Print this Article


ධම්මපදට්ඨ කථාවෙන් - 20

අසුබ නිමිති පුහුණු කළ මහා කාල තෙරණුවෝ මහා පර්වතයක් සේ නිසසල ය

දානය වළඳා අවසන් වූ පසු අනුමෝදනා දේශනාව පැවැත්වීම පිණිස මහා කාල තෙරුන් නවතා යන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලීමයි. බුදුහු එය පිළිගෙන මහාකාල තෙරුන් නවතා වැඩියහ. මේ ගැන කුකුස් ඉපදවූ භික්‍ෂූන් පෙරදින චූල කාලට වූ දේ අද දින මහාකාල තෙරුන්ට ද විය හැකි යැයි බුදුරදුන්ට සැල කළහ. එය ඇසූ බුදුහිමියෝ, තෙරුන් අමතා මහණෙනි, මහාකාල, චූලකාල මෙන් නොවන බවත් ඔහු අසුබ නිමිති පුරුදු කළ බවත් ඔහු මහා පර්වතයක් සේ නිසසල බවත් ඔහුට නපුරක් කරන්නට කිසිවෙකුටත් නොහැකි බවත් වදාළහ.

සේතව්‍ය නම් නුවර සහෝදරයෝ තිදෙනෙක් වාසය කළහ. ඔවුහු නම් චූල කාල මජ්ඣිම කාල සහ මහා කාල වෙති. මේ තිදෙනා ධනවත් සහෝදර තිදෙනෙකි. මේ අය ධනවත් වූයේ වෙළෙඳාමෙනි. චූල කාල සහ මහා කාල ඈත ප්‍රදේශවල ඇවිද නොයෙක් දේ මිලට ගෙන ගැල්වල පුරවා රැගෙන විත් මජ්ඣිම කාල වෙත ලබා දෙන අතර ඔහු ඒ සියල්ල විකුණා ලැබෙන මුදල් බෙදා හදා දෙයි. මේ අයුරින් තිදෙනා ඉතා ධනවත්තු වූහ.

එක් දවසෙක මහා කාල හා චූල කාල ගැල් පන්සියයක බඩු පටවා ගෙන පැමිණි අතර සැවැත්නුවරදී නැවැතී විඩාව සංසිඳුවා ගන්නට තීරණය කළහ. එදා එතැනින් බොහෝ පිරිස් සුවඳ මල්, සුවඳ තෙල් ආදිය රැගෙන යනු දැක කොහි යන්නේදැ’යි විමසා, ඔවුන් දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින බුදුරදුන්ගෙන් බණ අසන්නට යන බව දැන ‘මමත් බණ අසන්නට යමි’ යි මහා කාල ඔවුන් හා එක්ව විහාරයට ගොස් බුදුන්ගෙන් බණ ඇසීය.

ධර්ම ශාලාවේ කෙළවරෙහි වාඩි වී දහම් අසන මහාකාලයන් දුටු බුදුරදහු ඔහුගේ හේතුප්‍රත්‍යයන් බලා ඔහුගේ අරමුණ ඉටු වන ලෙසින්, කාමයෙහි ආදීනවත්, පැවිදි බවේ ආනිශංසත් පිළිවෙළින් දේශනා කළහ. ඒ දහම කෙළවර මහා කාල සිතන්නේ, අප මේ තරම් දුකෙන් මහන්සියෙන් උපයන සියල්ල මරණයේදී හැර දමා යන්නට සිදුවන බවයි.

උපයන කිසිවක් හෝ කිසිදු ඥාතියෙකු මරණයෙන් පසු පසුපස නොඑන බවයි. එබැවින් ගිහිබව හැරදමා පැවිදිව සසරින් එතෙරවීමේ අදිටනට පිවිසි ඔහු බණ ඇසූ සියලු දෙනා විහාරයෙන් නික්ම ගිය පසු බුදුරදුන් හමුව පැවිදි වීමට අවසර පැතීය.

