Print this Article


බුදුරදුන් අනුදත් අපූරු සිරිත්

පාලි තුන් පිටකය හුදෙක් අප වෙත ප්‍රදානය කරනුයේ සංසාර ගත දුකත් එම දුකින් අත්මිදීමට ඉගැන්වෙන ධර්ම මාර්ගය පමණක් නොවේ. පැරණි භාරතීයයන් අතර පැවති, එසේ ම බුදුරදුන් හා ශ්‍රාවකයන් අතර ද සම්භාවිත සිත්ගන්නා සුළු අපූරු සිරිත් විරිත් සහිත වූ විශිෂ්ට සංස්කෘතියක් ද එතුළින් දැකගත හැකි ය. අපේ සූත්‍ර හා විනය මූලාශ්‍රය තුළ දක්නා ලැබෙන එවන් සිරිත් විරිත් සමහරක් මතුකොට දැක්වීම මෙම ලිපියෙහි අපේක්ෂාවයි.

උතුමන් හමුවීම

බුදුරදුන් වැනි උතුමන් හමුවට යාමේ දී අනුගමනය කරන ලද සිත්ගන්නා සුළු අපූරු සිරිත් රාශියක් වූයේ ය. දික් සඟියෙහි එන උගත් තරුණයකු වූ අම්බට්ඨ විසින් එම සිරිත් අනුගමනය කිරීම බුද්ධ ශ්‍රාවක භික්‍ෂුන්ගේ ද අපේක්ෂාව වූයේ ය. ඉච්ඡනංගල වන ළැහැබෙහි වැඩහුන් බුදුරදුන් දැක්මට ගිය අම්බට්ඨ තරුණයා, ‘භවත්නි, ගෞතමයන් වහන්සේ දැන් කොහි වැඩ සිටී ද, අපි උන්වහන්සේ දක්නට ආවමු’යි භික්‍ෂූන්ට දැන්වීය. එකල්හි භික්‍ෂූන්හට, මේ අම්බට්ඨ මානවක තෙමේ ප්‍රකට කුලයක උපන්නෙකි. ප්‍රසිද්ධ පොක්ඛරසාති බමුණාගේ ශිෂ්‍යයෙක් ද වේ. මෙබන්දන් හා කථාබස් කිරීම භාග්‍යවතුන් වහන්සේට බරෙක් නම් නොවේ ම ය යන මේ සිත විය. උන්වහන්සේලා විසින් බුදුරදුන් හමුවට යා යුතු ආකාරය පිළිබඳ ව අම්බට්ඨ තරුණයා මෙසේ දැනුවත් කරන ලදී.

“අම්බට්ඨය, අර දොර වසා ඇත්තේ බුදුරදුන් වැඩසිටින කුටියෙහි ය. නිශ්ශබ්දව එතැනට යන්න. ඉක්මන් නොවී සෙමින් පිළට ගොඩවන්න. ඉන්පසු නැවතී උගුර පාදා ශබ්ද කරන්න. දොරගුල ඇති තැනට නිය පිටින් තට්ටු කරන්න. එවිට භාග්‍යවතුන් වහන්සේ දොර හරිනු ඇත.”

