් එක් නිදසුනකි.

ශ්‍රමය සංවිධානය කිරීමේ දී මානසික ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීම සිය කාර්යයන් නිසි පරිදි මෙහෙයවීම කෙරෙහි ඍජුව බලපාන කරුණකි. මෙහිදී පළමුවෙන් අලස බවින් මිදිය යුතුවේ. කුසීතකම තරම් අනර්ථකාරී වූ වෙනත් ධර්මයක් නොමැති බව බුදුරදුන් විසින් දේශනා කොට ඇත. ඉට්ඨධම්ම සූත්‍රයේ දී අලසකම හා අනුට්ඨානය (ආලස්සං අනුට්ඨානං භොගානං පරිපන්ථො) පැහැදිලිව ම නිෂ්පාදන කාර්යාවලියට බාධාවක් යැයි පෙන්වා තිබේ. භෝගයන්ගේ වර්ධනයට මෙම අංශ ද්වයේ වර්ධනය (අනලස්සං උත්ථානං භෝගානං අහාරො) හිතකරය. කුසීතකම නිරතුරුව අප වෙලාගෙන ඇති අතර අප විසින් ඉටුකළ යුතු කාර්යයන් ක්‍රමයෙන් ආපස්සට හැරවීමට හෝ අතහැර වීමට අලස බවින් උපදින සිත සමත් වේ. කුසීතකමින් පිරීයන සිත තුළ ඇතිවන සිතිවිලිවල ස්වභාවය අංග හතක් යටතේ කුසිතාරම්භ සූත්‍රයේ දී බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. කුසිතබව ජනිත කරන අරමුණුවලින් ඉවත්ව යම් කාර්යයක නිරතවීමට පොළඹවනු ලබන ආරම්භක වත්‍ථු නම් සංකල්පවලට අනුගතවීම ඉතා වැදගත් බව මෙහිදී තව දුරටත් පෙන්වා දෙයි. අපගේ සිත ඉදිරියට ගත යුතු හා මෙහෙයවිය යුතු අයුරු ද එම සූත්‍රයෙන් මතු කොට තිබේ.

අවශ්‍ය ශ්‍රමය නිසි පරිදි ලබා සිය කටයුතු ක්‍රමවත් සැලැස්මක අවසන් කිරීමටත් ඉන් ලබන ඵලය වඩාත් සාර්ථකව ලබා ගැනීමටත් දැඩි උත්සාහයක නියුක්ත වීම වැදගත් වේ. ‘ව්‍යඝ්ඝපජ්ජ සූත්‍රයේ’ දී දීඝජානු කෝලිය පුත්‍රයාට උට්ඨාන සම්පදාව ගැන විස්තර කිරීමේ දී මේ සම්බන්ධ කරුණු ගණනාවක් බුදුරදුන් විසින් අනුදැන වදාරා තිබේ. යම් රැකියාවකින් හෝ ශිල්පයකින් ධනය උපයයි නම් හෙතෙම එහි දක්ෂයකු විය යුතු බවත් (දක්ඛො හොති) අලස නොවිය යුතු බවත් (අනලසො) වීමංසනාත්මකව කළ යුතු කාර්යයන් බුද්ධිමත්ව කිරීමෙන් (වීමංසා සමන්නාගතො) සංවිධානාත්මකව කිරීමෙන් (අලං සංවිධාතුං) සාර්ථකව අවසන් කළ හැකි බව පෙන්වා දෙයි. බුදු සමයට අනුව පැහැදිලි ව යම් කාර්යයක් සාර්ථකවීම කෙරෙහි කායික ශ්‍රමය මෙන්ම මානසික ශ්‍රමයත් අවශ්‍ය බව මින් පැහැදිලි වේ. කායික ශ්‍රමය තුළින් පමණක් සියල්ල ඉටුවේ යැයි සිතීම නිවැරැදි නොවේ. තමා කරනු ලබන කාර්යයන් මනාව සිතාබලා සැලැසුම් සහිතව කිරීමට උනන්දුවේ නම් ඉන් ලබන ඵලය ද විශාලය.