එවිට බුදුහිමියන් වදාළේ පැවිදි වීමට දෙමාපියන් වෙතින් අවසර ලබා ගත යුතු බවයි. එවිට මහාකාල කියා සිටියේ තමන්ට දෙමාපියන් නොමැති බවත් ඇත්තේ සහෝදරයකු පමණක් බවත් ය. එවිට බුදුන් වදාළේ ඔහුගෙන් හෝ අවසර ලබා පැමිණිය යුතු බවයි. ඒ අනුව තම සොයුරු චූල කාලයන්ට තමා ඉපයූ සියල්ල පවරා තමන් පැවිදි වන බව දන්වා සිටියේ ය. මුලදී අවසර නොදුන් ඔහු පසුව මහාකාලයන්ගේ කැමැත්තට අවසර දුන්නේය. මහාකාල බුදුරදුන් හමුව පැවිදි බව ලැබුවේ ය. වෙළෙඳාමට ගොස් එන අතරමග තම සොයුරා පැවිදි වීමෙන් හා තමාගේ වෙන් වීමෙන් මහත් සිත් තැවුලට පත් චූල කාල කෙසේ හෝ සහෝදරයා සිවුරු හරවා ගන්නට සිතා ඔහුද පැවිදි විය.

පැවිදි උපසපන් වූ මහා කාල බුදු රදුන් වෙතින් විදර්ශනා ධුරය පුරුදුව එයට අවශ්‍ය කමටහන් ලබා මධ්‍යම රාත්‍රියෙහි සොහොන් බිමක භාවනා කරන්නට පුරුදු විය. සොහොන මුර කරන්නා වු සොහොන් ගොවු කාන්තාව රාත්‍රියෙහි සොහොනට කිසිවෙකු පැමිණ උදෑසනම නික්ම ගොස් ඇති බව දැන විපරම් කොට බලා මහාකාල හිමියන් බව දැන සොහොනෙහි වාසය සඳහා පිළිපැදිය යුතු අංග කීපයක් ඇති බව කියා සිටියා ය. ඒ කවරේදැ’යි විමසූ කල්හි ඇය කියා සිටියේ සොහොනෙහි වාසය සඳහා සොහොන් පල්ලාගෙන් හා ගම්මුලාදෑනියාගෙන් අවසර ලැබිය යුතු බවයි. තවද මස්මාංසයෙන් හා බඳින ලද ආහාරයෙන් වැළකිය යුතු බවයි. දවල්හි නොනිදිය යුතු බවයි. අලස, කපටි, කුහක අදහස් නැති වීර්යවන්තයෙකු විය යුතු බවයි. පිවිතුරු අදහස් ඇත්තෙකු විය යුතු බවයි. සියල්ලන්ටම පසු නින්දට යන සියල්ලන්ටම පෙර පිබිදෙන කෙනෙකු විය යුතු බවයි. සොහොන් ගොවු කාන්තාව කී මේ සියල්ල අසා සිටි මහා කාල තෙරුන් වහන්සේ උපාසිකාවෙනි, යැයි කියා තමන් ඒ සියල්ල සපුරන බවට පොරොන්දු විය.

මහා කාල හිමියෝ මේ සියල්ලට එකඟව දිනපතා මධ්‍යම රාත්‍රියෙහි සොහොන් බිමට පැමිණ භාවනාවෙහි නිරත වූහ. එක් දිනක් හදිසියේ කලුරිය කළ තරුණ කතකගේ මළ සිරුරක් සොහොන් බිම වෙත රැගෙන පැමිණි එය දවා දමන ලෙස සොහොන් කතට දී නෑදෑයෝ පිටත්ව ගියහ. මෙම කාන්තාව මෙම සිරුර නොදවා මහාකාල තෙරුන්ගේ භාවනාවට යොමු කරවූවාය. උන්වහන්සේ එම සිරුර වසා තිබූ වස්ත්‍ර ඉවත් කොට මේ රූපය රන්වන් රූපයක් බව සිතට ගෙන, දැන් එය දවන්නැ’යි ඉල්ලා සිටියේ ය. එය තරමක් දැවුණු පසු තෙරණුවෝ පරීක්ෂා කළහ. මළ සිරුර කබර දෙනක මෙන් ගිනි දැල් හසු වූ තැන් සුදු පැහැ ගැන්වී තිබුණි. අත් වකුටු වී පා තුනට හතරට නැමී තිබෙනු දුටුවේ ය. මෙයම භාවනාවට අරමුණක් කොට ගත් උන්වහන්සේ

අනිච්චාවත සංඛාරා -උප්පාද වයධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වූප සමො සුඛෝ

යනාදී වශයෙන් දැක්වෙන ඒකාන්තයෙන්ම සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. ඉපිද නැසෙන ස්වභාව ඇත්තේ ය. සංස්කාරයෝ ඉපිද නැසෙති. මෙසේ ඉපිද නැසෙන සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම සුවයකි. යනාදී වශයෙන් අරමුණු කොට විදසුන් වඩා රහත් බවට පත්වූහ.