බුදුරදුන් වැනි උතුමෙකු හමුවට යා යුත්තේ ඉතා තැන්පත් ආචාරශීලි ඇවතුම් පැවතුම් සහිත ව ය. යමකු සිටින කුටියක් වෙත කලබලයෙන් හදිසියේ ම ඇතුළුවීම, සියතින් ම දොර විවර කරගෙන යාම, පූර්ව දැනුම් දීමකින් තොර ව අනවසරයෙන් පිවිසීම ආචාරශීලී ප්‍රසන්න සිරිත් නොවේ. ඇතුළත සිටින්නාට අගෞරව වන පරිදිත්, කරදරයක් වන පරිදිත් එසේ ඇතුළුවීම ශිෂ්ට සම්මත මිනිසෙකුගේ පිළිවෙත නොවේ ම ය. එසේ ම මෙහි ලා දක්වන ලද හඬ නොනඟා සෙමින් පිළට ගොඩවීම, උගුර පෑදීම, දොරගුලට නිය පිටින් ගැසීම, ඇතුළත සිටින්නා දොර විවර කොට කථාකරන තුරු සිටීම යන සිරිත් අනුගමනය කිරීම හමුවට එන්නාගේ හැදියාව පිළිබිඹු කරන්නේ ය. මැදුම් සඟිය ධම්මචේතිය සූත්‍රයට අනුව බුදුරදුන් හමුවීමට පැමිණි කොසොල් රජු ට ද මෙම සිරිත් භික්‍ෂූන් විසින් කියාදෙන ලද්දේ ය. සිය රාජ්‍යය තුළ පවත්නා එම සිරිත් ගැන එතුමන් ඉතා පැහැදුන බව ද, ඉතා සතුටින් එලෙසම කළ බව ද එම සූත්‍රය කියයි.

සිය පැහැදීම දිනා සිටි ජටිලයකු වූ කේණීයගෙන් බුදුරදුන් පිළිබඳ තොරතුරු අසා ප්‍රසාදයට පත් සේල බමුණු තෙමේ තුන්සියයක් වූ සිය අතවැස්සන් ද කැටිව බුදුරදුන් හමුවීමට අංගුත්තරතාප දනව්වෙහි ආපන නම් නියම්ගමට යාමට පිටත්විය. එහි නිල්වන් වනපෙතෙහි බුදුහු වැඩහුන්හ. ඉක්බිති සේල බමුණු තෙමේ සිය ශ්‍රාවක මානවකයන් ද කැටිව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. හෙතෙම ඒ මානවකයන් අමතන්නේ, ‘භවත්නි, නිහඬවව්. එක් පයක් තැබූ තැන අනෙක තබමින් (ඉතා සංවර ව) එවු. සිංහයෙකු මෙන් හුදකලාව වසන ඒ භාග්‍යවතුන් වෙත ළං වීම පහසු නැත.’

’භවත්නි, යම් විටෙක මා ශ්‍රමණ භවත් ගෞතමයන් හා කථාබස් කරයි නම්, ඔබ මාගේ කථාබහට මැදින් කථා නොකළ යුතු ය. අප දෙදෙනාගේ කථාබහ අවසන් වන තුරු උපේක්ෂාවෙන් සිටිය යුතු ය. මේ එකල විසූ ප්‍රකට උගත් බමුණෙකු බුදුරදුන් හමුවට ආ සැටි ය. ඔහු සිය පිරිසට ද අපූරු සිරිත් කියා දෙමින් ඉතා සුහද ව හා ගෞරවයෙන් උන්වහන්සේ දැකගත් සැටි මින් පෙනේ.

බුදුරදුන් විසින් ද මෙම සිරිත් අනුගමනය කරන ලද්දේ ය. දිනෙක පස්වරුවෙහි නන්දක හිමියෝ උවටැන්හලෙහි භික්‍ෂූන්ට දහම් දෙසූහ. ඒ අතර බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළහ. එහෙත් දම් සභාව පැවැත්වෙද්දී එයට පිවිසීම ශිෂ්ට සම්මත නොවූ බැවින් උන්වහන්සේ නැවතුනේ එහි දොරටුවෙන් පිටතයි. එහි සිටිමින් නන්දක හිමිගේ දම් දෙසුමට සවන් දුන්හ. එය ඉතා දිග දෙසුමකි. අපහසුවෙන් සිටිමින් දම් දෙසුම අවසන් වූ විට බුදු හිමියෝ උගුර පෑදූහ. දොරගුල් සමීපයට තට්ටු කළහ. භික්‍ෂූහු දොර විවර කළහ. බුදුහු පැනවූ අස්නෙහි වැඩ සිටියහ. නන්ද තෙරුන් ඇමතූ හ.