එසේම සිය ධනය සෙවීමේ දී ශ්‍රමය ලබාදෙන සිය සේවක සේවිකාවන්ගේ සහාය ද අත්‍යවශ්‍ය අංගයක් වේ. සිය සේවකයන්ගේ අයිතීන් මෙන්ම ඔවුන්ගේ ශ්‍රමය ඇගැයුමට ලක් කරමින් කටයුතු කිරීම සේව්‍යාගේ යුතුකමකි. ශ්‍රමිකයනගේ සුරක්ෂිතතාව ගැන ද අවධානය යොමු කිරීමත් සේවක පක්ෂය සතුටින් හා තැබීමත් විශ්වසනීයත්වයකින් යුතුව ඔවුන්ගේ ශ්‍රමය ලබාගැනීමට පහසු වේ. එමඟින් සිය ව්‍යාපාර කටයුතු මනාව හා විධිමත්ව ඉදිරියට ගෙන යාමක් ද වේ. සිඟාලෝවාද සූත්‍රයේ දී සේවක සේවිකාවන් සම්බන්ධයෙන් කළයුතු වන යුතුකම් කවරේද යන්න මනාව පෙන්වා දෙයි. සේවය ලබාගන්නා සහ සේවයේ යෙදෙන්නා අතර සම්බන්ධය මෙහිදී ඉතා වැදගත් ය. ශ්‍රමිකයා විසින් සිය ස්වාමියා වෙත ඇති බැඳීමත් ශ්‍රමය ලබන්නා ශ්‍රමය ලබා දෙන්නා කෙරෙහි දක්වන බැඳීමත් යම් කාර්යයක් සාර්ථක වීම කෙරෙහි හේතුකාරකයක් වන බව එම සූත්‍රයෙන් පැහැදිලි කෙරේ. සදිසාවෙන් දකුණු දිසාව වෙන් කර තිබෙනුයේ ස්වාමි, සේවක පක්ෂය විෂයෙහිය. ඒ තුළින් මෙම සම්බන්ධතාවයේ ඇති වැදගත්කම මනාව පැහැදිලිය. එනම් සේවකයාගේ ශක්තිය පමණට සුදුසු කටයුතු පැවැරිය යුතුවේ. ආහාර හා වැටුප් ප්‍රදානය කිරීම, රෝගී වූ විට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීම, රසවත් දේ බෙදාදීම, සුදුසු කල සේවා කටයුතුවලින් නිදහස් කිරීම ආදි වශයෙනි.

සේවා දායකයා විසින් සේවකයා වෙත සුබවාදී ආකල්පයකින් යුතු මෙසේ කටයුතු කරන කල්හි ඉන් තෘප්තිමත්වන සේවකයා විසින් ද සිය සේවය වෙනුවෙන් සේවාදායකයාට කරුණු පහකින් සංග්‍රහ කටයුතුය. එනම් කලින් පිබිදීම හෙවත් නියමිත වේලාවට සේවයට වාර්තා කිරීම, පසුව නින්දට යාම හෙවත් සේවා කාලය නිමවීමට පූර්වයෙන් සේවාස්ථානයෙන් බැහැරට නොයෑම, දුන් දෙය පමණක් ගැනීම නැතහොත් සේවාස්ථානයෙන් කිසිවක් පැහැරනොගැනීම, පැවැරෙන කටයුතු මැනවින් ඉටුකිරීම, සේවාදායකයාගේ ගුණ හා කීර්තිය සමාජයට ඉදිරිපත් කිරීම ආදි යුතුකම්ය.

