Print this Article


පන්නිපිටියේ ශ්‍රී දෙව්රම් විහාරය

පන්නිපිටියේ ශ්‍රී දෙව්රම් විහාරය

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරය පහන් වූ සිතිවිල්ලක් නිසා උරුම වූ මහගු දායාදයකි.

1969 සැප්තැම්බර් මස 24 වන දින පූර්ණචන්ද්‍ර විජේසිංහ හා සුමනා හෙට්ටිආරච්චි යන දම්පතීන්ට දාව සරත් විජේසිංහ නම් කුමරුවා මෙලොව ජන්ම ලාභය ලැබීය. 1982 ජුලි මස 21 වනදා සාලමුල්ල ආනන්දාරාමයේ දී එවකට 13 වියැති සරත් විජේසිංහ කුමරුවා කොලොන්නාවේ සුමංගල නමින් පැවිදි බිමට ඇතුළත් වූයේ මිරිස්සේ පියදස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙනි. උන්වහන්සේ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙන් හා කොළඹ හුණුපිටිය ගං¼ගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේෂ්වර පිරිවෙනෙන් ධර්ම ශාස්ත්‍රය හැදෑරූහ.

13 වන වියේදී සසුන්ගතව 16 වන වියේදී සිය ගුරු ස්වාමීන් වහන්සේගේ අපවත් වීමෙන් මිරිස්ස උඩුපිල ශ්‍රී සුදස්සනාරාමයේ අධිපතිත්වයට පත්ව 25 වන වියේදී දකුණු පුරවරයෙන් බුදුමග සංවිධානය අරඹා 28 වන වියේදී බත්තරමුල්ල සිරි සුදස්සනාරාමයට වැඩම කොට ලක්දිව අග නගරයේ ද බුදුමග සංවිධානය හරහා බෞද්ධ පුනරුදයක් ඇති කළ උන්වහන්සේ වටා එක් රොක් වූ ලක්ෂ ගණනක් බෞද්ධ අබෞද්ධ ජනතාව නිසාම වැඩසිටි ආරාමවලින් සමුගන්නට විය.

ඒ සමුගැනීමත් සමඟම සිවුදෙසින් ඉඩකඩම් උන්වහන්සේ වෙත පූජා කරන්නට පිරිස් ඉදිරිපත් විය. මේ ආකාරයට විවිධ ප්‍රදේශවලින් ඉඩම් කොටස් 30ක් පමණ සුමංගල හිමියන්ට පූජා කෙරුණද උන් වහන්සේ සමාධි අසපුව සඳහා එදා කීණගහ කොටුන්න පාර ලෙස හැඳින්වූ පාරේ පිහිටි දෙපානම ග්‍රාමයේ ඉඩම් කොටස පමණක් තබා ගෙන ඉතිරි සියල්ල ඒ ප්‍රදේශවල ගෞරවනීය මහා සංඝරත්නය වෙත පූජා කළහ. උන්වහන්සේට අවශ්‍ය වූයේ නිදහසේ වැඩ හිඳිමින් ආගමික සාමාජික මෙහෙවරක නියැළීමට මිස දැවැන්ත විහාරස්්ථානයක් ගොඩ නගන්නට නොවේ යන්න විශාල ඉඩම් ලැබුණ ද ඒවා පූජා කොට මේ කුඩා ඉඩම් කොටස පමණක් තබා ගැනීමෙන් පැහැදිලි වන්නේ ය.

ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා රණවිරුවාණන් සිය වාසය සඳහා මිලදී ගත් කීනගහ කොටුන්න පාරේ මේ පුංචි ඉඩම රට දැය සමය වෙනුවෙන් රණබිමේ දී එතුමන් දිවි පිදු පසු එම දෙමාපියන් විසින් සුමංගල හිමියන් වෙත පූජා කරන ලද්දකි.

එම ඉඩමේ සමාධි අසපුව නමින් ආරාමයක් තනාගත් උන් වහන්සේ තමන් වහන්සේ සිදුකරගෙන ආ ආගමික සාමාජික මෙහෙවර දිගටම ක්‍රියාත්මක කරගෙන යන්නට විය. විශාල පිරිසක් නිතිපතා සමාධි අසපුව කරා ඇදී ආහ.