“නන්දක, ඔබේ දෙසුම නම් අගෙයි. එය භික්‍ෂූන්ට හොඳින් වැටහුනා. ඒ වුනත් (එය දිගයි) එය අසා සිටි මගේ පිට නම් රිදෙනවා” යැයි පැවසූහ. බුදුරදුන් විසින් ද සම්මත සිරිත් විරිත් අනුගමනය කළ සැටි මෙන් ම උන්වහන්සේගේ සරල පි‍්‍රයවාදී බව ද මින් පෙනේ.

උතුමන් පිළිගැනීම

තමන් හමුවට එන්නා කවරෙකු වුව ද සුහද ව සතුටින් පිළිගැන්ම ද ශිෂ්ට සම්මත ලෝකයෙහි සම්භාවිත වූ සිරිතකි. බුදුරදුන් තමන් වෙත පැමිණෙන විට ගෞරවනීය ලෙසත්, නිහතමානී ලෙසත් උන්වහන්සේ පිළිගැනීම ශ්‍රාවක භික්‍ෂූන්ගේ මෙන් ම ගිහියන්ගේ ද විටෙක අබෞද්ධ පිරිවැජි ආදීන්ගේ ද සිරිත වූ බව පෙනේ. පෙරගමන් කොට බුදුරදුන් පිළිගැනීම් වශයෙන් උන්වහන්සේ අත ඇති පාත්‍රය හා සිවුර භාර ගැන්ම සිත්ගන්නා සුළු අපූරු සිරිතකි. උන්වහන්සේගේ පා සේදීම ද, අසුන් පැනවීම ද එබඳු මැ කාර්යයක් විය. විටෙක බුදුරජාණන් වහන්සේ නාදික ගම ගෙඩිගෙයි වැඩහුන්හ. අනුරුද්ධ, නන්දිය හා කිම්බිල හිමිවරුන් වැඩ සිටියේ ගෝසිංහ සාල වනයෙහි ය. සවස ඵල සමවතින් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ ගෝසිංහ සාල වනය වෙත වැඩම කළහ. වන පාලක තෙමේ දුරදීම වැඩමවනු දුටුවේ ය. උන්වහන්සේ වනයට පිවිසීම එතුළ වැඩ සිටින හිමිවරුනට බාධකයකැයි සිතූ® හෙතෙම මෙසේ කීය. මහණ, වනයට නොපිවිසෙනු මැනවි. මෙහි කුල පුත්‍රයෝ තිදෙනෙක් ඇත. ඔවුහු සිත් සේ නිදහසේ සිටිති. ඔවුනට කරදර නොකරනු මැනවි.”

වන පාලකයාගේ මේ වචන සමීපයෙහි මැ සිටි අනුරුද්ධ හිමියන්ට ඇසිණ. උන්වහන්සේ ‘වන පාලකය, නොවළැක්වව. බාධා නොකරව, අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ’යි හඬ නැගූහ. ඉන්පසු ඒ හිමියෝ සෙසු හිමිවරුන් දෙනම කැඳවූහ. ‘ඇවැත්නි, වහා එන්න භාග්‍යවතුන් වහන්සේ වැඩම කර සිටිති’යි දැන්වූහ. ඉක්බිති ඒ හිමිවරු එක් වූහ. බුදුරදුන්ට පෙරගමන් ගියහ. එක් නමක් උන්වහන්සේගේ පාත්‍රය ද සිවුර ද පිළිගත්තේ ය. එක් නමක් අසුන් පැනවීය. එක් නමක් පා දෝනා දිය ගෙනාවේ ය. පැනවූ අස්නෙහි වැඩ සිටි බුදුරදුන්ගේ පා සෝදා උන්වහන්සේට සුවච බව ද ගෞරවය ද පළකරන ලදී. ඒ හිමිවරු බුදුන් වැඳ එකත්පසෙක වාඩි ගත්හ. ඒ තරුණ පැවිදි ශ්‍රාවකයන් එදා බුදුරදුන් පිළිගත් සැටි ය.