ගෝපල සූත්‍රය ද ශ්‍රමය ලබා ගන්නා සේවාදායකයාගේ කළමනාකරණය පිළිබඳ හොඳ උපදේශනයන් රැසක් එළි කරයි. එනම් තම පාලනයට නතුවන ගව රංචුව සංඛ්‍යාත්මකව හැඳිනගන්නාක් මෙන් තම ශ්‍රමික සේවා පිරිස් හැඳින ගැනීම වැදගත් ය. ගවයන්ගේ වර්ගය හා වර්ණය හඳුනාගන්නාක් මෙන් සේවා දායකයා සිය ශ්‍රමිකයන්ගේ විවිධ හැකියාවන් හා පළපුරුද්ද හඳුනා ගැනීම කළ යුතුය. ගවයනට හදිසියේ ඇතිවන අනතුරු හැඳින ගැනීම හා එබඳු අවස්ථාවන්හි සුදුසු ප්‍රතිකර්ම කරන්නාක් මෙන් සිය සේවකයනට හදිසියේ ඇතිවිය හැකි අනතුරු ගැන වැටහීමක් තබා ගත යුතු මෙන්ම ඊට ප්‍රතිකර්ම කිරීමට සේවා දායකයා සූදානම් විය යුතුය. පරපෝෂිතයන්ගෙන් ගවයන් ආරක්ෂා කරන්නාක් මෙන් විවිධ විෂම අදහස්වලින් තම සේවකයන් දූෂිත කරන පුද්ගලයන් හඳුනා ගත යුතු මෙන්ම ඊට පිළියම් යෙදීම කළ යුතුය. ගවයන් ගමන්කරවීමේ දී නුසුදුසු මාර්ග මඟහැර යන්නාක් මෙන් ශ්‍රමිකයන් යොදා ගැනීමේ දී නුසුදුසු ක්‍රියා මඟ හැර කටයුතු කිරීමට වග බලා ගත යුතුය. පිපාසයෙන් පෙළෙන ගවයන් හඳුනාගන්නාක් මෙන් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා ගැන මනා අවබෝධයෙන් කටයුතු කිරීම සේවාදායකයාගේ යුතුකමකි. ගවයන් ස්වභාවික නොවන උවදුරුවලින් ආරක්ෂා කරන්නාක් මෙන් බාහිරින් පැමිණෙන උවදුරුවලින් සිය සේවකයන් රැක ගැනීමට කටයුතු කළ යුතුවේ. ගවයන්ට සුදුසු තණ බිම් ගැන අවබෝධයෙන් කටයුතු කරන්නාක් මෙන් සිය සේවකයන්ගේ ඵලදායීතාවයට අවශ්‍ය පියවර ගැනීමට වග බලාගත යුතුය. දෙනුන්ගෙන් කිරිගන්නා විට පැටවුනට ඉතිරි කිරීමට දැනුමක් තිබෙන්නාක් මෙන් සේවක ශ්‍රමය සූරා නොකෑමට හා සුදුසු වැටුප් තල ගෙවීමට පියවර ගත යුතුය. ගව පට්ටිය තුළ ඉන්නා හීලෑ හා මුරණ්ඩු ගවයන් හඳුනා ගන්නාක් මෙන්ම සිය සේවකයන් අතර සිටින හිතවත් හා අහිතවත් අය ගැන අවබෝධයක් ලබා ගැනීම සේවකයන්ගෙන් නිසි පරිදි වැඩ ගත හැකිවනවා පමණක් නොව කාර්යයන් වඩාත් සඵලවීමට ද හේතුවක් වේ.

එමෙන්ම ශ්‍රමිකයන් නිරන්තරයෙන් සිය කාර්යයන් ගැන මනා හැඟීමකින් යුතුව කටයුතු කළ යුතු බුදුදහම තුළ අවධාරිත කරුණකි. දැඩි ලෙසින් නින්දට ගිජුවීමෙන් වැළකීම (නිනදාරාමතො) අනර්ථබස් ඇතිව නිකරුණේ කාලය ගත කිරීමෙන් වැළකීම. පැවැරී ඇති වැඩ කොටස් නිසි ලෙස ඉටුනොකරන පුද්ගලයන් ඇසුරු කිරීමෙන් වැළකීම (ඝන සංඝනිකාරාමතා) වැනි සිය කාර්යයන් අතපසු කෙරෙන බාධාවන්ගෙන් වෙන්ව කටයුතු කිරීම ද සේවකයකුගේ වගකීම වේ.

ස්වාමි, සේවක සබඳතාව යුතුකම් මතින් ශක්තිමත්වන විට ඉටු කරගත යුතු කාර්යයන් ද මනාව නිසි කලට ඉටුකර ගැනීමට ස්වාමියාට හැකිවන අතර තෘප්තිමත් මනසකින් යුතුව ශ්‍රමිකයා සිය කාර්යයන් හි නිරතවීම මත කාර්යය නිසි පරිදි ඉටුකර ගැනීමට මෙන්ම සුරක්ෂිත බවකින් කටයුතු නිමා කර ගැනීමට ද හැකි වේ. තර්ජනයෙන් හෝ සිය බලපෑම් මත ලබාගත් අන් ශ්‍රමය පදනම් කොට උපදවන ලද ධනය දැහැමි යැයි බුදුදහමට අනුව කිව නො හැකිය. ධන ලාභය හා ශ්‍රමය අතර දැහැමි පිළිවෙතක් අනුගමනය කිරීමට බුදුදහම නිරතුරුව උපදෙස් ලබා දී ඇත.

ඉතිරි කොටස මාර්තු 24 වනදා පත්‍රයේ පළ වේ.