විශාල වශයෙන් බෞද්ධ අබෞද්ධ ජනතාව සුමංගල හිමි වටා එක් රොක් වනවාත් සමඟම සමාධි අසපුව කෙසේවත් ප්‍රමාණවත් නොවීය. විශේෂයෙන් පැමිණෙන ජනතාවගේ වාහන නැවැත්වීමට ස්ථානයක් නොවූ හෙයින් අසල්වැසි නිවාස ඉදිරිපිට වාහන නතර කිරීම නිසා යම් හිරිහැර සිදුවූ අවස්ථාවන් ද උදාවිය. මෙයට පිළිතුරක් වශයෙන් සමාධි අසපුව ඉදිරිපිට වෙල් යාය මිලදී ගෙන එහි පස් පුරවා වාහන නැවතුම්පළක් ඉදිකිරීම දෙව්රම් වෙහෙරේ මුලාරම්භයයි. සමාධි අසපුව සොයා පැමිණි, සුමංගල ස්වාමීන් වහන්සේ සොයා පැමිණි ජනතාව උන් වහන්සේ මෙසේ වෙල් යායේ කොටසක් පස් පුරවනවා දැක විහාරයක් ඉදිකිරීමට තම තමන්ට අවස්්ථාව ලබා දෙන මෙන් උන්වහන්සේ වෙත ඉල්ලීම් ඉදිරිපත් කරන්නට විය. ඒ වන විටත් මේ පුරන් වූ වෙල් යාය විවිධ පුද්ගලයන්්ට අයත් වූවක් විය. දින කිහිපයක් යනවිට පුරන් කුඹුරු වල හිමිකරුවෝ උන්වහන්සේ සොයා ආහ. ඉදිවන දෙව්රම් වෙහෙර වෙනුවෙන් තම ඉඩම් පූජා කරන්නට ඔවුන් ඉදිරිපත් වුවද තම ආර්ථික අපහසුතා නිසා යම් සාධාරණ මුදලක් ඒ සඳහා ඔවුන් ඉල්ලා සිටියහ.

චෛත්‍ය ඉදිකරන්නට, බෝධිය ඉදි කරන්නට, බුදුගෙය ඉදි කරන්නට කිසිදු ඉල්ලීමකින් තොරව පිරිස් ඉදිරිපත් විය. ඒ හේතුව නිසාම ඉතාම කෙටි කලකින් අසිරිමත් දෙව්රම් වෙහෙර ඉදිවිය.

හිමි කරුවන් වෙත එම වටිනාකම් ගෙවීමෙන් අනතුරුව දෙව්රම් වෙහෙර ඉදි කරන්නට ප්‍රමාණවත් යැයි සිතූ අක්කර 02ක පමණ භූමි භාගය මිලදී ගැණිනි. 1999 සැප්තැම්බර් 24 වනදා මහා ගොහොරු බිමක දෙව්රම් වෙහෙර වෙනුවෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවිය. ඒ මොහොතේ වසරක් ඇතුළත දෙව්රම් වෙහෙර සියලු විහාරාංගයන් ගෙන් සමන්විතව බොදු ජනතාවගේ වන්දනා මානයට භාජනය වන බෞද්ධ සිද්ධස්්ථානයක් බවට පත් කරන බවටත් එහි විහාරාධිපතීන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බවත් සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධිෂ්ඨානයෙන් යුතුව ප්‍රකාශ කර සිටියහ.

විහාරස්ථානයේ බොහෝ ඉදිකිරීම් සඳහා පිරිස් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් විය. වහ වහා වැඩ ඇරඹිණි. බුදු මැදුර, බෝධීන් වහන්සේ, චෛත්‍යරාජයාණන් වහන්සේ, බුදුමග ප්‍රධාන මධ්‍යස්ථානය, සිරි පියදස්සී නාහිමි ගුණ සමරු උපෝසථාගාරය, අධිෂ්ඨාන බුද්ධ ප්‍රතිමාව ආදී විහාරාරාංග ඉදි වූයේ ඉතා ඉක්මණනි.

දෙව්රම් මහා විහාරය මෑත ඉතිහාසයේ මෙරටට දායාද වූ සුවිශේෂතම විහාර කර්මාන්තය කි. පර්චස් 16 ක බිම් කඩකින් ආරම්භ වූ දෙව්රම් මහා විහාරය වර්තමානය වන විට අක්කර 12 තරම් වපසරියක පැතිරෙමින් මහා ශාසනික මෙහෙවරක නියුතුව සිටී.

මේ මෙහෙවර අතර ලොව්තුරු ත්‍රිපිටක ධර්මය ශිලා ලේඛන ගත කිරීමේ මහා ශාසනික මෙහෙවර සිදු කෙරේ. මේ යටතේ සූත්‍ර විනය අභිධර්මය යන සමස්ත බුද්්ධ භාෂිතයම දැවැන්ත කළු ගල් පුවරු 1700ක් පමණ මත සටහන් කිරීම සිදුවේ.

දෙව්රම් විහාරයේ මැදින් පෙරහර මංගල්‍යය මාර්තු 16 – 25 දක්වා පැවැත්වේ.