බුදු සව්වන් නොවුව ද පොට්ඨපාද වැනි පරිබ්‍රාජකයෝ ද, සකුළුදායි වැන්නෝ ද එලෙසින් ම ගරු සිරිත් පෙරදැරිව සාදරයෙන් බුදුරදුන් පිළිගත්තෝ ය. පොට්ඨපාද තෙමේ බුදුරදුන් සිය අරමට වැඩමවනු දුරතියා ම දැක්කේ ය. හෙතෙම සිය ශ්‍රාවක පිරිස දෙසට වහා ම හැරුනේ මෙසේ උවදෙස් දුන්නේ ය. ‘පින්වත්නි, නිශ්ශබ්ද වන්න. ශබ්ද නොකරන්න. නිශ්ශබ්දතාව කැමති උතුම් ශාස්තෘවරයා මෙහි සැපත් වෙයි. නිහඬකම කැමැති උන්වහන්සේ එහි ගුණ කියන්නෙකි. අපගේ නිහඬ තැන්පත් බව ම දැක එතුමන් මෙහි සැපත් වුවහොත් ලාභයෙකි.’ එම පිරිවැජියෝ නිහඬ වූහ. භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩම කළහ. උන්වහන්සේ ඉතා ගෞරවයෙන් පිළිගත් මහා පිරිවැජි පොට්ඨපාද තෙමේ, ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙහි සැපත්වීම ඉතා මැනවි. මේ පැමිණීම නම් බොහෝ කලෙකින් සිදුවූවකි. වැඩ සිටින්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ආසනය පනවා තිබෙනවා’යි කීය.”

සුවදුක් විමැසීම

තමන් යම් කෙනෙකු හමුවීමට ගිය විටත්, යම් කෙනෙකු තමන් හමුවට ආ විටත් සුවදුක් විමසීම ද ශිෂ්ට සම්මත මානව ගුණධර්මයකි. බුදුරදුන් විසින් මෙන් ම උන්වහන්සේ හමුවීමට ආ බොහෝ දෙනා විසින් ද එසේ සියල්ලට ම පළමුව සුවදුක් කෙසේදැයි විමසූ බව පෙළ දහමින් පෙනේ. ඉහත කී චූළගෝසිංහ සූත්‍රය එක් නිදසුනකි. ආයුෂ්මත් අනුරුද්ධ හිමියන් ප්‍රධාන තරුණ ශ්‍රාවකයන් හමු වූ බුදුරදුන් ද ඔවුන් හා කථාබහ අරඹන්නේ පළමුව සුවදුක් විමසා ය.

’කොහොම ද අනුරුද්ධ සැප පහසුකම්? කොහොමද (සුව) පහසුවෙන් ඉන්නව ද? කොහොමද කෑමබීමෙන් කරදරයක් නැද්ද?

මීට පිළිතුරු දෙන අනුරුද්ධ හිමියෝ, ‘ස්වාමීනි. සැබැවින් ම අපේ සැප පහසුව හොඳයි. අපි පහසුවෙන් ඉන්නවා. ආහාරපානවලිනුත් කරදරයක් නැතැ’යි පවසති. බුදුහු නැවතත් කථා කරති. ‘කොහොමද අනුරුද්ධ ඔබලා සමගි සම්පන්න ව ඉන්නවා ද? සතුටු සිත් ඇතිව, වාද විවාද නොකර කිරි හා දිය මෙන් පෑහී එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් ඉන්නවා ද?”

තමන් එසේ ම වසන බව ද අනුරුද්ධ හිමියෝ පිළිවදන් දුන්හ. ඇති තැන මෙන් ම නැති තැන ද තමන් එකිනෙකාට තිදොරින් ම මෙත් වඩන බව ද, තමන් තිදෙනා කයින් අසමාන වුව ද සිතින් සමාන බව ද වැඩිදුරටත් පැවසූහ. බුදුරජාණන් වහන්සේ බෙහෙවින් ම සතුටු වූහ. සාධුකාර දුන්හ.