මේ අතරෙහි මහා කාල තෙරුන් සිවුරු හරවා ගන්නට, සිතා පැවිදි බව ලද චූල කාල තෙරුන් වහන්සේ කිසිදු ප්‍රතිපදාවක් නොඉගෙන නිකරුණේ විහාරයෙහි වාසය කරති. ඔහුගේ භාය¸ාවරු තමන්ට නොකියාම චූලකාල පැවිදි වූ බව අසා කෙසේ හෝ සිවුරු හරවා ගන්නට සිතා නිවසෙහි දනක් සූදානම් කොට බුදුරදුන් ප්‍රමුඛතම භික්‍ෂු සංඝයාට ආරාධනා කළහ. එහිදී බුදුරදුන්ට සුදුසු අසුන් පැනවීම සඳහා චූලකාල තෙරණුවෝ කල් ඇතිවම ගෙදරට ආහ. එවිට භාය¸ාවරු ඔහු අල්ලා ගෙන තමන්ට මින් පසු ආහාර, ඇඳුම්, පැළඳුම් සොයා දෙන්නේ කවරෙක්දැ’යි අසමින් සිවුරු ගලවා ගිහි වස්ත්‍ර ඇන්දවූහ. බුදුපාමොක් මහසඟන නිවසට වැඩම කොට දන් පිළිගෙන ආපසු වැඩම කළහ. මේ අතර මහාකාල තෙරුන්ගේ භාය¸ාවරුන් ද කල්පනා කරන්නේ තමන්ද නිවසෙහි දානයක් පිළියෙළකොට චූලකාලට කළාක් මෙන් මහාකාල තෙරුන් ද පැමිණි පසු සිවුරු ගලවා ගැනීම කළ යුතු බවයි. ඒ අනුව දන් පිළියෙළ කොට ආරාධනා කළ නමුත් අසුන් පැනවීම පිණිස මහාකාල තෙරුන් වහන්සේ නොපැමිණියහ. වෙනත් තෙර නමක පැමිණියේ ය. භාය්‍යාවරුන්ගේ අදහස ඉටු නොවුණි. අවසන ඔවුන් කළේ දානය වළඳා අවසන් වූ පසු අනුමෝදනා දේශනාව පැවැත්වීම පිණිස මහා කාල තෙරුන් නවතා යන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලීමයි. බුදුහු එය පිළිගෙන මහාකාල තෙරුන් නවතා වැඩියහ.

මේ ගැන කුකුස් ඉපදවූ භික්‍ෂූන් පෙරදින චූල කාලට වූ දේ අද දින මහාකාල තෙරුන්ට ද විය හැකි යැයි බුදුරදුන්ට සැල කළහ. එය ඇසූ බුදුහිමියෝ, තෙරුන් අමතා මහණෙනි, මහාකාල, චූලකාල මෙන් නොවන බවත් ඔහු අසුබ නිමිති පුරුදු කළ බවත් ඔහු මහා පර්වතයක් සේ නිසසල බවත් ඔහුට නපුරක් කරන්නට කිසිවෙකුටත් නොහැකි බවත් වදාළහ.

අඹුවෝ මහාකාල තෙරුන් වටකොට තමන්ට නොදන්වා, තමන් අතරමංකොට පැවිදි වූවා යැයි චෝදනා කොට සිවුරු ගලවා ගන්නට සූදානම් වූහ. තෙරණුවෝ හුනස්නෙන් නැගී ඍද්ධියෙන් වහළ ද බිඳ අහසට නැග බුදුරදුන් සිරිපා පිණිපා කළහ.