මෙලෙසින් ම රෝගී ව සිටි මහා කස්සප, මහා මොග්ගල්ලානාදී හිමිවරුන් දැක්මට වැඩි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගේ සුවදුක් විමසූ බව බොජ්ඣංග දේශනාවල සඳහන් වෙයි. බුදුරදුන් හෝ වෙනත් උතුමෙකු හමු වූ විට එතුමන්ට අසනීප ආබාධ අඩු ද? නීරෝගී ව සිටින්නේ ද? සැහැල්ලුවෙන් වසන්නේ ද? කාය බල ඇත්තේ ද? සුව පහසුවෙන් වසන සේක් ද? යනාදී වශයෙන් විමසීම ද අපූරු සිරිතක් වූයේ ය. එසේ විමසන අවස්ථා ද සිය ශ්‍රාවකයනට එසේ විමසන්නැයි උපදෙස් දී උතුමන් වෙත යැවූ අවස්ථා ද පෙළ දහමෙහි හමුවෙයි.”

කවරෙකු සමග වුව ද දහම් දෙසන්නට පෙරාතුව සතුටු විය යුතු කථා, සිහි කටයුතු කථා පැවැත්වීම බුදුරදුන්ගේ සිරිතක් වූයේ ය. (සම්මොදනීයං කථං සාරණීයං) උන්වහන්සේ සමඟ වාදයෙන් වාදය පරදවමින් වහසි වස් කියමින් පැමිණි සච්චක සමඟ ද උන්වහන්සේට අවලාද නඟා ඒ නුවණ කැලේ ගස යට දිරා යනු ඇතැයි කියා පැමිණි න්‍යග්‍රොධ පිරිවැජි සමඟ ද දහමින් කරුණු කියන්නට පෙර එසේ සතුටු සාමීචියෙහි යෙදුණු සැටි සූත්‍රාන්තයන් වාර්තා කරයි. ධනවත් උගත් වංශවතෙකු වූ ද, වයෝවෘද්ධ රාජ්‍ය සම්මාන ලාභියෙකු වූ ද සෝණදණ්ඩ සිය පිරිසට බුදුරදුන් ගැන කියන්නේ මෙසේ ය.

ඒ ශ්‍රමණ භවත් ගෞතමයෝ එන්න මෙහි එන්න හමුවට එන්නවුන් ඉතා සතුටින් උණුසුම්ව පිළිගනිති. කනට සුව දෙන මිහිරි වදන් මැ තෙපලති. ඉතා පි‍්‍රයමනාප ලෙස සතුටු සාමීචියෙහි යෙදීමට දක්‍ෂ වෙති. එළු වූ (බැම හකුළුවන) ගොරෝසු මුහුණින් තොර වෙති. කරුණු සහිතව ම කථා කරති. හමුවට එන්නවුන් හා තෙමේ පළමුව කථා කරති. තවද, ඒ භාග්‍යවතුන් වහන්සේ මිහිරි යහපත් වචන ඇතියහ. මනා ව කරුණු දක්වා කථා කරති. නො දියුණු වදන් නො තෙපළති. දියුණු වචන කථා කරති. පිළිගත හැකි දේ ම විමසති. කෙළතොලු නොවෙති. උන්වහන්සේගේ වචන මැනවින් අරුත් මතු කරන්නේ ය. මටසිළිටි ය.”

බුදුරදුන් විවිධ තරාතිරම්වලට අයත් ගිහියන් හා පැවිද්දන් සමග කරන ප්‍රසන්න සිත්ගන්නා සුළු සතුටු සාමීචි කථාබස් පෙළ දහමෙහි එමට ය. බොහෝ විට එබඳු කථාබස් නිම කොට ධර්ම දේශනයට එළඹීම උන්වහන්සේගේ සිරිත ය. හමුවට එන්නවුන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වීමට සමාදන් කරවීමට, තේරුම් ගැන්වීමට, සතුටට පත් කිරීමට උන්වහන්සේ සමත් වූහ.